UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අකුසල් මුළුමනින් ම උදුරා දමා සදාතනික විමුක්තිය ලබාගැනීම බෞද්ධ දර්ශනයේ මූලික පරමාර්ථයක්

අකුසල් මුළුමනින් ම උදුරා දමා සදාතනික විමුක්තිය ලබාගැනීම බෞද්ධ දර්ශනයේ මූලික පරමාර්ථයක්

එක්සත් ජාතීන්ගේ 13 වැනි වෙසක් දින උළෙල හා ජාත්‍යන්තර බෞද්ධ සමුළුවේ දී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ කියයි

  තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වූ එක්සත් ජාතීන්ගේ 13 වැනි වෙසක් දින උළෙල හා ජාත්‍යන්තර බෞද්ධ සමුළුවේ මුඛ්‍ය දේශනයට බුද්ධ ශාසන හා අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ආරාධනා ලැබිණි. එහි දී ඇමැතිවරයා දැක්වූ අදහස් මෙසේ ය.

“ත්‍රිපිටකයේ ඇතුළත් දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භය පිළිබඳවයි. ඒ පිළිබඳ පැරණිම මූලාශ්‍රය ලෙස සැලකිය හැක්කේ ද එම සූත්‍රයයි. ප්‍රීතිය ආහාර කොටගෙන ජීවත් වූ දිව්‍යමය තත්ත්වයක පසු වූ ආභස්සරයන්ගේ සිත්වලට තෘෂ්ණාව කාවැදීම හේතුවෙන් ඔවුන් දිව්‍යමය තත්ත්වයෙන් පහතට එනම් මානව තත්ත්වයට පත්වුණා. එම වෙනස්වීමත් සමඟ මානව ශිෂ්ටාචාරයේ ඉතිහාසය ආරම්භ වුණා. රාජ්‍ය පාලනය, බදු ප්‍රතිපත්ති සහ රාජ්‍ය භාණ්ඩාගාරය ආදී ආයතන ආරම්භ වූ ආකාරය එහි මැනවින් විස්තර වෙනවා.”

එවක් පටන් මානව ශිෂ්ටාචාරය විකාශනය වූ ක්‍රමවේද පිළිබඳ බොහෝ ඉතිහාස කතා ලියැවී තිබෙනවා. එම විකාශනය මානව ශිෂ්ටාචාරයේ සංවර්ධනයක් ලෙස ඉතිහාසඥයින් සඳහන් කර ඇතත් එහි පවතින කර්කශ යථාර්ථය ලෙස අපට තේරුම් ගත හැක්කේ මානව ශිෂ්ටාචාරයේ පදනම විනාශ කරන්නා වූ නිරන්තර ගැටුම් සහ ආරවුල් එයින් පිරී ඉතිරී තිබූ බවයි.

මානවයාගේ ඉතිහාසය නිරීක්ෂණය කළ හැකි කණ්ඩායම් දෙකක් තිබෙනවා. එනම් ධාර්මික සහ අධාර්මිකයි. වරින් වර එක් පාර්ශ්වයක් නිරන්තරයෙන් අනෙක් පාර්ශ්වය යටපත් කරමින් ඉස්මතුවීමේ ප්‍රවණතාවක් කලින් කල එළිදක්නට ලැබී තිබෙනවා. පෙරදිග දාර්ශනිකයින් සහ බහුශ්‍රැතයන් ධර්මය සහ අධර්මය අර්ථ නිරූපණය කරමින් එම කොටස් දෙකෙහි සීමා සනිටුහන් කිරීමට මහත් පරිශ්‍රමයක් දරා ඇති බව මහා භාරතයේ ඉපැරැණිතම ග්‍රන්ථ වන ජනභාරත, වෙද ග්‍රන්ථ, භගවත් ගීතා, රාජායණය යන ග්‍රන්ථවල සඳහන් කරුණු මඟින් තහවුරු වේ.

අපරදිග සමකාලීන දාර්ශනිකයන් සහ බහුශ්‍රැතයන් යුක්ති සංකල්පය පැහැදිලි කිරීමට සහ ශක්තිය කෙසේ පැවතිය යුත්තක් ද යන්න පිළිබඳ බොහෝ කරුණු විශ්ලේෂණය කිරීමට උත්සාහ ගෙන තිබෙනවා. ක්‍රි.ව. 18 වන සියවසේ ග්‍රන්ථාරූඪ කර ඇති බැබිලෝනියානු නීති සංග්‍රහය හෙවත් පැරණි මෙසපොතේමියාවේ නීති සංග්‍රහය ලෙස පිළිගන්නා හමුරාබිගේ නීති සංග්‍රහය යුක්ති සංකල්පය මත පදනම් වී ඇතැයි ඔවුන් කල්පනා කළහ. එම දාර්ශනිකයින් සහ බහුශ්‍රැතයින් යුක්තිය කුමක් විය යුතු ද යන්න ලබා තිබූ අවබෝධය මත මානව සමාජය කණ්ඩායම් තුනකින් සමන්විත සේ පිළිගන්නවා. එනම් ඉඩම් හිමියන්, නිදහස් මිනිසුන් සහ වහලුන් යනුවෙනි. එම කොටස් සම්බන්ධ වූ යුක්තිය පසිඳලීම සිදුකරනු ලැබුවේ අසමාන නීති ප්‍රතිපත්ති උපයෝගි කර ගනිමිනි. උදාහරණ ලෙස නිදහස් මිනිසකු ඝාතනය කළහොත් එම අපරාධය කළ තැනැත්තාගේ අත කපා දැමිය යුතු වූවත් ඝාතනයට ලක් වූ තැනැත්තා වහලකු නම් වන්දි ගෙවීම මඟින් යුක්තිය ඉටුවන බවට එහි නීති ප්‍රතිපාදන පැවතුණා. ධම්ම සංකල්පය විකාශනයේ ප්‍රාථමික අවදියේ පැවැති කල වූවද එය විවරණය කළ දාර්ශනිකයන්ගේ අදහස් වූයේ එවන් වූ දඬුවම් ක්‍රම පළිගැනීම මත පදනම් වී ඇති බවත් ඉන් බලාපොරොත්තු වන්නේ එකට එක කිරීම නැතහොත් “දතට දතක්” ගැනීමේ ප්‍රතිපත්ති බවයි. මහත්මා ගාන්ධි පැවසුවේ “ඇසට ඇසක්” ලෝකයේ පවතින කිසිදු ආගමක හෝ දර්ශනයක නොමැති ආකාරයට බුදුන් වහන්සේ මෙත්ත සූත්‍රයේ දී දේශනා කරනු ලැබුවේ ජීවත් වන සියලුම සත්ත්වයන් කෙරෙහි එක හා සමාන ලෙස මෛත්‍රිය වඩවන ලෙස ය.

සිද්ධාර්ථ කුමරු තරුණ වියේ යුද සටන් පුහුණුවීම්වලදී අතිසාර්ථක ලෙස දස්කම් පෙන්වා තිබුණා. එහෙත් වැඩිවියට පත්වීමත් සමඟම ලෞකික ලෝකයේ පවතින නිස්සාරභාවය පිළිබඳ කරුණු අවබෝධවීමත් සමඟ ගිහි ජීවිතයෙන් නික්ම ගියා. යුද්ධය සහ ඊට අත්වැල් බැඳගත් ආනුෂාංගික ක්‍රෑරකම් ද ගිහිගෙය අතහැර යාමට පාදක වුණා.

බුදුන් වහන්සේ අවස්ථා තුනකදී ම ශ්‍රී ලංකාවට වැඩම කිරීම මඟින් වැඩිම කලක් බෞද්ධ දර්ශනය රැ¼දී පවතින දේශය ශ්‍රී ලංකාව බව විශ්වාස කළා විය හැකිය. උන්වහන්සේ මුලින්ම මහියංගණයට වැඩම කරනු ලැබුවේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් අතර ඇතිවීමට ගිය යුද්ධය වළකාලීම පිණිසයි. දෙවන වතාවට කැලණියට වැඩම කළේ ද චූලෝදර සහ මහෝදර දෙසොහොයුරන් අතර ඇතිවන්නට ගිය තවත් එවැනිම වූ යුද්ධයක් සංසිඳුවීමට ය.

බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් වසර හතරක් ගිය තැන රෝහිණි නදියේ ජලය සඳහා හිමිකම්පාමින් කපිලවස්තු සහ විශාලා මහනුවර රාජධානි දෙක අතර යුද්ධයක් ආරම්භ වීමට නියමිත මොහොතේ බුදුන්වහන්සේ යුද පිටියේ දෙපිරිස මැද වැඩම කර සිටියහ. බුදුන්වහන්සේ දෙපිරිසෙන් ම අසා සිටියේ වඩාත් වටින්නේ ජලය ද මනුෂ්‍ය ජීවිත ද යනුවෙනි. ඔවුන්ගේ මෝහය නිසා ඇවිලෙන්නට ගිය යුද්ධයෙන් විය හැකිව තිබූ විනාශය අවබෝධ කරගත් දෙපාර්ශ්වය ඔවුනොවුන් අතර එදිරිවාදිකම් නවතා සමඟි සම්පන්න වුණා. එක් දේශනාවක් තුළින් දහසක් තරම් වූ විශාල සංඛ්‍යාවක් මාර්ගඵල අවබෝධ කරගත් බුදුන් වහන්සේගේ දේශනාව මෙහෙයවීම ඓතිහාසික ලෙස වැදගත් වෙනවා.

විශ්වයේ පවතින යථා ස්වභාවය පිළිබඳ බුදුන් වහන්සේ තුළ තිබූ මනා අවබෝධයෙන් මිනිසාට පවතින මානසික අංග පිළිබඳව සූත්‍ර ගණනාවක කරුණු පැහැදිලි කර තිබුණා. මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව ආදී සතර බ්‍රහ්ම විහරණ පිළිබඳව ගැඹුරින් දක්වා තිබෙනවා.

මිනිසාගේ සිතේ රෝපණය වී ඇති තෘෂ්ණාව, වෛරය, මිථ්‍යාව වැනි අකුසලයන් මුළුමනින්ම උදුරා දමා සදාතනික විමුක්තිය අත්පත් කරගත හැකි වූ නිර්වාණය වෙත ගමන් කිරීම බෞද්ධ දර්ශනයේ මූලික ම පරමාර්ථය වෙනවා.

ලෝකය සහ සාමය යනු ද්වි ආකාර මානසික තත්ත්වයක් බව පරම සත්‍යය ලෙස තේරුම් ගත හැකි ය. මනස නිරායාසයෙන් ම පහත සඳහන් භෞතික තත්ත්ව සහ බලවේග සමඟ බද්ධ වී ඇති හේතුව නිසා මනස හුදකලාව ප්‍රගුණ කළ නොහැකිය. එම තත්ත්ව නම් භෞතික ලෝකයෙන් අරමුණු ලබාගන්නා වූ පංච උපාදානස්කන්ධයන් ය. එනම් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරාස්කන්ධය සහ විඤ්ඤානස්කන්ධය වේ.

ලෝක සාමය උදාකරනු වස් මෙම ත්‍රිවිධාකාර විනය පද්ධතිය අධ්‍යාපනය, ආර්ථිකය, දේශපාලනය යනාදී විෂයය සම්බන්ධව වෙනස් වූ ප්‍රමිතීන් තුළ භාවිත කළ යුතු ය. මීට වසර මිලියන ගණනකට පෙර ලෝකේශ්වරරාජ බුදුන් දවස පූජ්‍ය ධර්මකාර විසින් කොන්දේසි හතළිස් හයක් යටතේ මෙම ශික්ෂා අනුගමනය කිරීම තුළින් අමිතාහ නම් බුදුන් ලෙස බුද්ධත්වයට පත්ව සහ සුභාවතී නම් වූ ප්‍රීති ප්‍රමෝදිත ලෝකයක් නිර්මාණය කිරීමට හැකි වූ බව සඳහන්ව වෙනවා.

රටක පවතින සම්පත් සාධාරණ ලෙස ජනතාව අතර බෙදී නොගියහොත් එවැනි රටක සමාජ ආරවුල් සහ ගැටුම් ඇතිවීම වැළැක්විය නොහැකියි. සෑම මිනිසකු විසින්ම සතර සංග්‍රහ වස්තුවෙන් අන් අයට සංග්‍රහ කිරීම ඉතා වැදගත් මානව ගුණ ධර්මයකි. එනම් දානය, ප්‍රිය වචනය, සමජීවිකතාව සහ සමානාත්මතාවය ආදී ගුණධර්ම වේ.

බුදුන් වහන්සේ මදුපිංඩික මහා නිදාන සූත්‍ර මඟින් අනුශාසනා කොට ඇත්තේ රටේ ධනය තිබෙන සහ ධනය නොමැති අය අතර සම්පත් අසමාන ලෙස බෙදී යාම තුළ මතු වන සමාජ ගැටුම් සහ ආරවුල් හේතුවෙන් රටක් අරාජික වන බවය.

මානව ඉතිහාසය යනු අන් කිසිවක් නොව මිනිසාගේ මනසේ මුල් බැසගත් තෘෂ්ණාව නමැති විෂබීජය නිසා හටගත් ගැටුම් සහ ආරවුල් පිළිබඳ ලියා ඇති ශෝචනීය වාර්තාව ලෙස හැඳීන්වීමෙහි කිසිදු වරදක් නැත. යම් යම් උපක්‍රම සහ ප්‍රයෝග උපයෝගී කර ගනිමින් යම් තැනක සාමයක් ඇතිවූයේ නම් එය ඉතා කෙටිකාලීන එකක් බවට ලෝක ඉතිහාසය සාක්ෂි දරනවා. නමුත් ධර්මය මත පදනම් ව අව්‍යාජ සිතුවිලිවලින් ඇතිකර ගන්නා වූ සාමය දිගුකාලීන පවතින්නක් බව පැහැදිලිය.

ශත වර්ෂ ගණනාවකට පෙර සිටම බෞද්ධ ථෙරවාද දර්ශනය තල්පත්වල ලියමින් ආරක්ෂා කරගැනීමේ ගෞරවය ?ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුන් වහන්සේලාට හිමිවිය යුතු යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. 1873 පවත්වන්නට යෙදුණු ලෝක ප්‍රසිද්ධ පානදුරාවාදයේදී පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඉදිරිපත් කළ ධර්ම කරුණු ඉදිරියේ විරුද්ධ මතධාරින් නිරුත්තර වුණා. එම පණිවිඩය ලොව පුරා බොහෝ ශීඝ්‍රයෙන් පැතිරීමට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස බෞද්ධ ශාසනය සංරක්ෂණය කොට වර්ධනය කිරීමෙහිලා පු?රෝගාමිත්වයක් ගත් හෙන්රි ස්ටිල් ඕල්කට් සහ අනගාරික ධර්මපාල වැනි මහත් වූ ශාසන ලැදි නායකයින් බිහිවුණා.

1950 වසරේ දී මහාචාර්ය ජී. පී. මලලසේකර මහතාගේ නායකත්වයෙන් යුතුව ?ශ්‍රී ලංකාවේදී ආරම්භ කළ ලෝක ?බෞද්ධ සම්මේලනය නිසා ජාත්‍යන්තර ලෙස වෙසක් උත්සවය සැමරීමේ නිමිත්ත පහළ වුණා. බටහිර භෞතික වාදය පරාජය කරමින් බෞද්ධ දර්ශනයේ උත්කෘෂ්ට ගුණාංග මතුකරලීමෙහිලා මහා මෙහෙවරක් කළ මුල් පෙළේ නායකයකු වශයෙන් ඔහු ගෞරවාදරයට පාත්‍ර වී තිබෙනවා.

වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන සැමරුම් දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කරවා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යෝජනාවක් ඉදිරිපත් කළ හිටපු විදේශ කටයුතු ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහතා ගෞරව භක්තියෙන් සිහිපත් කිරීම මෙම අවස්ථාවේදී මාගේ යුතුකමක් කොට සලකමි. එමෙන්ම 2017 වසරේ ජාත්‍යන්තර වෙසක් දින සැමරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස මෙම අවස්ථාවේදී ඉල්ලා සිටිනවා.

 

  වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි මස 04 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.49 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 08.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ජුනි 12 වනදා ඉරිදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]