Print this Article


ආර්ය අෂ්ටාංගික මාර්ගය හා සමාජ සංවර්ධනය

ආර්ය අෂ්ටාංගික මාර්ගය හා සමාජ සංවර්ධනය

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු හා දෙවන අංග මගින් පුද්ගල චින්තනය කෙසේ සකස්විය යුතුද යන්න පෙන්වා දෙයි. සම්මා දිට්ඨි යනු යහපත් දැක්මයි. එයින් හොඳ හා නරක පිළිබඳ මූලික අවබෝධය අදහස් වේ. මෙය සාමාන්‍ය මට්ටමයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ දසවස්තුක මිථ්‍යා දෘෂ්ටියෙන් බැහැර වීමයි. පුද්ගලයා තුළ හොඳ නරක, මෙලොව, පරලොව, කර්මය හා කර්මඵලය පිළිබඳ විශ්වාසය නොමැති විට අපරාධ සඳහා නැමියාවක් ඇති වේ. හොඳ, නරක, නීතිය, යුක්තිය නොසලකා කටයුතු කරන මිනිසුන්ගෙන් සැදුම් ලත් සමාජයක සාමය හා සංහිඳියාව බිඳ වැටේ. හොඳ නරක වෙන්කොට හඳුනාගෙන වැරදි දැක්මෙන් වෙන්වී නිවැරදි දැක්මක් ඇති කරගැනීමෙන් සමාජ සංවර්ධනය අර්ථවත් කළ හැකිවේ.

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙහි බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධකරගෙන සම්මාසම්බුද්ධත්වයට පත්වූහ.බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධකරගත් මැදුම් පිළිවෙත හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය දුකින් මිදීමේ ඒකායන මාර්ගය වශයෙන් ලෝකයට ඉදිරිපත් කළහ. අංග අටකින් යුක්ත ප්‍රතිපදාව දෙයාකාරයකින් ක්‍රියාවට නැංවිය හැකි බව බුදුරජාණන් වහන්සේ එහිදී පෙන්වා දුන්හ. පුද්ගල විමුක්තියත්. සමාජ විමුක්තියත් යන දෙ අංශයම එම පිළිවෙත අනුගමනය කිරීමෙන් සාක්ෂාත් කළ හැකිවේ. මහාචත්තාරීසක සූත්‍රයෙහි සාසවා පුඤ්ඤභාගියා, උපධිවේපක්ඛා යනුවෙන් එක් ආකාරයකුත් අනාසවා ලෝකුත්තරා මග්ගංගා යනුවෙන් තවත් ආකාරයකිනුත් ක්‍රියාවට නැංවිය යුත්තේ කෙසේද? යන්න පෙන්වා දෙයි. සමාජය යනු පුද්ගලයන්ගේ එකතුවකි. පුද්ගලයාගෙන් තොරව සමාජයටත් සමාජයෙන් තොරව පුද්ගලයාටත් පැවතිය නොහැකිය. බුදුසමය පෙන්වාදෙන පුද්ගල විමුක්තියත් සමාජ විමුක්තියත් එකම කාසියක දෙපැත්ත ලෙස නම් කළ හැකිය.ආර්යඅෂ්ටාංගික මාර්ගයේ එක් එක් අංගය පුද්ගලයාට හා සමාජයට වැදගත් වන්නේ කෙසේද? යන්න විමසා බැලීමේදී මෙය පැහැදිලි කරගත හැකිවේ. සමස්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය, සීල, සමාධි, පඤ්ඤා යනුවෙන් හැඳින්වෙන ආචාරවිද්‍යාත්මක , මනෝවිද්‍යාත්මක හා දාර්ශනික පදනමකින් යුක්ත වේ. මෙම ලිපියේ අරමුණ ආර්ය අෂ්ටාංගික මාර්ගය හා සම්බන්ධ අංග සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් කෙසේ ක්‍රියාවට නැංවිය යුතුද යන්න පැහැදිලි කිරීමයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු හා දෙවන අංග මගින් පුද්ගල චින්තනය කෙසේ සකස්විය යුතුද යන්න පෙන්වා දෙයි. සම්මා දිට්ඨි යනු යහපත් දැක්මයි. එයින් හොඳ හා නරක පිළිබඳ මූලික අවබෝධය අදහස් වේ. මෙය සාමාන්‍ය මට්ටමයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ දසවස්තුක මිථ්‍යා දෘෂ්ටියෙන් බැහැර වීමයි. පුද්ගලයා තුළ හොඳ නරක, මෙලොව, පරලොව, කර්මය හා කර්මඵලය පිළිබඳ විශ්වාසය නොමැති විට අපරාධ සඳහා නැමියාවක් ඇති වේ. හොඳ, නරක, නීතිය, යුක්තිය නොසලකා කටයුතු කරන මිනිසුන්ගෙන් සැදුම් ලත් සමාජයක සාමය හා සංහිඳියාව බිඳ වැටේ. හොඳ නරක වෙන්කොට හඳුනාගෙන වැරදි දැක්මෙන් වෙන්වී නිවැරදි දැක්මක් ඇති කරගැනීමෙන් සමාජ සංවර්ධනය අර්ථවත් කළ හැකිවේ. පංචකාම සම්පත් අත්පත් කරගැනීමේ ආශාව (කාම සංකප්ප) අන්‍යයන් විනාශ කිරීමේ අදහස් හා සංකල්පනා (ව්‍යාපාද සංකප්ප) අන්‍යයන්ට පීඩා කිරීමේ ආකල්පය (හිංසා සංකප්ප) වැරදි සංකල්පනාවන්ය. මෙම සංකල්පවලින් පෝෂණය වූ අදහස් ඇති පුද්ගලයා අන්‍යයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන අතර සමාජයටද හානිකර වූවෙකි. මිනිසාගේ චින්තනය යහපත් දෘෂ්ටීන්ගෙන් හා යහපත් සංකල්පනාවන් වන පංචකාම ලෝකයෙන් මිඳීමේ ආකල්පය (නෙක්ඛම්මසංකප්ප) මිත්‍රත්වයේ ආකල්පය (අව්‍යාපාද) හා අන්‍යයන් කෙරෙහි දයාවන්ත වීමේ ආකල්පය (අවිහිංසා) මගින් පෝෂණය වන විට එය ඔහුගේ පෞද්ගලික චර්යාව යහපත් වීමට මෙන්ම සමාජයේ යහපැවැත්ම පිණිසත් හේතු වේ.

සීලයට අයත් අංග වන සම්මා කම්මන්ත හා සම්මා වාචා යනු පුද්ගලයාගේ කායික, වාචසික සදාචාරයයි. කායික චර්යාවට සම්බන්ධ ප්‍රාණඝාතය,අදත්තාදානය හා කාමමිථ්‍යාචාරයෙන් වෙන්වීම යනු චර්යාමය වශයෙන් යහපත් අයෙකු බවට පත්වීමයි. වාචසික සංවරයට අයත් බොරු කීමෙන්, කේලාම්කීමෙන්, පරුෂ වචන කීමෙන් හා හිස්වචන කීමෙන් වැළකීමෙන් පුද්ගලයාගේ වාග් සංවරය අර්ථවත් වේ. පුද්ගල චර්යාවට අයත් මෙම අංග දෙකම එක් අතකින් පුද්ගලයාටත් අනක් අතින් සමාජයටත් ඍජුවම බලපායි. සමාජයේ සාමාජිකයෙකු වශයෙන් පුද්ගලයෙකුගේ කායික ,වාචසික චර්යාව අයහපත් වන විට එයින් අන්‍යයන්ගේ ජීවත්වීමේ අයිතිය, දේපොළ රැස්කොට ආරක්ෂා කරගැනීමේ අයිතිය හා දැහැමි පවුල් දිවියක් ගත කිරීමේ අයිතියද අහිමි වේ. වාචසික චර්යාව අයහපත්වන විට සන්නිවේදනය හා සම්බන්ධ සමාජ ගැටලු නිර්මාණය වේ. විශේෂයෙන්ම සත්‍ය දැනගැනීමේ අයිතිය, රැවටීමට ලක්වීමෙන් වැළකීමේ අයිතිය,අන්‍යයන්ගේ ප්‍රකාශනවලින් චිත්තපීඩාවට පත් නොවී සිටීමේ අයිතිය, සාමයෙන් ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත වන්නේ පුද්ගලයා වාචසික වශයෙන් සංවර වු විටය. සම්මා කම්මන්ත හා සම්මා වාචා අර්ථවත් වන්නේ සමාජය තුළය. සමාජයෙන් තොරව එම අංග අර්ථවත් නොවේ. මේ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එම අංග දෙක අර්ථවත් වන්නේ සමාජ සන්දර්භයක වන අතර එයින් සමාජ සංවර්ධනයද අවධාරණය කර තිබේ.අන්තර් පුද්ගල සමාජ සම්බන්ධතා පැවැත්වීමේදී පුද්ගල චර්යාව හා සන්නිවේදන කාර්ය නිසා හටගන්නා අර්බුද මෙම අංග දෙක අනුගමනය කිරීමෙන් වළක්වා ගත හැකිවේ.

සෑම පුද්ගලයෙකුට තම මූලික අවශ්‍යතා සන්තර්පණය කරගැනීමට අවශ්‍ය සම්පත් උපයා ගැනීම පිණිස ජීවනෝපායක් අවශ්‍ය වේ. බුදුසමයට අනුව එම ජීවනෝපාය සැබැවින්ම ධාර්මික විය යුතුයි. ගිහි සමාජය සම්බන්ධයෙන් ගත්විට ධනය ඉපැයීම පිණිස දැහැමි වෘත්තියක නිරත වීම බුදුසමයෙන් අවධාරණය කරයි. අයථා ක්‍රම මඟින් තම අවශ්‍යතා සපුරා ගැනීමට යාම එක් අතකින් තමාට අහිත පිණිස පවතින අතර සමාජයටද අහිතකර ලෙස බලපායි. සම්මා ආජීව හෙවත් නිවැරදි ජීවන ප්‍රතිපදාව යනුවෙන් බුදුසමය අදහස් කරන්නේ පුද්ගලයාට හා සමාජයට අහිත පිණිස නොපවතින වෘත්තියක නිරත වීමෙන් තම අවශ්‍යතා සන්තර්පණය කරගැනීමයි.

සම්මා වායාම තුළින් පෙන්වා දෙන්නේ සමාජ සන්දර්භය තුළ පුද්ගල ප්‍රයත්නය හා උත්සාහය නිවැරදි දේ කිරීමටත් වැරදි දෙයින් වැළකීමටත් යෙදිය යුතු බවයි. බුදුසමය පෙන්වා දෙන්නේ තමන්ගේ යහපත පිණිස පවතින දෑ කිරීම අසීරු බවත් අයහපත පිණිස පවතින දෑ කිරීම පහසු බවත්ය. මෙම ඉගැන්වීම අනුව පුද්ගල ප්‍රයත්නය ඉතා පහසුවෙන් අයහපත් ක්‍රියා කෙරෙහි යෙදවිය හැකිය. එහෙත් බුදුසමය අපේක්ෂා කරන්නේ එවැන්නක් නොවේ. පුද්ගලයා මෙන්ම සමාජයත් උත්සාහ කළ යුත්තේ නොකළ වැරදි නොකිරීමටත් නොකළ යහපත කිරීමටත්ය. සම්මා වායාම යටතේ පුද්ගලයා හා සමාජය පෙලඹවිය යුත්තේ යහපත් දෑ කිරීම සඳහාය.

නීරෝගී මනසකින් යුක්ත මිනිසුන්ගෙන් සැදුම් ලත් සමාජය සැබැවින්ම නීරෝගි වේ. නීරෝගි මනසක තිබිය යුතු ප්‍රධානම ලක්ෂණය වන්නේ මානසික ඒකාග්‍රතාව හා නිවැරදි සිහියයි. සම්මා සමාධිය යටතේ විස්තර කෙරෙන ධ්‍යාන මට්ටමේ ගැඹුරු චිත්ත ඒකාග්‍රතාවක් ඉතා පහසුවෙන් අත්පත් කර ගත නොහැකි වුවද සෑම කෙනෙක් තුළම අවම මට්ටමේ හෝ මානසික ඒකාග්‍රතාවයක් තිබීම වැදගත් වේ. මනස ව්‍යාකූල කරගත් පුද්ගලයාගේ දෛනික කටයුතු සියල්ල අවුල් සහගත වේ. චිත්ත ඒකාග්‍රතාව කවර ආකාරයේ රැකියාවක් කළ ද මානසික සුවය සඳහා අවශ්‍ය වේ. මෙම අවශ්‍යතාව සම්පූර්ණකරගත යුත්තේ භාවනාව ආශ්‍රයෙන්ය ථෙරවාද, සමථ හා විපස්සනා භාවනාව පිළිබඳ පුහුණුව චිත්තඒකාග්‍රතාව පිණිස පදනම වේ. වර්තමාන ශ්‍රී ලාංකික බෞද්ධයන්ගෙන් සාතිශය බහුතරයක් භාවනාව සම්බන්ධයෙන් දක්වන්නේ උදාසීන ආකල්පයකි. භාවනා කිරීම යනු ජීවිතයෙන් පලායාමක් ලෙස බොහෝ දෙනෙකු තුළ වැරදි වැටහීමක් ඇති වී තිබේ. මෙම සාවද්‍ය ආකල්පය ඇතිවීමට හේතුවී තිබෙන්නේ භාවනාවේ වැදගත්කම හා එයින් ලැබිය හැකි ලෞකික ප්‍රයෝජන පිළිබඳ අවබෝධයක් නෙමැති වීම නිසයි. බෞද්ධ භාවනාවෙහි කේන්ද්‍රිය අරමුණ විමුක්තිය සාක්ෂාත් කිරීම වුවද ඉන් මෙහා එයින් ලබාගත හැකි ප්‍රයෝජන අප්‍රමාණ වේ. සාමාන්‍ය මානසික සංහිඳියාවකින් යුක්තව කටයුතු කිරීමට අවශ්‍ය පුහුණුව භාවනාවෙන් ලබාගත හැකිවේ. බොහෝ දෙනෙකු ක්ෂණික කෝපය, මානසික නොසන්සුන්තාව හා කළකිරීම නිසා පීඩාවට පත්වේ. ඉතා සුළු දෙයකින් පවා මානසිකව කඩා වැටෙන, කලකිරීමට පත්වන පුද්ගලයන් බහුලව දක්නට ලැබේ. මෙම දුර්වලතා ආනාපාන සතිය හා සමථය සම්බන්ධයෙන් භාවනා මගින් ලබන පුහුණුවෙන් ඉවත්කරගත හැකිවේ. සම්මා සමාධිය යටතේ දැක්වෙන පංච නීවරණ ධර්ම තාවකාලික වශයෙන් වුව යටපත් කරගැනීම අභ්‍යන්තර මානසික සංහිදියාව සඳහා වැදගත්වේ. සම්මා සතිය හෙවත් නිවැරදි සිහිය මගින් පුද්ගලයාට තමාගේ දෛනික කටයුතු වඩාත් විධිමත්ව පවත්වා ගත හැකිවේ. තම දෛනික ක්‍රියාකාරම් සිහිනුවණින් යුක්තව පවත්වාගත හැකිනම් අභ්‍යන්තර මානසික අර්බුද මෙන්ම සෙසු අය හා ඇතිකරගන්නා ගැටුම්ද අවමකරගත හැකිවේ. මෙම පදනම යටතේ ආර්ය මාර්ගයෙන් සම්මා සමාධි හා සම්මා සති යටතේ දැක්වෙන චිත්ත ඒකාග්‍රතාව හා මනා සිහිය පුද්ගලයාගේ මෙන්ම සමාජයේ යහපැවැත්ම පිණිස උපයෝගී වේ.

ආර්ය අෂ්ටාංගික මාර්ගය ආධ්‍යාත්මික විමුක්තිය සාක්ෂාත් කිරීම පිණිස මෙන්ම ලෞකික වශයෙන් සමාජ සංවර්ධනය පිණිසද ඉවහල් වේ. බුදුරදුන් වදාළ ආධ්‍යාත්මික විමුක්තිය හා සමාජ සංවර්ධනය අතර විසංවාදයක් නොමැත. බුදුරදුන් දේශනා කළේ තමා රකින්නා අනුන් රකින බවත් (අත්තානං රක්ඛන්තො පරං රක්ඛති) අනුන් රකින්නා තමාද ආරක්ෂා කරන බවයි. (පරං රක්ඛන්තො අත්තානං රක්ඛති) මේ අනුව පුද්ගල විමුක්තිය පිණිස මෙන්ම සමාජ සංවර්ධනය පිණිසද ආර්ය අෂ්ටාංගික මාර්ගය අදාළ කරගත හැකිවේ.