දැහැමි දිවියේ සැබෑ සතුට
බිබිල යල්කුඹුර
ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ
රාජකීය පණ්ඩිත
පදියතලාවේ ඤාණවිමල හිමි
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
යෝ චේ වස්සසතං ජීවේ
දුස්සීලෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
සීලවන්තස්ස ඣායිනෝ
පින්වත්නි ,
බුද්ධ දේශනාව හුදෙක් ලෝකෝත්තර දියුණුව පිණිසම පමණක් නොව ලෞකික ජීවිතය ද සාර්ථකත්වය
කෙරෙහි අවධානය යොමුකර ඇත. බුදුහිමියන් දෙසූ විවිධ සූත්‍රානුසාරයෙන් තත් කරුණ මනාව
පැහැදිලි වේ. මෙහි දී පෙන්වාදෙන්නේ මෙලොව ජීවිතය තුළ දී සැබැවින්ම සතුටු විය
හැකිවන්නේ කුමන කරුණු නිසා දැයි යන්න පෙන්වාදීම සිදු කෙරේ.
වරෙක බුදුන්වහන්සේ එක්තරා භික්ෂූන් වහන්සේලා පිරිසක් අරභයා දේශනාකොට වදාළේ වසර
සියයක් දුස්සීලව ජීවත්වීමට වඩා සිල්වත්ව ජීවත්වන එක් දිනය වුව අතිශයින් උත්තරීතර වන
බවයි. මෙකී කරුණ අනුව මැනවින් ප්‍රකට වන්නේ දැහැමි දිවියක් සඳහා අත්‍යන්තයෙන්ම
සිල්වත් ජීවිතයක් ගත කිරීම වැදගත් වන බවයි. අපගේ ජීවිතයට අදාළ ප්‍රශ්න කිහිපයක්
අපෙන් ම ඇසිය හැකිය. එනම්, අප ජීවත් වන්නේ කුමක් සඳහා ද? අප ජීවත් විය යුත්තේ ඇයි?
අප ජීවත්විය යුත්තේ කෙසේද? යන ප්‍රශ්නයන් ය.
ඉහතින් සඳහන් ප්‍රශ්නයන්ගෙන් පළමුවැන්න නම් අප ජීවත් විය යුත්තේ කුමක් සඳහා ද? යන්න
යි. මෙහිදී සෑම දෙනාගේ සෘජු පිළිතුර විය හැක්කේ උපන් නිසා ජීවත්වෙනවා යන්නයි.
එනමුදු එය නැණවත්, ගුණවත්, පුද්ගලයෙකුගේ පිළිතුරක් වන්නේ නැත. යමෙක් මිනිසෙකු
වශයෙන් උප්පත්තිය ලබා ඇත්නම් එය ඔහු පෙර ආත්මයන්හි කළ පුණ්‍යකර්මයන්ගේ ප්‍රතිඵලයකි.
බුදුහිමියන් බොහෝ තන්හි පෙන්වාදෙන කරුණ නම් මිනිසත් බව ලැබීම අතිශය දුර්ලභ කරුණක්
වන බවයි. ඒ නිසාවෙන් ඉපදුණු නිසාවෙන් ජීවත් වීම නොව ලබාගත් ජීවිතය සාර්ථක කරගෙන
ජීවත් වීමයි කළ යුතු වන්නේ.
දෙවැනියට ඇති පැනය නම් අප ජීවත් විය යුත්තේ ඇයි ද ? යන කරුණයි. එහිදී අවබෝධ කරගත
යුතු වැදගත් කරුණක් ඇත.එනම් අප ලබා ඇති ආත්මය උත්තරීතර ආත්මභාවයකි. ඒ ආත්මභාවය
කෙළවරවන්නේ නිවන් සාක්ෂාත් කර ගැනීමෙනි. ඒ ලෝකෝත්තර විමුක්තියයි. එහෙත් එකී කරුණ
අතිශය අපහසු ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලයයි. දස පාරමිතා, දස උප පාරමිතා මෙන්ම
දසපරමත්ථ පාරමිතා ද සම්පූර්ණ කළ ඇත්තෙකුටය එවන් උත්තරීතර බවක් ලබා ගත හැකිවන්නේ.
එසේ නම් ඉන් මෙහා ලෞකික ජීවිතයක් අපට ඇත. එය මෙලොව පරලොව වශයෙන් බෙදා දැක්විය
හැකිය. පරලොව ජීවිතය කෙසේ වේවිදැයි අප දන්නේ නැත. ඒ නිසා ලැබූ මේ දිවියේදී කුසලකර්ම
මෙන්ම පුණ්‍යකර්ම ද සිදු කිරීමට පුද්ගලයා වෙහෙස ගත යුතුය. දෙවැනි පැනයට නිසි
පිළිතුර එයින් ලැබේ.
තෙවැනියට ඇති පැනය නම් අප ජීවත් විය යුතු වන්නේ කෙසේද ? යන්නයි. ඉහතින් පෙන්වාදුන්
ගාථා පාඨයෙන් වුව පැහැදිලි වන්නේ මේ ජීවිතයේදී සිල්වත් බවින් ජීවත්වීම තමාගේත්
සමාජීය ජීවිතයන්ද ආලෝකවත් කිරීම පිණිස හේතුවන බවයි. දැහැමි දිවියක් ප්‍රාර්ථනා
කරන්නෙක් සැබැවින් ම සිල්වත් තැනැත්තෙක් විය යුතුම ය. ඒ අනුව අප ජීවත් වන කාල පරාසය
තුළ තමන්ටත් අනුන්ටත් වැඩදායී අයුරින් ජීවත්වීමට වෙහෙස ගත යුතු ය.
බුදුදහම කිසිවිටෙක නිශ්ක්‍රීය චරිත ප්‍රශංසාවට ලක් කරන්නේ නැත. ලබාගත් මනුෂ්‍ය
ආත්මයේ වටිනාකම අවබෝධ කරගෙන කුසල් හා පින් රැස් කරගත යුතු බවයි නිරන්තර උන්වහන්සේ
පෙන්වා දී ඇත්තේ. ඒ කුමක් සඳහා ද යත් ලෞකික හා ලෝකෝත්තර විමුක්තිය පිණිසය.
සම්බුදුහිමියන්ගේ සරණ ගියවුන් කළ යුතු වන්නේ උන්වහන්සේ දේශිත මේ මාර්ගයේ ගමන්
කිරීමය. දැහැමි දිවියක් ලබා ගැනීමේ හොඳම මාවත බුදුහිමියන් පෙන්වා දී ඇති නිසා අප
කළයුතු වන්නේ ඒ මඟෙහි ගමන් කිරීමය.
මනුෂ්‍යත්වය ලැබගත් සියලු දෙනා සැප කැමැතිය, දුක පිළිකුල් කරති. බුදුහිමියෝ මේ බව
මැනවින් පෙන්වා වදාළ සේක. සැප දුක් විෂයෙහි බොහෝ විට භෞතික සම්පත් හා අභෞතික මහත්
බලපෑමක් කරයි.
න අත්ත හේතු න පරස්ස හේතු
න පුත්තමිච්ඡේ න ධනං න රට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මේන සමිද්ධි
ස සීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා
එහි සරල අර්ථය වන්නේ දැහැමි නැණවත් තැනැත්තා තමා නිසා හෝ අනුන් නිසා හෝ තමන්ගේ අඹු
දරුවන් නිසා හෝ එසේ නැතහොත් තම රට ගැන සිතා හෝ දියුණුව අපේක්ෂාවෙන් අධර්මයෙන් ඒ
තත්ත්වයට ලබා ගැනීමට කටයුතු නොකරන බවයි. මෙහිදී තමනුත් අනුනුත් ආරක්ෂා වී ඇති බව
ඉතා පරීක්ෂාකාරීව බැලීමේදී පෙනී යයි.
එසේ නමුදු සමාජයේ දැහැමින් සෙමෙන් ජීවත් වන බුද්ධිමත් පිරිස් නැත්තේ ද නැත. ඔවුන්
කුසගින්නේ මිය ගිය ද අදැහැමින් යමක් ලබා ගැනීම පිණිස වෙහෙසෙන්නේ නැත. අන්‍යයන්ගෙන්
සොරෙන් යමක් ලබා ගැනීමටවත්, මුසාබස් දෙඩීමටවත්, පරදාර සේවනයටවත් සුරාසූදුවටවත්
ඔහුගේ කිසිම සබඳතාවක් නැත. එවන් ක්‍රියා කිරීමට අතහිත නොදෙන අතර කරවන්නේ ද නැත.
එවන් වූ පිරිස් ද මේ සමාජයේම සොයා ගත හැකි වන්නේ ය. එහෙත් එවන් පිරිස් සමාජයේ
දුර්ලභය වනයේ සඳුන් ගස් අල්ප වන්නේ යම් සේද, ගජමුතු ඇති ඇත් රජුන් සොයාගැනීම අපහසු
වන්නේ යම් සේද එවැනි සත්පුරුෂ මිනිසුන් සමාජයේ දුර්ලභ වන්නේ ය. ඔවුන් අධාර්මික බවේ
ඵල විපාක මැනවින් දැන හැඳිනගෙන ඉන් වැළකී ධර්මයෙන් ලැබෙන ආරක්ෂාව හොඳින් අවබෝධ
කරගෙන ජීවත් වෙති.
බුදුන්වහන්සේ වරෙක පෙන්වා දී ඇත්තේ ධර්මය දැන හැඳිනගෙන ජීවත් වන්නාට ධර්මය වෙනුවෙන්
කැප කළ නොහැකි දෙයක් නැති බවයි.
ඕනෑම කෙනෙක් තමන්ගේ ශරීරයේ යම් තුවාලයක් හටගත් කල්හි වේදනාවක් හටගත් කල්හි එය නැති
කර ගැනීම පිණිස, නිරෝගී වීම පිණිස ධනය වියදම් කර ඖෂධ ලබා ගනී. ඒවා නිසි පරිදි
ශරීරයට ලබා දෙයි. කෙතරම් මුදල් වැය කළ ද ඉන් තමාගේ රෝගය සුවපත් කරගැනීමට නොහැකි
වන්නේ නම් හෝ යම් හෙයකින් තමාගේ ශරීරයේ කොටසක් කපා ඉවත් කිරීමට සිදුවේ නම් ඔහු
දෙවරක් නොසිතා ඊට ඉඩ ලබාදේ. මන්ද ඒ රෝගය මුළු ශරීරයටම පැතිර යා හැකි බැවිනි. ඒ
විතරක් නොව ඔහු තම ජීවිතය පවා අත්හැරීමට සූදානම් වන්නේ ඔහු දහම ගැනත් ජීවිතයේ
අනිත්‍යතාවත් මැනවින් අවබෝධකරගෙන සිටින නිසාවෙනි.
මේ අනුව ඉහතින් පෙන්වා දුන් කරුණු සාරංශයක් වශයෙන් ගත් කල්හි දැහැමි දිවියක් ගත
කිරීම සඳහා අවැසිවන්නේ ප්‍රඥාව හා වුවමනාවයි. එය ප්‍රාර්ථනා කරන පුද්ගලයාට කර්මය,
කර්මයේ ඵලවිපාක පිළිබඳ මනා අවබෝධයක් ද ඇත. පංචශීලයෙන් ප්‍රභාවත් වන ඔහුගේ ජීවිතය
ඔහුට මෙන්ම සමාජයටත් අස්වැසිල්ලකි. තම සතුට සොම්නස උදෙසා අනුන්ගේ ඇස් වේදනාවෙන්
නොපුරවන ඔහු සියලු දෙනාගේ සතුට වෙනුවෙන් නිවැරදි ජීවිකාවේ ම නිරත වේ. මෙවන් වූ
දිවියයි බුදුහිමියන් ප්‍රශංසා කර ඇත්තේ. ඒ මාර්ගයේ අපිත් ගමන් කිරීමට අදිටන්
කරගනිමු. |