Print this Article


පහන් සිතක කවි

පරම සත්‍ය

උපදවා
ලෝකය සිතින්
සුන්දරයි කියන්නේ
සිත සිතින්
තුරුළුකරගෙනමයි
වැටහෙනදා
මේ සත්‍යය
ලජ්ජ හිතෙනවා
සත්තයි
පරගම්මන


නුවණැත්තෝ

හංසයො ගමන් යති අහසෙහි ඉතා තුටින්
යෝගින් අහසෙ යති නිතැතින් සෘද්ධි බලෙන්
සේනා සහිත මාරයා පරදවා නිතින්
නුවණැති දන නිවනට යති භව සසරෙන්


මල් නංගී

අනේ නෝනා එන්න
මේ සුවඳ මල් ගන්න
පුංචි සුරතල් හඬින්
අවදිවෙයි සල්පිලම

මල් නෙළන්නට ගොසින්
ආවේ නැහැ අප්පච්චි
වැව්දියේ සැඟවුණු ලු
අපට නම් නැහැ නිච්චි

මවත් නැති මල්ලියව
ගුරු ගෙදර යවන්නට
ඇගෙ කඳුළු මල් මිටට
පුංචි මුදලක් දෙන්න


පුතුනි අසන්

ලෙඩ දුක් වේදනා මරණය යන මේවා
සසරේ පෙර පටන් හුරු පුරුදුව ආවා
මරණය මගෙ ඔබට ගැහැටක් නොම දේවා
එය බව දුක නිවන බණ පදයක් වේවා

නෑදෑ හිත මිතුරු කැළ මළගමට එතී
වැඳ සමු ගනිත් වැළපෙති හඬති හිනැහෙති
නොසොයා ඔවුන් ඇද කුද හොඳ නොහොඳ ගතී
පිළිගනු මැනවි හැමදෙන සමව ඇති නැති

තම මරණයද ළඟ බව සිහි ඇතිව හිතේ
එන හැම දෙන බතින් බුලතින් පිදිය යුතේ
මධුවිත රසබොජුන් සැරසිලි කුමට වෙතේ
අවමඟුලකට මංගල සිරි කැතයි පුතේ

මළ කඳ දැවෙන කÁදුම ඉහලට යාවී
වටපිට සොඳුරු පවිතිරි බව කෙලෙසාවී
අවසන මිනී අළු ගඟ දිය මත පාවී
නැති ලෙඩ ඇති වුණොත් කළ පව් පළ දේවී

මස් ලේ නහර ඇට කටු පසටම දිරුණු
පොහොරකි මේ බිමට අස්වනු සරු කෙරුණු
ගැති නොව කිසිවකුට නිවහල් මත දරනු
මගෙ මළ සිරුර පුතුනේ මිහිදන් කරනු


අවුකන අසිරිය රැයේ සඳ රැසින්

නැගී අතීත ගිරිගුළෙන් බැලී අභීත අවුකන මහා බුදුරදුන්
නිමැවුම ද හැඳ පෙරවී සෙල්මුවා චීවර ඉතා ඝන රළු කළු ගලින්
පුරුස දම්ම සාරථි ගුණ බෙලෙන් දස බලධාරි අනුහසින්
ශ්‍රී සම්බුද්ධ තේජසින් දෙව් විසකමුන් මැවීදෝ ඉතින්?

මවා බුදු සිවුර කසී සළු පිළින් විනිවිද බුිදු සිරුර දක්වමින්
බලන් ඇසපුරා අහා අවුකන අසිරිය රැයේ සඳ රැසින්
අඳන කඩ සිවුර බැඳි බැඳපට කෙළවරින්
පහළ දණ හිසින් රූරා වැටෙයි විස්මිත සිවුරුහුය සිහින්

නිමැවුම කරවූ දාසෙන් රජු පවා නුදුටුවාදෝ ඇසින්
දකින් ඇසපුරා අහා අවුකන අසිරිය රැයේ සඳ රැසින්
මහා වංශයේ පියගැට පෙළෙන් බැස ඇවිත් සැණින්
දාසෙන් කසුබ් පිය පුතුන් මුගලන් මලණු සමගියෙන්

නෙළා මල් කලා වැවෙන් පැන් ඉස අවුකන ශ්‍රී පාද අතුරලා
ගාථා සෙමෙන් මතුරලා වඳී වඳී පසඟ පිහිටලා දෑසේ කඳුළු උතුරලා


හේතු වාසනා

අම්ම ළඟම වාඩිවෙලා
පන්සලේදි පෝයදාට
අහපු දහම් පද මතකද
මගේ ආදර අම්මේ

සිතා හිටියෙ පැවිදි වෙලා
මව්පියන්ට බණ කියන්න
වාසනාව නැතුව ගියා
මගේ තිබෙන අහේතුවට
අදහස තාමත් මං ළඟ
මතු දිනකදි පැවිදි වෙන්න
බුදු හිමි දෙසු බණ පදයක්
කියන්න මව්පියෝ නැහැ ළඟ

මං හිතපු වෙලාවකදි
මගේ මව්ගියේ දෙව්ලෝකෙට
පැවිදිවෙලා බණ කියන්න
හේතු වාසනා නැහැ මට


අසරණ සතුන් සුවසේ ජීවත් වේවා

සිත් තුළ රුදුරු බිහිසුණු ගති හින්දාම
සත්වයො අහිංසක වනසති හැමදාම
සත් ගුණ වතුනි දෙසුලෙස සම්බුදු දාම
අත්හළ මැනවි කවුරුත් මළකුණු කෑම

මිය යනවිට සතෙකු සිය මරණයට බියේ
ලය කම්පනය හා සෝදුක රැඳී තියේ
එය නොතකමින් ලෝමස කන දනන් ලයේ
දිය වී මිනිස් ගති රුදුගති පිරීතියේ

ගව එළු මුව ගෝන හෝ සූකර මාලු
තව අප වැනිම පණ ඇති කොටසකි යාලු
දවසින් දවස උන් වනසා කනවාලු
ලොව මිනිසුනේ කළකම් පළ දනවාලු

කරවල මස් මාළු උම්බලකඩ වේවා
පණ ඇති සතුන්ගේ මස් බව වැටහේවා
කෑවත් රසට මළකුණු බව සිහි වේවා
අසරණ සතුන් සුවසේ ජිවත් වේවා