Print this Article


පූජාච පූජනීයානං

ගලගම අත්ථදස්සි මහා නා හිමි

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ විසි එක්වන මහා නායක පදවිය හෙබ වූ ශ්‍රී සම්බුද්ධ පාදස්පර්ශයෙන් සුපූජිත ඓතිහාසික මහියංගන රාජමහා විහාරය ඇතුලු පංච රාජමහා විහාරාධිපති, ශ්‍රී හයගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති, ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත, අතිපූජ්‍ය ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්ස්‍යභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී ජූනි මස නව වන දිනට තෙමසක් සපිරෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ හෙළ බිමෙහි ජනිත අරිට්ඨ කුමරුන්ට අනුරාධපුර මහමෙව්නා උයනේ මහා විහාරයේ දී පැවිදි උපසම්පදාව ලබා දී බිහි කළ ශ්‍රී ලාංකික යති පරපුර මහාවිහාර වංශික නමින් හැඳින්විණ. එතැන් පටන් ශ්‍රී ලංකාද්වීපයෙහි ප්‍රතිෂ්ඨාපිත සංඝ පරම්පරාව ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කළ ජාතික ආගමික පොදු ජන මෙහෙවර අත්‍යුදාර වන්නේ ය. සිංහල සංඝ පරම්පරාව අත්‍යන්තයෙන් අත් නොහළ හැකි ලෙස ජාතිය විසින් ම උරුම කර දෙන ලද මෙම පරමෝදාර කාර්යභාරය ඉටු කරලීමට යුගයෙන් යුගයට ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේලා පහළ වීම ජාතියේ භාග්‍යයකි. එකී උත්තම ගුණයන්ගෙන් සමලංකෘත, පරිපූර්ණ මහා යතිවරයාණන් වහන්සේ නමක ලෙස අපවත් වී වදාළ ගලගම අත්ථදස්සි මහා නාහිමියන් හඳුන්වා දිය හැකිය.

මාතලේ දිස්ත්‍රික්කයේ අස්ගිරි පල්ලේසිය පත්තුබද ගලගම දී උපත ලබා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රථම මහානායක ධුරීණ උරුලෑවත්තේ ශ්‍රී පියදස්සි ධම්මසිද්ධි මහ නාහිමියන්ගේ සඟ පෙළපතින් පැවත ආ උඩුරාවණ ධම්මානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයකු වූ ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්ස්‍යාභිධාන විසි එක්වන ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහානායක පදවිය හෙබවූයේ දස මසක කාලයක් වුවද සත් සිය වසරක අස්ගිරි මහාවිහාර ඉතිහාසයේ නොමැකෙන සටහන් ඉතිරිකොට තැබීමට හැකි විය. සියවස් ගණනාවකට පසු අස්ගිරි මහා විහාරයේ දෙවන අනුනායක පදවිය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම මෙම යුගයේ සිදු වූ වැදගත් ශාසනික සංසිද්ධියකි.

ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත ආදී උපාධි හොබවමින් ව්‍යක්ත ධර්ම දේශකයෙකු සහ සරභඤ්ඤ විශාරදයෙකු වශයෙන් පෘථුලත්වයට පත්ව වැඩ විසූ සේක. ගැඹුරු දහම් කරුණු සරල ගැමි වහරින් ඉදිරිපත් කිරීමේ දක්ෂතාවයෙන් යුතුව සිරිලක ඉපැරණි ධර්ම දේශනා ක්‍රම අතර එන මෛත්‍රී වර්ණනා, ආසන දෙකේ බණ, ආසන පහේ බණ, ආසන හතේ බණ ආදී රැය තුන් යම පහන් වනතුරු පවත්වන ධර්මදේශනා සඳහා චිරප්‍රසිද්ධත්වයට පත් වූහ. සියලු ඨානාන්තර අභිබවා මහා නාහිමියන්ගේ අනතිමානී කරුණා ගුණාංග ඉදිරියට පැමිණි බැව් අවිවාදිතය. තමා හමුවට පැමිණෙන කා හටත් අව්‍යාජබවින් ඉතාමත් පි‍්‍රයශීලීව සංග්‍රහ කළ මහා නාහිමියෝ අස්ගිරි මහා විහාරය හා බැඳුණු ප්‍රාදේශීය විහාරස්ථානවල කටයුතු ද මැනවින් ඉටු කළහ. රටෙහි විවාදාපන්න අවස්ථාවලදී නොපැකිල තම මතය රටට හෙළි කරමින් සකල රටවාසීන්ගේ නොමඳ ගෞරවාදරයට පත් වූ සේක. දීර්ඝායුෂ වින්දනය කිරීමටත්, අවසාන දිනය දක්වා නිරෝගී සුව වින්දනය කිරීමටත් පුණ්‍ය සම්පත් ලැබූ මහා නාහිමිපාණෝ සනාතන ධර්මතාවයට අවනතව හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකින් 2016 මාර්තු මස 09 දින සිහි නුවණින් අපවත් වී වදාළ සේක. උන්වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා! යි පතමු.


හබරාදුව කෝලිත නා හිමි

ඉමදූව ගණේගොඩ පුරාණ මහ විහාරාධිපති දික්කුඹුර සිද්ධාර්ථ මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රවේදී පණ්ඩිත හබරාදුව කෝලිත හිමිපාණන් වහන්සේ පුරා දශක තුනකට අධික කාලයක් ආගමික, සමාජීය හා අධ්‍යාපනික සේවාවක නිරත වෙමින් වැඩ වසන අතර උන්වහන්සේගේ එකී සේවාවට උපහාරයක් වශයෙන් “සද්ධර්ම කීර්ති ශ්‍රී දේවසිරි” යන ගෞරව නාමය සහිතව තල්පෙ පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම සඳහා මහනුවර මල්වතු මහා විහාර සංඝ සභාව විසින් තීරණය කොට ඇත. එහි සන්නස් පත්‍රය ප්‍රදානය මැයි මස 18 වැනි දින සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා පැවිදි ගිහි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මල්වතු මහා විහාරයේදී සිදු කෙරිණි.

ගාලු පුරවරයෙහි හබරාදුව ලියනගොඩ තන්තිරිගෙවත්ත නම් ගම් පියසේ දී නානායක්කාර වසම් ලියනගේ පියදාස හා කරුණාවතී පාඬිගම යන මව්පිය දෙපළට දාව 1969 නොවැම්බර් මස 27 වැනි දින මෙලොව එළිය දුටු කෝලිත පේ‍්‍රමලාල් කුමරුවන්

හබරාදුව කනිෂ්ඨ විද්‍යාලය ඇසුරින් මූලික අධ්‍යාපනය හැදෑරීය. 13 වන වියේදී ඉමදූව ගණේගොඩ පුරාණ විහාරාධිපතිව වැඩ විසූ කලාශූරී බස්නාගොඩ විමලරතන හා අතුරුලියේ දේවසිරි යන නාහිමිවරුන්ගේ ශිෂ්‍යයෙකු ලෙස 1982 දෙසැම්බර් මස 04 වැනි දින පැවිදි දිවියට ඇතුළත් වූයේ හබරාදුව කෝලිත යන නාමයෙනි.

පැවිදි බවට ඇතුළත් වීමෙන් පසුව මූලික අධ්‍යාපනය දික්කුඹුර සද්ධර්මෝදය පරිවේණස්ථානය තුළින් ලද කෝලිත හිමියන් පසුව ගාල්ල පුඤ්ඤසාර මහ පිරිවෙන ඇසුරෙන් උසස් අධ්‍යාපනය ලබා මාතර රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය සමත් වූ උන්වහන්සේ නැවත කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද නිට්ටඹුව සාරිපුත්ත අධ්‍යාපන විද්‍යාපීඨයේ ජාතික අධ්‍යාපන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව ද ලැබීය.

1990 ජුනි මස 08 වැනි දින මහනුවර මල්වතු මහා විහාර උපෝසථාගාරයේදී උපසම්පදා සීලයෙහි පිහිටි උන්වහන්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයට පළමුවරට පිවිසෙන්නේ 1997 වර්ෂයෙහි ප්‍රථම පත්වීම ලබමින් අම්බලන්ගොඩ පොලියර්වත්ත කනිෂ්ඨ විද්‍යාලය තුළිනි. එතැන් පටන් 20 වසරකට වඩා කාල පරාසයක් තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නිරත වී සිටින කෝලිත හිමියන් අහංගම රෝහණ මහා විද්‍යාලය තුළ ද සේවය කොට ඇති අතර දැනට දික්කුඹුර සිද්ධාර්ථ මහා විද්‍යාලයෙහි සහකාර විදුහල්පති ලෙසින් කටයුතු කරනු ලබයි.

ඉමදූව විහාරාධිපති සංගමයේ ලේඛකාධිකාරි හා ඉමදූව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි තනතුරු ද හොබවනු ලබති. බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් පුරා වසර තිහකට අධික කාලයක් සුවිශාල සේවාවක නිරත වන හබරාදුව කෝලිත මාහිමියන්ගේ එම උදාර සේවාවට උපහාරයක් ලෙස මහනුවර මල්වතු මහා විහාර සංඝසභාව විසින් “සද්ධර්ම කීර්ති ශ්‍රී දේවසිරි” යන ගෞරව නාමය සහිතව තල්පෙ පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීණි.


කෙරදේවල හිමි
 

දකුණු ලක ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සුපතල ග්‍රාමවරයකි. කෙරදේවල ග්‍රාමය. එහි විසූ ඩී.එෆ්.ජේ. ගුණවර්ධන, එන් හෙට්ටිආරච්චි දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස ගුණසේන ජයසේකර ගුණවර්ධන කුමරුවා 1941 මැයි මස 27 වෙනිදා ජන්ම ලාභය ලබන ලදී.

මව්පිය වැඩිහිටි සැමගේ අතිශය ආදරය කරුණාවට ලක්වෙමින් ඇති දැඩි වූ මෙම කුමරුවාණෝ මාජුවාන කරදේවල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූහ. ද්විතීයික අධ්‍යාපනය ලබන ලද්දේ මාජුවාන ශ්‍රී පුෂ්පාරාමස්ථ ශ්‍රී ඉන්දසාර මහා පිරිවෙනින්ය. මෙහිදී මෙම පින්බර කුමරුවාගේ පැවිදිවීමේ වාසනා ගුණය දුටු මාජුවාන පුෂ්පාරාම මහා විහාරාධිපති මාජුවානේ ශ්‍රී උපරතන නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ සහ ආචාර්යත්වයෙන් 1958 මාර්තු මස 30 වෙනි දින පැවිදි බිමට පත්විය. ඒ උතුම් පැවිද්දත් සමඟ කෙරදේවල වජිරඤාණ නමින් සුපතල අතර උගතමනා බණ දහම් සපුරමින් 1961 ජූනි මස 05 වෙනිදින මල්වතු මහා විහාරීය උපෝෂථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටු වූහ. එහිදී මාජුවානේ උපරතන බද්දේගම බුද්ධරක්ඛිත, කෝරලේගම පඤ්ඤානන්ද යන නාහිමිවරු ආචාර්ය උපාධ්‍යායත්වයෙන් කටයුතු කළහ. 1963 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ කෙරදේවල හිමිපාණෝ එහිදී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. මේ වන විට ආචාර්යවරයෙකු වූ බද්දෙගම බුද්ධරක්ඛිත හිමියෝ අධ්‍යාපනික, සමාජ මෙහෙවර රාශියක් දියත් කරමින් සිටියහ. එම සමාජසේවා කාර්යයන් සඳහා බද්දේගම බුද්ධරක්ඛිත හිමියන් සමඟ එක් වී ක්‍රියා කළ වජිරඤාණ හිමියන්ගේ උත්තම ශාසනික කාර්යය වූයේ ප්‍රථමවරට භික්ෂු පුහුණු ආයතනයක් ලෙස 1970 දී ගණේගම ශ්‍රී ඉන්දසර ධර්මායතනය ආරම්භ කිරීමය. භික්ෂු ආකල්ප වර්ධනය කරමින් උගත් භික්ෂු පිරිසක් බිහි කිරීමේ අරමුණින් ආරම්භ කළ මේ ආයතනයෙන් අද භික්ෂු ශාසනය පෝෂණයට සිදු කෙරෙන මෙහෙවර අති විශිෂ්ටය. එහි වත්මන් නියමුවා ලෙස කටයුතු කරනුයේ කෙරදේවල වජිරඤාණ හිමියෝය. මේ උතුම් ශාසනික සේවාවට අනුගතව පළාතේ සංඝයාගේ සංඝ සාමගි‍්‍රය ඇතිකරලීම සඳහා භික්ෂු සංවාද මණ්ඩපය. නමින් සංඝ සම්මේලනයක් සෑම මසකම පවත්වාගෙන යෑමද කාලීන අවශ්‍යතාවයක් ලෙස අගය කළ හැක. බද්දේගම පුරවරයෙහි සියලු මහා සංඝරත්නයෙහි එකමුතු භාවය සහ උන්වහන්සේලාගේ ගැටලු නිරාකරණයක් ද මේ මගින් සිදු කෙරෙයි.

පළාතේ ළමා පරපුර නඟා සිටුවීම සඳහා සිරිසිදුහත් ළමා සමුළුවක් බිහිකොට ගුණ නැණපිරි ළමා පිරිසක් බිහිකිරීමට උත්සුක වන කෙරදේවල හාමුදුරුවන් වහන්සේ එම සිසිලස ළමා සමාජය අද දීපව්‍යාප්තව පවත්වාගෙන යයි. පළාතේ බෞද්ධ ප්‍රබෝධය සඳහා විවිධ ආගමික කටයුතු සංවිධානය කරමින් පුළුල් සමාජ මෙහෙවරක නියැළී සිටින මුන් වහන්සේ දීර්ඝ කාලයක් බද්දේගම සමථ මූල මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළහ. කෙරදේවල හාමුදුරුවෝ ප්‍රතිපත්ති ගරුක ධර්ම විනය පිළිබඳ මනා දැනුමකින් හෙබි නො කැලැල් චරිතයකින් යුත් වත්මන් භික්ෂු සමාජයට ආදර්ශයක් ගෙන දෙන උත්තම ගණයේ සංඝ පීතෘවරයෙකි.

උන්වහන්සේ මැයි මස 27 වෙනි දින හැත්තෑපස්වන වියට පා තැබූහ. ඒ වෙනුවෙන් උන්වහන්සේගේ සිසු පිරිස දායක පිරිස සංවිධානය කරන ජන්මෝත්සව මහා පින්කම් මාලාවක් මේ මැයි මස 27, 28, 29 යන දින තුළ පැවැත්විණි.