Print this Article


මාදුළුවාවේසෝභිත හාමුදුරුවෝ

මාදුළුවාවේසෝභිත හාමුදුරුවෝ

චරිතාපදානය-14

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී
ධර්ම මහා සංඝ සභාවේ මහා නායක
ආචාර්ය
ඉත්තෑපාන ධම්මාලංකාර මහ නා හිමි

මෙරට මෑත ශාසන ඉතිහාසයේ සුපේෂල ශික්ෂාකාමී හිමිනමක් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ චරිතාපදානය බුදුසරණ පුවත්පතට සම්පාදනය කිරීම සඳහා තොරතුරු සැපයීමට මඟ පෙන්වන්නේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ය.

 

වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, වැනි නාහිමිවරුන්ගේ චරිත අදත් අප අතර ජීවමානව පවතින්නේ මෙරට ශාසනය උදෙසා උන් වහන්සේ අතින් සිදුවූ සේවාවේ වැදගත්කම නිසාය. මාදුළුවාවේ සෝභිත හිමි යන නාමයත් තවත් චිරාත් කාලයක් අපගේ මතකයේ මෙන්ම සටහන් අතරේද පවතින බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ උන් වහන්සේ යුගයක් එළිය කළ යතිවරයාණන් වහන්සේ නමක් ලෙස හඳුන්වන නිසාය.

මේ ආකාරයට මාදුළුවාවේ සෝභිත හිමියන් ජනතාව අතරට යන්නේ අයුක්තිය අසාධාරණයට එරෙහි වීම මෙන්ම කිසිදු අවස්ථාවක තමන්ගේ වාසිය තම පෞද්ගලික අපේක්ෂාවන් ඉදිරියේ නොනැමුණු නිසාය.

උන්වහන්සේගේ සහභාගිත්වය බොහෝ ඉහළින් සලකන්නට දේශපාලනඥයන් භික්ෂූන් වහන්සේ මෙන්ම සියලු ලක්වාසීන් කටයුතු කළේ උන් වහන්සේගේ තිබූ මේ ගුණ මහිමය නිසාය. මේ සා කාර්ය බහුලත්වයක් ඉසිලූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දින චරියාව ගැන බොහෝ දෙනාට දැනුමක් නැත. සෝභිත හිමියන්ගේ දින පොත පෙරලා බැලුවහොත් උන් වහන්සේ කෙතරම් අවිවේකී දිවියක් ගතකර ඇත්දැයි සිතා ගැන්මට පුළුවන. දිනකට පිටුවක් බැගින් වෙන් කර ඇති දිනපොතක් උන් වහන්සේ සෑම විටම භාවිත කළහ.

දවසින් වැඩි කොටසක්ම උන් වහන්සේ වෙන් කර ඇත්තේ ධර්ම දේශනා දානමය පින්කම් සෙත් පිරිත්, පිරිත් දේශනා ආදිය වෙනුවෙන්ය.

මේ අතර විශේෂ ආරාධනා ලෙසින් එන විශේෂ රැස්වීම් දහම් පාසල් උත්සව විහාරස්ථාන උත්සව ඇතුළු බොහෝ දේ උන් වහන්සේගේ දිනපොතේ පිටු දෙක තුනකට වරක් වරදින්නේ නැත. ඒ අතර හදිසියේම යෙදෙන පාංශුකූල ආදී ආගමික වතාවන්ය. මේ සියල්ල අතුරින් වැඩිම කාලයක් වැඩිම වාර ගණනක් වෙන් කර ඇත්තේ ධර්ම දේශනා වෙනුවෙන්ය.

භික්ෂූන් වහන්සේගේ මෙන්ම සමාජයේ විවිධ තලවල සේවය කරන අයගේ ග්‍රන්ථ එළි දැක්වීම්වලට ආරාධනාවලින්ද උන් වහන්සේට අඩුවක් නැත.

මේ සියල්ල මැද උන් වහන්සේගේ කාල සටහනේ බොහෝ දිනවල උදය වරුවේ ධර්ම දේශනා දෙකකි. හවස් වරුවේත් ධර්ම දේශනා දෙකකි. සෙනසුරාදා ඉරිදා හා නිවාඩු දිනවල තත්ත්වය මිට වඩා බෙහෙවින් වෙනස්ය. පොහෝ දිනවල කතා කිරීමටවත් නිදහසක් නොමැති තරමට උන් වහන්සේගේ කාල සටහන කාර්ය බහුලය.

ඒ ධර්ම දේශනා පින්කම්ද එක තැනක නොවේ. අද දකුණේය. හෙට උතුෙර්ය. නැත්නම් උදය වරුවේ මහනුවරය. හවස ගාල්ලේය.

රාත්‍රී කීයට නිදා ගත්තත් සෝභිත හිමියන් පාන්දර පහට අවදි වීම සිරිතක් කොට ගෙන තිබුණි. ඇතැම් විට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකට සහභාගි වී විහාරස්ථානයට වැඩම කරන්නේ අලුයම් කාලයේය. පැයක් දෙකක් හෝ සැතපී සිට අලුයම 5 වන විට අවදි වීම උන් වහන්සේගේ සිරිතයි.

මේ බව දන්නා බොහෝ අය සෝභිත හිමියන් අමතන්නේ අලුයම 5.00ත් 5.10ත් අතර කාලයේය. තරමක් අපහසුවෙන් යහනේ සැතපී සිටියත් උන් වහන්සේ දුරකථනයට පිළිතුරු දීම අනිවාර්යයෙන්ම සිදු කරන්නකි. මඳ වේලාවකින් යහනින් නැගී සිට අතට හසුවන පොතක් ගෙන යහනේම වැතිර කියවීම උන් වහන්සේගේ පුරුද්දකි. එම පොත ධර්ම දේශනා පොතක් වන්නට පුළුවන. නැත්නම් ළඟදී එලි දුටු පොතක් වන්නට පුළුවන. එසේත් නැත්නම් නව කතාවක් කෙටි කතාවක් කාව්‍ය ග්‍රන්ථයක් හෝ වන්නට පුළුවන. උන් වහන්සේට අවශ්‍ය වන්නේ අවබෝධයෙන් ඒ කෘතිය කියවීම පමණකි.

ඇතැම් දිනවල සෝභිත හිමියන් පුවත්පතකට ලිපියක් ලිවීමට උදෑසන එම කාලය වැය කරති. ඒ පැයක නැත්නම් පැය එකහමාරක පමණ කාලයකි. උන් වහන්සේට ඒ සදහා වෙනත් කාලයක් දිවා කාලයේ සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත.

අලුයම 6.00 පමණ වන විට නැත්නම් යන්තම් හිරු උදාවන විට උන් වහන්සේ ඉදලක් ගෙන ගෙන විහාර මංපෙත් ඇමදීම පිණිස වැඩම කරති.

විහාරස්ථානයේ කොපමණ ගිහි පැවිදි පිරිසක් සිටියත් සාමණේර හිමිවරුන් සිටියත් සෝභිත හිමියන්ට ඒවා වැඩක් නැත. උන් වහන්සේ ඉදල ගෙන ඇමදීමට වැඩම කිරීම අනිවාර්යයෙන්ම සිදු වන්නකි. ඒ සදහා උන්වහන්සේ විනාඩි 45කට වැඩි කාලයක් ගත කරති. මේ ඇමදීම සිදු නොවන්නේ උන් වහන්සේ විහාරස්ථානයේ නොසිටි අවස්ථාවකදී හෝ අලුයම දුර බැහැර ගමනක් වැඩම කිරීමට ගමනක් තිබුණහොත් පමණි.

විහාර මංපෙත් ඇමදීමෙන් අනතුරුව ශිෂ්‍ය හිමිවරුන්ද සමග විහාරයට ගොස් බුද්ධ වන්දනාව අනිවාර්යයෙන්ම සිදු කිරීමට සෝභිත හිමියෝ කටයුතු කළහ.

උදෑසන දානය ගෙනා අවස්ථාවන්හිදී දායකයන්ට පින්දීමට සෝභිත හිමියන්ම දංගෙට වැඩම කිරීම සාමාන්‍ය සිරිතයි. දහවල් විහාරස්ථානයේ වැඩ සිටියහොත් උන් වහන්සේ අනිවාර්යනේම පින් දිමට වැඩම කරති. දායකයන් විහාරස්ථානයේ හාමුදුරුවන්ට දානය ගේන්නේ බොහොම භක්තියකින් අපි ඒකට නිසි ගෞරවය දක්වන්න ඕන. මේ සෝභිත හිමියන්ගේ මතයයි.

දානය ගේන අයට පින් දෙන්න මම ගියොත් ඒ අයගේ හිත සතුටු වෙනවා, ඒකත් ඒ ඇත්තන්ට ලොකු දෙයක් මෙය සෝභිත හිමියන් නිරතුරුවම පැවසූවකි.

එහෙත් පස්වරු කාලයේ සහ රාත්‍රියේ උන් වහන්සේගේ දින චරියාව තරමක් ව්‍යාකූලය. විශේෂයෙන්ම ධර්ම දේශනා ආදිය සඳහා වැඩම කළ යුතු හෙයින් රාත්‍රී කාලයේ ශිෂ්‍යහිමිවරුන් සමග විහාරස්ථානයේ වතාවත්වලට සහභාගි වීමට උන් වහන්සේට ඉඩක් නොලැබෙන තරම්ය. එහෙත් බුද්ධ වන්දනාව ශිෂ්‍ය හිමිවරුන් විසින් අනිවාර්යනේම සිදු කරනු ලැබේ.

සෝභිත හිමියන්ගේ දින චර්යාවේ යම් යම් වෙනස්කම් ඇති වන්නේ උන් වහන්සේ හමුවට පැමිණෙන අයගේ විවිධ අවශ්‍යතා නිසාය. එසේ වුවත් භාර ගන්නා ලද පින්කම් දාන මාන ආදියට නොවරදවාම සහභාගි වීම උන් වහන්සේගේ සිරිතයි.

උගුරේ ආබාධයක් ඇතිවිට පවා උන් වහන්සේ ධර්ම දේශනයට පිරිත් පින්කමට සහභාගි වීම සිදු කළහ. අඩුම වශයෙන් එම ස්ථානයට වැඩම කිරීම හෝ උන් වහන්සේ සිදු කළහ. එම වැඩම කිරීමම එම නිවැසියාට හෝ අදාළ ස්ථානයේ සිටින්නන්ගේ සතුට දනවන්නක් විය.

‘කොහොම හරි සෝභිත හාමුදුරුවෝ වැඩියනේ‘ යන්න ඔවුන්ගේ මුවින් නික්මිණි. මේ අපේ රටේ සෝභිත හිමියන්ට දැක්වූ මහත්ම වූ ගෞරවයයි.

ධර්ම දේශනයකදී පිරිත් පින්කමකදී වැනි ආගමික කටයුත්තකදී හැරෙන්නට උන් වහන්සේ සැම විටම දේශනා පැවැත්වූයේ අසුනින් නැඟී සිට වීම උන් වහන්සේගේ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි.


පසුගිය සතියෙන් - මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ - චරිතාපදානය -13