Print this Article


ජීවිතයයි සංසාරයයි

ජීවිතයයි සංසාරයයි

බුදුරජාණන් වහන්සේගේ දේශනා සූත්‍ර වශයෙන් නම් කර ඇත. එම සූත්‍ර දිග ප්‍රමාණයෙන්ද, මධ්‍යම ප්‍රමාණයෙන්ද, කෙටි ප්‍රමාණයෙන්ද අන්තර්ගත වී ඇත. බුදුපියාණන් වහන්සේගේ දේශනා මුද්‍රණ වශයෙන් දිග වුවද, ප්‍රකාශ වශයෙන් ඉතාම කෙටියි. ඉතාම ගැඹුරු අර්ථයෙන් යුක්ත කෙටි වාක්‍යයයි.

නිදර්ශන වශයෙන් අනිච්චාවත සංඛාරා නැතහොත් සබ්බේ සංඛාරා අනිච්චා යන වචන තුනේ වාක්‍ය වුවත් දීර්ඝ අර්ථයක් සහිත, දීර්ඝ ප්‍රකාශ ගණනාවක් කළ හැකි, දිග පොත් ලිවීමට හැකි පැය ගණන් විස්තර කළ හැකි කෙටි සූත්‍රයන් විශ්වාසා පරමා ඥාති වචන තුනේ තනි වාක්‍යයක් වුවද දීර්ඝ විස්තරයක් ගෙන යා හැකි කෙටි ප්‍රකාශයක්. සන්තුටිඨි පරමං ධනං දීර්ඝ විස්තරයක් කළ හැකි කෙටි ප්‍රකාශයක්. ලොකස්වාමී බුදුපියාණන් වහන්සේ විසින් සමස්ත ලෝකයම ආවරණය වන පරිදි කිසිදු පුද්ගලයෙකුට අලුතෙන් වචනයක්වත් එකතු කිරීමට අවශ්‍ය නොවන එකතු වෙලා තියෙන කිසිදු වචනයක්වත් ඉවත් කිරීමට අවශ්‍ය නොවන , ගාමිභිර අර්ථ විවරණ කළහැකි කෙටි ප්‍රකාශ දේශනා කර ඇත. අච්රං වතයං කායෝ ද එවැනි ප්‍රකාශයකි . වචන හතරක් වුවද, අනිවාර්යෙන්ම මෙම ශරීරය ටික කලකි, යන්නයි. මෙම ශරීරය වනාහීි ටික කලක් වන්නේ කෙසේද? යන්න ඔබට සිතිය හැකියි. අවුරුදු හැට හැත්තෑව සියය ගත කරන මිනිසුන් ජීවත්වන ලෝකය තුළ මෙම ශරීරය ටික කලක් බව ප්‍රකාශ කරන්නේ කෙසේද?ශරීරය වනාහි ටික කලකි. යනුවෙන් ලෝකස්වාමී බුදු පියාණන් වහන්සේ විස්තර කර පැහැදිළි කරනු ලබන්නේ, මෙම ශරීරය අපේ අපේම ශරීර සමඟ සසඳමින් නොවේ. අවුරුදු දෙතුන් සියය ගණන් ජීවත් වන සත්ත්වයන් ලෝකය තුළ සිටිනවා. එම අවුරුදු දෙතුන් සියයක් ජීවත්වන සත්වයන් සමඟ සසඳා බලන විට මිනිස් ජීවිතය දීර්ඝ කාලයක් නොවෙයි. අවුරුදු හාරසියය, දෙසියය, එකසිය පනහ, එකසිය හැත්තෑව ජීවත් වන සත්වයන් සමඟ සසඳන විට මිනිස් ජීවිතය ටික කලකි. ලෝකය තුළ තිබෙන්නාවූ දිව්‍ය ලෝක තුළ බ්‍රහ්ම ලෝක තුළ කල්ප ගණන් ජීවත්වන සත්වයන්ගේ ආයුෂත් දිව්‍ය ලෝකවල ජීවත්වන දෙවිවරුන්ගේත් බ්‍රහ්ම ලෝකවල ජීවත්වන බ්‍රහ්මයන්ගේත් වයස සමඟ සසඳා බලද්දී මෙ ම ශරීරය ටික කලකි. සමහර අවස්ථාවලදී අපගේ ගෙවත්ත තුළ තිබෙන ඇතැමි ගස් අවුරුදු තුන් හාරසියයක් තියෙනවා, වෙන්න පුළුවන්. නිවස අවුරුදු දෙසියයක් පමණ ද විය හැකිය. එම නිවසෙහි ගඩොලක් සමඟ සසඳා බැලුවත් ශරීරය බොහොම ටික කලයි. ඒ හැම ශරීරයක්ම මහා දීර්ඝ කාලයක් පවතිනවාය කියලා හිතේ තබාගෙන සිටීම මුළාවකි. අඩියක් මනින විට, අඩියක්, ටික දුරක් වුණාට සැතපුමක් අඩියකින් මැන්නොත් අඩි ගොඩක් තියෙනවා. ඒ වගේ මෙම සංසාරය තුළ එක අවස්ථාවක් තුළ පමණක් එක ශරීරයක්, පමණක් අප ළඟ තබාගෙන ජීවත්වෙයි. එය ජීවිතය නමින් හඳුන්වනවා. එම ජීවිතයට ආත්මභාවයක් තියෙනවා. සංසාරය යනු එවැනි ජීවිත විශාල ප්‍රමාණයක එකතුවක් බව ඔබ අවබෝධ කරගත යුතුයි.

මේ ලෝකය තුළ ඉපදුන අප සැම දෙනාම ඉපදුන සෑම වාරයේදීම අවුරුදු සියය ගණනේම ජීවත් වුවා නම්, ක්‍රි. ව. පළමු වන සියවසේ පළමු වැනිදා සිට මේ වන තෙක් ශරීර කීයක් නම්, තිබිය යුතුද? ක්‍රි. ව. පළමු සියවසේ සිට විසිවන සියවස වනවිට සියයේ ඒවා විස්සක් ගෙවා අවසානයි. ක්‍රි. ව. පළමු වන සියවස යනු වළගම්බා රාජ සමයයි. ක්‍රි. ව. පළමු වන සියවසේ සිට මේ දක්වා අප ඉපදී ඇති ප්‍රමාණයට අනුව ශරීර අවුරුදු සියය ගණනේම තබාගත්තා නම්,මේ වන විට අඩුම වශයෙන් ශරීර විස්සක් වත් තිබිය යුතුයි. එසේ බලාගෙන යන විට ක්‍රි. ව. පළමු වන සියවසේ සිට මේ දක්වා ශරීර විස්සක් තිබුණා නම්, මෙම ශරීරය ආරම්භ වූයේ වළගම්බා රජ කාලයේ සිට නොවෙයි. වළගම්බා රජ සමයේ සිට ජීවත් වූ අපගේ ශරීරවල ජායාරූප තිබුණා, නම් එම ජායාරූප පේළියට තැබුවිට ජායාරූප විස්සක් තිබිය යුතුයි. එම විස්ස ශරීර විස්සක් වුවද, ඔහු එකම පුද්ගලයකු බව ඔබ වටහාගත යුතුයි. සංසාරය පටන් ගන්නේ වළගම්බා රජ සමයට පෙර සිටයි. අඩුම වශයෙන් වළගම්බා රජ කාලයේ සිට අප ජීවත්වූ අපගේ ශරීරවල ජායාරූප එක්කාසුකර ගත හොත් එය තබා ගැනීමට අපගේ ගෙවල් ඉඩ මදිවෙයි. මීට අවුරුදු සියයකට පෙර කවුරු හෝ මැරුණ පුද්ගලයකු වෙනුවෙන් කිසියම් ස්ථානයක සොහොනක් සාදා තිබෙනවා නම්, එම සොහොන වෙටිට සුද්ද පවිත්‍ර කර තීන්ත ආලේප කරමින් සුදුවැලි අතුරමින් පහන පත්තු කරනවා. ඇතැම් විට සොහොනට වඳිනවා. සමහර විට මෙම සොහොන මීට අවුරුදු ගණනාවකට පෙර අපේම සොහොන ම විය හැකිය. අප ශරීරය අතහැර මරණයට පත්ව, නැවත උපතක් ලබා වෙන ශරීරයක් ලබාගෙන ජීවත්වෙලා, එම ශරීරයත් අතහැර මරණයට පත්ව නැවත උපතක් ලබා ජීවත් වූ වා නම්, අප බිය වන සොහොන ඇතැමි විට අපේම සොහොන විය හැකියි. සමහර විට තීන්ත ආලේප කර ඇත්තේද අපේ සොහොනේම විය හැකියි. ශරීරවල ස්වභාවය එයයි. තව අවුරුදු පනහක් යන්න පෙර අප නැවත වතාවක් වෙනත් ශරීරයක් ලබාගෙන එම සොහොන හදපු වත්ත තුළම නැවත ඉපදිය හැකිය. ශරීරය අතහැර අතහැර යන ගමන සංසාරයයි. ජීවිතය යනු එකක් මිස සංසාරය නොවන බව ඔබ අවබෝධ කරගත යුතුයි. අඟල් ගොඩක් එකතු වූ විට අඩියක් වෙයි. එමෙන් ශරීර ගොඩක් එකතු වීමෙන් සංසාරය හැදෙයි. එම ශරීරය ලබාගනිමින් අතහරිමින් නැවත ලබාගනිමින්, අතහරිමින් යන ගමන සංසාරයයි.

ඔබ කල්පනා කළ යුතු කාරණාව එයම නොවෙයි. මෙම ආත්ම භවයේ එක ශරීරයක් ලබාගත්තා නම්, එම ශරීරය ක්‍රමයෙන් වර්ධනය වී කාලයක් සමඟ ලෙඩ වෙලා අතහැර යනවා. ඉපදුන ගමන් චූටි ලස්සන ශරීරයක් ලබාගෙන ටික ටික ලොකු වෙලා අවසානයේ එම ශරීරයත් දිරාපත් වෙනවා. ඊට පසු එය අතහැර දමනවා. නැවත තවත් ශරීරයක් ලබාගන්නවා. එයත් ඒ ආකාරයෙන්ම වර්ධනය වෙලා යෞවන භාවයට පත්වෙලා විවාහ ප්‍රාප්ත වෙලා ගේ දොර ඉඩකඩම් හැදුවා, දරුවන් හැදුවා වයසට යාමත් සමඟම එම ශරීරය අතහැර දැමුවා.මේ ආකාරයට මෙම ගමන සංසාරය තුළ ගමන් කරයි. සළකා බැලිය යුතු ප්‍රශ්නය එය නම්, අනිවාර්යෙන්ම අතහැර දමන්නාවූ ශරීරය වෙනුවෙන්ම පමණක් නම්, ජීවිතය සැළසුම් කරන එකේ තේරුමක් නැහැ. මීට අවුරුදු සියයකට පෙර ශරීරයක් තිබුණා . එම ශරීරයට ජායාරූපයක් තිබුණා. හැදුනුම්පතක්ද , බැංකු ගිණුමක්ද, ඉඩමක් කඩමක්ද, හරකාබානද,ස්වාමිපුරුෂයකු හෝ භර්යාවක ද දරුවන් ද සිටිය හැකියි. එම ශරීරය නැති වීමත් සමඟම එම සියල්ලම ඉවත්ව යනවා. එවගේම මෙම ශරීරයටත් අයිති දේවල් බොහොමයක් තියෙනවා. මෙම ශරීරයටත් අම්මෙක්, තාත්තෙක් . දූ පුතුන්, ස්වාමිපුරුෂවරු භාර්යාවරු සහෝදර සහෝදරියන් සිටිනවා. මෙම ශරීරයට තනතුරක් තියෙනවා. විභාග සහතික තියෙනවා., වුණාට ශරීරය මැරුණ ගමන් මෙම සියල්ල අවලංගු වෙලා නැවතත් මැරිලා ගිහින් චූටි ශරීරයක් සමඟ ඉපදුන විට පෙර කී කිසිදු හැදුම්පතක නොම්මරයක් වලංගු නැති නිසා ඒ ශරීරයට පෙර කී කිසිදු දෙයක් අයිතිවන්නේද නැහැ.මීට පෙර අපට බොහෝ ඉඩකඩම් හිමි වී තිබුණාට දැන් ඒවා කොහේද? ගෙනාවෙත් නැහැ. මීට පෙර දෙමවිපියන් , ස්වාමිපුරුෂවරු භාර්යාවරු දූ දරුවන් නෑදෑයන් අපට හිටියාට ඒ අය දැන් නැහැ. අලුතෙන් ශරීරයක් ලැබුණ ගමන් එතැන් පටන් අලුතෙන් සියල්ලම නැවත ලබාගත යුතුයි. ඉඩකඩම් , ගේ දොර , දුවා දරුවන් සියල්ලම නැවත අලුතෙන් ලබා ගත යුතුයි. ඒවා සියල්ලම ශරීරයට පමණක් සම්බන්ධතා තිබෙන දේවල් වෙයි. නිවන් දකින්නේත් එම ශරීරය නොවන බව ඔබ වටහා ගත යුතුයි. නිවන් දකින්නේ සිතයි.

ඉතිරි කොටස පොසොන් පුර අටවක (ජුනි 12 ) පත්‍රයේ පළ වේ