Print this Article


පහන් සිතක කවි

නමදිමි බුදුරුවන

අසරණ සතුන්වෙත සසරේ දුක් විඳින
අපමණ දයා කරුණාවෙන් හද පිරුන
සපැමිණි බුදුබවට ගෞතම බුදු රුවන
මුදුනත් තබා වඳිනෙමි මේ උතුම් දින

දැකලා පෙර නිමිති කළ කිරිලා සසර
පතලා පෙරුම් බුදුවූ හිමි සිවන්කර
දෙසලා දහම් දුරුකළ ලොව ගණඅඳුර
නඟලා දොහොත් වඳීනෙමු සිත එකඟ කර

සුන්දර වදන් පවසා හිත වැඩ සෑදූ
සුන්දර ගමන්මඟ අම නිවනට පෑදූ
ගින්දර නිවා දුගතියේ සිසිලස වීදූ
සුන්දර සුගත මාහිමි නමදිමි සාදූ

සසරින් එතරකර සැනසුම ලබාදෙන
සදහම් මිහිර විඳ විඳ සිත දරාගෙන
දෑතම නඟා හිසමුදුනේ තබාගෙන
වැඳලා සතුටුවෙමු අමසුව පතාගෙන


වඳිමු අපිත් මොනරාගල බුදු පිළිමේ

සුන්දර කඳු වළලු මැද වැඩ හිඳිනා පිළිමේ
බොදු දරුවන්ගෙ අදහසකට නෙළු පිළිමේ
ලෝ බොදු දනගෙ පින් කෙත වූ බුදු පිළිමේ
මේ මොහොතෙත් වඳිමු මොණරාගල පිළිමේ

බාමියන් බුදු පිළිම වැනසු දුක දැනුණා
බොදු දන සැමගෙ නෙතු කඳුළෙන් පිරුණා
අමරමෝලි නාහිමි හට මෙය පෙනුණා
මහ ගල්තලාවක බුදු හිමි රුව මැවුණා

සිරිලක සිව් කොණින් බොදු දන පැමිණෙන්නේ
සිහිකොට බුදු ගුණම පිළිමය වඳින්නේ
විශ්මිත ගල් වඩුවො හිමි රුව නෙළන්නේ
වැඩලා වගෙයි හිමි මොණරාගල අරණේ


පන්සාළිස් වස් සැනසූ තුන් සිත

ජාම්බු නද පැහැ බෝසත් සිරුරේ
සුගන්ධනී රැස් මාලා පැතිරේ
සප්ත පද්ම මත සිරිපා වැතිරේ
සිහ සර තුන්ලෝ ගගනත විසිරේ

චක්‍ර වර්ති භූ පති වර වරදන
හෙලලු ප්‍රභාත කේටය දුගදන
අෂ්ට අටඟි මග දෙඅන්ත දිනමිණ
ගයා බෝධි මුල සැකි සිහ බුදුවින

චතුර් ආර්ය සත් ධර්ම සුදේසිත
පන්සාළිස් වස් සැනසූ තුන් සිත
අසූ වයස් වැඩ සාසන විරචිත
පිරි නිවුණා මුණි රාජ තිලෝනෙත


වඩමු මෙත් සිල් ගුණේ

දියත කප් සුවහසක් හිස් වූ බදු පහස යළි උදා වන්න ට
තුසිත දෙව් ලොව් නික්මි සන්තුස් දෙව් රඳුන් මනුලොව වඩින්න ට
දිගත හමනා සුවඳ සල් පිපි ලුම්බිනියෙ සත් පියුම් ගොන්න ට
උපත බෝසත් ලොව එකළු කර වෙසක් සඳ නිලඹර නැගෙන්න ට

ගලන සඳකැන් බෝ මළුව පිස අවිඳු ඝනදුර ලොවෙහි දුරල න
පමණ නොකලැකි ගැඹුරු දැකුමින් තිලොව ඇති තතු පසක් කරමි න
මිලින පින් සිත් පුබුදුවා මුදවන්න වල්මත් සසරෙ ලෝ ද න
නිවෙන ලොව්තුරු බුදු බවින් හිමි ලැබුවෙ අභිසෙස් මේ උතුම් දින

මගේ අරි අට රහත් උතුමන් සසුන්කෙත රන්කරල් පීදු න
අගේ අමිල වූ දහම් යදමින් සිව් අපා දොරඟුල් වැසුවෙ න
යුගේ පන්සාළිස් වසක් බුදුකිස නිමාකොට කුළුණු වෑහෙ න
මගේ භගවත් පියා පිරිනිවි වැඩියෙ සෝබර වෙසක් පෝදි න

කළණ මිතු සහ දහම් ඇසුරින් දිවියෙ සිල් ගුණ දහම් ගළප න
දුවන සිත් සතිපට්ඨාන සිව්පිය උරුම බිම්කඩ රනින් සැදැහෙ න
නිවන පෙන්වූ ගොයුම් ගොත් බුදු සසුනෙ සව්වනි, පුරනු මැන පි න
සරණ තෙරුවන් ලැබී සැනසුම සැමට වේවා මේ උතුම් දි න


උතුම් දවස

තවමත් ගෙනෙන ලද අප වෙත අමා පැණි
ඉවතට ඇද දමා හද තුළ ලසෝ ගිනි
පවතින ගැටලු විසඳන මඟ කියා දුණි
සුවපත් කළේ හිමි සම්බුදු රජාණෙනි

නිලඹර උසට ඉදිකර නෙක රජ තොරණ
පෙළ පෙළ වැදී නරඹන සත ලද සරණ
හෙළ බොදු අපට වැදගත් වෙන සිරි කිරණ
බලයක් මහා පවතින හැටි ලක් දෙරණ

සිසි පුන් දෙස බලා අරමේ සිට අහසේ
ඇසපිය නොහෙළෙමින් අදිටන් මැද රහසේ
විසිරෙන සුවඳ දුම්දාරා රැස් දහසේ
කිසි සත්වයෙක් නැත නොමගට යන මහසේ

ලොබ ගති පෙර තිබූ දන කැල අද පිනට
සුව වැඩවලම නියැලෙන සතියකි දැනට
හබයක් නොමැත දම්බිඳු දෙන දෙස වනට
බැබළෙන පහන් ආලෝකය හැම දිනට


සිරිපා තඹර

ගෝර සසර සාරාසැකි කප් සුවහස්
පාර මිතා පුරමින් අති දිගු කල්ගොස්
මාර පරාජය කර බුදුවුණ සමතැස්
පාර කියා දුණි සසරින් වන නිදහස්

සිව් මහ දිවයිනෙහි වසිනා එක පැහැර
ලොව් තුරු දම් වැසි වස්වා අති මදුර
සිව් විසි අසැකියක් කළ සසරින් එතෙර
ගව් තම බුදු පියේ නමදිමි පා තඹර

බගවන් බුදු පියා මහ මග වඩින කොට
සියපත් පැන නැගුණි රියසකසා එවිට
ඇස් ඇත්තෝ දුටහ බුදු මහිමය හොඳට
නැත උත්තමයෙක් මුනිසරි තුන් ලොවට

සියලුම අරුත් ලොව පවතින තුන් කල්හි
සිය අතැඹුල පරිදි දැන ගත් හැම කල්හි
සිය පණ එකට සුපිපුන තුන් දිය විල්හි
දිය නා සමිඳ කිමිදෙමි ගුණ ගඟු ලැල්හි


සමාධි ගතවී

වෙසක් පෝය සඳ එළියේ
වෙහෙරේ බුදු රැස් විහිදේ
දොහොත් මුදුන් දී අප සැම
සාධු කියා වැන්ඳා
විහාරයේ ඇති ලස්සන
බුදුහිමි වැඩ ඉන්නා රුව
දොහොත් මුදුන් දී වඳින්න
අප පින්කර තිබුණා
බෝ සමිඳුගේ බෝ සෙවණේ
සුදුට සුදේ සිල් ඇත්තේ
සඳපානේ බෝ සිසිලේ
සමාධි ගත වී