Print this Article


පූජාච පූජනීයානං

කළුගල ශ්‍රී රතනජෝති නා හිමි

ස්‍යාමෝපාලි නිකායික ශ්‍රී රෝහණ පාර්ශ්වයට අයත් රජරට වනාවස සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති කර්මස්ථානාචාර්ය ත්‍රිපිටක විශාරද උපාධ්‍යාය කළුගල ශ්‍රී රත්නජෝති නාහිමියන් වහන්සේ අවුරුදු 80 ක් ආයු වළදා 2016 පෙබරවාරි 23 වන දින අපවත්වූ සේක.

තෙමස් පූර්ණ පින්පැමිණවීම වෙනුවෙන් 2016 මැයි මස 22 වන දින සවස 6.00 ධර්ම දේශනය පවත්වා 23 වන දින දහවල් ස්වාමින් වහන්සේලා 60 නමක් විෂයෙහි සාංඝික දානයක් පිරිනමා අප නාහිමිපාණන්ට නිවන් ප්‍රාර්ථනා කිරීමට කටයුතු සංවිධානය කරතිබිනි.නාහිමිපාණන්ගේ ජීවිත කතාවෙන් බිඳක් හා ශාසන සේවයෙන් බිඳක් මෙහි පලකරමු.

කළුතර දිස්ත්‍රික්කයේ කළුගල ග්‍රාමයේ විසූ හපුහෙට්ටිගේ දොන් ලුවිස් අප්පුහාමි හා පැටිකිරි කෝරලගේ සෙලෝහාමි නම් දම්පතීන්ට දාව 1936 ජුනි මස 15 වන දින ජනිත වූ මෙම කනිටු පුතණුවන් හපුහෙට්ටිගේ දොන් ගුණදාස නමින් ප්‍රකට විය.

මගුර විදුහලේ නැවතී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වාම අධ්‍යාපනය ලැබීය. කළුගල ආරණ්‍ය සේනාසනයෙහි පැවිදි දිවියට අවශ්‍ය මූලික බණ දහම් ප්‍රගුණ කරමින් 1957 මැයි මස 29 වන දින කළුගල ආරණ්‍ය සේනාසනයේ දී පැවිදි බිමට පිළිපන්හ. පලපොත පඤ්ඤාසාර නා හිමියෝ උන්වහන්සේගේ ආචාර්යවරයාණන් වහන්සේ මෙන්ම උපාධ්‍යායන් වහන්සේ ද වූහ.

උපසම්පදාවට අදාළ බණ දහම් ප්‍රගුණ කර 1958 ජුනි 30 වන දින ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාර උපෝෂථ පුෂ්පාරාම මහා විහාරයේ දී උපසම්පදාව ලැබූහ. කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූහ. 1968 වර්ෂයේ සිට 1971 වර්ෂය දක්වා වර්ග පටිපාටියෙන් ත්‍රිපිටක ධර්මය හා සිංහල, පාලි,සංස්කෘත යන භාෂාත්‍රය මැනවින් ප්‍රගුණ කළ නාහිමිපාණෝ දීප්තිමත් ශිෂ්‍යවරයෙකු ලෙස ත්‍යාග සහතික පත්‍ර හා ශිෂ්‍යත්ව ලබා ගැනීමට ද සමත් වූහ.

මේ කාලය තුළ උන්වහන්සේ පට්ඨාන ධර්ම සභාවේ නිර්මාතෘ අභිධාර්මික වාගීශ්වර යාගොඩ ධර්මප්‍රභ නාහිමිපාණන් වහන්සේගේ ඇසුර ලබමින් වසර 18 ක් අභිධර්මය ඉගැන්වීමේ ද යෙදුණහ. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දී ගිහි පින්වතුන් උදෙසා අභිධර්මය සහ පට්ඨාන ධර්මය ඉගැන්වීමේ කටයුතුවල යෙදුනේ අගනුවර ජනතාවගේ ප්‍රසාදය ද දිනාගනිමින්ය. අනුරාධපුර ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ අභියස වාර්ෂික පට්ඨාන ධර්ම සජ්ඣායනයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස ඉතා උද්‍යෝගයෙන් කටයුතු කළ උන්වහන්සේ පට්ඨාන ධර්ම සභාවේ උප සභාපති ධුරයට ද පත්වූහ. යාගොඩ ධර්මප්‍රභ නාහිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් පසු එම පට්ඨාන ධර්ම සභාවේ අනුශාසකත්වය ලැබූ ශාස්ත්‍රපති කොරතොට වෙස්සභු ස්වාමින් වහන්සේට සහයෝගය ලබා දෙමින් එම සේවය ඉදිරියට ගෙන යාමට ක්‍රියා කළහ.

උන්වහන්සේගේ ශාසනික සේවය වඩාත් පුළුල්ව හා විධිමත්ව සිදුකිරීමට උන්වහන්සේ ඔරුවල ගම් පියස තෝරාගත්හ. 1982 දී ඉතා කුඩාවට පොල් අතු පැලකින් ආරම්භ කළ ඔරුවල නිසංසල පරිසරයක පිහිටි ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානය බොහෝ දෙනාගේ සිත් සතන් සංසිඳවන පුණ්‍ය භූමියක් බවට පත් කිරීමට උන්වහන්සේට වැඩි දිනක් ගත වූයේ නැත. මේ වන විට භාවනා ශාලා (පධානඝර) කුටි සක්මන් මළු සහිත විහාර අංගෝපාංගයන්ගෙන් සමන්විත දර්ශනීය භාවනා අසපුවක් මෙහි නිර්මාණය වී ඇත. මේ පුණ්‍ය භූමිය තුළ නේවාසික සති භාවනා පුහුණු වැඩසටහන් ආදී භාවනා වැඩසටහන් පැවැත්වීමෙන් විශාල පිරිසකට ආධ්‍යාත්මික සුවය ලැබීමේ තෝතැන්නක් බවට පත්කර ඇත.

 


නාරන්දෙණියේ ධම්මාවාස හිමි

දක්ෂිණ ලංකාව ආලෝකවත් කළ යතිවර පරපුරේ වර්තමානය නියෝජනය කරන නාරන්දෙණියේ ධම්මාවාස හිමියෝ, කඹුරුපිටිය බොරළුකැටිය බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කර සැමගේම චිත්තාකර්ෂණීය බෞද්ධ විහාරස්ථානයක් කිරීමට උන්වහන්සේට ගත වුණේ දශක දෙකකටත් අඩු කාලයකි.

සකලාංග සම්පූර්ණ වූ එම පුණ්‍ය භූමිය තුළ අධ්‍යාත්මික නිකේතනයක් කිරීමට උන්වහන්සේට හැකි වූයේ පවත්නා සංඝ සෝභන ගුණයත් උත්තුංග මානුෂිකත්වයත් නිසාමය. දීම, පරිත්‍යාගය උසස් ගුණයක් බව දත් ධම්මාවාස හාමුදුරුවෝ ආගන්තුක සද්කාරය ඉටු කරන්නේ උතුම් පිරිපුන් ගුණයෙනි. ඒ නිසා උන්වහන්සේ කීමෙහි බිණීමෙහිදී රට ම හඳුනා ගත් තෙරනමකි. ජාත්‍යන්තරයේද උන්වහන්සේ හඳුනා ගත්තේ මෙම මිහිරියාව නිසාමය.

උගත් නූගත් බාල මහලු සැමදෙනා හමුවේ ධම්මාවාස හාමුදුුරුවෝ සැබවින්ම අනුශාසකයෙකි. පෙර ගමන්කරුවෙකි. ජන ප්‍රසාදය ලබන උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන දහම් පාසල ප්‍රදේශයේ බොදු දරුවනට මහඟු දායාදයකි. සෑම දරුවෙක් ම උන්වහන්සේ සමඟ වචනයක් කතා කිරීමට රුචි වන්නේ හදවතේ නැගෙන අව්‍යාජ සෙනෙහස නිසාවෙනි. මුවඟ නැගි සිනහව දුටුවන් පහන් කරවන පුණ්‍යවන්ත භාවය උන්වහන්සේ උපතින් ම ලද දායාදයකි. උන්වහන්සේ පරෝපවාද විරහිතව කරනු ලබන ලෝක ශාසනික සේවාව අමිලය. දායක කාරකාදීන්ගේ කටයුතු කිරීමේ දී කිසිදු උදාසීනත්වයක් නැති අතර එම කටයුතු අවංකව ඉතාම ඉහළින් ම ඉටු කර දීමට සෑම උත්සාහයක් ම ගනු ලැබේ. විහාරස්ථානයට යන එන සැමට පි‍්‍රය ජනක සිනහවකින් පළමුව සංග්‍රහ කරන අපේ හාමුදුරුවන් අනතුරුව ගිලන්පස, තේ ආදී සංග්‍රහයන් පවත්වන්නට නිරතුරුව සූදානමින් සිටිති. කාර්ය සංවිධානයෙහිලා උන්වහන්සේ සතු කුසලතාව තවකෙනකුට නැති තරම්ය. පිරිස් කළමනාකරණයෙහිදී දක්වන ක්‍රියාකාරීත්වය විශ්මිතය. බුදුරදුන් වදාළ පරිදිම අපැහැදුණු අය ප්‍රසාදයටත් ,ප්‍රසාදවන්තයන්ගේ වැඩි දියුණුවටත් ධම්මාවාස හාමුදුරුවෝ ජීවමාන සංකේතයකි.

දිවිගමනේ 63 වන වියට පා තබන නාරන්දෙණියේ ධම්මාවාස හිමියෝ මේ වන විට ශාසන භාරධාරී මහ තෙර නමකි. ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභියෙකු වන උන්වහන්සේ ප්‍රධාන කර්මවගාචාර්යන් වහන්සේ නමක්ද වෙති. ප්‍රාදේශීය සංඝ සාමගි‍්‍රය සඳහා අපරිමිත වෙහෙසක් කරන අතර පොදු ජන යහපත සඳහා ප්‍රදේශයේ ප්‍රධාන අනුශාසකයන් වහන්සේ නමක් ද වෙති. කඹුරුපිටිය කේන්ද්‍රකර ගනිමින් ධම්මාවාස හාමුදුරුවන් කරනු ලබන ශාසනික මෙහෙය ජාතික හා ජාත්‍යන්තර තලය දක්වා විහිදී ඇත. එම සේවාවන් තවදුරටත් කරගෙන යාම සඳහා උන්වහන්සේට නීරෝගී බවත්, චිර ජීවනයත් ලැබේවායි ප්‍රාර්ථනා කරමු.


මොරතිහ තිලකසිරි නා හිමි

1948.01.28 කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාදුරේ කෝරළයේ වෑ උඩ විල්ලි හත්පත්තුවේ මොරතිහ ග්‍රාමයේ ඩී.ඒ. පොඩිනේරිස් අප්පුහාමි හා එල්.ඩබ්.කරලැයින් හාමිනේ යන දම්පතීන්ගේ පුතණුවන් ලෙස උපත ලද මොරතිහ තිලකසිරි හිමියන්ගේ ගිහිකල නාමය වූයේ ගුණතිලක අප්පුහාමි නාමයයි. එවකට රිදී විහාර පාසැල නමින් ප්‍රකටව පැවැති රඹුකන්දල විද්‍යාලයෙන් හා මොරතිහ කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

රිදී විහාර පාර්ශ්වයට අයත් ගණේයාය ශ්‍රී සිද්ධාර්ථාරාමාධිපති කවිසිගමුවේ රේවත මාහිමියන්ගේ ඇසුරෙහි හැදී වැඩී, මොරටුව රාවතාවත්ත භාවනා මූලස්ථානාධිපතිව වැඩ සිටි ආභි ධම්මික පණ්ඩිත දොඩම්පහළ කවිධජ මා හිමියන්ගේ ආචාර්ය උපාධාය්‍යත්වයෙන් 1964.11.11 දින පැවිදි බිමට ඇතුල් විය. මූලික පැවිදි අධ්‍යාපනය ලැබීම සඳහා එවකට අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත බේරුවල සිරිනිවාසාභිධාන මාහිමියන්ගේ අධිපතිත්වයෙන් පැවැති කළුතර ශ්‍රී පුලිනතලාරාමස්ථ ශ්‍රී සුමංගල පිරිවෙනට ඇතුළත්ව ප්‍රාරම්භය දක්වා අධ්‍යාපනය ලැබූහ.

1968 ගුරු දේවයන් වහන්සේලාගේ අපවත්වීමෙන් පසු මීගොඩ භික්ෂු මධ්‍යස්ථානයට වැඩමවා අනතුරුව හෝමාගම ශ්‍රී විද්‍යාවර්ධන පිරිවෙණේ අධ්‍යාපනය ලැබූහ. 1968.07.01 දින වන විට විසි වයස් සම්පූර්ණව සිටි බැවින් අම්බලංගොඩ මාදම්පාමෝදර උදකුක්ඛෙප බද්ධ සීමා මාලකයේ දී බේරුවල සිරිනිවාසාභිධාන මාහිමියන්ගේ උපාධාය්‍යත්වයෙන් උපසම්පදාව ලැබූහ. බදුල්ල මයිලගස්තැන්න බෝධිරුක්ඛාරාමාධිපතිව වැඩ විසූ කම්මට්ඨානාචාර්ය දිඹුල්ගහගෙදර ඤාණවිමල මාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් බවට පත්වූහ.

1970 මැයි 07 දින බදුල්ල, මයිලගස්තැන්න බෝධිරුක්ඛාරාමයට වැඩමවන ලදහ. ඤාණවිමල හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව ගුරු දේවයන් වහන්සේ වූයේ කම්මට්ඨානාචාර්ය බෝලියද්දේ මේධානන්ද හිමිපාණෝය. බදුල්ලේ කයිලගොඩ ශ්‍රී සද්ධම්මානන්ද පිරිවෙණින් ප්‍රාචීන විභාග අවසන් කල තිලකසිරි හිමිපාණෝ උඩුවර ශ්‍රී සුධර්මාවාස පිරිවෙණට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලැබූහ. උසස් අධ්‍යාපනය ලබන කාලයේ දී පට්ටියගෙදර කිරින්ද විහාරස්ථානයේ සිට ඒ සඳහා වැඩම කළ බැවින් විහාරාධීපතිත්වයද උන්වහන්සේට හිමිවිය.

කිරින්ද ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානයේ විහාර මන්දිරයත්, සංඝාවාසයත්, බෝධි ප්‍රාකාරයත් ඉදි කිරීමට ක්‍රියා කළහ. ග්‍රාමයේ මංමාවත් ඇතුළු පොදු පහසුකම් ලබා ගැනීමට මූලිකත්වයෙන් කටයුතු කළහ. ශ්‍රී මේධානන්ද දහම් පාසල, ශ්‍රී තිලක සිඟිති පාසල, විශාඛා කුළඟන සමිතිය, ශ්‍රී සිද්ධාර්ථ තරුණ බෞද්ධ සමිතිය සහ සිරිසර යෞවන සමාජය ආරම්භ කිරීම ශාසනික මෙහෙවරෙහි සුවිශේෂ අවස්ථාවන්ය.

විහාරස්ථානයේ දියුණුව පිණිස කටයුතු කරන අතරම බාහිර උපාධි විභාගය හා පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව ගුරු පුහුණු විභාගයද සමත් වූහ. 1979 වසරේ සිට බ/ ලුනුගල්ල විද්‍යාසාගර පිරිවෙණෙහි පරිවෙණාධිපති, උප පරිවෙණාධිපති තනතුරු දරමින් ගුරු සේවය තුළින් විශාල ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසක් බිහි කිරීම උන්වහන්සේගෙන් සිදු වූ අධ්‍යාපන සේවාවයි.

තිලකසිරි නා හිමියෝ කාව්‍යකරණයේ අති දක්ෂයෙකි. කාව්‍ය ග්‍රන්ථ කිහිපයක්ම රචනා කරමින් ඒ බව සනාථ කර ඇත. ‘හද විමනේ බිතු සිතුවම්’ නමින් එළි දක්වන ලද කාව්‍ය සංග්‍රහය තුළින් නිර්මාණශීලීත්වය ප්‍රකට විය. සංදේශ කාව්‍යයක්ද රචනා කර ඇතත් එය මුද්‍රණයට පත් වී නැත. උන්වහන්සේ ශික්ෂාකාමීය. විනය ගරුකය. සුහදශීලීය. මිත්‍රශීලීය. ශාසනික ප්‍රගමනයට උචිත ලෙස ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තැනූ ආදර්ශමත් සංඝ පීතෘවරයන් වහන්සේ නමකි. ශාස්ත්‍රපති මහකුඹුරේ පදුමසිරි හිමියන් තිලකසිරි නා හිමිපාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් වහන්සේ ය.

1998 දී උන්වහන්සේගේ ශාසනික සේවාවන්ද අගය කරමින් කම්මට්ඨානාචාර්ය බෝලියද්දේ මේධානන්ද තම ගුරු දේවයන් වහන්සේගේ යෝජනාවකින් ඌව අමරපුර නිකායේ කාරක සභික ධූරයක්ද ලැබුණි. නිකායේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරමින් ජ්‍යෙෂ්ඨත්වයට පත් වූ උන්වහන්සේට නිකායේ ශ්‍රී සුධර්මවාදිනි සංඝ සභාව, ශ්‍රී කවිධජ වාචිස්සර ඤාණවිමල කීර්ති ශ්‍රී මේධානන්ද කාව්‍යශේඛර’ යන ගෞරව නාම සම්මුතිය සහිතව බෝගොඩ රිල්පොල යන කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමූහ.