Print this Article


 වසර 2322 ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 262 සපිරෙන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ උපසම්පදාව

 වසර 2322 ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 262 සපිරෙන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ උපසම්පදාව

මෙහි මුල් කොටස වෙසක් පුර පසළොස්වක පත්‍රයේ පළ විය.

ඒ වන විට බුද්ධ වර්ෂ 1882 දී හෙවත් රාජ්‍ය වර්ෂ 1339 දී සූර්යවංශාරාම මහා ධර්මරාජ ලිදෙය්‍යරජ ලක්දිවින් සංඝරාජයාණන් වහන්සේ නමක් වැඩමවාගෙන සම්බුද්ධ ශාසනය දියුණු කළ ආකාරය සුඛෝදය නුවර තිබී දැනට බැංකොක් නුවර ගෙනවුත් තැන්පත් කොට ඇති ශිලා ලිපියක දැක්වේ.

සියම් රටේ රතනපඤ්ඤ හිමියන් විසින් ලියන ලද සියම් දේශයේ වංශ කථාව වූ ජිනකාලමාලී නම් ග්‍රන්ථයෙහි හා සංඝරාජ සාධුචර්යාව, ස්‍යාමෝපසම්පදාව ආදී ග්‍රන්ථයන්හි සඳහන් වන අයුරින් ස්‍යාම දේශයෙහි බිලක රජතෙමේ සිංහල වංශික භික්ෂූන් වෙතින් බෝධීන් වහන්සේලා සිටුවීමේ ධර්ම කොටස අසා ලක්දිවින් මහාබෝධියේ දක්ෂිණ ශාඛාවෙන් බීජ ගෙනවුත් රෝපණය කරවීමේ පටන් බෝධින් වහන්සේද සියම් රටේ ප්‍රසිද්ධියට පත්වීය. අනතුරුව අනුරුද්ධ රජුද ලක්දිවට පැමිණ තුන් පිටකයත් නිරුත්ති පිටකයත් ලියාගෙන මැණික් පිළිමයක් ද ඒ සමඟම ගෙන නැව් දෙකකින් පැමිණි අයුරු සඳහන් වේ. මේ අයුරින් සිංහල වංශික භික්ෂූන් සිදු කළ උපසම්පදා විනයකර්මය, ප්‍රතිමාවහන්සේලා හා බෝධින් වහන්සේලා මෙන්ම ත්‍රිපිටකය ද ලක්දිවින් ගෙන යාමෙන් පසු දියුණුූ වු නිර්මල සම්බුද්ධ ශාසනය ස්‍යාමදේශයේ පවත්නා බව අසා මාහැඟි පඬුරු ශ්‍රී සන්නස් හා පූජා භාණ්ඩද සකස්කොට පට්ටපොල,ඇල්ලේපොල, යටිනුවර,ඊරියගම, විල්බාගෙදර, ආයිත්තාලියද්දේ යන නිලමේවරු පස්දෙනා ඕලන්ද නැවකින් සියමෙට පැමිණ අයෝධ්‍යා පුරයෙහි පරමධාර්මික රජතුමාට ඕලන්ද නැවකින් සියමෙට පැමිණ පඬුරු සන්නස් සහිතව පුද කළ මොහොතේ කරුණු විචාළ රජතෙම අපමණ සතුටට පත්ව සංඝරාජ මාහිමියන් සමඟ සාකච්ඡා කරනුයේ ලංකා ශාසනාභිවෘද්ධි වර්ධනයම ප්‍රාර්ථනය කරමින් ධර්ම විනයානුකූලව ශාසන කෘත්‍යය සාදන සාමාර්ථය,අප්‍රමාණ ධෘති, ස්මෘති වීර්ය සම්පන්න ප්‍රවර උපාලි මහා ස්වාමීන්ද්‍රයන් ප්‍රධාන වූ විනය කර්මාදියෙහි අති දක්ෂ 18 නමක් උපසම්පදා භික්ෂූන් වහන්සේ සහ 07 නමක් සාමණේරයන් වහන්සේලාද ඇමතිවරු 3 ක් සමඟ ස්වර්ණමය බුද්ධරූපයක්ද රන්පත් ඉරුවල ලියන ලද කර්මවාක්‍ය පොත, ප්‍රාතිමෝක්ෂයද, ලක්දිව අවිද්‍යාමාන ධර්මප්‍රකරණ ද, ශ්‍රී පාදස්ථානය ආදි ස්ථාන සඳහා පුදපඬුරු ද කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාට පඬුරු සහිත සන්දේශයක් රාජ්‍ය වර්ෂ 1753 දී සියම් නැවකින් සියම් පිරිස හා විල්බාගෙදර රාළ ත්‍රිකුණාමලයටද සෙසු පිරිස ඕලන්ද නැවෙන් කොළඹ ට ද එවීය.

කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා අපමණ සතුටට පත්ව පළමුව මහ පෙරහරක් පෙරමගට යවා ගොඩපල දී වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ ප්‍රධාන කොට ඇති මල්වතු අස්ගිරි උභය මහා විහාරයෙහි භික්ෂූන් හා මැති ඇමතිවරු උන්වහන්සේලා පිළිගෙන එහි නැවතී උපසම්පදා විනයකර්මය සඳහා අදාළ පෙරපුහුණු කටයුතු සිදු කෙරිණි. ඉන් පසුව ඒ ගොඩපොල නුවරින් “ඒ උන්නාන්සේලා වැඩමවාගෙන ඇවිත් අලුත් ගංතොටින් මෙගොඩ වෙන අවස්ථාවට මහත්වු රාජානුභාවයෙන් ඇමති සේන් පිරිවරා ඒ අලුත් ගංතොට කරණ ලද පරණ ශාලාවට කීර්ති ශ්‍රී රාජසිංහ මහා රාජෝත්ත්මයාණෝ වැඩමවා සක්විති රුවණක් සම්භ වුනාක් මෙන් ඒ සඟරුවන් කෙරෙහි මහත් වූ ගෞරව උපදවා දැක වැඳ සුවදුක් විචාරීමෙන් පිළිසඳර කථාකොට නිමවා අපමණ රාජෝ්ත්සවයෙන් ඒ වැඩිය උපාලි මහා ස්ථවිරාදී වූ උපසම්පන්න සැම දෙනා වහන්සේලාම යානාවලින්ම මල්වත්තේ විහාරයට වැඩමවාගෙන ඇවිත් ලැඟුම් ගෙවල් පිළිගන්නවා වදාළාය” යනුවෙන් සංඝරාජ සාධු චරියාවෙහි හා ස්‍යාමෝපසම්පදා වතෙහි සඳහන් පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා අපමණ සතුටට පත්වූයේ තමාගේ මල්වත්ත භික්ෂූන් වහන්සේ උදෙසා පුජා කරමින් භික්ෂූන් වහන්සේ උදෙසා ලැඟුම් ගෙවල්ද සාදවා උන්වහන්සේලාට මල්වතු විහාරයෙහි පෝයමළු විහාරයෙහි වැඩ විසීමට සැලැස්වීය.

රා.ව. 1753 ජූලි 15 දින ඇසළ පුර පුන්පොහෝදා මල්වත්තෙහි පිහිටුවා තිබු රාජකීය ශාලාව පොහොය සීමාවක් බවට පත්කොට මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කොට උපසම්පදාව පිහිට වූයේ යම්සේද ඒ අයුරින්ම ස්‍යාම දේශාගත උපාලි මහා ස්වාමීන්ද්‍රයන් ප්‍රධාන විංශත් වර්ගික භික්ෂූන් වහන්සේ එකී පෝය සීමාවට වැඩමවා කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් ප්‍රධාන ඇමති මණ්ඩලය සහිත සැදැහැවතුන් මධ්‍යයේ පෝයමළු විහාරයෙහි නායක ධුරය දැරූ කොබ්බෑකඩුවේ සාමණේරයන් පළමු කොටද ඒ සමගම වැලිවිට, හුලංගමුවේ, බඹරදෙණියේ, තිබ්බටුවාවේ යන සාමණේරයන් වහන්සේලා පස් නම හා අස්ගිරි විහාරයේ නායක පදවිය දැරූ නාවින්නේ සාමණේරයන්ද උපසම්පදා කොට වර්තමාන සම්බුද්ධ ශාසනයේ ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කරලීමෙන් ශ්‍රී ලංකා ධරණිතලයම අපමණ සතුටට පත්කරලමින් මහෝත්සව පැවැත්වීය.

කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා විසින් වස්විසීම සඳහා කරන ලද ආරාධනා අනුව, එකී 06 නම උපාලි හිමියන් ප්‍රධාන සෙසු භික්ෂූන් සමගම විනය කර්මාදිය සිදු කරමින් පෙරවස්විසීම් සිදුකළහ. විමලධර්මසුරිය රජු විසින් සාදා තිබු එකී රාජකීය ශාලාව අභිනවයෙන් සීමාමාලකයක් බවට සම්මත කරගත් නමුත් එය දිරාපත් වෙමින් පැවති හෙයින් බද්ධ සීමාවක් ලෙස වර්තමානයෙහි දක්නට ලැබෙන පොහොය සීමාව කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා විසින් උපාලි මාහිමියන්ගේ උපදෙස් අනුව සාදවන ලද්දකි. ඒ බව ස්‍යාමෝපසම්පදාවතෙහි 39 වන පිටෙහි සඳහන් වන අයුරින් ‘හැම දෙනා වහන්සේ සීමා මාලකය මැදට පැමිණ අත්පසු නොවෙයිහිද පළමු පරිද්දෙන් රන්පොත බලාගෙන සම්මත කර්මවාක්‍ය නොහොත් බද්ධකර්ම වාක්‍ය දෙක කියා සමාප්ත කළ කල්හි ඒ ඇසූ ලංකේශ්වර ප්‍රමුඛ රාජා රාජ මහාමාත්‍යාදීන් ඇතුළුව දහස් ගණන් සේනාව අහස පොළොව දෙක ගුගුරන්නාක් මෙන් එකපැහැර සාධුකාර දුන්හ.” මේ අයුරින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අපමණ සතුටට පත්ව කුසල රාශි වර්ධනය කළ ආකාරය සඳහන් වේ.

උපසම්පදාව පිහිටුවීමට පොහොය සීමාවක් අත්‍යවශ්‍ය වූ හෙයින් එදා මිහිඳු මා හිමියන් දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්‍රහය ලබා ගෙන පොහොය සීමාවක් සම්මත කළාක් මෙන්ම උපාලි මාහිමියන්ද කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාගේ අනුග්‍රහය ලබාගෙන සම්මත කරන ලද උපෝෂතාගාරයෙහි අද දක්වාම වසර 262 ක් මුළුල්ලේහි මහා විහාරවංශික ස්‍යාමනිකායික භික්ෂූන් වහන්සේගේ උපසම්පදාව සිදු කරලමින් භික්ෂූන් වහන්සේ සහිත රාජරාජ මහාමාත්‍යාදී සැදැහවතුන් ගේ නොමද ගෞරවයට පාත්‍රව පවතී. මේ අයුරින් ආරම්භ වූ උපසම්පදාව ආරක්ෂා කර ගැනීම සම්බුද්ධ ශාසනයේද ආරක්ෂාවයි.

‘රාජ්‍ය වර්ෂ 1756 දී දෙවන වර වැඩම වූ සියම් භික්ෂූහු වසර 4 ක් ලක්දිව වාසය කරමින් විදර්ශනා භාවනා ආදි නොයෙක් ශාසනික කටයුතු උගන්වා 300 ක් සාමණේරවරුන් උපසම්පදා කරවා සියගණන් කුලදරුවන් පැවිදි කරවා ග්‍රන්ථ විදර්ශනා ධූරයෙහි පිහිටුවා අභිනව කතිකාවතක්ද කොට පෙර මෙන්ම ඉමහත් ශාසන සංග්‍රහයක් කළහ. උන්වහන්සේලා ද වසර 4 කින් පසු ස්වකීය රටට යාමට කැමති වූවිට කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා සියම් රටේ පරම ධාර්මික රජතුමාගේ අදහස් සලකා මෙවන් ශාසනික කටයුත්තකට මුල්වූ වැලිවිට සරණංකර හිමියන්ට සංඝරාජ ධුරය රාජ්‍ය වර්ෂ 1760 දී පත්කොට සියම් දේශයෙන් පැමිණි සංඝයා වහන්සේ ඒ රටට යැවීය.”

අනතුරුව සරණංකර සංඝරාජ හිමියන්ට වස් 12 ක් සම්පූර්ණ වූ විට, බු.ව. 2307 දී හෙවත් රාජ්‍ය වර්ෂ 1765දී ලාංකීය භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම උපසම්පදා විනය කර්මය කරන ලදී. බු.ව. 2003 දී හෙවත් රා.ව. 1762 දී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමියන්ට මහානායක ධූරය කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා විසින්ම පත් කළ අතර, එම කාලයේ දීම අස්ගිරි මහා විහාරයෙහි උපසම්පදා කර්මය පටන්ගන්නා ලදී. අස්ගිරි මහා විහාරයේ මහානායක පදවිය උරුලෑවත්තේ ශ්‍රී ධම්මසිද්ධි හිමියන්ට පත් කළ අතර, එතැන් පටන් ඉංගී‍්‍රසි රාජ්‍ය තෙක්ම මල්වතු අස්ගිරි මහානායක පදවි දෙක සිංහල රජු විසින්ම පත් කරගෙන එන ලදී.

මේ අයුරින් ලක්දිව සියලුම භික්ෂූන් වහන්සේගේ නායකත්වය වැලිවිට සංඝරාජ හිමියන්ට පත් කළ කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා දිවයිනේ සියලුම වෙහෙර විහාර හා ඒවාට අයත් පූජනීය ස්ථානවල පරිපාලනය උභය මහා විහාරය මුල්කොට සලස්වමින් ඒ ඒ පන්සල්වලට සම්බන්ධ කරමින් ශාසනය චිරාත්කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට වැලිවිට සරණංකර සංඝ රාජ මාහිමියන්ගේ හා උපාලි මාහිමියන්ගේ උපදෙස් පරිදි කටයුතු සැලැස්වීමට හැකිවීම නිසාම මල්වතු මහා විහාරය මෙන්ම අස්ගිරි මහා විහාරයේද භික්ෂූන් වහන්සේ චිරස්ථායි වූහ.

වාර්ෂිකව අඛණ්ඩව උපසම්පදා විනය කර්මය රාජ්‍ය සම්බන්ධතා සහිතවම පැවැත්වූ අතර, වෙසක් පොහෝ දින සිට පොසොන් පොහෝ දිනය දක්වා එකී මාසය තුළ ලක්දිව නන්දෙසින් පැමිණෙන සාමණේර භික්ෂූන් උපසම්පදා කරලමින් පවත්වාගෙන අවුත් ඉංගී‍්‍රසි රාජ්‍ය කාලයේ දී ද ඒ අයුරින්ම උපසම්පදා විනය කර්මය පොහෝ දිනවල පෙරහැර සහිතවද සෙසු දිනයන්හි පෙරහැර සහිතව ද පැවැත්වීමට කටයුතු සැලැස්වූ අතර, ශී‍්‍ර දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් විසින් සිංහල රාජ්‍ය කාලයේදී සිදුකළ අයුරින්ම උපසම්පදා පෙරහැර පවත්වමින් වාහලනාග නමින් උපසම්පදා වන අපේක්ෂකයන් වෙත මල්වතු මහා විහාරයේ පස් නමක් හා අස්ගිරි මහා විහාරයේ පස් නමක් යන දස නමට අවශ්‍ය සිවුරු පිරිකරද පූජා කිරීම අද දක්වාම වසර 260 ක් මුළුල්ලෙහි පවත්වාගෙන එනු ලැබේ. එකී වාහළනාග නමින් උපසම්පදා වන අපේක්ෂකයාට පළඳවනු ලබන එදා සියම් මහරජතුමා විසින් පුද කරණ ලද ඔටුන්න වසර 260 ක් මුළුල්ලෙහි අද දක්වාම පවත්වාගෙන අවුත් දැනට එම ඔටුන්න සුරක්ෂිතව මල්වතු මහා විහාරයීය රාජකීය මංගල උපෝෂථාගාරයේත් උපසම්පදාව ගෙනඒමේ දී සියම් රජතුමා විසින් එවන ලද සංදේශය ද අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ භාරයේ පවතී.