Print this Article


බුදුපිළිමයේ උපත - 19:  මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ පුදබිම

බුදුපිළිමයේ උපත - 19: 

මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ පුදබිම

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර 
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසූමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

“බුදුසරණ” පුවත්පත පසළොස්වක පොහොයට මෙන්ම අව අටවක, අමාවක සහ පුර අටවක යන සතර පොහොයටම පළවන අතර එහි බුදුපිළිමයේ උපත ලිපි මාලාව දඹදිව වන්දනාකරුවන්ගේත්, විද්‍යාර්ථින්ගේත්බොදු සැදැහැවතුන්ගේත් දැනුම පුළුල් කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරමි.

මධ්‍ය ප්‍රදේශ්හි භාරුත් පුදබිමෙන් හමුවූ බුද්ධත්වය නිරූපණය කෙරෙන මූර්ති කැටයමකි

බුදු පිළිමයේ උපත පිළිබඳ වූ මෙම ලිපි මාලාවේ දී අපි විටින්විට බුදු පිළිමය ප්‍රථමවරට නිර්මාණය වූ පුරාණ ජම්බුද්වීපයේ මෙකල පකිස්ථානයට අයත් ගන්ධාර හා මෙකල ඉන්දියාවට අයත් මථුරා බෞද්ධ කලා සම්ප්‍රදායයන් දෙක ගැන විස්තර කළෙමු.

වෙසක් පුර පසළොස්වක පොහෝදා සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහාණය කර ලැබූ අති උතුම් බුද්ධත්වය ලද දිනය ලෙසින් මෙහිදී විශේෂ අවධානයට යොමු කෙරේ. තෙමඟුල ලෙසින්, වෙසක් දිනයේදී සිදුහත් කුමරාගේ උපත, බුදු බව ලැබීම සහ පිරිනිවන්පෑම සිදුවූ ඉතා උතුම් දිනයක් ලෙසින් සකල ලෝකවාසී බෞද්ධ ජනතාව මෙන්ම බුදුදහමේ අමාරසය විඳින බටහිර ජාතීන් ප්‍රමුඛ මනුෂ්‍ය ප්‍රජාව ද එම දිනය අනුස්මරණය කරනු ලැබූහ.

ප්‍රථම බුදු පිළිමය නිර්මාණය වූයේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයට සියවස් පහකට පමණ පසුව බව මේ පිළිබඳ විද්වතුන්ගේ (බටහිර හා භාරත දේශය ප්‍රමුඛ රටවල ලංකාවද ඇතුළුව) මතය වන්නේය.

අප විසින් බෞද්ධ කලා ශිල්ප ආශි‍්‍රතව මෙම ලිපිමාලාව ආරම්භයේ සිටම අවධාරණය කරන ලද කරුණක්ද මෙහිදී සදහන් කිරීම සුදුසුය.

බුදු පිළිම නිර්මාණයට පෙරද බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරිම සඳහා සංකේත භාවිතා කළ බව භාරුත්, සාංචි, බුද්ධගයා දක්ෂිණ භාරතයේ අමරාවතී හා නාගර්ජුන කොණ්ඩ යන පුදබිම් ආශි‍්‍රතව ඇති මූර්ති කැටයම්වලින් පැහැදිලි වන්නේය.

මුල්කාලීන මූර්ති කැටයම්වල බුදු පිළිම නිර්මාණයට පෙර සිරිපතුල් යුගළ ශී‍්‍ර මහා බෝධින් වහන්සේ, ස්තූපය. ධර්මචක්‍රය, වජ්‍රාසනය ,ඡත්‍රය, හා ත්‍රිරත්නය ආදී බෞද්ධ ලාංඡන එම මූර්ති කැටයම්වලින් නිරූපිතය. අප රටේ ඉතා පැරණිතම බෞද්ධ මූර්ති කලාව ,සෑගිරිය, නමින් මහාවංසයේ සඳහන් වන මිහින්තලේ කණ්ඨක චේතියේ මෙන්ම පුරාණ ජම්බුද්වීපයේ මධ්‍ය ප්‍රදේශ්හි භාරුත් පුද බිමෙහි තිබූ බව ඉතා ප්‍රකට කරුණකි. එක් උදාහරණයක් දක්වතොත් අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන බව නිරූපිත භාරුත්හි මූර්ති කැටයමෙහි බුදුරජාණන් වහන්සේ වෙනුවට සිරිපතුල් දෙක ඉදිරිපිට අජාසත්ත රජු වැඳගෙන සිටින අන්දම නිරූපිතය. අප එසේ අද සඳහන් කරන්නේ ඒ සිදුවීම බ්‍රාහ්මී අක්ෂරවලින් අජාසතතස භගවතො වන්දතේ” යනුවෙන් එහි සටහන් කර ඇති හෙයිනි. (භාරත ලංකා බෞද්ධ උරුමය සිරිසමන් විජේතුංග – පිටු 3-5 (2006) සරස්වති ප්‍රකාශන)

බුද්ධත්වයට පත්වූ උතුමා එම සිදුවීම් හා සම්බන්ධ කර දැක්වීම සඳහා පැරැණි කලාකරුවා යොදා ගෙන ඇති ප්‍රධානතම සංකේතය බෝධි වෘක්ෂයයි. එය කෙතරම් පිළිගැනීමට ලක්ව තිබුණේද යත් බුදුවීම පමණක් නොව ඊට ආසන්නව සිදුවූ අනෙකුත් වැදගත් සිදුවීම් වලදීද බෝසතාණන් වහන්සේ නියෝජනය කර ඇත්තේ බෝධි වෘක්ෂය මගින්ය. මේ සඳහා හොඳම නිදර්ශනය වශයෙන් සාංචි සහ භාරුත් වල ඇති සුජාතාදේවිය ගේ කිරි ආහාර පූජාව සහ මාරපරාජය පිළිබඳ දර්ශන දැක්විය හැකිය.

සම්බුද්ධත්වයට පෙර සුජාතා දේවියගේ කිරිපිඬු දානය අමරාවතී ස්තූප කැටයම නිරූපණය කෙරෙන මෙහි බුදුරජාණන් වහන්සේ නිරූපණය කෙරෙනුයේ ශ්‍රී මහා බෝධියයි. ඒ වන විට බුද්ධ ප්‍රතිමා නිර්මාණය වී නොතිබිණි.

මුල් කාලීන බෞද්ධ කලා ශිල්පවල බෝසතාණන් වහන්සේ බුදුබවට පත්වන අවස්ථාව නියෝජනය කිරීමට සංකේතයක් වශයෙන් යොදා ගෙන ඇත්තේ බෝධි වෘක්ෂයයි. බෝධි වෘක්ෂය නම් වු ගසක් වෘක්ෂ විද්‍යාවේ (BOTNY)  නැත. එයට බෝගස හෙවත් බෝධිවෘක්ෂය යන නම ලැබී ඇත්තේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්ථාවේ පිටදුන් හෙවත් සෙවණ ලබාදුන් වෘක්ෂය නිසාය. (මහාවග්ගය 1 පි. 16)

පාලි මහා බෝධි වංසයෙහි එය මෙසේ සඳහන් කර දක්වයි. “ සම්බුදුරජාණන් වහන්සේට සතර ආර්ය මාර්ගයෙහි පැවැත්තාවූ ඤාණය බෝධි නම් වෙයි. ඒ ආර්ය මාර්ග ඤාණය සංඛ්‍යාත වූ බෝධිය භාග්‍යවන්ත වූ සර්වඥයන් වහන්සේ මේ ඇසටු රුක්මුල්හි වැඩහිඳ ප්‍රතිවේද කළ සේක යනුයි. ඒ වෘක්ෂ තෙමේත් යම් හෙයකින් බෝධිය යයි නම ලද ද එහෙයින් ඒ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඤාණාදී වූ අනේක ගුණධර්මයන්ගේ ප්‍රතිවේධයට අත්‍යන්තෝපකාරි වූ සිටියාවූ ද ස්කන්ධමාරාදී වූ පඤ්ච මාරයන්ගෙන් ජය ගැනීමට මුල වූ කාරණා හෙයින්ද “ජය ශ්‍රී මහා බෝධිය යැයි නම් ලැබූහ. (පාලි බෝධිවංසය පි. -1) ඒ සමඟම බුද්ධත්වය නියෝජනය කිරීමට බෝධියෙහි අදාළත්වය ඤාණය නැතහොත් ප්‍රඥාවේ සංකේතය වශයෙන් භාරතීය කලාවේ වෘක්ෂය පෙන්නුම් කිරීම තුළින් තහවුරු කරනු ලබයි.එසේම බුද්ධ කාලයට පෙර සිට පැවති වෘක්ෂ වන්දනාව බුදු දහමෙහි බැහැර කරනු ලැබුවද අලුත් අර්ථකථනයකින් බෝධි වන්දනාව හඳුන්වා දීමත් බෝධි වෘක්ෂයෙහි පූජනීයත්වය ඇති කිරීමට හේතු පාදකව ඇත. එනම් බෝධිය වන්දනා කරනු ලබන්නේ වෘක්ෂ වන්දනාවක් ලෙස නොව බුදුරජාණන් වහන්සේට ගෞරව කිරීමක් වශයෙනි. (ජාතක අට්ඨ කථා IV කාලිංග බෝධි ජාතකය –හේවාවිතාරණ ප්‍රකාශන කොළඹ 1936 පි. 212-13) එනම් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පාරිභෝගික චෛත්‍යය වශයෙනි. ප්‍රතිමා කලාව තුළ බෝධි වෘක්ෂය ක්‍රිස්තු පූර්ව යුගයේ සිට බුදුරජාණන් වහන්සේ වෙනුවට භාවිතා කිරීම ගෞතම බුදුරජාණන් වහන්සේ පමණක් නොව පෙර බුදුවරුන් හත් නමක්ම ප්‍රතිමාවලින් තොරව බෝධි වෘක්ෂ කැටයමින් සංකේතාත්මකව නිරූපණය කිරීම තුළින් හෙළිවෙයි. දීඝ නිකාය මහාපදාන සූත්‍රයෙහි බුදුවරු හත් නමක් විෂයෙහි උන්වහන්සේලා පිටදුන් බෝධි වෘක්ෂයන් පිළිබඳව වෙන වෙනම සඳහන් වෙයි.

(බුදු පිළිමයට පෙර බුදුහාමුදුරුවෝ – මහාචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණෝ පිටු. අංක 4-5 (2010) සරසවි ප්‍රකාශකයෝ)

බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවන ලද්දේ මිහිඳු මහ රහතන්වහන්සේගේ ආගමනයට මාස කීපයකට පසුවය. අසෝක අධිරාජයා ඉතාමත් ආදරයෙන් වන්දනා මාන කළ ඒ ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ අසෝක රජතුමාගේ රාජ්‍ය කාලයේදීම විනාශයට පත් වූවා නොව විනාශයට පත් කළේ අසෝක රජතුමාගේ පළමු බිසව වූ අසන්ධිමිත්‍රා කුමරිය මියගියාට පසුව අසෝක රජුගේ බිසව බවට පත් වූ තිස්සා රක්ඛා නම් වු තැනැත්තිය විසින් බව මහාවංසයේ විසිවැනි පරිච්ඡේදයෙහි සඳහන්ය. ඒ නිසා අද අනුරාධපුරයේ මහමෙවුනා උයනේ උඩමළුවේ වැඩවාසය කරන්නේ බුද්ධගයාවේ සිදුහත් තවුසාණන් මීට වසර 2605 ඉහත දී බුද්ධත්වය ලැබීමට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේමය. බුද්ධගයාවේ අද එය දක්නට නැත. (දඹදිව සිවු මහ පුදබිම් සිරිසමන් විජේතුංග පි. 51 (2010) ජීවමාන බුදුරදුන් සේ සළකා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා පැවැත්වෙන පුද පූජා ඇතුළත් තේවා කටයුතු අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ලෝක උරුමයක් (World Heritage) ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සලසාදෙනමෙන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 18: මාර පරාජය කිරීම