Print this Article


ධාතූන් වහන්සේගේ උතුම් ප්‍රාතිහාර්යය

ධාතූන් වහන්සේගේ උතුම් ප්‍රාතිහාර්යය

ධාතු පුරාණය පිළිබඳව බෞද්ධයෙක් ලෙස ශ්‍රද්ධාවන්ත උවැසි උවැසියෙකු විසින් දැනගත යුතු බොහෝ කරුණු ඔබ කලක් තිස්සේ ඉගෙන ගත්තේය. එලෙසම ඊට අදාල බොහෝ සිද්ධස්ථාන පිළිබඳවත් අප කථා කළෙමු. එහිදී ප්‍රකට ස්ථාන කිහිපයක පමණක් තොරතුරු කථා කළ අතර, මේ උතුම් ලක් දෙරණේ තවත් උතුම් ධාතූන් වහන්සේ තැන්පත් නොයෙක් සිද්ධස්ථාන ඇත.

අප්‍රකට වූ පමණින් ඒ ස්ථානවල ධාතූන් වහන්සේ වැඩ නොසිටිත් ද විශේෂයෙන්ම ධාතු ස්තූප, ධාතු වන්දනා, ධාතු ප්‍රදර්ශන ආදිය මෑතක සිට ඉතා උත්කර්ශවත් අන්දමින් සිදු වේ. මේ සමහර අවස්ථාවල ධාතූ ස්තූපයෙන් ප්‍රාතිහාර්ය සිදුවන අවස්ථා අප දැක තිබේ. අසා තිබේ. නමුත් සමහර ස්තූපවලින් කිසිදු ප්‍රාතිහාර්යක් සිදුනොවේ. ප්‍රාතිහාර්ය සිදු නොවන්නේ ඒ ස්තූපවල ධාතුන් වහන්සේ වැඩ නො සිටින නිසාද

අද තිබෙන මේ ප්‍රාතිහාර්ය ප්‍රශ්නය අතීතයේදීත් ඇති වී තිබේ. මේ ගැන අපූරු විස්තරයක් බුද්ධ පරිනිර්වාණයෙන් වසර 500 ක් පමණ ගියකළ පහළ වූ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කොට ඇත. රහතන් වහන්සේ නමකගේ විග්‍රහය සංශෝධන නැත.

මිලින්ද රජතුමා දිනක් නාගසේන මහරහතන් වහන්සේගෙන් අසා සිටියේ ස්වාමිනි නාගසේනයන් වහන්ස, පිරිනිවීමට පත් වූ සියලු රහතන් වහන්සේගේ ධාතු චෛත්‍යයන්ගෙන් ප්‍රාතිහාර්යය වෙනවා ද නැතිනම් ඇතැම් රහතන් වහන්සේගේ ධාතු චෛත්‍යයන්ගෙන් ප්‍රාතිහාර්යය වෙනවාද

මහරජාණෙනි, ඇතැම් රහතුන්ගේ ධාතු චෛත්‍යයන්ගෙන් ප්‍රාතිහාර්යය සිදුවේ. ඇතැම් ධාතු චෛත්‍යයන්ගෙන් එසේ නොවෙයි.

ස්වාමිනි, කවර රහතුන්ගේ ධාතු චෛත්‍යයන්ගෙන් ප්‍රාතිහාර්යය වෙයිද කවර රහතන් වහන්සේගේ ධාතු චෛත්‍යයන්ගෙන් ප්‍රාතිහාර්යය නොවේද

මහරජාණෙනි, තුන් වාදෑරුම් අධිෂ්ඨානයන්ගෙන් එක්තරා අධිෂ්ඨානයක් නිසා පිරිනිවි ගිය රහතුන්ගේ ධාතු චෛත්‍යයන්ගෙන් ප්‍රාතිහාර්යය සිදුවේ.

1. මහරජාණෙනි, මේ බුදු සසුනෙහි රහතන් වහන්සේ වැඩ සිටියදී දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් “මේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය වේවා”. යි අධිෂ්ඨාන කරන සේක. උන්වහන්සේගේ අධිෂ්ඨානය නිසා ධාතු චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය සිදුවේ. මෙසේ පිරිනිවී ගිය රහතුන්ගේ අධිෂ්ඨානයෙන් එම ධාතු චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය සිදුවේ.

2. තවද මහරජාණෙනි, දෙවිවරු මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් පිරිනිවී ගිය රහතුන්ගේ ධාතු චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය දක්වති. මේ ප්‍රාතිහාර්යය නිසා සද්ධර්මය කෙරෙහි ස්ථිර ශ්‍රද්ධාවක් ඇති කර ගන්නේය. මිනිසුන් ප්‍රසන්නව කුසලයෙන් බොහෝ සේ වැඩෙන්නා හු ය කියාය. එසේ දෙවියන්ගේ අධිෂ්ඨාන වශයෙනුත් පිරිනිවි ගිය රහතුන්ගේ ධාතු චෛත්‍යයෙන් ප්‍රාතිහාර්යය සිදුවේ.

3. තවද මහරජාණෙනි, නුවණැති ව්‍යක්ත, දැනමුතු, බුද්ධි සම්පන්න ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රද්ධාවෙන් ප්‍රසන්න ව නුවණින් කල්පනා කොට සුවඳ මල් හෝ වස්ත්‍ර හෝ එක්තරා දෙයක් ගෙන කිසිවක් අධිෂ්ඨාන කොට මෙසේ වේවා, යි කියා රහතුන්ගේ ධාතු චෛත්‍යයට පුජා කරයි. ඒ අධිෂ්ඨාන වශයෙන් පිරිනිවී ගිය රහතුන්ගේ ධාතු චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය සිදුවේ. මෙසේ මිනිසුන්ගේ අධිෂ්ඨාන වශයෙනුත් පිරිනිවී ගිය රහතුන්ගේ ධාතු චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය සිදුවේ.

මහරජාණෙනි, මෙසේ තුන් වැදෑරුම් අධිෂ්ඨානයන්ගෙන් එක්තරා අධිෂ්ඨානයකින් පිරිනිවි ගිය රහතුන්ගේ ධාතු චෛත්‍යයන්හි ප්‍රාතිහාර්යය සිදුුවේ.

මහරජාණෙනි, ඉදින් රහතුන්ගේ අධිෂ්ඨානයක් නැතැනම්, ෂඩ් අභිඥාලාභී, චේතෝ වශීප්‍රාප්ත, ක්ෂීණාශ්‍රව රහත් නමකගේ ධාතු චෛත්‍යයෙන් හෝ ප්‍රාතිහාර්යයක් සිදු නොවේ.

මහරජාණෙනි, යම් චෛත්‍යයක ප්‍රාතිහාර්යයක් දකින්නට නොමැති වුවත්, උන්වහන්සේගේ චරිතාපදානයන් දැක ඒ රහතුන්ගේ පිරිසුදු ජීවිතය ගැන තේරුම් ගත යුත්තේ ය. මේ බුද්ධ පුත්‍රයන් වහන්සේ ඉතා මැනැවින් පිරිනිවන් පා වදාළ සේකැ යි නිසැක බවට පත්විය යුත්තේ ය. අදහා ගත යුත්තේය.

මේ විස්තර අවසානයට අගේ ඇති කරුණු කිහිපයක් ඉස්මතු වේ. ඒ නම් රහතන් වහන්සේගේ විශේෂ අධිෂ්ඨානයක් නොමැති නම් ප්‍රාතිහාර්ය සිදුනොවේ යන්නයි. නැතිනම් ධාතුන් වහන්සේ නොමැති නිසා නොවේ. මෙතැන රහතන් වහන්සේ ගැන සඳහන් වුවත් බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ අනුසාරයෙන් දරා ගැනීම වරදක් නොවේ.

ප්‍රාතිහාර්ය නොවන ධාතූන් වහන්සේ අබියස ඔබේ සිත

ඉහත විස්තරය අවසානයේ දක්වා තිබෙන්නේ යම් ස්තුපයකින් ප්‍රාතිහාර්යය සිදු නොවුණත්, උන්වහන්සේගේ නිකෙලෙස් පාරිශුද්ධ ආනුභාව සම්බන්ධ ජීවිත දෙස බලා සිත පහන් කරගත යුතු බව. එවිටයි බොහෝ පින් රැස්වන්නේ. ඇත්තටම ශ්‍රද්ධාව සිතේ උපදවා ගත්තානම්, මේ අසවල් ධාතු ස්තූපයයි කියු සැනින් මහත් වූ පී‍්‍රති ප්‍රමෝදයකින් වන්දනාමාන කරමින් පින් කර ගැනීමට අවස්ථාව තිබේ. එයම ඔහුට ප්‍රාතිහාර්යයකි. එනිසායි ඔබ ධාතුන් වහන්සේ පිළිබඳව මනා වැටහීමකින් පසුවිය යුත්තේ.

බුදුරැස් විහිදෙන කිරි ඉතිරෙන ස්තූප

සෝමවතිය මහ සෑයෙන් රැස් විහිදේ. එය කවුරුත් දනිති. එය රහතන් වහන්සේගේ අධිෂ්ඨානයකි. ඒ වගේම බලවත් සර්වඥ ධාතූන් වහන්සේගේ ආනුභාවය. රත්නමාලි සෑ රජුන්ගේ ආශ්චර්යයමත් සිද්ධි ඔබ කොතෙකුත් අසා ඇති. රත්නමාලි මහා සෑයේ නම් ප්‍රාතිහාර්ය සහිතවමයි කථා ඇත්තේ. ද්‍රෝණයක් ධාතුන් රාම ග්‍රාමයේ රැකුණේ, නාගයන්ට ලැබුණේ මහා සෑයට සෘර්ධියෙන් වැඩමවූයේ ධාතු තැන්පත් වුණේ මේ සියල්ලම මහා ප්‍රාතිහාර්යයන් ය. මහ රජුගේ සෘර්ධියත්, රහතුන්ගේ සෘර්ධියත්, දෙවියන්ගේ සෘර්ධියත් ධාතුන් වහන්සේගේ ආනුභාවයත්, මහා සෑය සම්බන්ධව කොපමණනම් කතා තිබෙනවාද අදටත් රුවන්මැලි මහා සෑය ප්‍රාතිහාර්ය පාන අතර අතීතයේ රජවරු පූජාවන් පවත්වද්දීි සිදුවූ ප්‍රාතිහාර්ය මහාවංශය, ථූපවංශය අධ්‍යයනය කරන කෙනෙකුට හමුවේ. සේරුවිල ලලාට ධාතු ස්තූපයත්, අසිරිමත් ප්‍රාතිහාර්ය සිදුවේ. අතීතයේ සිදු වූ ප්‍රාතිහාර්ය ධාතු වංශයේ විස්තර වේ. මෑතක අප පිළිසරක කිරීමට ආරම්භ කළ සේරුවිල විල්ගම් වෙහෙරේ ප්‍රාතිහාර්යය ගම්මුන් විසින් පවසති. ථූපාරාමයේ බුදු සිරුර මැවී ප්‍රාතිහාර්ය සිදුවුණි. විනය සංගායනා කරනවිට මහපොළොව සෙලවුණි. ඒවා අධිෂ්ඨානයි. කිරි වෙහෙරේ කිරි ඉතුරුන අතර, එය අපූරු ප්‍රාතිහාර්යයකි. ඒ වගේම මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩසිටින දළදා වහන්සේ තරම් ප්‍රාතිහාර්ය පෑ ධාතුන් වහන්සේ නමක් තවත් නැත. මෑතකදී මුතියංගනය සෑ රජුන්ගෙන් රැස් විහිදී තිබුණි. මහියංගනය සෑ රජුන්ගේ නොයෙක් ප්‍රාතිහාර්ය සිදුවේ. කෙසේ නමුත් බොහෝ ධාතුන් වහන්සේ ඉතිරිවූයේ ප්‍රාතිහාර්ය සහිතවම ය. ස්තූපවල විටින් විට ප්‍රාතිහාර්ය සිදුවේ.

ශ්‍රද්ධාව නිසා සිදුවන ප්‍රාතිහාර්ය

ඉහත විස්තර වන මිනිසුන්ගේ සැදැහැ සිත පිණිස දෙවිවරුන් ස්තූපවල ප්‍රාතිහාර්ය ඇති කරති. ඒ වගේම මිනිසුන්ගේ ශ්‍රද්ධාව නිසාත් අධිෂ්ඨානය නිසාත්, ප්‍රාතිහාර්ය සිදුවෙති. කාශ්‍යප බුදු සසුනේ රන්වන් මහා සෑය “අභිසම්මත” කියන යක්ෂයා ආරක්ෂා කළ බව උපවාන රහතන් වහන්සේගේ අතීතයේ විස්තරයක දැක්වේ. යමක් ඒ උතුම් සෑ රජුන්ට යමක් පූජා කළවිට ඒ යක්ෂයා ඒ දේ සෑය වටේ ගෙනයති. එවිට සැදැහැවතුන් පූජා කළ දේ සෑය වටේ යනබව පෙනේ. නමුත් ගෙනයන කෙනෙක් නො පෙනේ. ඒ ප්‍රාතිහාර්ය නිසා මිනිසුන් තුළ ඉමහත් වූ ශ්‍රද්ධාවක් ඉපදිණි. අදත් එක් එක් ආකාරයට දෙවිවරුන් මුල් වී ප්‍රාතිහාර්යය සිදුවෙන අවස්ථා නැතිවා නොවේ.

පොළොන්නරුවේ පැරකුම් රජතුමා දළදා පෙරහර වීදියට සැපත් කරන විට මහා වර්ෂාවක් ඇද හැලී තිබේ. රජතුමා අධිෂ්ඨාන කරන්නේ ශ්‍රද්ධාවෙන් කරන මේ පිනට බාධා නොවේවා කියා. එවිට මහා වර්ෂාව වීදියේ දෙපසට වහින අතර, වීදියට වැසි වහින්නේ නැත.එය පුදුම ප්‍රාතිහාර්යකි. ඒ ශ්‍රද්ධාව නිසාය. දළදා වහන්සේ කොහොමටත් සැදැහැවතුන්ගේ අධිෂ්ඨානයෙන් නොයෙක් ප්‍රාතිහාර්ය සිදුකළ බව දාඨාවංශයෙන් අපට හමුවේ.

ප්‍රාතිහාර්ය නො දැක්කත්, නිකෙලෙස් මුනිවරුන් ගැන ඉගෙන ගන්න ලැබුණ විට ඒ ජීවිත ගැන අප පැහැදීමෙන් ශ්‍රද්ධාවක් ඇති කර ගත යුතු ය. උන්වහන්සේගේ ශරීරයේ කොටසක් නොව මේ ධාතූන් වහන්සේ නේද කියා හිතෙන විට පුදුමාකාර ගෞරවයක් ශ්‍රද්ධාවන්තයා තුළ ඉපදේ.

ඒ වගේම දැක පැහැදීම ඉක්මවා ගුණ සිහි කිරීමේ දුර්ලභ දේ ඔබට ලැබෙනවා නම් එයයි උතුම් වන්නේ. ශ්‍රද්ධාව කියන්නේ වටිනා ප්‍රාතිහාර්යයකි. ශ්‍රද්ධාව තිබෙනවා නම් මේ බුද්ධ ශාසනයම ඔබට ප්‍රාතිහාර්යක් වනු නියතය.


පසුගිය සතියෙන්:-  අසිරිමත් ධාතු පුරාණය 27: මහා ධාතු පරිනිර්වාණය