තථාගත ධර්මය
විනිවිද දකින
පටිච්ච සමුප්පාදය
වෑඋඩ, බුජස්ලෙන රාජමහා විහාරාධිකාරී
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
ජ්‍යෙෂ්ඨ ආචාර්ය
රාජකීය පණ්ඩිත, මහාචාර්ය,
මකුරුප්පේ ධම්මානන්ද හිමි
“අවිද්‍යාව ප්‍රත්‍යය කොට සංස්කාර ඇතිවේ. සංස්කාර ප්‍රත්‍යය කොට විඤ්ඤාණය ඇතිවේ.
විඤ්ඤාණය ප්‍රත්‍යය කොට නාමරූප ඇතිවේ. නාමරූප ප්‍රත්‍යය කොට සළායතන ඇතිවේ. සළායතන
ප්‍රත්‍ය කොට ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය ප්‍රත්‍යය කොට වේදනා ඇතිවේ. වේදනා ප්‍රත්‍යය
කොට තෘෂ්ණාව ඇතිවේ. තෘෂ්ණාව ප්‍රත්‍යය කොට උපාදාන ඇතිවේ. උපාදාන ප්‍රත්‍යය කොට භවය
ඇතිවේ. භවය ප්‍රත්‍යය කොට ජාති හෙවත් ඉපදීම ඇතිවේ. ජාතිය ප්‍රත්‍යය කොට ජරා මරණ ශෝක
පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇතිවේ. මෙසේ සියලු දුක් රාශියේ හට ගැනීම වේ.”
ඉහත දක්වන ලද්දේ පටිච්ච සමුප්පාද දේශනාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලද
සංක්ෂිප්ත විවරණයයි. මෙම අදහස දැක්වූ බුදුන් වහන්සේ වදාළේ යමෙකුට මෙම හේතුඵල දහම
යම් දිනක වැටහේ නම් එදිනට ඔහුගේ සියලු සැක දුරුවන බවයි. එසේම මෙම පටිච්ච සමුප්පාදය
වූකලී පරම ගම්භීර දහමකි. දැකීමට අපහසු මෙම ධර්මතාව යමෙක් අවබෝධ කරයි නම් ඔහු ධර්මය
දකින්නෙක් බවත් එසේ ධර්මය දකින්නාට සැබෑ බුදුන් වහන්සේ කෙබඳු කෙනෙක් දැයි අවබෝධ කර
ගන්නෙක් බවත් වදාළහ.
මෙම ලෝකයෙහි අපට පැමිණ තිබෙන ප්‍රධාන ගැටලුව නම් දුකකි. උපදියි. දිරයි. ලෙඩ වෙයි.
මියයයි. ච්‍යුත වෙයි. නැවත උපදියි. මෙම ජරා, මරණ දෙකෙන් නිදහස් වීම නොදනියි. මෙම
ජරා, මරණාදී දුක්ඛයන්ගෙන් නිදහස් වීමක් පණවන්නේ කෙසේද යන ප්‍රශ්නය සිද්ධාර්ථ
ගෞතමයන් වහන්සේ තුළ බුදුවීමට පෙර බෝසත් අවධියේදීම පැන නැගුනි. එම ප්‍රශ්නයට
පිළිතුරු සොයන උන්වහන්සේ දුකෙහි පැවැත්ම පිළිබඳ ප්‍රත්‍යයන් විමසා බැලූහ. වෙනත්
විධියකින් කිවහොත් දුක පැවැතීමට හේතු පරීක්ෂා කළහ. එහිදී උන්වහන්සේ ඊට බලපාන
ප්‍රත්‍යයන්ගේ සම්බන්ධතාවක් විනිවිද දුටු සේක. එය වූ කලී කිසියම් විද්‍යාත්මක
නිරීක්ෂණයකි. ප්‍රත්‍යය සම්බන්ධතාව පරීක්ෂා කිරීම සඳහා උන්වහන්සේ විසින් භාවිත කරන
ලද න්‍යායක් වේ. එය මෙසේ ය,
මෙහි පැවැත්ම ඇති කල්හි මෙය වේ. (ඉමස්මිං සති ඉදං හොති)
මෙය ඉපදීමෙන් මෙය ඉපදේ. (ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති)
මෙහි පැවැත්ම නැති කල්හි මෙය නොවේ. (ඉමස්මිං අසති ඉදං න හොති)
මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. (ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති)
මෙම න්‍යායට අනුව සලකා බැලීමෙන් ලෝකයේ බොහෝ දේ පිළිබඳ විශේෂ දැක්මක් ඇතිකොට ගත
හැකිය. එනම් ලෝකයේ සියල්ල තවත් දෙයක ආධාරයෙන් යැපෙන බව ඉන් පැහැදිලි වෙයි. ඉන්
කියැවෙන්නේ ලෝකයේ කිසිවකට ස්වාධීන ස්වතන්ත්‍ර පැවැත්මක් නැති බවය. තනි හුදු ස්වාධීන
ස්වතන්ත්‍ර කිසිදු ධර්මයක් ලෝකයේ නැති බවය. ප්‍රත්‍යය සාපේක්ෂතාව ඇති තැන සමුදය
හෙවත් යමක ඇතිවීම බිහිවීම, හටගැනීම වේ. ප්‍රත්‍යය සාපේක්ෂතාව නැති තැන නිරෝධය හෙවත්
අභාවය වේ. මෙම සාපේක්ෂතා න්‍යාය විශ්වයේ බොහෝ ධර්මතා සහ සිදුවීම්වල යථාර්ථ ස්වභාවය
තේරුම් ගැනීමට අදාළ වේ. වෙනත් විධියකින් කිවහොත් හේතුවකින් තොරව ඵලයක් ඇති නොවේ.
ඵලය අහිතකර නම් කළයුතු වන්නේ ඵලය නැති කිරීම නොව ඊට බලපෑ හේතුව නැති කිරීමය. එසේ
නොවුවහොත් එකී ඵලය තව දෙයකට හේතුවක් වී වෙනත් ඵලයක් උපදවන්නේ ය. බෝසතාණන් වහන්සේ
ලෝකයේ ප්‍රකට දුක වන ජරා මරණ පවතින්නේ කුමක් නිසාදැයි යෝනිසෝ මනසිකාරයෙන් විමසන
කල්හි ජාතිය හෙවත් ඉපදීම ඇති කල්හි ජරා මරණ ඇති වන බව උන්වහන්සේට අවබෝධ විය. ජාති
යනු කිසියම් සත්ව ජාතියක ඉපදීමයි. පඤ්චස්කන්ධයක් ලැබීමයි. ධාතු ආයතන ප්‍රතිලාභයයි.
එබැවින් දුක නැති කිරීමට නම් ඉපදීම නැති කළ යුතු ය.
ජාතිය හෙවත් ඉපදීමට ප්‍රත්‍යය හෙවත් හේතුව වන්නේ භවයයි. කාම, රූප, අරූප වශයෙන්
විශ්වයේ භව තුනක් පවති. මෙම භවයන්ගෙන් කවර හෝ ස්ථානයකට අප පත්වන්නේ උපාදාන හෙවත්
මමත්වයෙන් යම් යම් දේ දැඩිව අල්වා ගැනීම නිසාය. කාම, දිට්ඨි, සීලබ්බත හා අත්තවාද
යනුවෙන් උපාදාන හතරක් පවතී. කාම ලෝකයේ විවිධ සුඛ උසස් යැයි සිතන පුද්ගලයෝ කාමය
උපාදාන කර ගන්නා (කාම උපාදාන) අතර එම සැප ලබා ගැනීම අරමුණු කොට ගෙන ආත්මවාද
උපාදානයත් සීලව්‍රත උපාදානයත් පවත්වති. මමත්වය ප්‍රධාන කොට පවත්වනු ලබන දෘෂ්ටිය
මෙහිදී ප්‍රධාන වේ. ඉහත කී භවය පවතින්නේ මෙම උපාදානය නිසාය. එබැවින් භවය නැති
කිරීමට නම් උපාදානය නැති කළ යුතු ය. උපාදානය පවතින්නේ තණ්හාව ඇති නිසා ය. සත්වයන්
තුළ ඇති වන තණ්හාව සය වැදෑරුම් වේ. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා,
පොට්ඨබ්බ තණ්හා සහ ධම්ම තණ්හා පහක් වේ. මනාප දේ පිළිබඳව ඇලීමත් අමනාප දේ පිළිබඳ
ගැටීමත් යන දෙකම තණ්හාවයි. මේ නිසා තණ්හාව ඇති කල්හි උපාදාන ඇතිවේ. තණ්හාව නැති
කල්හි උපාදාන නැති වේ. තණ්හාව ඇති වන්නේ කුමක් නිසාද අපගේ ඉන්ද්‍රිය මගින් අප
විඳින කවරාකාර වූ හෝ වේදනා නිසා ය. වේදනා ඇති වන්නේ කුමක් නිසාද ස්පර්ශය නිසාය. ඇස
කන ආදී ඉන්ද්‍රියන් රූප ශබ්දාදී අරමුණුවල ගැටීම ස්පර්ශයයි. (ඵස්ස පච්චයා වෙදනා)
වේදනාවක් ඇති වන්නේ කුමක් නිසාද සළායතන නිසාය. එනම් චක්ඛු, සෝත, ඝාණ ජිව්හා, කාය,
මන යන සය නිසාය. සළායතන ඇති වන්නේ කුමක් නිසාද කාම රූප නිසාය.
ඉන්ද්‍රිය මඟින් අරමුණු ගැනීමේ දී විඤ්ඤාණය සමඟ ඇතිවන ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා,
මනසිකාර යන චෛතසිකවලට නාම ධර්ම යැයි කියනු ලැබේ. නාම ධර්මවලින් තොරව විඤ්ඤාණයක්
උපදින්නේත් පවතින්නේත් නැත. රූප ධර්ම යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන හතරෙන් සංවිධානය
වන්නකි. රූප ධර්ම අවශ්‍ය වන්නේ ස්පර්ශය සඳහා ය. ස්පර්ශය යනු ප්‍රසාද රූපය
(ඉන්ද්‍රිය), විෂය රූපය (අරමුණ) හා විඤ්ඤාණය යන තුනේ එකතුවයි. මේ නිසා විඤ්ඤාණය වූ
කලී නාම රූපයන්ගේ පැවැත්මට ප්‍රත්‍යය වේ. විඤ්ඤාණය නැති කල්හි නාම රූප දෙකෙහි
පැවැත්මක් නැත. මේ නිසා අපගේ මනසේ පැන නගින චිත්තවේග මෙම නාම රූප ධර්මවලට ප්‍රබල
ලෙස ප්‍රත්‍යය වන බව දත යුතු ය. මෙයින් විඤ්ඤාණයට ප්‍රත්‍යය වන්නේ කුමක්ද යන්න
හඳුනා ගත හැකිය.
විඤ්ඤාණය ක්‍රියාත්මක වන්නේ සංඛාර හෙවත් සංස්කාර ඇති කල්හිය. කාය සංඛාර, වචී සංඛාර,
චිත්ත සංඛාර යනුවෙන් එය තෙවැදෑරුම් වේ. මෙයින් පෙනෙනුයේ ඉන්ද්‍රිය තුනකින් කරනු ලබන
සංස්කරණයක් ඇති බවයි. මාංශ කයක් දරන කාමභවික සත්වයන්ගේ ආස්වාශ ප්‍රශ්වාස දෙක කාය
සංඛාර නම් වේ. කවර භවයක වුවද සිත අරමුණුවලට නැගීම හා එහි හැසිරීම විතක්ක විචාර නම්
වූ වචී සංඛාරයයි. අරමුණු ගැනීමේ දී ලබන හැඳිනීම හා වින්දනය චිත්ත සංඛාර නම් වේ. සසර
සියලු භව පැවතුම් සැකසී ඇත්තේ මෙකී ඉන්ද්‍රිය හා ඉන්ද්‍රිය අත්දැකීම විඳගැනීම් ලෙස
සැලකිය හැකි සංඛාර නිසා බව අමතක නොකළ යුත්තකි.
සංස්කාරවල ක්‍රියාකාරීත්වය පවතින්නේ අවිද්‍යාව (අවිජ්ජා) ඇති කල්හිය. අවිද්‍යාව යනු
නොදැනීමයි. නො දැනීම යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ නො දැනීමයි. එනම් දුක නමැති
අත්දැකීමේ ඇතිවීම, ඇතිවීමේ හේතුව, නැතිකිරීම හා නැති කිරීමේ ක්‍රමය පිළිබඳ
අවබෝධයයි.
ඉහත විස්තර වන්නේ අංග දොළොසකින් යුක්ත පටිච්ච සමුප්පාදයයි. එහි සඳහන් කිසිවක
ස්වාධීන ස්වතන්ත්‍ර පැවැත්මක් නැති බව තහවුරු වේ. එකක් අනෙකක ආධාරයෙන් පවතී.
එහෙත් සත්වයාගේ සංසාර පැවැත්මට කේන්ද්‍ර වන්නේ විඤ්ඤාණ හා නාම රූප දෙකෙහි
සම්බන්ධතාවයි. එය මුල නොවේ. ප්‍රධානතම කරුණයි. ආහාරයක් පිස ගැනීමට ගින්දර අවශ්‍ය
වන්නාක් මෙනි. ගින්දර දැල්වීමට ද අවශ්‍ය දේ තිබේ. එහෙත් ආහාර පිස ගැනීම නම්
කාර්යයයේ දී ගින්දර ප්‍රධාන වන්නාක් මෙන් සංසාර ප්‍රවර්තන ශක්තිය කේන්ද්‍රගත වන්නේ
විඤ්ඤාණය හා නාම රූප දෙකෙහි සම්බන්ධය තුළ බව බුදුන් වහන්සේ මහානිදාන සූත්‍රයෙහි දී
පෙන්වා දී ඇත.
මෙම ප්‍රත්‍යය දෙකේ සම්බන්ධතාව නිසා ආත්ම සංකල්පයට පදනම වැටෙන අතර ආත්ම නොවන නාම
රූප දෙක ආත්ම වශයෙන් ගෙන මිනිසා එයම සත්‍යය යැයි සලකා අනන්ත අප්‍රමාණ දුක්
දොම්නස්වලට භාජනය වෙමින් සිටී.
සත්වයා යනු හුදු මාංශමය කයකට සීමා වූ සැකැස්මක් නොවන්නක් බවත් එය මනින්ද්‍රිය නම්
රූපයක් විසිනු දූ සකසන්නක් බවත් ඉහත දැක්වෙන පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් අනාවරණය
වේ.