Print this Article


දියුණුවේ දොරටුව : කායික මානසික දියුණුවට නිසි මඟ


කායික මානසික දියුණුවට නිසි මඟ

අපේ ලොවුතුරු තථාගත දහමට අනුව බොජ්ඣංග හතක් තිබෙනවා. එය දියුණුකර ගත්තොත් කායික ,මානසික දියුණුව හදාගන්න පුළුවන්. සති බෝධි අංගය, ධම්ම විචය බෝධි අංගය, විරිය බෝධි අංගය, පීති බෝධි අංගය, පස්සද්ධි බෝධි අංගය, සමාධි බෝධි අංගය උපේක්ඛා බෝධි අංගයන් බොජ්ඣංග නමින් හඳුන්වනවා. මුල් අවස්ථාව බෝධි අංග යනුවෙන් හඳුන්වනවා.

ධන සම්පත්, අධ්‍යාපන, රැකීරක්ෂා, සැප සම්පත් , යස ඉසුරු, ගේදොර යාන වාහන, සම්පත් ලබන්න මේ බොජ්ඣංග ධර්ම හත වැදගත්. බුදු, පසේ බුදු, මහරහත් උතුමන්ට නිවන් සම්පත් ලබන්නට නිවැරැදි දොරටු මඟක් වුණේ බොජ්ඣංග ධර්ම හතයි. බුද්ධසන්තානවල පහළ වූ ධර්මය තමයි මේ ලෝකයාට සැනසුමක් ලබන්න දේශනා කළේ. එමනිසා කවුරුත් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව, බාහිර දියුණුව සකසා ගැනීමට සිහි කල්පනාවෙන් ක්‍රියා කරන්න. නුවණින් කල්පනා කර , උත්සාහයෙන් වැඩකරන්න. සන්තෝසයෙන් වැඩ කිරීම පීති බොජ්ඣංගයි. දරදඬුබවෙන් තොරව වැඩ කළ යුතුයි. සිතේ තැන්පත්කමින්, මධ්‍යස්ථව වැඩකරන්න. කරුණු හතයි. මේවා අපේ දියුණුව, අපේ ආරක්ෂාව පිණිස බුදුරජාණන් වහන්සේ වදාළා.

වෙසක් පුර පසළොස්වක් පොහෝ දවස යනු සමස්ත ලංකාවාසී ලෝකවාසී ජනතාවගේ වැදගත්ම දවසයි. ගිහිගෙදරින් නික්මිලා , ලොවුතුරා බුදුබවට පත්වීම විශේෂම අවස්ථාවක්. වෙසක් පුන් පොහෝ දවසක ඉපදිලා, වෙසක් පුන් පොහෝ දවසක බුදුවෙලා, වෙසක් පුන් පොහෝ දවසක පරිනිර්වාණයට පත්වුණ උතුමන්වහන්සේ සිහිකිරීම වැදගත්ම අරමුණයි. එහෙමනම්, වෙසක් පෙහෝ දිනය සැමටම සුවිශේෂී දවසක්. ලෝකයේ බුදු උපතක් සිදුවෙන්නේ බොහොම කලාතුරකින්. එය පින්වන්තම කාලපරිච්ඡේදයක්. සියලුම සැප සම්පත්වලින් පිරිපුන් වූ ඒ නුවර “සාවත්‍ය” යනුවෙන් හැඳින්වූවා. ජනගහණය අතින් හත් කෝටියක් ජනතාවට එදා ලොකු දියුණුවක් තිබුණා. ඒ අය මේ දියුණුව සකසාගත්තේ කෘෂිකර්මාන්තයෙන්, ගව පාලනයෙන්, වෙළෙඳාමෙන්. හැමෝටම යමක් තිබුණා. එහෙම නොවුණානම් ලක්ෂ ගණනින් භික්ෂූන් වහන්සේලාට එදා දන් දුන්නේ කොහොමද හැම දෙයක්ම පිරිපුන් නිසා දාන , මාන, පින්කම් පුරලා උදාර ගුණසම්පත් දියුණු කරමින් සියලු කටයුතු සම්පූර්ණ කළා.

එසේම, මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළවෙන්නෙත් ඒ නගරයේ. ඒත් වෙසක් පුන් පොහොය දිනකයි. ඉපදෙන්නේ, බුදුවන්නේ, පිරිනිවන් පාන්නෙත් එලෙසමයි. ඒ රාජධානිය සකල සම්පත්වලින් පිරිපුන් කෝටි ගණනින් ජනතාව වාසය කරන, කෝටි ගණන් මහ රහතුන් වහන්සේලා වැඩ ඉන්න නිජ භූමියක්. ඒ අනුව බලද්දී මොනම දෙයකින්වත් අඩුපාඩුවක් නැති ප්‍රදේශයක්. මේ පින්වන්තයන්ට එය දියුණුවීමේ ක්‍රමයක්. පාපකාරී පුද්ගලයන්ට දියුණුව සලසා ගන්නට බැහැ. බුදු දහම අවිහිංසාවාදී දහමක්. කුරා කූඹියෙකුටවත් කරදරයක් නැහැ. ඒනිසා පංචශීල ප්‍රතිපදාවක් බුදුන් වහන්සේ අපට දේශනා කර වදාළා. සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම,බොරුවෙන් වැළකීම, මත්පැනින් වැළකීම යනුවෙන් පංච විධ ප්‍රතිපත්තියක් තිබෙනවා. එය අනුගමනය කරපු ආරක්ෂා කරපු හැමෝටම යහපතක් මිස කවදාවකවත් අයහපතක් සිදු වුණේ නැහැ. ඒ නිසා හැමදෙනාම මෙලොව යහපත සලසාදෙන, සසර සුගතියකට පමුණුවන දහමක් අනුගමනය කිරීමට සිතට ගන්න. පව් කිරීමෙන් වැළකී, පින් දහම් කිරීමෙන් සිත සකසා ගත්තොත්, ඒ තැනැත්තාට මෙලොව, පරලොව දියුණුවත්, සුගතියත්, නිවනත් ලබන්න පුළුවන්. ලෝකයේ පාපකාරී පුද්ගලයෝ බහුලයි. ඒ නිසා, ඒ අය මරණින් මතු අපා ලෝකවලට වැටිලා අන්ත දුක් විඳිනවා.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ , සුමංගල නමින් ප්‍රධාන දායකයෙක් සිටියා. එතුමා බුදුන් වහන්සේට විහාරයක් පූජා කළා. මේ සුමංගල සිටුවරයා දිනක් බුද්ධ වන්දනා කර නිවසට යද්දී , එක්තරා මනුස්සයෙක් හිසේ සිටන් පොරවාගෙන පාර අයිනේ නිදාගෙන සිටියා. මෙය දුටු සිටුතුමා “රාත්‍රී නිදාගන්නේ නැති මනුස්සයෙක් වගේ” යැයි පැවසුවා. මේ පාපකාරී පුද්ගලයා මේ වචනයට පුදුම වෛරයක් ඇති කරගෙන, සිටුවරයාගේ කුඹුරු පැසීගෙන එද්දී වාර හතක් ගිනි තිබ්බා. සිටුතුමා කම්පා වුණේ නැහැ. ගවගාලේ හිටපු ගවයන්ගේ අතපය කඩලා දැම්මා. ඒත් සිටුතුමා කම්පා වුණේ නැහැ. නමුත්, බලන්න මේ පුද්ගලයා කොපමණ පවක් සිදු කරගත්තාද බුද්ධ බෝගයක් බඳු වූ වී අස්වැන්න නෙළන්න තියෙද්දී වෙල්යාම ගිනි තැබීම මොන තරම් පාපයක්ද කෑම ටිකක් හම්බ වේවිද කවදාවත් අවිහිංසක සතුන්ගේ අතපය කැපුවහම සැනසුමක් ලැබෙයිද නැහැ. අන්තිමේදී මේ පාපිෂ්ඨයා බුදුරදුන් වැඩ සිටින කුටියටත් ගිනි තිබ්බා. සිටුතුමා කෑකෝ ගහලා කිව්වේ මාගේ ධනය බුද්ධ ශාසනයට එක්වරක් පූජා කළා. මේ සද්පුරුෂයා නිසා මා මීටත් වඩා වටිනා විහාරයක් නැවත වරක් පූජා කරනවා යැයි පැවසුවා. පසුව අර පවිටු පුද්ගලයා සමාව ගත්තත් මරණින් මතු අපාගාමී වී බුද්ධාන්තරයක්ම අන්ත දුක් විඳලා අපේ ගෞතම බුද්ධ ශාසනය කාලයේදී ප්‍රේතයෙක් වෙලා ගිනි ජාලාවක් මැද්දේ අපමණ දුකින් ජීවත් වුණා. මොහු සෑම තප්පරයකම ගිනිගන්නවා. හැබැයි, මැරෙන්නේ නැහැ. මොන තරම් කෑගහනවා ඇත්ද විලාප නගනවා ඇත්ද දුවනවා ඇත්ද දුවන්න, දුවන්න ගින්දරත් වැඩි වෙන්න ඇති. පේනවා නේද, පවක මහත ඒ නිසා පවින් වැළකී සිත, කය , වචනය සංවර කරගන්න. තිදොර සංවර කරගන්න අයට දියුණුව , යහපත ලැබීම නියතයි. එය අසංවර අය සැමදාම දුක් විඳින්නේ අපායේ. ඒ නිසා සෑමදෙනාම මේ ගැන සිතලා කල්පනා කරලා පවින් වැළකිලා, පින් දහම් කරමින් බුදු සසුන රැක ගනිමින් කටයුතු කරන්න.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලංකාවාසී, ලෝකවාසී ජනතාවට අමා දවසක්. අවුරුද්දටම සුබ දවසක්. හැමෝම පෝයට අටසිල් ගන්න , බුදුන් වඳින, බණ භාවනා කරන දවසක්. සෑම නිවසකම බුදුන් වහන්සේ වෙනුවෙන් පහනක් දැල්විය යුතු දවසක්. අතිමහත් පින්කම්, අතිමහත් ගුණ ධර්ම අප දියුණු කරගන්නවා කියලා සතුටට පත්වෙන්න. එහෙමනම්, බුද්ධ ශාසනයෙහි, දිව්‍ය සම්පත් , බ්‍රහ්ම සම්පත් , සුගති සම්පත් සලසා ගන්න. ප්‍රධාන මාරයන්ට පිටුපා වැඩකරන හැමෝටම නරක, තිරිසන්, ප්‍රේත, අසුර සතර අපායට වැටිලා අන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒවා ගැන හිතලා කොයි කවුරුත් මවට සැලකීම, පියාට සැලකීම හොඳින් කරන්න. පරලොව ගිය ඥාතීන්ට පින් දෙන්න. දුවා, දරුවන්ට නිසි මග පෙන්වන්න. සූදුවෙන්, සුරාවෙන්, දුරාචාරයෙන් වළකින්න. පිනට දහමට ගුණයට නැඹුරු වෙන්න. මේවා දියුණුවීමේ ප්‍රධාන මාවත්. දියුණුවීමේ මඟ හරියට සකසා ගත්තොත් මෙලොවත් හොඳයි. පරලොවත් හොඳයි. නිවන් ලබන්නත් පුළුවන්. ඒ නිසා අපේ ප්‍රධාන ධර්මතාව හොඳින් හිතට ගෙන ශීල, සමාධි , ප්‍රඥා ආදී උදාර ගුණ දියුණු කරගන්න. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පින තිබිය යුතුයි. ඒ නිසා නිවැරැදි මඟ ගමන් කළ යුතුයි.

දුක්ඛ ආර්ය සත්‍ය ධර්මය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය , මාර්ග සත්‍ය යන චතුරාර්ය සත්‍ය ධර්මය කවුරුත් අවබෝධ කරගැනීමට උත්සාහවන්ත වෙන්න. බුදුදහමෙන් ලබාගන්න තිබෙන සෑම දෙයක්ම ලබාගෙන කවුරුත් සිත හදාගන්න මහන්සි වෙන්න. පින්වතුන්, හොඳ හිතකින් අවසන් ගමන ගියොත් සුගතිගාමී වෙන්න පුළුවන්. මේවා හොඳට දැනගෙන බුද්ධ ශාසනය කියන්නේ කුමක්ද කියලා තේරුම්ගෙන දාන, ශීල ,භාවනා පින්කම් හොඳින් සිදුකරන්න. බොජ්ඣංග ධර්ම ගැන හොඳින් දැනුම්වත්ව ඉදිරියට යන අධිෂ්ඨාන ප්‍රාර්ථනාවන් තබාගන්න. නිවන් සම්පත් සලසා දීමට දාන, ශීල, භාවනා ආදී පින්කම් පුරලා ශීල, සමාධි, ප්‍රඥා වැඩෙන සේ ක්‍රියා කළ යුතුයි. එවිට මොනම දේකවත් අඩුපාඩුවක් නැතිව මේ ගමන ඉදිරියට යන්න පුළුවන්. මෙසේ සිතමින් හැම දෙනාටම දියුණුවේ දොරටුව තව තවත් විවර වේවා! චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන ශාන්ති ලක්ෂණ අමාමහ නිවන් සම්පත් පිණිස පින්වතුන්ට, සියලු පින් බලයෙන් වාසනාව උදාවේවා!