Print this Article


මහා කරුණාවෙන් ලොව සැනසූ සම්බුදුරජාණෝ


මහා කරුණාවෙන් ලොව සැනසූ සම්බුදුරජාණෝ

“ඒක පුග්ගලෝ ලෝකේ උප්පජ්ජමානෝ
උප්පජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය
ලෝකානුකම්පාය, අත්ථාය හිතාය සුඛාය
දේවමනුස්සානං, කතමේ ඒකපුග්ගලෝ
තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝති”

මහණෙනි, එක් පුද්ගලයෙක් ලොව උපදනට සමත් වූයේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුවපිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස උපන්නේවෙයි. කවර එක් පුද්ගලයෙක්දයත් තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. ඒ අසිරිමත් උතුම් මනුෂ්‍ය රත්නය විසින් තම කරුණා ගුණය මතු කරමින් ලොව සුවපත් කළ අයුරු මෙම දේශනාවෙන් විස්තර කරමු.

කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති ප්‍රඥාව නමැති ආලෝකයෙන් ලෝකයෙහි මායාව නම් වූ ඝනාන්ධකාරය නැති කළා වූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නය වූයේ බුදුරජාණන් වහන්සේය. බෝධිසත්ව අවධියේ පටන් එතුමන්ගේ අභිලාෂය වූයේ තමනුත් යථාභූත ඥානය හෙවත් බුදුබව ලබා අන්‍යයන්ට ද එම නුවණ ලබාදීමය. තමන් මෙම දුකින් පිරි මෙම සසරින් එතෙර වී අන්‍යයන් ද එමඟින් එතෙරවීමට මඟ සැළැස්වීමය.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ, සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයකට පෙරාතුව සුමේධ නම් තාපසව දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබූහ. එනම් මතු මත්තෙහි තමන් වහන්සේ සෙයින් ම චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් නිවීම ලබා අන්‍යයන්ට ද කෙලෙස් ගින්නෙන් ඒ නිවීම ලබාදෙන බවය. එතැන් පටන් බෝධිසත්ව උතුමන්ගේ කරුණා ගුණය ඉස්මතු විණි. දානය ආදී දස පාරමිතා සම්පූර්ණ කිරීමෙන් සිදුවන්නේ තමන් වහන්සේ සැනහී අන් සත්ත්වයන්ට ද කායික වූත් මානසික වූත් සුවයක් ලබාදීමය. කරුණා ගුණයෙන් තොරව කෙසේ නම් තම ශරීරයේ ඇස්, මස්, හිස්, ලේ ආදිය පරිත්‍යාග කරන්නේ ද කාරුණික ගුණයෙන් තොර වූ සිතකින් කෙසේ නම් රට රාජ්‍ය හා අඹු දරුවන් අත්හරින්නට ද මහා කරුණා ගුණයෙන් තොරව නම් තමන්ගේ අත් පා කපා හිරිහැර කරන අයට පවා මෛත්‍රීය කරන්නේ ද

තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අසිරිමත් වූ බුදු සිරිතෙන් ම කරුණා ගුණය විදහා දැක්වූහ. සාමාන්‍ය මනුෂ්‍යයන් අතර ඉපිද, සාමාන්‍ය මනුෂ්‍යයන් ගන්නා ආහාරපානම තම කුසට ගෙන, සාමාන්‍ය මනුෂ්‍යයන් ශරීරය ශීතලෙන්, උෂ්ණයෙන් හා විළිබියෙන් ආරක්ෂා කර ගැනීමට ගැනෙන වස්ත්‍රවලින් ම තමන් වහන්සේ ද බුදු සිරුර වසා ගත්හ. මෙලොව උපන් මනුෂ්‍යයෙකුට අනුගමනය කළ නොහැකි කිසිවකුත් බුදුරජාණන් වහන්සේ දේශනා නොකළහ. එපමණක් ද නොව, බෝධිසත්ව අවධියේ පටන් සසර කතරේ ගමන් කරමින් දුක පිළිබඳව මනාවූත් විස්මිත වූත් අවබෝධයක් ලැබූහ. තමන් ම තමන්ගේ ජීවිතයෙන් අත්දැකීම් ලබා අකුසලය ඉවත්කොට යහපත් ප්‍රතිඵලම ලබන මාර්ගයම මනුෂ්‍යයන් ප්‍රමුඛ අන් සත්ත්වයන්ට ද පෙන්වා දුන්හ. පාරමී පුරන සමයේ පවා තමන් ලැබූ කිසිදු දුක්ඛ දෝමනස්සයක් අන් අය ලැබීමෙන් වළක්වාලීමට උත්සාහ ගත්හ. කරුණාබර මෑණියන් කෙනෙක් හා ගුණබර පියාණන් කෙනෙක් තමන් ලැබූ කටුක අත්දැකීම් තම දරුවන් ලබනවා දැකීමට අකැමැති සේම තථාගතයන් වහන්සේ ද සසරේ කටුක අත්දැකීම් අන් සත්ත්වයන් ලබනවා දැකීමට අකැමැති වූහ. ‘අකුසල් අත්හරින්න අකුසල් නිසා බොහෝ භයානක වූ කුරිරු දුක්වලට පත්වෙනවා. අකුසල් අත්හරින්නට බැරිනම් එසේ කරන්නට යැයි මම කිසිවිටෙකවත් අනුශාසනා කරන්නේ නැහැ. කුසල් මඟ යන්න. කුසල් කිරීම සැප පිණීස හේතුවෙනවා. කුසල් කරන්නට බැරිනම්, එසේ කරන්නට යැයි මම කිසිවිටෙකවත් අනුශාසනා කරන්නේ නැහැ. මෙය ප්‍රමාදවීමට කාලයක් හෝ වේලාවක් නොවේ.

ඉපදීම නිසා ඇතිවන ජරාව හෙවත් දිරීම, ලෙඩ දුක්, මරණය මුල්කොට ගත් අප්‍රමාණ දුක් මහා පර්වත මෙන් වේගයෙන් අප දෙසට පෙරලීගෙන එනවා. ඒවායින් බේරෙන්නට යැයි පැනදිවීමට අපට හැකියාවක් නැහැ. ශක්තියක් ද නැහැ. රාග, දෝස, මෝහ ආදී කෙලෙස් ඉවත් කොට දුක් ලැබෙන මාර්ගය නැතිකිරීම පමණයි අපට කළ හැකිව පවතින්නේ. ඉක්මන් කරන්න. තථාගතයන් වහන්සේලා මාර්ගය පෙන්වා දෙන්නෝම වෙති. ඔබට කිසිවෙකුත් ඇදගෙන යාමට නොහැකිය. තමා විසින් ම මේ මාර්ගය අනුගමනය කළ යුතුය.

“බේමෝ මග්ගෝ සෝවත්ථිකෝ

පීති ගමනියෝති” එම මාර්ගය ජරා, ව්‍යාධි, මරණ නම් වූ බියවලින් තොර සුවගෙන දෙන නිරාමිස ප්‍රීතිය ගෙනදෙන මාර්ගයකි. සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාව මුල්කොටගෙන ලෝක සත්ත්වයා වෙනුවෙන් කරන ලද අනුශාසනයෙන් බිඳකි ඒ මතුකොට පෙන්වූයේ.

සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගත් බුදු උතුමෝ පන්සාළිස් වසක් මුළුල්ලේහි ලෝක සත්ත්වයාට අපමණ සදාතනික සේවයක් සිදු කළේ මහා කරුණා ගුණය නිසාවෙනි. සෑම දිනකම කාල සටහන ආරම්භ වූයේ මහා කරුණා සමාපත්තියට සමවැදී දුකෙන් පෙළෙන හදවත් සොයා වැඩම කිරීමට මඟ සෙවීමෙනි. ගිහි කළ තම එකම පුතු කුඩා රාහුල කුමරුන්ට සෙයින් ම බුද්ධත්වය ලැබූ පසු දුකින් පෙළුණු සුනීත, සෝපාක, රජ්ජුමාලා, පටාචාර, කිසාගෝතමී ආදී අපමණ පිරිස්වලට සිත් සනහා පිහිට වූහ. කුඩා දරුවෙක් යැයි පැත්තකට නොදමා පා ගමනින් වැඩම කොට බැඳ තිබූ මළ මිනියෙන් ඉවත්කොට පුංචි චිත්තසන්තානයට දහම් පද ඇසෙන්නට සළස්වා ඒ සිත සැනසූහ. සමාජය විසින් කොන් කරන ලද සුනීතගේ සිත අමා සද්ධර්මයෙන් සැනසීමට, සුනීතගේ පහත් යැයි නම් කළ ශුද්‍ර කුලය තථාගතයන් වහන්සේට බාධාවක් නොවීය. දිවි නසාගන්නට සුදානම් වූ රජ්ජුමාලාවන්ට බුදුරදුන් පිහිට නොවූයේ නම් මෙලොව පමණක් ම නොව සසර ගමන ද දුකින් පිරී තව තවත් දීර්ඝවන්නට ඉඩ තිබුණි. ‘මගේ’යි වරදවා සිතින් අල්ලාගත් මුළු ‘ආදර’ ලෝකයම තම හිස මතම කඩාගෙන වැටෙන විට සිහිවිකල් වූ පටාචාරාවන්ට සාමාන්‍ය ලෝකයා ගල්මුල් ගසා එළවා දැමූහ. රිදුනු හා බිඳුනු සිතක ඇතිවන වේදනාව තමන්ට ගලපා සිතන්නට තරම් වර්තමානයේ යම් තැනෙක මෙන් ම එදා ද සාමාන්‍ය මනුෂ්‍යයන්ට ඕනෑකමක් නොවූහ. ‘පිස්සියේ’ ‘පිස්සියේ’ යි ගල්මුල් ගසා එළවා දැමූහ. කාගෙන්දෝ හෝ මඟපෙන්වීමකින් බුදුරදුන් වෙතට පැමිණි පටාචාරාවන්ට තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවුණු ‘නැඟණියේ’ යි නම් වූ වදන විරහ වේදනාවෙන් ගිනිගත් අසරණ පටාචාරාවන්ගේ හදවතට අමා වැස්සක් බඳු විය. ඇය සුවපත් විය. ගුණබර අම්මා කෙනෙක් නම් දරුවෙකුගේ වියෝව කෙසේ නම් දරන්නද බෙහෙවින් ම පිපෙන්නට නෙත් අයාගෙන සිටින මලක් බඳු කුඩා සුරතල් දරුවෙකුගේ හදගැස්ම නැවතීම අම්මා කෙනෙකුට වාවා නොදෙන්නකි. මළ කුඩා පුතුගේ නිසල සිරුර කරපින්නාගත් කිසාගෝතමියෝ විලාප දෙමින් තම දරුවා සුවපත් කරන්නට යැයි බෙහෙත් සොයා යෑම හද කකියවන්නකි. “නුඹට පිස්සු නුඹේ දරුවා මැරිලා පිස්සු ගැහැනියේ”යි නපුරු මිනිසුන් කෑගසද්දී බුදුරදුහු මහා කරුණාවෙන් පිරි මනෝ වෛද්‍යවරයෙක් වූහ. දරු දුක විඳදරා ගැනීමට අපහසු වූ මේ අසරණ සිතට එකවිටම මරණයේ යථාර්ථය අවබෝධකරගන්නට යෑම තවත් සිත් රිදීමක් බව දුටු බුදුපියාණෝ, පුතු සුවපත් කරන්නට නොමල ගෙයකින් අබ ඇට මිටක් සොයා එන්නට යැයි ඉල්ලූහ. අබ ඇට සොයා ගිය පටාචාරාවන්ට කිසිවකුත් නොමල ගෙයක් සොයා ගන්නට නොහැකි වූහ. මරණය, ළමා, තරුණ, මහළු ඕනෑම වයසක දී පැමිණිය හැකි බව ඇයට අවබෝධ විය. සිතින් සිත බැඳෙන ආශා බැමි හැඬීමට, වැළපීමට, ශෝකයන්ට මුල බව ඇයට වැටහිණි. දුක බඳින බැමි ලිහාදමන මඟ සොයා ඇය බුදුරදුන් වෙතට පැමිණියාය.