දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
සබරගමු පළාත්
ප්‍රධාන සංඝනායක
මහාචාර්ය
කෝන්ගස්තැන්නේ
ආනන්ද හිමි
දුක්ඛ නිරෝධගාමිනී ආර්ය සත්‍යය විස්තර කෙරෙන සූත්‍ර දේශනාවල මෙසේ සඳහන් වේ.
නිවැරදි දැකීම, නිවැරදි සංකල්පනා,නිවැරදි වචන කතා කිරීම, නිවැරදි වැඩ කිරීම,
නිවැරදි දිවිපැවැත්ම, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යනුවෙනි.
සියලු දුක් නැති කිරීමෙන් නිර්වාණාවබෝධයට ඒකායන මාර්ගය වන්නේ මේ අරි අටඟි මඟයි. එහි
පළමු වැන්න සම්මා දිට්ඨිය හෙවත් ලෝකය සහ සත්වයා පිළිබඳ ව ඇති කරගන්නා වූ නිවැරදි
අවබෝධයයි.
වැරදි දැකීමක් ඇති තැනැත්තා දස වැදෑරුම් වූ මිච්ඡා දිට්ඨියකට පත්වන්නේය. එය
දසවත්ථුක මිච්ඡාදිට්ඨිය නමින් හැඳින්වෙයි.
දන්දීමෙන් යහපත් විපාක නැත
ශ්‍රමණ, බ්‍රාහ්මණ, දුගීමගී යාචකාදීන්ට පිං සලකා දන් දීමෙන් කුසලයක් සිදුවන්නේ
නැතැ’යි කියන අය සිතන්නේ දන්දීම වස්තුව විනාශ වෙන නිශ්ඵල වැඩක් වශයෙනි. ඔවුහු දැඩි
ආත්මාර්ථකාමී, වංචනික ජීවිත ගතකරති. අනුන් ගැන නොසිතන අයට වෙනත් කෙනෙකුගේ දුක
තේරුම්ගත නොහැකිය. ඔවුන්ගේ සිත් ද රළුය. දරුණුය. මෙවැනි මිථ්‍යා අදහස්වලින් ඉවත් වී
දන්දීමෙන් කුසල් සිදුවෙන බවත් එය සසර සුගතිගාමී වීමට හේතු වන බවත් පිළිගැනීම, සම්මා
දිට්ඨියකි.
මහාපූජා පැවැත්වීමෙන් ප්‍රයෝජනයක් නැත
මහා ධනයක් වියදම් කර විශාල පුද පූජා පැවැත්වීමෙන් සිදුවන්නේ ධනය විනාශ කිරීමක් ය.
ධනය විනාශ කිරීම සමාජයේ ප්‍රගතිය අඩාල වීමට හේතු වන්නේය. එනිසා මහා පුද පූජා සඳහා
ධනය වැය කිරීම නිශ්ඵල ක්‍රියාවක් යැයි කියන්නේ මිථ්‍යා මත ගත් අයයි.
පිං සලකා ගුණවතුන්ට ආහාරපාන දීමෙන් යහපත් විපාක නැත.
ගුණධර්ම ආරක්ෂා කරන යහපත් පුද්ගලයන්ගේ පැවැත්ම සඳහා ආහාරපාන ආදියෙන් උපකාර කිරීමෙන්
ප්‍රයෝජනයක් නැතැ’යි කියන්නේ නිවැරදි අවබෝධයක් නැති අයයි.
හොඳ සහ නරක ක්‍රියාවල විපාක නැත.
යහපත් වැඩ කිරීමෙන් යහපත් විපාකත් අයහපත් වැඩ කිරීමෙන් අයහපත් විපාකත් නැත. එනිසා
මවුපියන්ට උපස්ථාන කිරීම, වැඩිහිටියන්ට සැලකීම, ගිලනුන්ට සැලකීම. දිළිඳුන්ට උපකාර
කිරීම, විහාරපන්සල් සෑදීම, මංමාවත් ළිංපොකුණු සෑදීම, සිල් රැකීම, බණ ඇසීම ආදී
වැඩවලින් ප්‍රයෝජනයක් නැත. ඒවා කරන අයට පිනක් සිදුනොවේ. පරලෝකයේ දී ද ලැබිය හැකි
දෙයක් ද නැත. සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් අකුසල කර්ම සිදුවීමක් හෝ සිල්
රැකීමෙන්, දන්දීමෙන් කුසල කර්ම සිදුවීමක් වන්නේ නැත. මෙසේ අකිරීයවාදී හා අහේතු
අප්පච්චයවාදී අදහස් දරන්නෝ මිථ්‍යා මතවලින් වැසී සිටිති. සම්මා දිට්ඨියෙන් යුක්ත
තැනැත්තා කුසලාකුසල කර්ම සහ ඒවායේ විපාක විශ්වාස කරයි.
කර්මානුකූල ව මෙලොව සතුන්ගේ ඉපදීමක් හෝ වෙනත් ලෝකවලින් මෙලොවට සත්වයන්ගේ පැමිණීමක්
නැත
මේ මනුස්ස ලෝකය හැර වෙනත් ලෝක නැත. සියලු ම සත්තු මේ ලෝකයේ ම සිටිති. දිව්‍යලෝකයත්
අපායත් ඇත්තේ මේ මිනිස් ලොවමය. වෙනත් ලෝකවලින් මෙලොවට එන සතුන් හෝ මෙලොවින් වෙනත්
ලෝකවලට යන සතුන් නැතැ’යි කියමින් සමහරු මිථ්‍යාමත දරති. එහෙත් නිවැරදි දැක්මක් ඇති
තැනැත්තා බොහෝ ලෝක ඇති බවත් එම ලෝකවලත් විවිධ සත්වයන් සිටින බවත් ඒ ලෝකවලින් මේ
ලෝකයටත් මේ ලෝකයෙන් ඒ ලෝකවලටත් සත්වයන් ගමන් කර බවත් විශ්වාස කරයි.
පරලෝකයක් කියා දෙයක් නැත
සත්වයන් සිටින වෙනත් ලෝක නැත. දිව්‍යලෝක, බ්‍රහ්මලෝක, සතර අපාය ආදී පරලෝකවලින්
මෙලොවට එන සත්වයන් ද නැත. සියලු ම සත්වයන් සිටින්නේ මෙලොවමය. අපායත් මෙලොව මය.
දිව්‍ය ලෝකයත් මෙහි ම ඇත. මෙවැනි මිථ්‍යා අදහස් දරන අයට සම්මා දිට්ඨියක් නැත. ඔවුහු
පරලොවක් ගැන විශ්වාස නොකරති.
මවට සැලකීමෙන් පිනක් නැත
සත්වයන්ගේ ප්‍රජනන ක්‍රියාවන්ට අනුකූලව උපදින කෙනෙකුට මව වන්නේ කාන්තාවක්මය. ඒ මවට
ගරු සැලකිලි කිරීමෙන් විශේෂ පිනක් නැත. මෙවැනි මිථ්‍යාමත ගත් අය මවට සැලකීම හෝ
උපකාර කිරීම උසස් ක්‍රියාවක් සේ නොසලකති. මවටවත් නොසලකන තැනැත්තා වෙනත් කාන්තාවකට
ගරු කරන්නේ නැත. එහෙත් නිවැරදි දැකීමක් ඇති තැනැත්තා මවට සලකන්නේ උසස් පිංකමක්
වශයෙනි.
පියාට සැලකීමෙන් පිනක් නැත.
‘පියායැයි’ කෙනෙකුට විශේෂයෙන් සැලකිලි කළ යුතුවන්නේ නැත. සමාජයේ අනික් පිරිමින් සේ
පියාත් තවත් පුද්ගලයෙකි. පියාට විශේෂ සැලකිලි කළත් පිනක් නැතැ’යි විශ්වාස කරන අය,
මිථ්‍යා මතයකට අසු වී සිටිති. එය මෙලොව පරලොව දෙකට ම අහිත පිණිස හේතු වන්නේ ය.
සම්මා දිට්ඨියෙන් යුක්ත තැනැත්තා පියාට සැලකිලි කරන්නේ පින් රැස්කරගැනීමේ
අපේක්ෂාවෙන් ය.
ඕපපාතික සත්වයෝ නැත
මවුපියන් නැතිව කර්මානුරූප ව ඉබේ පහළ වෙන සත්වයෝ නැත. සියලු ම සතුන් ඇති වන්නේ
ප්‍රජනන ක්‍රියාවලියට අනුකූලවය. කිසි ම සතෙක් ඉබේ පහළ නොවේ. වෙනත් ලෝකවලත්
දෙවිබඹුන් වශයෙන්වත් සත්තු ඉබේ පහළ නොවෙති. මෙවැනි වැරදි අදහස් දරණ අය දිව්‍ය,
බ්‍රහ්ම, ප්‍රේත ලෝකවල සත්වයන්ගේ පහළවීම විශ්වාස නොකරති. එහෙත් සම්මා දිට්ඨියෙන්
යුක්ත තැනැත්තා ඕපපාතික ව දෙවිබඹුන්, නිරිසතුන් ආදීන්ගේ පහළ වීම පිළිගන්නේය.
විශේෂ ඤාණයෙන් මෙලොව සහ පරලොව ගැන අවබෝධයක් ලබාගත්, යහපත් මාර්ගවලට පිළිපන් ශ්‍රමණ
බ්‍රාහ්මණයෝ නැත.
සමහර උසස් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කර ධ්‍යාන ලබා විවිධ ලෝක
පිළිබඳ ව අවබෝධයක් ලබාගෙන සිටිති. ඔවුන්ගේ එම ධ්‍යාන හෝ ඔවුන් ලබාගෙන ඇති දැණුම
නොපිළිගැනීම මිථ්‍යා මතයකි. එහෙත් නිවැරදි අවබෝධයක් ඇති අය තමාට වඩා උසස් දැනුමක්
ඇති ධ්‍යානලාභී ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැන විශ්වාස කරති. මිනිසාගේ ප්‍රකෘති ඇසින්
නොදැකිය හැකි රූප, කනින් නොඇසිය හැකි ශබ්ද ලෝකයේ ඇති බවත් ඒවා දිව කනින් ඇසීමටත්
දිව ඇසින් දැකීමටත් හැකි බව පිළිගන්නේ සම්මාදිට්ඨිකයෝය.
මෙම දසවැදෑරුම් වූ මිථ්‍යා දෘෂ්ටියෙන් වෙන්වීමත්, දසවැදෑරුම් වූ සම්මා දිට්ඨියට
පැමිණීමත් නිවැරදි දැකීමයි. එපමණකින් පමණක් සම්මා දිට්ඨියට පත් අය නොයෙක් ආගම්වල
සිටිති. එය ලෞකික සම්මා දිට්ඨියකි. ඒ ඉගැන්වීම් අනුගමනය කිරීමෙන් සුගතියකට ද යා
හැකිය.
එහෙත් ලෞකික සම්මා දිට්ඨියෙන් සත්වයා නිවන් මඟට යොමු නොකරේ. නිවන් මඟට යොමුවීමට නම්
තෙරුවන් සරණ සහිතව දසවස්තුක සම්මා දිට්ඨියෙන් සමන්විත විය යුතුය. ශ්‍රද්ධාවෙන්
තෙරුවන් සරණ ගිය තැනැත්තා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ උවමනාව ඇතිව අරි අටගිමඟ
ප්‍රගුණ කිරීමට ප්‍රයත්න දරයි. එය සම්මා දිට්ඨියේ පළමු පියවරයි. නිවැරදි අවබෝධයකින්
යුක්තව ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම, ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. ලෝකය සහ
සත්වයා පිළිබඳ ව නිවැරදි අවබෝධයක් ලබාගත් සම්මා දිට්ඨිකයා කම්මස්සකතා සද්ධාවෙන්
යුක්තය. ඔහු කුසලාකුසල මූලයන් හොඳින් තේරුම්ගෙන කටයුතු කරයි. ලෝභය, ද්වේශය, මෝහය
මුල් වී සිදුවෙන අකුසල ක්‍රියාවලින් දුරු වීමටත් අලෝභ, අද්වේෂ, අමෝහ මුල් වී
සිදුවෙන ක්‍රියා උත්සාහවත් වන තැනැත්තා තුළ ඇති වන්නේ කරුණු සහිතව පිළිගත් අදහසකි.
එය ආකාරවතී සද්ධා නමින් ද හැඳින්වේ. එවැනි සද්ධාවක් ඇති තැනැත්තා තුළ සසර දුකට
බියක් ඇති වී එයින් මිදීමට උත්සාහවත් වෙයි. සියලු ම සතුන් සසරට බැඳී ඇත්තේ තණ්හාව
නිසා බව ඔහු අවබෝධ කරගනී. එනිසා සම්මා දිට්ඨියෙන් යුක්ත තැනැත්තා, සතුන්ගේ සසර දුකට
හේතුව වන්නා වූ තෘෂ්ණාව නැති කිරීම ට ක්‍රියා කරයි. එවැනි අය ලෝකෝත්තර සම්මා දිට්ඨි
හෙවත් චතුස්සච්ච සම්මා දිට්ඨියෙන් යුක්ත වෙති.
ලෝකය සහ සත්වයා පිළිබඳව යථාර්ථවාදී දර්ශනයක් ඉදිරිපත් කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ
දේශනාවල පමණි. එබැවින් දසවස්තුක සම්මා දිට්ඨියට පත් වූ අය විසින් නිවන් අවබෝධ
කරගැනීම සඳහා ලෝකෝත්තර සම්මා දිට්ඨියෙහි පිහිටිය යුතුය. එය සම්මා දිට්ඨියෙන් දෙවන
පියවරයි.
සම්මාදිට්ඨියෙහි පිහිටි තැනැත්තාට, නිවැරදි සිතිවිලි (සම්මා සංකප්ප) ඇති කරගැනීම
පහසුය. ඔහු කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, හිංසා සංකප්ප යන අකුසල මූලයන්ගෙන් ඇති
වන්නේ, අකුසල් සිතිවිලි බවත් ඒවායේ විපාක නපුරු බවත් දැන නෙක්කම්ම සංකප්ප, අවිහිංසා
සංකප්ප, අව්‍යාපාද සංකප්ප ඇති කර ගැනීමට උත්සාහ වත් වෙයි. කුසලාකුසල මූලයන් පිළිබඳ
ව නිවැරදි අවබෝධයක් ඇති. යහපත් සිතිවිලිවලින් පිරුණු මිනිසුන්ගේ මුවින් පිට වන්නේ
සත්‍ය වූ වචනයි. (සම්මා වාචා) සත්‍යවාදී වූ පුද්ගලයෙක් බොරුකීම්, කේලාම් කීම්, හිස්
වචන කීම, පරුෂ වචන කීම නොකරයි. මෙසේ වචනයේ සංවරයක් ඇති තැනැත්තාගෙන් තව කෙනෙකුගේ
ජීවිතයක් විනාශ කිරීම, අන්සතු වස්තු පැහැර ගැනීම, දුරාචාරය වැනි කායික වැරදි
නොකෙරේ. (සම්මා කම්මන්ත) කය සහ වචනයේ සංවරයක් ඇති තැනැත්තාගේ දිවිපැවැත්ම නිවැරදි
(සම්මා ආජීව) වෙයි. යහපත් ජීවිතයක් ගතකරන්නාට ආත්ම අභිමානයක් ඇති වෙයි. ඔහුගේ
දිවිපැවැත්ම, තමාටත් අනුන්ටත් ප්‍රයෝජනවත් එකක් වන නිසා සියලු දෙනාගේ ම සැලකිල්ලට
සහ සම්භාවනාවටත් පාත්‍රවෙයි. එබැවින් යහපත් දිවිපැවැත්ම නිසා සමාජයේ ගෞරවයට පත්
තැනැත්තාට, තව තවත් නිවැරදි කෙනෙක් වීමට සිතේ. මෙසේ වඩාත් යහපත් දිවියක් ගෙවන්න
උත්සාවත් වන්නේ, තමාගේ ආධ්‍යාත්මක ගුණ සංවර්ධනය කර ගැනීමටයි. ගුණයට ගරු කරන
තැනැත්තා, තමා තුළ ඇති වැරදි නැති කර ගැනීමටත් අලුත් වැරදි නොකිරීමටත්, තමා තුළ ඇති
ගුණ ධර්ම දියුණු කරගැනීමටත්, තමා ළඟ නැති ගුණ ධර්ම ඇති කරගැනීමටත් උත්සාහවත් වෙයි.
(සම්මා වායාම) මෙසේ ඇති කර ගන්නා වූ නිවැරදි උත්සාහය නිසා වඩාත් යහපත් කෙනෙක් වන
තැන්ත්තා, ධර්මයෙහි ඇති රසය දැන ධර්මචාරී වෙයි. මෙසේ දැනුමෙන් සහ ගුණයෙන් පිරිපුන්
අය තුළ සතිය දියුණු වන්නේය. (සම්මා සතිය) එනිසා බලවත් වූ සතිය ඇති අයට චිත්ත
සමාධියක් (සම්මා සමාධි) ලබාගත හැකි වන්නේ ය. එය සම්මා ඤාණපටිපදාවයි. මෙසේ දුක්ඛ
නිරෝධගාමිනී පටිපදාවෙන්, ලෝකය සහ සත්වයා පිළිබඳව නිවැරදි අවබෝධයක් ලැබෙන්නේ
‘චතුසච්ච සම්මා දිට්ඨියෙන්ය. එය සම්මා දිට්ඨි සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි. දුකත්,
දුකට හේතුවත්, දුක් නැති කිරීමත්, දුක් නැති කිරීමේ මාර්ගයත් පිළිබඳව නිවැරදි ව
අවබෝධ කර ගැනීම, සම්මා දිට්ඨිය බවයි.
|