Print this Article


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 වන රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නයිගල පුරාණ රාජමහා විහාරය


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 වන රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නයිගල පුරාණ රාජමහා විහාරය

ක්‍රි.පූ. තෙවැනි සියවසේ දී අනුබුදු මිහිඳු මා හිමියන් ප්‍රමුඛ භික්ෂූන්ගේ මූලිකත්වයෙන් මිහින්තලය හා අනුරාධපුරය මුල් කරගනිමින් බුදුදහම ව්‍යාප්ත කරලීමේ වැඩපිළිවෙලක් දියත් විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් කෙටි කලක් තුළ ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල මෙන්ම රෝහණයේ ද බුදු දහම එම වකවානුව තුළ දී ම පැතිර ගිය බව ඇති අභිලේඛන සාක්ෂිවලට අනුව සඳහන් කළ හැකිවේ.

බෝවත්තේගල හා කොටාදැමුහෙළ ඇති අභිලේඛනවලින් හෙළි දැක්වෙන දසභාතික පාලකයන් මෙන්ම මහා වංශයේ සඳහන් මහනාග පරපුරේ පාලකයන් විසින් ද රෝහණයේ භික්ෂු වාසස්ථානයක් ඉදි කරමින් බෞද්ධාගම මේ ප්‍රදේශය තුළ ව්‍යාප්ත කරලීමට මහත් කාර්යභාරයක් ඉටුකර තිබේ. එලෙසින් රෝහණයේ ඇති වූ බෞද්ධ පූජනීය ස්ථානයන් අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවේ පිහිටි නයිගල පුරාණ රාජමහා විහාරයට සුවිශේෂත්වයක් හිමිවේ. මහානාග, ගෝඨාභය රජුන් විසින් මෙම ස්ථානය ගොඩනංවන ලද බව ජනප්‍රවාදයේ එයි. දැනට මෙම ස්ථානයේ දක්නට ලැබෙන පුරා විද්‍යාත්මක සාක්ෂි විභාග කරන කල්හි අතීතයේ සිට වර්තමානය දක්වා ම රෝහණයේ ආගමික සමාජයීය හා සංස්කෘතික කාර්යයන් ඉටුකරලීමේ දී වැදගත් වූ ස්ථානයක් ලෙසින් හා බෞද්ධ ජනයාගේ ප්‍රසාදයට බඳුන් වූ ස්ථානයක් ලෙසින් ද නයිගල පුරාණ රාජමහා විහාරය සඳහන් කිරීම නිවැරදිය.

යම් ප්‍රදේශයක හෝ යම් ස්ථානයක ඓතිහාසිකත්වය අධ්‍යයනය කිරීමේදී ඒ ස්ථානවල දක්නට ලැබෙන පුරාවස්තූන්ට සුවිශේෂත්වයක් හිමි වේ. පුරාවස්තුවල කාල නිර්ණය නිවැරදිව වටහා ගැනීමට එම ස්ථානයේ ඓතිහාසිකත්වය කිනම් අවධිවලට සම්බන්ධවේ ද යන්න නිර්ණය කිරීම මහත් අනුබලයක් වේ. මේ අනුව ක්‍රි.ව. මුල් සියවස්වලට සම්බන්ධ කළ හැකි පුරා විද්‍යාත්මක සාක්ෂි රැසක් නයිගල රාජමහා විහාරස්ථානය තුළ විද්‍යාමානව පැවතීමේ මේ ස්ථානය ඓතිහාසිකත්වය විමසීමට මහත් රුකුලක් වී ඇත. මේ අතුරින් අනුරාධපුර රාජ්‍ය සමයට අයත් කළ හැකි අභිලේඛන තුනක් නාගපොකුණ පිහිටි ගල් තලාවේ දැක ගත හැකිය.

පාරිසරික ව්‍යසනයක් නිසා විනාශයට පත්වෙමින් පවතින මෙම අභිලේඛනවල ශේෂව ඇති කොටස් ඇසුරෙන් මෙම ස්ථානයේ ඓතිහාසික ආගමික පසුබිම ගෙනහැර දැක්විය හැකිවේ. අක්ෂරවල ස්වභාවය සහ භාෂා ශෛලීය මත ක්‍රි.පූ. සිව්වැනි සියවසට අයත් කළ හැකි එක අභිලේඛනයක ‘විහරති අරියවස වටකොට කහපණදිනී’ යනුවෙන් දක්වා තිබේ. ඒ අනුව පුරාණ අවධියේ වඩාත් ප්‍රචලිත ධර්මදේශන සම්ප්‍රදායක් වූ අරියවංශ දේශනය මෙම විහාරස්ථානයේ පැවැත්වීම සඳහා කහවණුවලින් කළ පරිත්‍යාගයක් ගැන තොරතුරු හෙළිවේ. එමෙන්ම අනෙක් අභිලේඛන කියවිය නොහැකි අන්දමට විනාශයට පත්ව ඇති මුත් දක්නට ලැබෙන අක්ෂරවල ස්වභාවය මත ක්‍රි.ව. සවැනි සියවසට අයත් වේ යැයි දැක්වීමට පුළුවන.

එමෙන්ම දැනට නටබුන් බවට පත් වී ඇති බොරදම් සහිත ආසනගල් තැම්පත් කරන ලද ආයත චතුරශ්‍රාකාර වූ කොරවක් ගල් යුග්මයකින් යුත් පඩිපෙළක් සහිත ආසනඝරයක් ද මේ ස්ථානයේ ඓතිහාසික බව නිහඬව කියාපායි. බුද්ධ ප්‍රතිමා නිර්මාණයට පූර්ව අවධිය බුදුන්වහන්සේ වෙනුවට උන්වහන්සේගේ වජ්‍රාසනය නිරූපණය වන ආසනගල් බෞද්ධ ජනතාවගේ පූජනීයත්වයට පත් විය. ඒ අනුව බෞද්ධ ප්‍රතිමා නිර්මාණය වූ මුල් අවධියේ හෝ ඊට පූර්ව අවධිය දක්වා නයිගල රාජමහා විහාරයේ ඉතිහාසය ගෙන යා හැකි වේ. මේ සාධක මත ක්‍රි.ව. පළමුවැනි දෙවැනි සියවස් වන විට ද රෝහණයේ ආගමික මධ්‍යස්ථානයක් ලෙසින් මෙම විහාරස්ථානය පැවැති බව මෙවැනි සාධක තුළින් පැහැදිලි වේ.

මීට අමතරව කලින් කලට මේ ස්ථානයේ ඉදි කළ ගොනැගිලිවල නටබුන් රැසක් ද දක්නට ඇත. ගරාවැටුණු දාගැබ් දෙකක් ගොඩනැගිල්ලක ශේෂව පවතින ගල්කණු මෙන්ම එක් කලක දළදා කරඬුව ආරක්ෂාව සඳහා සඟවා තබන ලදැයි සැලකෙන විශාල ගල් කරඬුවක අලංකෘත ගල් ආසනය අදත් මේ ස්ථානයේ සුරැකිව තිබේ. එමෙන්ම භාවනානුයෝගී භික්ෂූන් පරිහරණය කළ පධන් ගල් යුපස්තම්භ පාදෙනිගල් හා කැසිකිළි ගල් ද නයිගල පුරාණ රාජමහා විහාරයේ ඓතිහාසිකත්වය ඉස්මතු කරයි. තවද මහනුවර රාජධානි සමයේ දී මේ ස්ථානය සමඟ පැවැති සම්බන්ධතාවනට කදිම නිදසුනක් ලෙසින් දෙමහලින් සැදුම් ලත් අලංකෘත විහාර මන්දිරය පෙන්වා දිය හැකිය. මහරහතන් වහන්සේලාට මෙන්ම භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාට ද සෙවණ සැලසූ මේ ස්ථානයේ පිහිටි බෝධිරාජයා ද පෞරාණික වස්තුවක් ලෙසින් මෙන්ම ප්‍රදේශවාසීන්ට ආශිර්වාද ලබාදෙන ජීවමාන වස්තුවක් ලෙසින් මෙන්ම ප්‍රදේශවාසීනට ආශිර්වාද ලබාදෙන ජීවමාන වස්තුවක් ලෙසින් සැලකේ.

රෝහණයේ පෞරාණික පුස්කොල පොත් ඇති ආගමික ස්ථාන අතර නයිගල රාජමහා විහාරයට සුවිශේෂ තැනක් හිමිවේ. ක්‍රි.ව. 1972 දී ශ්‍රී ලංකා ඓතිහාසික අත් ලිපි කොමිසමේ ප්‍රකාශනයක් ලෙසින් නිකුත් කරනු ලැබූ “නයිගල රාජමහාවිහාරයේ පොත් ගුල” නම් කෘතියේ මේ ස්ථානය සතුව පවතින වටිනා පොත්පත් රැසක් පිළිබඳව තොරතුරු හෙළි දක්වා තිබේ. සිංහල සාහිත්‍ය ග්‍රන්ථ ත්‍රිපිටක පාලියට අයත් ග්‍රන්ථ පාලි සූත්‍ර හා සූත්‍ර සන්න, පාලි ඡන්දස් අලංකාර, නිඝණ්ඪු වියරණ ග්‍රන්ථ ද ඡ්‍යොතිෂය, නක්ෂත්‍ර යන්ත්‍ර මන්ත්‍ර වෛද්‍ය පොත් පත් මෙන්ම සංස්කෘත ග්‍රන්ථ කිහිපයක් ද ඇති බව මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මහතා එම ග්‍රන්ථයේ දී සඳහන් කර ඇත. එමෙන්ම බුරුම, ලන්දේසි, ඉංගී‍්‍රසි වැනි භාෂාවන්ගෙන් ලියන ලද ඔප්පු තිරප්පු මෙන්ම රාජකීයයන් විසින් මෙම ස්ථානය වෙත පූජා කළ ප්‍රතිමා, කර්ණාභරණ, නිල ඇඳුම් ආදිය ද මෙහි සුරැකිව ඇත. එබැවින් පෞරාණිකත්වය විදහා දක්වන රෝහණයේ ඇති එක් කෞතුකාගාරයක් ලෙසින් ඓතිහාසික නයිගල රාජමහා විහාරය සඳහන් කළ හැකිය. අනුරාධපුර, පොළොන්නරු සමයන්හි දියුණු ස්ථානයනක්ව පැවැති නයිගල පසුකාලයේ දී අභාවයට පත් වුවද එහි වර්තමාන දියුණුව ආරම්භ වනු ලබන්නේ මහනුවර රාජධානි සමයේ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් අතින් උපසම්පදාව ලත් කටුවන අත්තදස්සී හා පියදස්සී යන මාහිමියන් වහන්සේලාගේ අවධියෙන් පසුවය.

වස විෂ හා සර්වාංග වෛද්‍ය ක්ෂේත්‍ර මඟින් ජනතාවට සෙත සැලසෙන විහාරස්ථානයක් ලෙසින් ද නයිගල රාජමහා විහාරය රෝහණයේ පමණක් නොව ලංකාවේ ම ප්‍රසිද්ධ බව නොරහසකි.

වර්තමාන අවධියේ දී වඩාත් අලංකාර ආගමික ස්ථානයක් බවට පත් කරලීම විහාරාධිපති මාතර, හම්බන්තොට දෙදිසාවේ සංඝනායක ධර්ම කීර්ති ශ්‍රී සුමංගල ශාස්ත්‍රවේ දී පණ්ඩිත බුද්දියාගම ධම්මසිරි නාහිමිපාණන් වහන්සේ විසින් ඉටුකර ඇති බව සතුටින් සඳහන් කළ යුතුය. පෞරාණිකත්වය සුරැකීමටත් සිවු දිගින් වැඩමවන මහ සඟරුවනගේ සුබවිහරණය සඳහා සංඝාවාස හා දාන ශාලා සකස් කිරීමත්, පුස්තකාලය සහිත දෙමහල් පොහොය සීමාව ඉදිකරවීම, ජලපහසුව සැලසීම, මාර්ග පහසුව ඇතිකිරීම සඳහා කටයුතු කිරීමත් ධර්ම ශාලා මෙන්ම මළු පෙත්මංද සකස් කරලමින් දුටුවන්ගේ නෙත් සිත් බැති බරින් පිරී යන අයුරින් බෞද්ධ විහාරස්ථානයකට අවශ්‍ය අංගයන්ගෙන් සපිරුණු තැනක් බවට පත් කරලීමටත් විශේෂයෙන් නුවර යුගයේ නිමවන ලද දෙමහල් විහාර මන්දිරයේ පිට මාලයේ බලවත් අඩුවක්ව පැවැති සිවිලිම තනවා එහි මල් වියක් අන්දවා, බිත්ති චිත්‍ර හා මූර්තිවලින් සමලංකෘත කරවීම, ඉපැරණි බිතු සිතුවම් සංරක්ෂණය කරවීමාදි කටයුතු නිමකර ඇත. මේ සඳහා නාහිමියන් ගන්නා ව්‍යායාමය බෞද්ධ සැමගේ ප්‍රශංසනීයත්වයට පත් විය යුතු ය. ඒ සඳහා අනුග්‍රහ දැක්වීම කළ යුතු බව විශේෂයෙන් සඳහන් කරමි.