බටහිර විද්වතුන්ගේ
බුදුරදුන් දැකීම
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති.
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී,
මහාචාර්ය
බෙල්ලන්විල
විමලරතන අනු නා හිමි
බුද්ධාගම ගැන දැන ගැනීමට ඉතාමත් ම වැදගත් වන්නේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කරුණු හා
බුදුන්ගේ ජීවිතයට අදාළ සුවිශේෂී වූ සිදුවීම් පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමය.
බුදුන් වහන්සේගේ ජීවිතය පිළිබඳව තොරතුරු තේරුම් ගැනීම හැම කාලයකටම අයත් ශ්‍රේෂ්ඨ
පුරුෂයන්ගෙන් එක් අයකුගේ හෝ අදහස් මතු නොකර, එසේ තේරුම් ගැනීම අපහසුය. බුදුරදුන්
ගැන දැන ගත් හැමදෙනෙකු තුළ වාගේ වූ පැහැදිලි මහා භක්තිය ස්පර්ශයෙන් මෙන් ඇති
වන්නකි.
එසේ දැන ගත් තැනැත්තා, සර්වඥභාවයේ මූර්තිමත් වීමක් වැනි යම් ස්වභාවයක් ඉදිරියේ
සිටින බුද්ධ ශ්‍රාවකයකුගේ තත්ත්වයට ළඟා වෙයි. බුදුන් වහන්සේ තුළ ඇති තදින් කැපී
පෙනෙන ලක්ෂණයක් නම් නිරවුල් මනසක් හා ළතෙත් හදවතක සංකලනයෙන් එක් අතකින් සිතෙහි ඇති
වන හැඟීම්වලින් එතුමා ආරක්ෂාවීම හා මධ්‍යස්ථතාවය යයි බටහිර විද්වතුන් ප්‍රකාශ කර
ඇත.උන්වහන්සේ නිසැකවම මේ වනතුරු සිටි ශ්‍රේෂ්ඨම හේතුඵලවාදියාය. බුදුරදුන් වෙත
පැමිණි හැම ප්‍රශ්නයක්ම උන්වහන්සේගේ තැන්පත් විශ්ලේෂණ බුද්ධියට නිරායාසයෙන්ම භාජනය
විය. පළමුව ඒවා සරල විමර්ශනයට භාජනය කෙරේ. ඉන්පසු තාර්කිකව හා නිර්මාණාත්මකව එහි
අඩංගු අර්ථයන් හා වැදගත්කම් හෙළිකර, නැවත විශ්ලේෂණය කරනු ලැබේ. බුදුන් වහන්සේ
සංවාදයෙහි, තර්කනයෙහි ප්‍රවීණයෙක් විය. තැන්පත්ව විශ්වසනීයත්වයෙන් කතා කරන
උන්වහන්සේ වාද විවාදයක දී යම් කිසිවක් කවර ආකාරයකින් හෝ පටලැවිල්ලකට හෝ
ව්‍යාකූලත්වයකට පත් කිරීමට කොහෙත්ම කැමැති නොවූහ.
කෙසේ වුවද, සැලකිය යුතු කරුණක් නම් බුදු දහමේ මූලික පරමාර්ථයන් සහ බුදුන්ගේ චරිතයට
අයත් ඉතා වැදගත් ලක්ෂණවලට අනුව එහි දක්නට ලැබෙන සහනශීලීත්වය නිසා බුදුදහම කරුණා
මෛත්‍රිය සහිත ආගම යනුවෙන් අතුරු මාතෘකාවකින් හැඳින්වීමට තරම් බටහිර විද්වතුන්
යොමුවී සිටීමයි. බුදුන් වහන්සේගේ චරිත කතාව ගොඩනංවන්නවුන්ට උන්වහන්සේගේ ආත්ම
පරිත්‍යාගය කොතරම් සිත් ඇදගත්තේද යත් ඔවුන් විසින් එය පැහැදිලි කරන ලද්දේ බෝධිසත්ව
මට්ටමේ සිට ඈත කාලයක සිට පැවතෙන ප්‍රවර්තන වේගයක් හැටියටය. විස්තර කර ඇති පරිදි පෙර
භවයක මුවකුව ඉපිද සිටිය දී තම මුව කැළ වෙනුවෙන් තම ජීවිතය බිලි දී ඇත. බඩගින්නෙන්
සිටි බ්‍රාහ්මණයෙකු සඳහා සාවකුව ඉපිද සිටි සමයක ගින්නට පැන්නේ ය. මේ කරුණු ඉවත් කර
දැමුවද, බුදුරදුන් හැටියට උන්වහන්සේ ජීවිතයෙන් මෛත්‍රිය පිළිබඳ උල්පත වේගයෙන් ගලා
පිට වූ බවට ප්‍රශ්නයක් නැත. දුකෙන් මිදීම සඳහා, සියල්ලන්ට ම අනුකම්පා කළේ ය. තම
බුද්ධත්වාවබෝධය ගැන බුදුන් වහන්සේ වචනයක්වත් කතා නොකර සිටින විට පවා තමන් වෙත
පැමිණියවුන්ගේ හදවත ඇද බැඳගෙන ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් ලබාදීමට ක්‍රියා කළහ.
මතුපිටින් පෙනුන පන්ති භේද හා කුල භේදයන් බුදුන්ට ප්‍රශ්නයක් නොවීය. ඒවා ගණන් ගත්
බව නොපෙනේ. යමෙකු කොයි තරම් දුරට සමාජයෙන් කොන් කර ඇත් ද කොතරම් ප්‍රපාතයකට ඇද වැටී
ඇද්ද යන්න බුදුන්ට කාරණයක් නොවීය. එවැන්නකුට බුදුන්ගෙන් නො අඩු ප්‍රතිචාරයක් ලැබුණේ
ඔහු සමාජයේ අයෙකි යන සරල සාධකය උඩය. මේ අනුව සමාජයෙන් කොන් කරනු ලැබුවන් හා අත්හැර
දමනු ලැබුවන් පළමුවරට අවබෝධ කර ගනු ලැබූ හා පිළිගනු ලැබූ අතර ඔවුන්ගේ ආත්ම ගරුත්වය
ඔවුන්ට ආපසු ලබා දී මනුෂ්‍ය සමාජයේ නැවත පිහිටුවනු ලැබූහ. සියලු මිනිසුන් ආදරයෙන්
පිළිගත් ගෞතම බුදුන් වහන්සේ අනුරූප ලෙස සැකසුන සියල්ලන්ගේ සිත් ගත් උදාර කමින් තොර
සියල්ලන්ටම ළඟා විය හැකි උතුමෙකි.
රජවරුන්ගේ නමස්කාරය ලැබූ මෙම උතුමාණන් තුළ ඇත්තේ පුදුම ගෙන දෙන සරලත්වයකි. තමන්
වහන්සේගේ කීර්තිය උපරිම මට්ටමට නැග තිබුණ අවධියේදීත් උන්වහන්සේ දක්නට ලැබුණේ
පාත්‍රයක් අතැතිව මාර්ග ඔස්සේ ඇවිදිමින් මෝහයෙන් මුළාවී සිටියවුන් ශාන්ත ලෙස සනසන
අයුරු ය. බෝ පැළයක්, නුග පැළයක් ඉතාමත් නිසරු පසේ පවා, වැඩෙන්නාක් මෙන් බුදුන්ගේ
ශාරීරික අවශ්‍යතා ඉතා අල්ප ඒවා විය. එක් අවස්ථාවක ශීත සෘතුවේ තුෂාර වැටෙද්දී
අලව්හිදී ගවයන් ගමන් කළ මාර්ගයක කොළ ටිකක් අතුරා භාවනාවෙහි යෙදී සිටිනු දක්නට
ලැබුණි. හරකුන්ගේ කුරවලින් පෑගී ගිය බිම ගොරහැඩිය. අතුරා ඇත්තේ කොළ ස්වල්පයකි. කහ
සිවුර ද සැහැල්ලුය. කපායන සීත සුළං තියුණු ය. එසේ වුවද මම සතුටින් සැහැල්ලුවෙන්
ජීවත් වෙමි යි බුදුහු පැවසූහ.
රාජකීය අභිමානය පසෙකලු උන්වහන්සේගේ අනතිමානීගුණය පෙන්වන අවස්ථා බුද්ධ චරිතය තුළින්
ප්‍රකට කෙරෙයි. භික්ෂූන්ගේ වස්සාන කාලය අවසාන රැස්වීමකදී ඔවුන් ධර්මය දේශනා කිරීමට
පිටත්ව යාමට පෙර බුදුන් වහන්සේ ඒ නිහඬ භික්ෂු සමූහයා අමතා වට පිට බලා මෙසේ ඇසූහ.
‘හොඳයි ශ්‍රාවකයිනි’ වචනයෙන් හෝ ක්‍රියාවෙන් මා තුළ කිසියම් වරදක් ඇත්නම් එය
ප්‍රශ්න කරන ලෙස මම ඔබලාගෙන් ඉල්ලමි. එවිට සැරියුත් මාහිමියන් මෙසේ පැවසීය.
‘ස්වාමීනී, බුදුන්ට වැඩි ශ්‍රේෂ්ඨ හෝ ප්‍රඥා කෙනෙකු සිටියේ, සිටින්නේ හෝ ඉදිරියේ දී
ඇති වන්නේ නැත. මාගේ විශ්වාසය එයයි.’ එවිට බුදුහු මෙසේ පිළිතුරු දුන්හ.
‘සාරිපුත්ත, ඇත්ත වශයෙන්ම අතීතයේ සියලු බුදුවරුන් ගැන ඔබ දන්නෙහිද’ ‘නැත ස්වාමීනී’
‘එසේ නම් ඔබ අනාගතයේ බුදුවරුන් ගැන දන්නෙහිද’
‘නැත ස්වාමීනී’
‘එසේ නම් අඩු තරමින් ඔබ මා ගැන දන්නෙහිය, මගේ සිත හොඳින් විමසා බලා ඇත.’
’ එසේත් නැත ස්වාමීනි’
‘එසේ නම් සාරිපුත්ත, ඔබේ වචන එතරම් විශාල හා නිර්භය ඒවා වන්නේ කෙසේද’
තමන් කෙරෙහි තමාගේම විෂය මූලිකත්වය කෙසේ වුවද, බුදුරදුන්ගේ ජීවිත කාලය තුළ ඔහු
දෙවියකු බවට හැරවීම ප්‍රතික්ෂේප කරමින් තමන් හැම අංශයකින් ම මානුෂික බව දැඩිවම කියා
සිටියහ. බුදුරදුන් තම හැඟීම් හා දුර්වලකම් වසා ගැනීමට උත්සාහ නොකළ අතර,
බුද්ධත්වාවබෝධය සාක්ෂාත් කර ගැනීම කොතරම් දුෂ්කර ද, තමා ජයග්‍රහණය කළ සීමාව කොතරම්
පටු ද, තමන් තවම කොතරම් වරදින සුළු ස්වභාවයක සිටින්නේ ද යන්න දැන සිටියහ.
බුදුන් වහන්සේගේ නායකත්වය පෙන්නුම් කරන්නේ තම මඟ පෙන්වීම යටතේ ගොඩනැඟූ සංඝ සමාජය
වර්ධනය වී ඇති ප්‍රමාණයෙන් පමණක් නොවේ. ඒ හා සමානවම භික්ෂූන්ගේ විනය පිළිබඳ
පරිපූර්ණත්වය මඟින් ද එය පෙන්නුම් කෙරේ.
බුදුන් වහන්සේට අන් අයගේ චරිත දෙස බැලීමේ දී ස්වභාව ධර්මය ඉක්මවන ප්‍රතිභානයක් හිමි
වී ඇත. බුදුන් වෙත පැමිණියවුන් පිළිබඳ නිකම් දුටු පමණින් තේරුම් ගැනීමේ හැකියාවක්
තිබුණි. බුදුන් කිසිදාක ප්‍රයෝගයකින් රැවටිය හැකි නොවීය. සත්‍ය අව්‍යාජත්වය වහාම
වටහා ගත්හ.
මුළු මහත් විශ්වය වෙනුවෙන් තමන් වහන්සේට කාර්යයක් සම්පූර්ණ කිරීමට ඇතැයි අවබෝධය
බුදුන් තුළ කාවැදී තිබුණි. බුද්ධත්වාවබෝධය ලබා ගත් වහාම බුදුන් වහන්සේ තම
අධ්‍යාත්මය තුළින් දුටුවේ දුහුවිල්ලෙන් යාන්තම් ඇස් දෙක අන්ධකාර වූ මිනිසුන් හා
දුහුවිලි නිසා ඉතා දැඩි ලෙස ඇස් අන්ධභාවයට පත් වූවන් ය. සමස්ත මනුෂ්‍ය ලෝකයම පීඩාවට
භාජනය වී ඇත. අතරමං වී ඇත. ආරක්ෂාව හා උපකාරය තදින්ම අවශ්‍යව ඇත. බුදුන්ට වෙනත්
විකල්පයක් තිබුණේ නැත. ‘තමා ලොවට ඉපදී ඇත්තේ යහපත සඳහා ය. සැපත සඳහා ය.
වැඩිදෙනෙකුගේ ප්‍රයෝජනය සඳහාය, දෙවියන්ගේ හා මිනිසුන්ගේ යහපත හා සුව සඳහාය.’ යන තම
අනුගාමිකයන් දරන අදහස් සමඟ එකඟ වන්නට සිදුවිය. තම පෞද්ගලික අපහසුව නොසලකා මේ ධර්ම
පණිවුඩය ප්‍රචාරය සිදු කිරීම නිසා ඉන්දියානුවන්ගේ හදවත් සහ සිත් ඇද ගත්තේ ය. ගෞතම
බුදුන් වහන්සේ ආගමික ජීවිතයට පිවිසියේ තම ඥාතීන්ගේ ශ්‍රේෂ්ඨ වංශය අත්හැර දමමිනි.
පොළොව මතුපිටත් පොළොවට යට ඇති මුදල්, රත්‍රන් හා වස්තු සියල්ල අත්හැර දමමිනි. ඇත්ත
වශයෙන්ම පැසුණු හිසකේ නැති තරුණයෙකුව සිටිද්දී, ජීවිතයේ මුල් අවධියට අයත් සුන්දර
පෙනුම තිබියදී එතුමෝ ගිහි ජීවිතය අත්හැර අනගාරික ජීවිතයකට ගියහ.
පසුකාලීන ග්‍රන්ථවල බුදුන් පිළිබඳ පමණ ඉක්මවූ විරුදාවලීන්ගෙන් පිරීයාමට එක් හේතුවක්
වන්නට ඇත්තේ නිසැකවම කිසිම විස්තරයකින් බුදුන්ගේ ශ්‍රාවක පිරිස සෑහීමකට පත් නොවූ
නිසා විය හැක. වචන උපරිම තත්ත්වයෙන් යෙදුවාට පසුවත් බුදුගුණ විස්තර කළ නොහැකි
තත්ත්වයක් ඉතිරි වී ඇත යනු විශ්වාසයයි. එය ගැඹුර මැනිය නොහැකි තත්ත්වයකි. තමන් සතු
භාෂා නෛපුණ්‍යය එම ගැඹුර මැනීමට ප්‍රමාණවත් නැතැයි ඔවුහු සිතූහ. තමන්ට තේරුම් ගත
හැකි ඒවාට ඔවුහු ගරු කළහ. ආදරය කළහ. නමුත් ඔවුන් වැය කිරීමට බලාපොරොත්තු වන දෙයට
තවත් වැඩි යමක් එහි විය. අවසානයේ බුදු කෙනෙකුන් නිවැරදිව දැකිය හැක්කේ බුදුවරයෙකුට
පමණක්ය යන තැනින් නතර වූහ.
(මහාචාර්ය හ්යුස්ටන් ස්මිත්ගේ Religious of Man ග්‍රන්ථය ඇසුරෙනි)
|