Print this Article


සම්බුදු අසිරිය

වෙසක් පුර අටවක පෝදා දම් දෙසුම:

සම්බුදු අසිරිය

“එක පුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො
උප්පජ්ජති බහුජන හිතාය, බහුජන සුඛාය,
ලොකානුකම්පාය,අත්ථාය හිතාය සුඛාය
දෙවමනුස්සානං කතමො එකපුග්ගලො
තථාගතො අරහං සම්මා සම්බුද්ධො
අයං ඛො භික්ඛවෙ එකපුග්ගලො ලොකෙ
උප්පජ්ජමානො උප්පජ්ජති බහුජන හිතාය
බහුජන සුඛාය ලොකානුකම්පාය අත්ථාය
හිතාය සුඛාය දෙවමනුස්සානන්ති”

“මහණෙනි එක් පුද්ගලයෙක් ලොවැ (සත්ත්ව ලොකයෙහි) උප්පත්තියට සමත් වූයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස උපන්නේ වෙයි. කවර එක පුද්ගලයෙක්ද යත්, තථාගත අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි,මේ එක්පුද්ගලයා වනාහි ලොව පහළවීමට සමත්වූයේ බොහෝ දෙනාට හිත පිණිස, සුවපිණිස අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිතසුව පිණිස උපන්නේ වෙයි.

මහණෙනි, තථාගතයන් වහන්සේගේ පහළවීම ලොව දුර්ලභ සිද්ධියකි. ආශ්චර්ය කාරණයකි. යම් දිනක පිරිනිවන්පෑම බොහෝ දෙනාට තැවීම, දුක ගෙන දෙන්නකි. මේ එකම පුද්ගලයා ලොව අද්විතීය.අසහාය වන්නේය.

මහණෙනි, පා නැති, දෙපා ඇති, සියුපා ඇති, බොහෝ පා ඇති රූපී වූ අරූපී වූ සංඥා වූ අසංඥා වූ භාවග්‍රගත වූ යම් පමණ සත්ත්වයන් ඇත්ද ඔවුනට අරහත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේම අග්‍ර වන්නේය. යම් කෙනෙක් ලොව්තුරා බුදුන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න වෙත්ද, ඔහු අග්‍ර ස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්න වූවන්ට අග්‍ර විපාකය වෙයි. මේ පිළිබඳ තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේදී අනුශාසනා කරන සේක.

මහණෙනි, එකම ධර්මයක් භාවනා වශයෙන් වඩන ලද්දේ, බහුල වශයෙන් කරන ලද්දේ, ඒකාන්ත වශයෙන්ම සසර කලකිරීම පිණිස, නොඇලීම පිණිස (රාගාදී කෙලෙස්) නිරොධය පිණිස, සන්සිඳීම පිණිස, විදර්ශනා වැඩීම පිණිස (අනිත්‍යාදී වශයෙන්) සිවුසස් (චතුරාර්ය සත්‍යය) අවබෝධය පිණිස නිවන් පිණිසම පවතින්නේය. කවර එක ධර්මයෙක්ද බුද්ධානුස්මෘතියයි. (එතරම් ම බුදුගුණ වැඩීම ශ්‍රේෂ්ඨත්වයට පත්වීමට හේතුවේ)

මහණෙනි,ලොව මේ එකම පුද්ගලයාගේ නිෂ්පත්තිය (පහළවීම) හේතු කොටගෙන මහා ප්‍රඥාව නමැති දහම් ඇස පහළවීමයි. මහත් වූ බැබළීමයි. ආලෝකය උදාවීමයි. අනුත්තරීය වූ (බුද්ධ, ධම්ම , සංඝ , සීල, චාග, දේවතානුස්සති)

සදෙනාගේ පහළ වීමයි. සිවුපිළිසිඹියාවන්ගේ පහළවීමයි. (අත්ථ, ධම්ම, නිරුත්ති, පට්භාන) අටලොස් ධාතුන්ගේ ප්‍රතිවේධය වෙයි. නානාධාතුන්ගේ අවබෝධයයි. විද්‍යා විමුක්තිඵලයන් සාක්ෂාත් කිරීම වෙයි. සෝතාපත්ති ඵලය, සකෘදාගාමීඵලය, අනාගාමි ඵලය, රහත්ඵලයන්ගේ ප්‍රත්‍යක්ෂ කිරීම වෙයි. තමන් වහන්සේගේ පහළ වීමේ ශ්‍රේෂ්ඨත්වය බුදුවදනින් වදාළ සේක.

මහණෙනි, “සීහ” යන තෙල වචනය අරහත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට නමෙකි. මෘගරාජ වන සිංහයා සවස් වෙලෙහි නැඟිට සිවු දිග බලා තෙවරක් සිංහ නාද කොට ගොදුරු සඳහා නික්මෙයි. යම් හෙයකින් තථාගතයෝ සිවුවණක් පර්ෂද්හි දහම් දෙසත්ද මේ උන්වහන්සේගේ සිංහනාද යයි. අට පිරිස්හි ධර්මචක්‍රය පවත්වත්, එබඳු වූ බලයෝ දස දෙනෙකි. ඒවා ශ්‍රේෂ්ඨත්වයම විද්‍යාමාන කෙරෙයි. කවර දස කෙනෙක්ද යත්.

මෙලොවෙහි තථාගතයෝ කාරණය කාරණ වශයෙන්ද අස්ථානය අස්ථානය ලෙසින්ද යථාභූතව දන්නාහ.

අතීත, අනාගත වර්තමාන කර්ම සමාදානයන්ගේ විපාකය, හේතු ප්‍රත්‍යය දන්නේය.

හැම තැන්හි (සර්වත්‍රගාම්ප්‍රතිපදාව) වැඩිය යුතු ප්‍රතිපදාව යථාභූත ව දන්නාහ. (සසර ගමන සහ එතෙරවීම)

කාම ධාතු ආදී බහු ධාතුක නානාධාතු ස්කන්ධ ලෝකය මනාකොට ඇති සැටියෙන් යථාභූතව දන්නාහ.

සත්ත්වයන්ගේ (හීනාදි) නානාධිමුක්තික (නොයෙක් ආකාර ඇති) භාවය යථාභූතව දක්නේය.

තථාගතයෝ පර සත්ත්වයන්ගේ හා අන් පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය පරාවරභාවය යථාභූත කොට දක්නා ලද්දේ (ඉන්ද්‍රියයන්ගේ දියුණුව හා හානිය)

ධ්‍යාන, විමෝක්ෂ, සමාධිසමාපත්තීන්ගේ (භාන භාර්ගය, ධර්ම සංඛ්‍යාත) සංක්ලේශයක්, (විශේෂ භාගීය ධර්ම සංඛ්‍යාත) සිත කෙලෙසුන්ගෙන් පිරිසුදු කරගෙන ප්‍රගුණ කිරීමත් තත්වාකාරයෙන් යථාභූතව දන්නාහ. (රූපීධ්‍යාන සහ අරූපීධ්‍යාන)

අනේකවිධ පූර්වනිවාසානුස්මෘතිය, එනම් එක් ජාතියකද, ජාති දෙක තුනකද, සියදහස් ජාතියකද, සංවර්ත විවර්ත කල්පගණන්ද, සිහිපත් කරයි. ඒ ඒ ජාතිවල නාමගෝත්‍රයද, මෙසේ වර්ණ ඇතියේ,ආහාර ඇතියේ, සුවදක් විඳීම්ද, ජීවත්ව චුතවී ප්‍රතිසන්ධි වශයෙන් උපන් ස්ථානද දක්නාහ.

තථාගතයෝ විශුද්ධ වූ මිනිස්සැප ඉක්මගිය දිව්‍ය චක්ෂුසින් චුතව උපදින්නාවූද, හීන වූද, ප්‍රණීතවූද, ස්වර්ණවූද, දුර්වර්ණ වූද, සුගති දුගති සත්ත්වයන් දක්නාහ. කර්මානුරූපීව යන සත්ත්වයන් දක්නාහ. ත්‍රිවිධ දුශ්චරිත කොට, ආර්යනට උපවාද කරන ලද නියත මිසදුටු ඇති, කර්ම සමාදාන ඇති කාබුන් මරණින් මතු අපාය දුගති විනිපාත නම් වූ නිරයට පැමිණෙන සත්ත්වයෝද, ත්‍රිවිධ සුචරිතයෙන් (කාය වාග්,මන) ආය¸යනට උපවාද නොකරන සම්‍යක් දිටු ඇති ආර්ය මාර්ගය සමාදන් වූ, ශීල , සමාධි, ප්‍රඥා වැඩුවා වූ, කාබුන්(කය බිඳීයාමෙන්) මරණින් සුගති නම් වූ ස්වර්ගයට පැමිණෙන සත්ත්වයන් දක්නාහ.

තවද, තථාගතයන් වහන්සේ ආස්‍රවක්ෂයයෙන් අනාසුව චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, තමන් වහන්සේ විසින් විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට පැමිණ වෙසෙත්.

”මහණෙනි , යම් බලයකට පැමිණ තථාගතයෝ විශාරදව මේ දශබල ඥාන ප්‍රතිඥා කරත්ද, පිරිස්මැද ශ්‍රේෂ්ඨ නාද කරත්ද, බ්‍රහ්මචක්‍රය පවත්වත්ද තෙල අනුත්තරිය වෙයි. මෙබඳු වූ ඥානයෙන් (යථා භූත) උත්තරීතර වූ හෝ ප්‍රණීතකර වූ අන්‍යඥානයෙක් නැතයි මම කියමි.”

සම්‍යක් සම්බුද්ධ යැයි ප්‍රතිඥා කරන්නාවූ ඔබ විසින් මේ ධර්මයෝ අවබෝධ කරනු ලද්දාහු නොවෙති යි කිසියම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි අන් කිසිවෙක් හෝ කාරණා සහිතව මට චෝදනා කරන්නේය යන මේ කාරණය නොදකිමි. යම් විශාරද භාවයට පැමිණ අභීත වූයේ නිර්භය භාවයට පැමිණියේ පිරිස් හි සිංහනාද කෙරේද තථාගතයන් වහන්සේගේ චිත්ත විමුක්තිය අකෝප්‍යය. සම්බුද්ධත්වය ගාම්භීර ඥාන සමුදායකින් සමන්විත වන්නේය. මෙම උතුම් වෙසක් සමය තුළ අසීමිත බුදුගුණ සිත් සතන් හි වඩා වර්ධනය කරගෙන ලොව්තුරා සැපයට පත්වීමට සියල්ලෝ උත්සාහවත් කරත්වායි මෙත් සිතින් ආශිර්වාද කරමු.