Print this Article


බුදුපිළිමයේ උපත - 18: මාර පරාජය කිරීම

බුදුපිළිමයේ උපත - 18:

මාර පරාජය කිරීම

බෝසතාණන්වහන්සේ බෝධිමූලයෙහි වැඩහිඳ බුදු බව ලබා ගැනීම බලසෙන් සහිත මාර පරාජය කිරීමක් බව බුදුරජාණන් වහන්සේ විසින්ම මෙසේ දේශනා කොට ඇත.

“ප්‍රධන්වීර්යය වඩා නිවන් පසක් කළ උතුමෝ නොසැළී උප්පත්ති, මරණ භය අවසන්කොට මාර විෂය නම් වූ භවය අභිබවනය කොට මාර බලය ඉක්මවා සැනසීමට පත්වෙති.

මෙකී මාර පරාජය කාව්‍යයෙහි සාහිත්‍යයෙහි මෙන්ම චිත්‍ර මුර්ති කලාවන්හිද විචිත්‍රාකාරයෙන් නිරූපණය කොට ඇති අයුරු දක්නට ලැබේ.’ ව්‍යවහාර ලෝකයෙහි මාර විජය එක් ආකාරයෙන් නිරූපණය කිරීමට ඇති අවකාශය කෙබඳුද යන සංකල්ප බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙහිම සඳහන් වන බව ඉහත සඳහන් පාඨයෙන් සහ සංයුක්ත නිකාය මාර සංයුක්ත වැනි නොයෙක් දේශනා වලින් පෙනේ. එක් අවස්ථාවක මාරයාත් භාග්‍යවතුන් වහන්සේත් අතර ඇතිවු සංවාදයක මෙසේ සඳහන් වේ.


මාර පරාජය සාංචි තොරණේ මූර්ති කැටයමකි.

”මාරයා :– දිව්‍යමය වූ මානුෂික වූද භවබන්ධන නමැති පාශයෙන් ඔබ බැඳුණෙහිය

භාග්‍යවතුන් වහන්සේ දිව්‍යමය වූද මානුෂික වූද භවසම්පත් නමැති මාරපාශයෙන් මම මිදුනෙමි.

මෙහි මාරපාශ නමින් දක්වා ඇත්තේ දිව්‍යමය සහ මානුෂික සම්පත් සමූහයයි. භවබන්ධන නමින්ද හැඳින්වෙන කම් සැප මාර විෂය නමින්ද හැඳින්වේ. බෝසතාණන් වහන්සේ ප්‍රධන් වඩන අවස්ථාවේ පටන්ම කලබලයට පත් මාරයා උන්වහන්සේ වෙත පැමිණ හිතවතෙකුමෙන් පෙනී සිට දුක් විඳිමින් ජීවිතය නසා නොගෙන සැප විඳිමින් පින් දහම් කරන්නැයි ආයාචනා කළ අවස්ථාවේ ඇතිවූ සංවාදයෙන් මාර සේනාවත්, මාරයාත් හඳුනාගත හැකිය.

නේරංජනා නදී තීරයෙහි නිවන් ලැබීම පිණිස දෘඪ පරාක්‍රමයෙන් ප්‍රධන් වීර්යය කරන මා වෙත කාරුණික වදන් තෙපලමින් මාරයා පැමිණියේය. ඔහු මෙසේ කීය. ඔබ දුර්වලයි දුර්වර්ණයි. මරණය අත ළඟයි. ඔබ දහස් පංගුවකින් මරණයට ළඟයි. ජීවත්වීමට ඇත්තේ දහසෙන් පංගුවක් පමණයි. පින්වත, ජීවත්වන්න, ජීවිතය ශ්‍රේෂ්ඨයි ජීවත් වෙමින් පින්කළ හැකියි. බඹසර යෙදෙමින් ගිනි පිදීමෙන් පින් රැස් කළ හැකිය.ප්‍රධන් වීර්යයෙන් කුමක් කළ හැකිද ප්‍රධන් මාර්ගය අසීරුය. දුෂ්කරය. ලබන්නටත් බැහැයි කියමින් මාරයා මා ළඟට වී සිටියේය.

ඔබ පළමු සේනාව කාමයෝය. දෙවැන්න ජාතියයි. තෙවැන්න සා පවසයි. සිව්වැන්න සෙවීමේ ආශාවයි. පස්වැන්න අලස බවයි. සවැන්න බියයි. සත්වැන්න සැකයයි. අටවැන්න මකු බව මානය හා දරදඬු බවයි. නවවැන්න බොරුලාභ කීර්ති ප්‍රශංසාවයි. දසවැන්න තමා උසස් කොට අනුන් පහත් කොට සිතීමයි.

(සුත්ත නිපාත, මහාවග්ග – පධාන සුත්ත පිටු 126-131)

(බුදුන් වදාළ බුද්ධ චරිතය මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියෝ සහ කීර්ති නාරම්පනාව – පිටු 71-72 (1999)


ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි භාරුත් මූර්ති කැටයමකි

“බුද්ධත්වබෝධයට සම්බන්ධ අනෙකුත් අවස්ථාවලදී විශේෂයෙන් මාර යුද්ධය පැරණි කලාකරුවා ඉදිරිපත් කර ඇති ආකාරය සලකා බැලීම මෙහිදී වැදගත් වෙයි. බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතයේ ඉතාමත් තීරණාත්මක අවස්ථාව වන මෙම සංසිද්ධිය සියලු සම්ප්‍රදායට අයත් ධර්ම ග්‍රන්ථ සහ බුද්ධාපදානයන්හි ඉතාමත් සංවේදී ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.

බුද්ධාවබෝධය යනු ක්ලේශ ධර්මයන් සහමුලින්ම ප්‍රහාණය කර ලබන අධ්‍යාත්මික විමුක්තිය වූවත් බෞද්ධ පොත් පත්වල එම අවස්ථාව ඉදිරිපත්කරනු ලබන්නේ වසවර්ති නම් වු මාරදිව්‍ය පුත්‍රයා විසින් බෝසතුන්ට එරෙහිවූ තම සේනාව ද රැගෙන කරන ලද යුද්ධයක් වශයෙනි. ජාතක නිධාන කථාවේ මෙන්ම බුද්ධ වංශ ,අට්ඨකතා ,ලලිත විස්තර, මහාවස්තු ඇතුළු මහායාන ග්‍රන්ථ වලද එම අවස්ථාව ඒ අයුරින්ම වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.

මාරයා තම සේනාවන් සමග බෝධිසත්වයන් වෙත එල්ල කරන ආකාරයේ මුර්ති කැටයමක් අංක 1 සාංචි ස්තූප දකුණු වාහල්කඩෙහි දක්නට ලැබේ. මාරයා සහ සේනාව තරමක් අස්වාභාවික ආකාරයේ මූර්ති වලින් පෙන්වන අතර වම් කෙළවරෙහි බෝධිවෘක්ෂය සැදැහැවතුන් විසින් වන්දනය කරන ආකාරයෙන් දක්වා ඇත. ඒ අය අතර තම කිරි ආහාර සමඟ සුජාතාව ද දක්නට ලැබේ. මෙය සමහර විට මාරයාගේ පැමිණීම පිළිබඳ කතාවේ මුල් අවස්ථාව පෙන්වන මූර්තියක් ලෙස සැලකිය හැකි නමුත් මාර දූවරු මෙහිදී ඉදිරිපත් කර නැත.

අමරාවතී කැටයමක් මේ අවස්ථා දෙක වෙන්වෙන්ව එයට සම්බන්ධ කර දක්වා ඇත. එයින් කලාකරුවා අදහස් කරන්නට ඇත්තේ පළමුව තම බලපරාක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ පරදවන්නට අසමත් වූ මාරයා ස්වකීය රූමත් දියණියන් මෙහෙයවා උන්වහන්සේ පොළඹවා ගැනීමට ගන්නා ලද උත්සාහය නිරූපණය කිරීමට යැයි සිතිය හැකිය. මහායාන සම්ප්‍රදායට අයත් ලලිත විස්තරයෙහි මාර පරාජය පිළිබඳ කතාව විස්තර වන්නේ මාරයාගේ උත්සාහය අසාර්ථක වූ පසු මෙම මාරදූතිකාවන් තම පියාගේ උපදෙස් මත බුදුරජාණන් වහන්සේ රාගයෙන් පොළඹවා ගැනීමට රංගනයන්හි යෙදුණු ආකාරයයි. මෙම අවස්ථා දෙක සමඟ අවසානයෙහි බුදුරජාණන් වහන්සේ බෝ මැඬදී සකල ක්ලේශයන් ප්‍රහාණය කළ බවට සාක්ෂි වශයෙන් දකුණු අතින් පොළව ස්පර්ශ කළ බව සඳහන් වෙයි. මාර සේනාව බෝධිය සහ පහතින් ඇති හිස්වැසුම අමරාවතී කැටයමේ එක්තරා සම්පිණ්ඩනයකට අනුව දක්වා තිබීම බුද්ධත්වයට සම්බන්ධ ඉහත කී අවස්ථා තුන එකට ගැලපීමක් වශයෙන් උපකල්පනය කළ හැකිය.

අමරාවතී මූර්ති කැටයමෙහි ඇති මාර පරාජය කැටයම් රාමුව ජාතක නිදාන කථාවෙහි විස්තර කරන ආකාරයට මාරයා ගිරිමේඛලා නම් ඇතුපිට නැගී සිටින ආකාරය පෙන්වීමට නිර්මාණය කරඇතැයි සිතිය හැකි වුවත් එය බොහෝ දුරට කැඩි බිඳී ගොස් ඇති නිසා පැහැදිළිව හඳුනා ගැනීම අපහසුය.

ගන්ධාරයට අයත් මාර පරාජය පිළිබඳ මූර්ති කැටයමෙහි ගී‍්‍රක හා රෝම සම්ප්‍රදායට අයත් ඇඳුම් වලින් යුත් භයානක අවි අතට ගත් යුද භටයන් මාරසේනාව ලෙස පෙන්නුම් කරයි. මෙය ගන්ධාර බෞද්ධ මූර්ති කලාව තුළ ගී‍්‍රක ආභාසය ප්‍රකට කෙරෙන ඉතා පැහැදිලි නිදසුනක් වශයෙන් ඉදිරිපත් කළ හැකිය.

දසමරුන් පරදවා බුද්ධත්වයට පත්වීම ධර්මයට අනුව බැලීමේදී භෞතිකව පුද්ගලාන්තර සිදුවීමකට වඩා සන්තානගතව ඇති කෙලෙස් නමැති සතුරන් අධ්‍යාත්මිකව ජයග්‍රහණය කිරීම වශයෙන් පිළිගත යුතුව ඇත. එහෙත් මෙම අවස්ථාව දෘෂ්ටිපථයට ගෝචර වන ආකාරයෙන් නිරූපණය කිරීමේදී කලාකරුවා අවධානය යොමු කර ඇත්තේ බුද්ධ චරිතයට සම්බන්ධ පුරාවෘත්තවල එන වසවර්ති මාරයාගේ සිද්ධිය පිළිබඳව බව පැහැදිළිව දක්නට ලැබෙන ලක්ෂණයයි.

බුදුපිළිමයට පෙර බුදු හාමුදුරුවෝ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණෝ – පිටු අංක 51-53 (2010) සරසවි ප්‍රකාශකයෝ


පසුගිය සතියෙන්: බුදුපිළිමයේ උපත - 17: දුෂ්කර ක්‍රියාව