ධම්ම පද –9
කසාවතට සුදුස්සා
කොළඹ විශ්වවිද්‍යාලයේ,
පාලි හා බෞද්ධ අධ්‍යයන ඒකකයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
රාජකීය පණ්ඩිත
දර්ශනපති
උඩුහාවර ආනන්ද හිමි
කෙලෙස් කසට දුරු නොකළ, ඉන්ද්‍රීය දමනයෙන් තොර, බොරු කියන තැනැත්තා කසාවත දැරීමට
සුදුසු නොවේ. කෙලෙස් කසට දුරු කළ, සිල්වත්, ඉන්ද්‍රීය දමනයෙන් යුක්ත, සත්‍ය කථාකරන
තැනැත්තා කසාවත දැරීමට සුදුසු වේ.
ධම්මපදයේ යමක වග්ග නවවන හා දසවන ගාථා මගින් කසාවත දැරීමට සුදුසු තැනැත්තා කවරෙක්ද
එයට අවශ්‍ය සුදුසුකම් කවරේදැයි පැහැදිලි කරනු ලැබේ. මෙම උපදේශය පැවිදි දිවිය අරමුණු
කොට ඇත. බුදුසමයට අනුව පැවිද්දට පත්වීම අතිශය උතුම් ක්‍රියාවකි. එහෙත් එය අවබෝධයෙන්
තෝරාගත යුතුවේ. මතු පිටින් පහසු යැයි පෙනුණද සැබවින්ම පැවිද්ද දුෂ්කර වූවකි. දිනක්
සැරියුත් මහ රහතන් වහන්සේ වෙත පැමිණි පරිබ්‍රාජකයෙක් උන්වහන්සේගෙන් මෙසේ විමසා
සිටියේය. ස්වාමීනි, මේ ධර්ම විනයෙහි (සසුනෙහි) දුෂ්කර කටයුත්ත කුමක්ද මෙයට
පිළිතුරු වශයෙන් සැරියුත් මහ රහතන් වහන්සේ මේ ධර්ම විනයෙහි පැවිද්ද දුෂ්කර වූවක් බව
ප්‍රකාශ කළහ. පැවිද්දට පත්වූ තැනැත්තාට කුමක් දුෂ්කර දැයි පරිබ්‍රාජකයා දෙවන වර
ප්‍රශ්න කළේය. එයට පිළිතුරු වශයෙන් සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළේ පැවිද්දට
ඇතුළත් වූ තැනැත්තාට එහි සිත් අලවා වාසය කිරීම දුෂ්කර
බවයි. එසේ සිත් අලවා වාසය
කරන්නාට කුමක් දුෂ්කර දැයි පරිබ්‍රාජකයා තුන්වන වර විමසීය. ධර්මානු ධර්ම
ප්‍රතිපදාවෙහි නිරතවීම පැවිද්දෙහි සිත් අලවා වාසය කරන තැනැත්තාට දුෂ්කර යැයි
ප්‍රකාශ කළහ. අවසන් ප්‍රශ්නය ලෙස පරිබ්‍රාජකයා විමසා සිටියේ ධර්මානු ධර්ම
ප්‍රතිපදාවෙහි නිරත පැවිද්දා කොපමණ කලකින් අර්හත් බවට පත්වන්නේද යන්නයි. මෙයට
පිළිවදන් දුන් සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කළේ එවැනි තැනැත්තා නොබෝ කලකින්ම
අර්හත්වය සාක්ෂාත් කරන බවයි. මෙම සංවාදය දෙස විමසීමෙන් බලන විට පැහැදිලි වන්නේ
පැවිද්දට පත්ව එහි සිත් අලවා වාසය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි නිරත වීම අතිශය
දුෂ්කර බවත්, එම දුෂ්කරතාව විඳ දරාගනිමින් කටයුතු කරන පැවිද්දා කෙටි කලකින්ම නිවන්
අවබෝධකරගන්නා බවත්ය. පැවිද්ද අතිශය දුෂ්කර වූවක් බව ප්‍රකාශ කරන්නේ සාමාන්‍ය
භික්ෂුවක් නොවේ. දම්සෙනෙවි අග්‍රශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේය. පැවිද්ද
සාකල්‍යයෙන්ම අර්ථවත් කළ එවැනි උතුමෙකුගේ අත්දැකීම නම් පැවිද්ද දුෂ්කර වූවක් බවයි.
මතුපිටින් බලා පැවිද්ද සුව පහසු යැයි සිතන හා අවබෝධයකින් තොරව පැවිද්දට ඇතුල්වීමට
උත්සුක වන සැමට සැරියුත් මහ රහතන් වහන්සේගේ දේශනය කදිම පිළිතුරකි.
පැවිද්ද අර්ථවත් වන්නේ එයට අයත් ආධ්‍යාත්මික ගුණ දියුණු කළ පමණටය. ධම්මපද ගාථා
දෙකින් පෙන්වා දෙන්නේ කෙලෙස් කසට ඉවත් නොකර ඉඳුරන් සංවර නොකරගත් බොරු කියන තැනැත්තා
කසාවත දැරීමට හෙවත් පැවිද්දට නුසුදුසු බවයි. පැවිද්ද ගිහි ජීවිතයෙන් සාකල්‍යයෙන්ම
වෙනස් වේ. පැවිද්දෙකුගේ චින්තනය හා ආකල්ප සකස්විය යුතු ආකාරය දසධම්ම සූත්‍රයේ කරුණු
දහයක් යටතේ දක්වා තිබේ. කෙනෙකු පැවිද්දට පත්වන්නේ සාකල්‍යයෙන්ම පිරිසුදු
බ්‍රහ්මචරිය ජීවිතයක් ගත කිරීමට ගිහිගෙය දුෂ්කර බව වටහා ගැනීමෙන්ය. එසේ පැවිදිවන
තැනැත්තාගේ මූලික අරමුණ කඩිනමින් නිවන සාක්ෂාත් කිරීමයි. ගිහි පැවිදි වෙනස දක්වන
මුනි සූත්‍රයේ ගිහියා මොණරාටත් පැවිද්දා හංසයාටත් උපමාකර තිබේ. පියාසර වේගය අනුව
මෙම පක්ෂීන් දෙදෙනා කිසිවිටකත් සමාන නොවේ. හංසයාට වේගයෙන් පියාසර කළ හැකි අතර
පිල්බර සහිත මොණරාට එසේ කළ නොහැකිය. සම්බාධ සහිත ගිහියාට නිවන සඳහා පූර්ණ වශයෙන්
කැපවිය නොහැකි අතර පැවිද්දා නිවන් පිළිවෙත සඳහා පූර්ණ ලෙස කැපවී සිටී.
ධම්මපදට්ඨකථාවෙහි දැක්වෙන පරිදි මෙම ගාථා දෙක දේශනා කරන්නේ දෙව්දත් තෙරුන් මූලික
කරගෙනය. රජගහනුවරට වැඩි සැරියුත් මුගලන් අගසව් දෙනමට දන් පූජා කළ සැදැහැවතුන්ගේ
දානය අගයමින් සැරියුත් මහා රහතන් වහන්සේ විසින් දානානිසංස සහිත භුක්තානුමෝදනාවක්
සිදුකරන ලදී. සැරියුත් මහ රහතන් වහන්සේගේ දානානිසංස දේශනාව ඇසූ සැදැහැති
පුද්ගලයෙකුට සියලු දෙනාම සහභාගී කරවා ගනිමින් දනක් දෙන්නට ආශාවක් ඇති විය. ඒ අනුව
සියල්ලෝම සහභාගිකරවා ගනිමින් ඉතා විශේෂ දානයක් සංවිධානය කළේය. එම දානය සඳහා එක්
ධනවත් පුද්ගලයෙක් සුවඳ කැවූ වස්ත්‍රයක් ගෙනවිත් සංවිධාකයන්ට බාර දුන්නේය. දානය
සංවිධානය කළ පිරිස අතර සිටි බොහෝ දෙනෙක් තම පෞද්ගලික සම්බන්ධකම් අනුව එම අගනා
වස්ත්‍රය දේවදත්ත තෙරුන්ට පූජා කළ යුතු යැයි යෝජනා කළ අතර ඒ අනුව එය උන්වහන්සේට
පූජා කරන ලදී. දේවදත්ත තෙරුන් එයින් සිවුරක් සකස් කොට හැඳ පොරවාගෙන තැනින් තැන
ඇවිදින්නට විය. මෙය දුටු බොහෝ සැදැහැවත්හු එම චීවරය සැරියුත් මහරහතන් වහන්සේට
සුදුසු බවත්, දෙව්දත් තෙරුන්ට එය නුසුදුසු බවත් ප්‍රකාශ කළහ. මෙම සංවාදය බොහෝ දෙනා
අතර පැතිර ගිය අතර එය දැනගත් බුදුරජාණන් වහන්සේ එම අවස්ථාවෙහි ඉහතින් දැක්වු ධම්මපද
ගාථා ආශ්‍රයෙන් කසාවතට යෝග්‍ය තැනැත්තා කවරෙක්ද යන්න පැහැදිලි කරමින් ධර්ම
දේශනාවක් කළහ. දෙව්දත් හිමියන් පෙර ආත්ම භවයක වැදි පුත්‍රයෙක්ව ඉපිද වනයෙහි වැඩ
සිටි පසේ බුදුවරයෙකුගේ චිවරයක් සොකරම් කොට එය පොරවාගෙන පසේ බුදුරදුන්ට උපස්ථාන කළ
ඇත් රංචුවක් විනාශ කළ අයුරුද අතීත පුවතක් ගෙනහැර දක්වමින් තවදුරටත් කරුණු පැහැදිලි
කළ සේක.
මෙම කථාවෙහි දැක්වෙන පරිදි දෙව්දත් හිමියන් කසාවත දැරීමට සුදුසු නොවන්නේ උන්වහන්සේ
සතුව පැවිදි ගුණ කිසිවක් නොමැති වු හෙයිනි. එසේම වංචනික පුද්ගලයෙකුට චීවරයට මුවාවී
නොපනත් කම් කළ හැකිය යන්න දෙව්දත් හිමියන්ගේ අතීත කථා පුවතින් පැහැදිලි වේ. චීවරයක්
දරන තැනැත්තා බාහිර වශයෙන්ද මිනිසුන්ගේ පමණක් නොව සතුන්ගේද ආකර්ෂණයට ලක්වන බව මෙම
පුවතින් පැහැදිලි වේ. චීවරය පොරවා ගත් වැදි පුත්‍රයාට ඇත් රැළ විනාශ කරන්නට පහසු
වූයේ මෙම මතුපිටින් ඇති වූ ප්‍රසාදය නිසයි. අභ්‍යන්තර පාරිශුද්ධත්වයෙන් තොර
තැනැත්තා කොතරම් අගනා චීවරයක් දැරුවත් සැබෑ පැවිද්දෙක් ලෙස පිළිගත නොහැකිය. චීවරයක
වටිනාකම මැනෙන්නේ ඒ සඳහා යොදාගන්නා වස්ත්‍ර ආදි අමුද්‍රව්‍ය මත නොවේ. චීවරය දරන්නා
තුළ පවතින අභ්‍යන්තර පාරිශුද්ධත්වයේ ප්‍රමාණය අනුවයි වටිනාකම තීරණය වන්නේ. මෙම
වටිනාකම ඉස්මතු කෙරෙන ගුණාංග ලෙස ධම්මපදය දක්වන්නේ කෙලෙසුන් නැසීම, සිල්වත්බව,
ඉන්ද්‍රීය දමනය හා සත්‍යවාදී බව යනාදියයි. අභ්‍යන්තර පාරිශුද්ධත්වයෙන් තොරව
වෙසෙමින් වටිනා චීවරයක් දරන තැනැත්තා අලංකාර වස්ත්‍රයකින් වසන ලද ඇතුළත අසූචියේ
(අන්තෝ පූති කසම්බුජාතො) පිරුණු කලයක් හා සමානකොට දක්වා තිබේ. එසේම දැන දැන බොරු
කියන පැවිද්දාගේ පැවිද්ද හිස් එකක් යැයි රාහුල හිමියන් අමතා පැහැදිලි කළ අයුරු
රාහුලෝවාද සූත්‍රයේ දැක්වේ. මේ අනුව සාකල්‍යයෙන්ම කසාවත දැරීමට සුදුසු වන්නේ
අභ්‍යන්තර පාරිශූද්ධත්වයෙන් යුක්ත පුද්ගලයාය. එවැනි උතුමන් කුමන වස්ත්‍රයකින් කළ
චීවරයක් දැරුවත් බැබළීමට පත්වේ. උපතිස්ස පරිබ්‍රාජකයා ප්‍රසාදයට පත් වූයේ අස්සජි
මහා රහතන් වහන්සේගේ උපශාන්ත ගමන් විලාසය දැකීමෙන්ය. යුදකාමී චණ්ඩාශෝක සාමයට ලැදි
ධර්මාශෝක බවට පත් වූයේ සත් වියැති නීග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ උපසාන්ත ගමන් විලාසය
හා දැමුණු ඉඳුරන් දෙස බැලීමෙන්ය. කෙලෙසුන් නැසූ සිල්වත් ඉඳුරන් දමනය කළ සත්‍යවාදී
එවැනි පැවිදි උතුමෝ කසාවත දැරීමට සුදුස්සෝ වෙති. එවන් ශ්‍රමණයන් දැකීම උතුම් මංගල
කරුණකි. |