විඤ්ඤාණය ඉවත් වූ විට සිරුර දරකඩක් වැනිය
ඉපලෝගම මච්චාගම
ඉසිපතන චිත්ත සමාධි යෝගාශ්‍රමාධිපති
මැල්ලවගෙදර සමණධම්ම හිමි
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අචිරං වතයං කායෝ
පඨවිං අධිසෙස්සති
ජුද්ධෝ අපේත විඤ්ඤාණෝ
නිරත්ථංව කළිංගරං
කාරුණික පින්වත්නි,
ධම්ම පදය බෞද්ධ අත්පොතේ චිත්ත වග්ගයට අයත් ඉහත ගාථාවේ සරළ අදහස වන්නේ “ඉවතලු දර
කැබැල්ලක් මෙන් මෙම කය පහවූ සිත් ඇති බැවින් හිස්ව නොබෝ කලකින් පොළොවට පතිත වන්නේය”
යනුයි.
බුදුරජාණන් වහන්සේ මෙම ශරීරය ලෝකයට උපමා කළා. තමා තුළින් ලෝකය දකින ලෙස බුදුරජාණන්
වහන්සේ දේශනා කළා.
ලෝක නිර්මාණය හේතුඵල දහමක් අනුව ඇති වන්නක් බව බුදුරජාණන් වහන්සේ දුටුව. පඨවි, ආපෝ,
තේජෝ, වායෝ යන ඇසට නොපෙනෙන ඉතාම සියුම් ධාතු කොටස් තුළින් ලෝකය නිර්මාණය වී ඇති බව
බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් ප්‍රත්‍යක්ෂ කළා. පරමාණු, න්‍යෂ්ටික ලෝකයේ ඉතාම
සියුම් දෙය බව විද්‍යාඥයින් ප්‍රකාශ කළත් සතරමහා මහා ධාතු එයටත් වඩා සියුම් බව
බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සතරමහා ධාතුන්ගේ හේතුවෙන් සත්ත්වයා සහ ලෝකය නැතොත්
සොබාදහම නමැති ඵලය ඇති වන බව සනාථ කළා. ලෝකය යනුද, සත්ත්වයා යනුද, සොබාදහම යනුද
හේතුඵල දහමක් පමණය. එය සතරමහා ධාතුන්ගේ හේතුවේ. ඵලයක් පමණය. “ධාතු මත්තකෝ,
නිස්සත්තෝ, නිජ්ජීවෝ , සුඤ්ඤෝ මෙය ධාතු මාත්‍රයක් පමණය. සත්වයෙක් නොවේ. ජීවයක්ද
නොවේ. සුන්‍ය දෙයකි. එසේනම් සොබාදහම සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ජීවයක් නොවන අනියත වු
ධර්මතාවයකි.
සත්වයා සහ ලෝකය යනු මෙම අනිත්‍ය වූ සොබාදහමට කියන තවත් නමක් පමණයි.
මෙම සොබාදහම සැදී ඇත්තේ කුමකින්ද , සොබාදහම යනු පරිසරය නැතොත් ලෝකය සෑදී ඇති දෙයයි.
ගස්වැල් ඇළදොළ, ගංගා ගිනිකඳු, සමුදුර, මෙම සියල්ල සතර මහා ධාතුන්ගෙන් සැදී ඇත.
සත්ත්වයා සැදී ඇත්තේ ද සතර මහා ධාතුන්ගෙන්මය.
මෙම සතර මහා ධාතු යනු ඇසට නොපෙනෙන ,අල්ලන්න බැරි ඉතාම සියුම් දෙයකි. එය දැකීමට හැකි
වූයේ සර්වඥතා ඤාණයෙන් යුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට පමණය.
මෙම සතර මහා ධාතු සචේතනික අචේතනික සෑම වස්තුවකට ම පොදු වු දෙයකි. එය පණ ඇති පණ නැති
යනුවෙන් නම් කරනව. ගසට වැඩීමේ ශක්තියක් ඇත. එම ශක්තිය ඇත්තේ සතරමහා ධාතු තුළය.
එසේනම් සතර මහා ධාතු යනු අල්ලන්න බැරි ඇසට නොපෙනෙන ශක්ති විශේෂයක් පමණයි. මහ පොළොව
යනු සතර මහා ධාතුන්ය. පොළොවේ ඇති පස්, වතුර, ශක්තිය ගසේ මුල්වලින් ගසට ඇදගන්නව.
හිරුඑළිය , වාතාශ්‍රය, ලබාගන්නව. එයින් ගස වැඩෙනව මෙම සතර මහා ධාතුවල එක්තරා ශක්ති
විශේෂයකින් ගසේ කොළ, මල්, ගෙඩි ඇතිකරනව. මෙම සතරමහා ධාතු මේ අවස්ථාවේ ක්‍රියාත්මක
වන්නේ එම ගසට අවශ්‍ය දලු, කොළ, මල්, ගෙඩි නිපදවීමට අවශ්‍ය ශක්තිය ලබා දීම පමණයි.
පොළවෙන්ම ලබාගන්නා සතර මහා ධාතුන්ගෙන් වැඩෙන ගස පොළොවට ම පතිත වී නැවත පස්බවට
පත්වෙනව. සොබාදහමට අයත් සියලු දෙය ම සතර මහා ධාතුන්ගේ නිපයුමක් පමණයි. මෙය බුදුන්
වහන්සේ රූප කොට්ඨාස වශයෙන් නම් කරනව. රුප්පතීති රූපං” රූප යන දිරන මොහොතක් පාසා
විනාශවන රුප්පනය වන දෙයක් පමණයි. එසේ නම් සොබා දහම යනු අනිත්‍ය ධර්මතාවයක් පමණය.
මෙම අනිත්‍ය ධර්මතාවයට මුළු ලොවම යටත්වනව. සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ”
සත්ත්වයා යනුද සොබාදහමේ ම තවත් කොටසක් පමණයි. ගසවැඩෙන්නේ පස්වලින් ලැබෙන සතර මහා
ධාතුන්ගේ ශක්ති විශේෂයෙන්ය. සත්වයා වැඩෙන්නේ ද ගස්වල ,කොළ, මල්, ගෙඩි, අල ආදි
ආහාරයට ගැනීමෙන්ය. එසේ නම් සත්ත්වයා වැඩෙන්නේ ද පස්වල ශක්තියමයි. පණ ඇති පණ නැති
මෙම කොටස් දෙකේ ම උපත, වැඩීම වන්නේ පස්වල ශක්තියමයි.
“අචිරං වත යං කායෝ– පඨවිං අධිසෙස්සති”
එසේ නම් සත්ත්වයා ඇතිවන්නේ පස්වල ඇති ශක්තියෙන්මයි
එම ශරීරය යනු පස්ගොඩක්මයි
ජුද්ධෝ අපේත විඤ්ඤාණෝ – විඤ්ඤාණය නමැති දෙය ඉවත්වූ විට සත්වයා ද නැවත පොළවේ ම පස්
බවට පත්වේ. එසේනම් සොබාදහමට අයත් අචේතනික, සචේතනික දෙකේ වෙනස කුමක්ද අචේතනික දෙයට
පන නැතියයි කියනව. සචේතනික දෙයට පන ඇතියයි කියනව. පණ යනු කුමක්ද මෙයට සිත,
විඤ්ඤාණය ආදි වශයෙන් නම් කරනව. මෙම විඤ්ඤාණයට පණ තියෙනව ද
පස්ස,වේදනා, සංඥා, චේතනා, මනසිකාර යන ශක්ති විශේෂයේ ඵලයක් වශයෙන් මෙම විඤ්ඤාණය
ඇතිවනව. විඤ්ඤාණය යනු හේතුඵලයක් පමණයි. එය ඇතිවන්න දිරන රූපය අවශ්‍යයයි. රූපයක්
නැතිනම් විඤ්ඤාණයක් ඇතිවන්නේ නැහැ. එකට හේත්තු කළ බටමිටි දෙකකට මෙය උපමා කරනව. එකක්
ඉවත්කළොත් අනෙකත් පෙරළෙනව. පස්ස තුළින් රූපය කෙරෙහි ගැටීම නැතොත් ස්පර්ශය
ඇතිකරවනව.වේදනාව තුළින් සැප, දුක්, උපේක්ෂා වශයෙන් විඳීමක් ඇති කරවනව. මෙම වේදනාව
හඳුනාගනු ලබන්නේ සංඥාව තුළින්. මෙම සියල්ල පරිවර්තනයක් නැතොත් සංස්කරණයක් කර
මනසිකාරයට බාරදෙනව. මනසිකාරය මෙම සියල්ල මනසට බාරදෙනව. මනස තුළින් එය හරියාකාර
දැනගන්නවා. එම දැනගැනීම විඤ්ඤාණයයි. රූපයක් තතු ලෙස දැනගන්නේ ඉන් පසුවයි.
රූපය යනු ඇතිවෙමින් නැතිවෙමින් යන අනිත්‍ය වූ දෙයක් . මෙම අනිත්‍ය වූ දෙය නිත්‍ය
වශයෙන් පෙන්වීමට විඤ්ඤාණය නැතොත් නාම කොට්ඨාසය ක්‍රියාත්මක වෙනව. සංඛාර ඇතිකරවනවා.
තණ්හාව,ආශාව ඇතිකරවනව. ඒ තුළ වෛරය, ක්‍රෝධය, ඇතිකරවනව. පින් පව් රැස් කරවනව. සසර
ගමන දික්කරවනව.
බුදුරජාණන් වහන්සේ මෙම අනිත්‍ය වූ ශරීරය නැතොත් සතරමහා ධාතු විනාශ වී පොළවට පස් වී
යන වැඩකට නැති දිරච්ච දරකඩකට සමාන කර මාතෘකා කළ ගාථාවෙන් පූතිගත්තතිස්ස තෙරුන්
වහන්සේට ධර්මය දේශනා කළා. එම දහම් ඇසූ තෙරුන් වහන්සේ අර්හත් ඵලයට පත්වුණා.
මොහොතක් පාසා දිරමින් කුණු වෙමින් නව දොරකින් නිතර ඕජාගලන මෙම කුණු ශරීරය මමය කියා
අල්ලා ගැනීමෙන් සසර නිමක් නැතිව ඇවිදිිනව. මමය කියා අල්ලාගත් මෙම ශරීරයට මාගේය කියා
තණ්හාව ඇතිකරවන්නේත්, සංඛාර තුළින් පින් පව් රැස්කර වන්නේත් විජ්ජාකාරයකුට උපමා කළ
මෙම විඤ්ඤාණයයි. එසේ නැතිනම් අපේම සිතයි. සුගතියට යන්නත් දුගතියට යන්නත් මඟ
පෙන්වන්නේ මෙම සිතමයි. සිත හඳුනා නිවුණු සිතක් ඇතිකරගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.
|