Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය -

විදර්ශනා භාවනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර -

විදර්ශනා යන්නෙහි ‘පාලි’ ස්වරූපය විපස්සනා යන්නයි. දකියි, බලයි යන්න සිංහල අර්ථය වුවත් සංස්කෘත විදර්ශනා යන්න සුවිශේෂී දැක්ම යන්න ව්‍යවහාර වෙයි. විවිධාකාරෙන පස්සතීති විපස්සනා, හෙවත් විපස්සතී, විපස්සනා) යනුවෙන් ද එම අදහසම ගම්‍ය වෙයි. ‘සමාධිනො භික්ඛවෙ යථාභූතං පජානාති” සමාධිමත් භික්ෂුව යථා තත්ත්වය දැනගනී. යන්නනේ විදර්ශනාවටය.

ප්‍රශ්නය -

සූත්‍රාගත බුද්ධදේශනා අනුව භාවනාවෙහි ප්‍රතිඵල හෙවත් ආනිශංස පිළිබඳව සූත්‍රාගත තොරතුරු ඇසුරු කරමින් පැහැදිලි කරන්න.

පිළිතුර -

ම.නි. එන සතිපට්ඨාන සූත්‍රය අනුව භාවනාව යෙදෙන යෝගාවචරයෙකුට ආනිශංස පහක් ලැබෙන බව දක්වා තිබේ.

1. ආත්ම පාරිශුද්ධිය (සත්තානං විසුද්ධියා)

2. ශෝකය වැළපීම් ආදී ඛේදනීය තත්ත්වයන් වළක්වා ගැනීම. (සොක පරිද්දවානං සමතික්කමාය)

3. දුක්, දොම්නස් දුරලීම (දුක්ඛ දෝමනස්ස අත්ථංගමාය)

4. නුවණ ලැබීම.

5. නිවන් පසක් කර ගැනීම සඳහා (නිබ්බාණස්ස සච්චකිරියාය)

අං.නි ධම්ම සූත්‍රවල සමස්තයක් වශයෙන් සියලු භාවනාවන්හි වැඩීමෙන් ලැබෙන ආනිශංස මෙසේ පිඬුකොට දක්වා ඇත.

1. ඒකාන්ත නිබ්බිදාය – දුකෙහි කළකිරීම පිණිස.

2. විරාගාය – රාගය දුරුකිරීම පිණිස.

3. නිරෝධාය - කෙලෙස් ප්‍රහාණය පිණිස

4. අභිඤ්ඤාය – ප්‍රඥාව දියුණුව පිණිස

5. සම්බෝධාය – අවබෝධය පිණිස

6. නිබ්බාණාය – නිර්වාණය සාක්ෂාත් කරගැනීම පිණිස.

මෙම අදහස් අපවත් වී වදාළ ආචාර්ය වල්පොල රාහුල හිමියන් තම ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් කොට ඇත. (බුදුන් වදාළ ධර්මය පිටු. 98 )

බුදුන් වහන්සේගේ භාවනා ක්‍රමය සම්පූර්ණ මානසික සෞඛ්‍යයත්, සාමයත්, ශාන්තියත් ලබාදෙයි. භාවනාව වචනය කියනු ලබත්ම අප කල්පනා කරන්නේ ජීවිතයේ දවසේ වැඩවලින් වෙන් වී සමාජයෙන් වෙන්ව විහාරවල දක්නට ලැබෙන ඉරියව්වකින් ගූධ් ලෙස කරන කටයුත්තක් ලෙසිනි. සැබෑ බෞද්ධ භාවනා කිසිලෙසකිනිදු එවැනි පලායාමක් නොවේ. සතිපට්ඨාන සූත්‍ර භාවනා සම්බන්ධ ඉතා වැදගත් සූත්‍රයකි. එහි භාවනා ක්‍රමය ජීවිතයට සම්බන්ධය. අප දිනපතා කරන පොදු වැඩවලටත් සතුටුවීම හා අසහන වලටත් කතාවලටත් සිතිවිලිවලටත් බුද්ධිමය. කාර්ය වලටත් සම්බන්ධය. තවදුරටත් උන්වහන්සේ භාවනා යන වචනයේ නියම තේරුම නම් සිත වැඩීම නැතිනම් දියුණු කිරීමයි. සිත කිළිටි කරන කෙලෙස්වලින් මුදා පිරිසුදු කර ඒකාග්‍රතාවය ස්මෘතිය, බුද්ධිය, අධිෂ්ඨානය, විරිය, විවේචන ශක්තිය, ශ්‍රද්ධාව, පී‍්‍රතිය, ශාන්තිය ආදී ගුණ දියුණු කොට ප්‍රඥාව ලබාදී නිර්වාණවබෝධය එහි අරමුණයි යනුවෙන් විස්තර කරයි.

ප්‍රශ්නය -

ඉරියාපථ භාවනාව කෙටියෙන් හඳුන්වන්න.

පිළිතුර –

ප්‍රධාන ඉරියව් හතරකි. එනම් ගමන් කිරීම, සිටගෙන සිටීම, හිඳීම, සයනය, මෙම සතර ඉරියව් සිහියෙන් යුක්තව කිරීම. මේ භාවනාවයි. ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය අනුව සිත මෙහෙයවා දියුණු කිරීම.

ප්‍රශ්නය -

උඨඨානෙනප්පමාදෙන සඤ්ඤමෙන දමෙනච දීපං කයිරාථ මෙධාවි – යං ඔඝො නාභි කීරති.

ධම්මපද ධර්ම ග්‍රන්ථාගත මේ ගාථා ධර්මයෙන් එන සඤ්ඤමෙන දමෙනච යන පාඨය ධර්මානුකූලව විවරණයක් කරන්න.

පිළිතුර -

බුදු දහමට අනුව පුද්ගල ජීවිත අභිවෘද්ධිය සඳහා ‘ආත්ම දමනය’ බෙහෙවින් අත්‍යවශ්‍යවෙයි. ඒ සඳහා තමා විසින් ගුණ දහම් පහක් සපුරා ගත යුතු ය. ධර්ම ග්‍රන්ථවල සඳහන් වන එම කරුණ, සීලය, සතිය (සිහිය) ඉවසීම (ඛන්තී) විරිය (වීර්යය උත්සාහවන්තබව) ප්‍රඥාව (නුවණ) සඳහන් වෙයි.

ප්‍රශ්නය -

සිත කෙලෙසා දුසිරිතට පුද්ගලයා මෙහෙයවන චෛතසික (සිතිවිලි) කොටසක් වංචක ධර්ම නමින් බුදු දහමෙහි ඉගැන්වෙයි. ‘මිච්ඡා ආචාර’ නමින් වැරැදි මිනිස් හැසිරීම් වශයෙන්ද මේවා හඳුන්වනු ලබයි. මෙම වංචක ධර්ම මොනවාද

පිළිතුර -

පාලි නිකායාගත ධර්ම ග්‍රන්ථයන්හි වංචක ධර්ම දශයක් මෙසේ සඳහන්ව ඇත.

1. ලෝභය, 2. රාගය 3. ද්වේෂය 4. ඊර්ෂ්‍යාව 5. මානය 6. ථීන මිද්ධ 7. කුක්කුච්ච 8. අහිරික අනොත්තප්ප 9. දිට්ඨි 11. මෝහ

ප්‍රශ්නය -

දාන පාරමිතාව බෝසත් ගුණයකි. දාන වස්තුව, ප්‍රතිග්‍රාහක අරමුණ හා දීමෙහි මහත්ඵල මහානිශංස ලැබීම පිළිබඳවද පෙළ දහම් පොත්පත්වල විචිත්‍ර වූ පිළිවෙත් දක්නට ලැබෙයි. ප්‍රතිග්‍රාහක (ලබන්නා) පිළිබඳව බුදු දහම අවධාරිත දේශනයන් කිහිපයක් පැහැදිලි කරන්න.

පිළිතුර -

1. නිවහනට පැමිණෙන්නාට (ආගන්තුක දාන)

2. ගම්වැසියන්ට (ගාමිකස්ස)

3. රෝගීනට (ගිලානස්ස)

4. දුර්භික්ෂ කාල (දුච්භිකදාන)

5. අග්‍රගන්‍ය දාන (නව සස්සානි නව ඵලානි) (පඨමං සීලවත්තෙසු පතිට්ඨාපති)

ප්‍රශ්නය -

මෙලොව උපත ලද හැම සතෙක්ම ‘සුඛ’ය හෙවත් ‘සුඛකාමානි ඥාතානි’ සුව කැමැත්තෝය. මිනිසා පිළිබඳවද එසේම බව අංනි. චක්ක සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. ලෞකික සම්පත් බහුල වීමට හේතු හතරක් ඇති බව එම දේශනාවල සඳහන් වෙයි. සනාථ කරන්න.

පිළිතුර -

1. සුදුසු පෙදෙසක විසීම (පතිරූපදේශවාසය)

2. සද්ගුණ බහුල මිනිස් ඇසුර (සත්‍රාශය)

3. සිත්හි තැන්පත් බව (අත්ත සම්මාපණිධි)

4. පෙරපින් ඇති බව (පුබ්බේච කත පුඤ්ඤතා)

ප්‍රශ්නය -

සබ්බපාපස්ස අකරණං

කුසලස්ස උපසම්පදා

සචිත්ත පරියෝදපනං

එතං බුද්ධාන සාසනං

සියලු අකුසලය නොඉපදවීමද කුසලයාගේ ප්‍රතිලාභයද (අභිවෘද්ධියද) ස්වකීය සිත් සතන්හි පිවිතුරු බවද සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි. මෙහි ‘සබ්බ පාස්ස අකරණං’ යන්න ධර්මානුකූල විවරණයක් කරන්න.

පිළිතුර -

‘සබ්බ පාපස්ස’ කාය දුශ්චරිතය, වාග් දුශ්චරිතය මනෝ දුෂ්චරිතය යන දුෂ්චරිතයෝය. මේවා දශ අකුසල කර්මපථ වශයෙන් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙයි. එනම් පාණාතිපාතය, අදින්නාදානය, කාමෙසුමිච්ඡාචාරය, මුසාවාදය, පිසුනාවාචාය, ඵරුසාවාචාය, සම්ඵප්පලාපය. අභිජක්‍ධාය ව්‍යාපාදය, මිච්ඡාදිට්ඨි යන්නයි. මේ දශ අකුසල කර්මපථ ලෝභ, දෝස, මෝහ යන අකුසල මූලයන් මඟින් ප්‍රභවය වෙයි. සතර අගතියට මේ අකුසල මූලයෝ ප්‍රත්‍යය වෙයි. ඔවුන් අතරෙන් ලෝභ අකුසල මූලය අසුභභාවනාවෙන් ප්‍රහීණවෙයි. ද්වේෂය, මෙත්තා භාවනාවෙන් ප්‍රහීණවෙයි. මෝහය පඤ්ඤා භාවනාවෙන් ප්‍රහීණ වෙයි. එසේම ලෝභය උපේක්ෂාවෙන් ප්‍රහිණ වෙයි. ද්වේශය මෙත්තාවෙන්ද, කරුණාවෙන්ද ප්‍රහීණ වෙයි. මෝහය, මුදිතාවෙන්ද ප්‍රහණයට යයි.

ප්‍රශ්නය -

සමථ භාවනාවෙහි අරමුණ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර -

චිත්තං සමෙතීති සමථො සිත සන්සුන් කරන්නේ සමථයයි. සමථභාවනාවට යොදාගත හැකි (ආරම්මණ) අරමුණු සතළිහක් දක්වා තිබේ. ඒවාට කර්මස්ථාන යැයි කියනු ලැබේ.

සමථ භාවනා කරනවිට සිත්හි සමාහිත බවක් හෙවත් සමාධියක් උපදී. තැන්පත් සිත සමාධියයි. සත්‍ය දකින්නාවූ ප්‍රඥාවට ඉතා ළඟින්ම උපකාරී වන්නේ චිත්ත සමාධියයි. (සමාහිතො යථා භූතං පජානාති) තැන්පත් සමාහිත සිත ඇත්තේ (යොනිසො මනසිකාර) ඇති සැටියෙන් දැන ගනී.

ප්‍රශ්නය -

ශ්‍රී ලාංකික මූර්ති ශිල්පියා බොහෝ විට උත්සාහ කළේ බුද්ධ ප්‍රතිමාව තුළින් මහා කරුණා මහා ප්‍රඥා ගුණයන් ඉස්මතු කරමින් ශාන්ත ගුණය ප්‍රකට භාවයට පත් කිරීමටයි. දකින්නා තුළ “ පහන් සංවේගය (පසාද සංවේග ) ඇති කරලීම විනා වෙනත් භාවයන් ඇති කරලීම විනා වෙනත් භාවයන් උද්දීපනය කිරීම හෝ ආරක්ෂාව බලාපොරොත්තු ඉටුකර ගැනීම බඳු ලෞකික අපේක්ෂාවන් නොවිණි. අනුරාධපුර සමාධි මුද්‍රාවෙන් යුත් බුද්ධ ප්‍රතිමා ඉහත සඳහන් ලක්ෂණ කෙතෙක් ඇද්දැයි පැහැදිලි කරන්න.

පිළිතුර -

ශ්‍රී ලාංකික මූර්ති ශිල්පියා බුද්ධ ප්‍රතිමාවෙන් නිරූපණය කිරීමට බෙහෙවින්ම ප්‍රියකළ මුද්‍රාව වූයේ සමාධි මුද්‍රාවයි. මෙම මුද්‍රාවෙන් යුක්ත ප්‍රතිමා මහා පුරුෂ ලක්ෂණයන් පිළිබිඹු වන ආකාරයට ඍජුකය සහිතව අත්ල උඩු අතට සිටින සේ වම් අත මත දකුණු අත තබාගෙන සිටින ආකාරයෙන් හ ා ඉදිරිටය යොමුවුණු මුහුණ ඇත්තේ වුවද නාසිකාශ්‍රය වෙත හෙළන ලද බැල්ම ඇතිව නිර්මාණය කෙරෙයි. වීරාසනයෙන් හා සමාධි මුද්‍රාවෙන් යුක්ත මෙම වර්ගයේ ප්‍රතිමා ශ්‍රී ලංකාවේ බෙහෙවින්ම දක්නට ලැබෙයි. සුප්‍රසිද්ධ අනුරාධපුර අභයගිරි පෙදෙසේ සමාධි බුද්ධ ප්‍රතිමාව තොලුවිල සමාධි ප්‍රතිමාව සහ ගල් විහාරයේ සමාධි ප්‍රතිමාව ඊට නිදසුන් කිහිපයකි.