Print this Article


බුද්ධ චරිතයේ සුවිශේෂතා

බුද්ධ චරිතයේ සුවිශේෂතා

 "බ්‍රාහ්මණය, උපුල් හෝ නෙළුම් හෝ මලක් දියෙන් ඉපද දියෙහි වැඩි දියෙන් ඉස්මතු වී දියෙහි නො ගැටී පවතින්නාක් මෙන් මමත් ලෝකයෙහි මිනිසුන් අතර වැඩී ලෝකයාගෙන් මිනිසුන්ගෙන් ඉස්මතු වී ලෝකයා සමඟ නො ගැටී නොබැඳී සිටිමි. ඒ නිසා මම බුදුවරයෙක් වෙමි."
 

මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුමන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. භව කතරේ අතරමංව සසර ගින්නෙන් දැවෙන බොහෝ දුක් විඳින ඒ සත්ත්වයාට භයානක දුකින් අත මිදී උතුම් ශාන්තිය කරා පිය නැඟීමට හැකිවන පරිදි මේ ලෝකයට අසිරිමත් ධර්ම මාර්ගයක් හෙළිපෙහෙළි කොට වදාළේ අපේ කාරුණික බුදුරජාණන් වහන්සේ යි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් අයෙක් සිත පහදවා ගනීද ඔහුට සුගති සැප හිමිවන බව උන්වහන්සේම වදාළ සේක.

ලෝකය, ජීවිතය, සසර, පරලොව පිළිබඳව මැනවින් අවබෝධ කරගත් උන්වහන්සේ අපටත් මේ ලෝක ස්වභාවය අවබෝධ කර ගැනීමටයි මේ ධර්මය වදාළේ. මැනවින් දාන්ත භාවයට ඉන්ද්‍රිය ශාන්තිය හීලෑබවට පත්කරගත් උන්වහන්සේ අපටත් ඉන්ද්‍රිය ශික්ෂණය ඇතිකරගෙන දාන්ත බවට පත්වීමට ධර්මය වදාළා. මැනවින් ශාන්තභාවයට නිවුන භාවයට පත් උන්වහන්සේ අපගේ නිවීම පිණිස, සැනසීම පිණිස ධර්මය වදාළා. මැනවින් භයානක ඝොර, මරු, සසර තරණය කළ උන්වහන්සේ මේ භයානක සසර තරණය කිරීමටයි ධර්මය වදාළේ. එසේනම් මේ ධර්ම කාරණා සසර සුවපත් කර ගැනීමට ජීවිතය ලෝකය අවබෝධය සඳහා සහ ඉන්ද්‍රිය ශික්ෂණය සඳහාත්, භයානක සසර තරණය සඳහාම හේතුවෙනවා.

මේ අසිරිමත් ධර්මයෙන් හොඳට ඵල නෙලන්නට පුළුවන්. ධර්මයෙන් අසිරිය මතුකොට ගෙන සුවපත් සිතක් ආශ්චර්යවත් සිතක් මේ ජීවිතයේදීම මෝදු කරගන්නට භාග්‍යය ලැබෙන්නේ ධර්මයෙහි චරණය කළහොත් පමණි. එසේ නොමැතිව සිත ලෝභ, ද්වේශ, මෝහ, මදමාන ඇතිකරගෙන අසතුටින් හෝ කැළඹිමෙන් කරන පින්කම්වලින් මහත්ඵල නැතිබව බුද්ධ දේශනාවයි.

තථාගතයන් වහන්සේ වදාළා මනුස්ස ජීවිතයක් උරුමකර ගැනීම ඉතා දුර්ලභව බව. මනුස්ස ජීවිතයක් උරුම වන්නේ බලවත් කුසල කර්ම සසරේ සිදුකරගත් නිසායි. මේ ජීවිතයේ හරි ගිය හැම කෙනෙකුටම හරි ගියේ සිත හදාගත් නිසායි. වැරැදුන හැම කෙනෙකුටම වැරැදුනේ සිත වරද්දවා ගත් නිසයි. සුවපත් සිතක් ලැබෙන්නේ සුවපත් දෙයක් නිසයි. ධර්මයට ගරු නොකරන, ධර්මයට පිටුපා ජීවත්වන ධර්මය තකන්නේ නැතිව, බුද්ධ වචනය පැත්තකට දමා තමන්ගේ ධර්මය ඉදිරියට ගතහොත් මේ ජීවිතය මෙන්ම මතු සසර විනාශ වෙනවා. පහළට ඇද වැටෙනවාම යි. භයානක දුක් විඳින්නට සිදුවෙනවාම යි. එනිසා ධර්මයෙන් ජීවිතය ගොඩනඟා ගන්නට පුළුවන්නම් ජීවිතය පුණ්‍යවන්ත වෙනවා. සසර ගමන පුණ්‍යවන්ත ආලෝකමත් වෙනවා. අඬන්නේ නැති, ශෝක කරන්නේ නැති, වැළපෙන්නේ නැති, පශ්චත්තාපයට හසුවන්නේ නැති ජීවිතයක් ලැබීමට භාග්‍යයක් ලැබෙනවා. එනිසා ධර්මය මහා ඖෂධයක්. එය පානය කිරීමයි අප කළ යුත්තේ.

මෙවන් අසිරිමත් ධර්මයක් වදාළා බුදුරජාණන් වහන්සේ කෙබඳු උතුමන් වහන්සේ නමක්ද උන්වහන්සේ දෙවියෙක්ද මනුස්සයෙක් ද පිළිබඳව අප සොයා බලමු. ඒ පිළිබඳව අපට හොඳම සාධකය ලෙස බුදුරජාණන් වහන්සේ හා ද්‍රෝණ බමුණා අතර ඇති වන සංවාදය අංගුත්තර නිකායේ දෙවැනි පොත් වහන්සේගේ මෙසේ සඳහන් වෙයි.

බුදුරජාණන් වහන්සේ උක්කට්ඨා හා සේතව්‍යා යන නගර දෙක අතර පා ගමනින් වඩිද්දී ඒ මඟෙහි ගමන් ගත් ශාරීරික අංග ලක්ෂණ ශාස්ත්‍රයෙහි පරතෙරට පත් ද්‍රෝණ නම් බමුණා තථාගතයන් වහන්සේගේ පා සටහන් දැක ඒකාන්තයෙන් ම මේ පා සටහන් මනුෂ්‍යයෙකුගේ නොවේ යැයි සිතා පා සළකුණු ඔස්සේ ගමන් කොට භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසී මෙසේ ඇසුවා.

ද්‍රෝණ බමුණා - ස්වාමිනි ඔබ දෙවියෙක්ද

භාග්‍යවතුන් වහන්සේ - නැත, බමුණ මම දෙවියෙක් නොවෙමි

ද්‍රෝණ බමුණා - එසේනම් ඔබවහන්සේ ගාන්ධර්වයෙක්ද

භාග්‍යවතුන් වහන්සේ - බමුණ, මම ගාන්ධර්වයෙක්ද නොවෙමි

ද්‍රෝණ බමුණා - එසේනම් ස්වාමිනි ඔබ යක්ෂයෙක්ද

තථාගතයන් වහන්සේ - බමුණ, මම යක්ෂයෙක්ද නොවෙමි,

ද්‍රෝණ බමුණා - එසේනම් ඔබ වහන්සේ මනුෂ්‍යයෙක්ද

තථාගතයන් වහන්සේ - බමුණ, මම මනුෂ්‍යයෙක් නොවෙමි. බ්‍රාහ්මණය, මම දෙවියෙක් හෝ ගාන්ධර්වයෙක් හෝ යක්ෂයෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ වී නම් කාමාදි ආශ්වයන් මා තුළ තිබිය යුතුය. එහෙත් මම ඒ සියල්ල ප්‍රහීණ කළා යැයි වදාළා.

තවදුරටත් ද්‍රෝණ බමුණාට වදාළා

පුණ්ඩරීකං යථාවග්ගු
තෝයෙන නුපලිප්පති
නූපලිත්තෝම්හි ලෝකේන
තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ (ද්‍රෝණ සූත්‍රය)

බ්‍රාහ්මණය, උපුල් හෝ නෙළුම් හෝ මලක් දියෙන් ඉපිද දියෙහි වැඩී දියෙන් ඉස්මතු වී දියෙහි නො ගැටී පවතින්නාක් මෙන් මමත් ලෝකයෙහි මිනිසුන් අතර වැඩී ලෝකයාගෙන් මිනිසුන්ගෙන් ඉස්මතු වී ලෝකයා සමඟ නො ගැටී නොබැඳී සිටිමි. ඒ නිසා මම බුදුවරයෙක් වෙමි.

මේ විස්තරයෙන් තමන් වහන්සේ මනුෂ්‍යයෙකු බවද “බුද්ධ” නම් වන බවද වදාළා. ඒ වගේම ලෝක බන්ධනයන්ගෙන් මිදී වාසය කළ තථාගතයන් වහන්සේ ආශ්චර්ය මනුෂ්‍යයෙකු නම් වන බව උන්වහන්සේ විසින්්ම අංගුත්තර නිකායේ ඒක පුග්ගල සූත්‍රයේදී වදාළා.

උදායි හිමියන් විසින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ කරනු ලැබු විස්තරයෙන් ද පැහැදිලි වනුයේ උන්වහන්සේගේ උත්තම මනුෂ්‍යත්වය යි.

මනුස්සභූතං සම්බුද්ධං අත්තදත්තං සමාහිතං ඉරියමානං බ්‍රහ්මපථේ චිත්තස්සුපසමේ රතං යං මනුස්සා නමස්සන්ති සබ්බ ධම්මානපාරගුං දෙවාපි නං නමස්සන්ති ඉති මේ අරහතෝ සුතං

මෙහිදී සිය ධර්මයන්ගේ පරතෙරට ගිය සිත සන්සුන් කිරීමෙහි නියැලුණු උතුම් මඟ ගමන් කරන සිත තැන්පත් කළ, දමනය කළ මනුෂ්‍යයෙකු වූ යම් සම්බුදු කෙනෙකුට මනුෂ්‍යයෝ වන්දනා කරයිද, දෙවියෝත් උන්වහන්සේ වන්දනා කරති යනුවෙන් මහරහතන් වහන්සේලාගෙන් අසා තිබේ යැයි උදායි හිමියෝ වදාළා.

ඒ වගේම බුදුරාණන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙසම ලෙඩවීමට පත්වූ බව විස්තර වශයෙන් මජ්ක්‍ධිම නිකායේ “මහාසීහනාද” සූත්‍රයේ මෙසේ සඳහන්ව තිබෙනවා.

මම දැන් ජරා දුර්වල වූයෙමි. වෘද්ධයෙක්මි. මහලු වූයෙමි. කලවයස් ගත වූයෙමි. අසු වියට පත් වූයෙමි.

දිනක් බුද්ධ උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේ වදාළා ස්වාමිනි පුදුමයි. භාග්‍යවතුන් වහන්සේගේ ඡවි වර්ණය දැන් ඉස්සර මෙන් පිරිසුදු නැහැ. පැහැසරත් නැහැ. සියලු අවයව ලිහිල්ය. රැළිත් වැටී තිබේ. ශරීරයත් ඉස්සරහට නැමී ගොසිනි. ඇස, කන, නාසය යන ඉන්ද්‍රියවල වෙනසක් මනාව පෙනේ.

එයට පිළිතුරු දෙමින් තථාගතයන් වහන්සේ වදාළා ඉපදීමෙන් ජරාවට පත්වෙන පොදු මිනිස් සිරුරකට සමාන ව බුද්ධ ශරීරය වෙනස්වීම ස්වභාව කොට ඇති බවයි.

ආනන්ද, එහෙම තමයි. තරුණකමේ දිරන බවක් තිබේ. මේ නිරෝගි බවේ රෝගි බව තිබේ. ජීවිතයෙහි මැරෙන බව තිබේ. ඡවි වර්ණය පෙර මෙන් පිරිසුදු නැත. පැහැසරත් නැත. සියලු අවයව ලිහිල් වෙලා. රැළිත් වැටී ඇත. ශරීරයත් ඉස්සරහට නැමී ගොසිනි. ඇස, කන, නාසය යන ඉන්ද්‍රියන් වල වෙනසක් මනාව පෙනේ.

මෙවැනි අවස්ථා රාශියක් ත්‍රිපිටකයෙහි දේශනාවල සඳහන්. එක් කලක වස් විසූ භාග්‍යවතුන් වහන්සේට රළු ආබාධයක් ඇති වුණා. මරණ මාත්‍ර බලවත් වේදනා පැවතියා. භාග්‍යවතුන් වහන්සේ එම වේදනා සිහියෙන් නුවණින් විඩාවට පත් නොවෙමින් ඉවසා වදාළා. උපස්ථායකයන්ට කථා නො කොට මම පිරිනිවන් පාන්නේ නම් එය සුදුසු නොවේ සිතා රෝගය වීර්යයෙන් මැඬගෙන ජීවිත සංස්කාර අධිෂ්ඨාන කොට ගෙන වාසය කළ සේක. පසුව නිරෝගයෙන් නැඟී සිටි අතර, ගිලන් බවෙන් මිදුණා. එවිට ආනන්ද ස්වාමින් වහන්සේ වදාළේ ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේගේ අසනීපයෙන් මාගේ ඇඟ ගල් වූවක් වගෙයි කියායි.

(සංයුක්ත නිකායේ ගිලාන සූත්‍රය)

මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අසමසමත්වය ප්‍රකට කරවූ අවස්ථා තවත් බොහෝ තිබෙනවා. මනුස්සයෙකු ලෙස මේ මිනිස් ලොව උපත ලබා පහනක් නිවී යන්නා සේ උන්වහන්සේ පිරිනිවනට වැඩි සේක.