මිනිස් සිතේ ස්වභාවය අවබෝධ කර ගනිමු
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
සුපසන් ජීවිතයකට ධර්ම කතා පෙළෙහි අද දවසෙහි උතුම් වූ සූත්‍ර දේශනාවක් ආශ්‍රය කරගෙන
දහම් කතාව සිදුකරන්නටයි බලාපොරොත්තුවන්නෙ. අද දවසේ ඒ සඳහා මාතෘකාව කරගන්නෙ භාරද්වාජ
සූත්‍ර දේශනාවයි.
මේ සූත්‍ර දේශනාවෙන් ලෞකික ජීවිතයක් පවත්වන ඕනෑම කෙනෙකුට තම සිත්හි හටගන්නා ආශාවන්
පාලනයක්, යටපත් කර ගැනීමක් හා අවසානයේ සංසිඳීමක් ඇති කරගෙන තමාගේ චරිතය ගුණගරුකව
පවත්වා ගන්නේ කෙසේදැයි පැහැදිලි කරනවා.
මේ සූත්‍ර දේශනාවෙන් පෙන්වා දෙන්නේ පැවිදි ජීවිතයක් පිළිබඳවයි. එසේ වුවත් ඕනෑම
සිතකට තමාගේ සිත තුළ හටගන්නට හැකි තද ආශාවන් එනම් රාගාදී සිතිවිලි ඒ වගේ ම ද්වේෂය
නම් වූ තරහ සිතිවිලි, වෛරය, පළිගැනීම, ක්‍රෝධය, අතෘප්තිමත් බව මේ ආදී තමන්ගේ
ජීවිතයට විපත් කරන තමාගේ චරිතයට බලවත් වූ පීඩාවන් කරන තමන් ජීවත්වන පවුල් පරිසරය
තුළ ගැටළු ඇති කරන්න පුළුවන් සිතිවිලිවල පාලනයක්, බැහැරකිරීමක්, සංසිඳීමක් කෙසේ
කරගත යුතු වන්නේ දැයි මේ සූත්‍ර දේශනාවෙන් අපට පැහැදිලි කරගන්නට පුළුවනි.
එක් කාලයක පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් වහන්සේ කොසැඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩවාසය
කරනවා. දිනක් උදේන රජතුමා පිණ්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ වෙතට පැමිණුනා.
පැමිණිලා උන්වහන්සේ සමඟ සතුටු කතාවේ යෙදුණා. අවසානයේ එකත් පසෙක වාඩිවෙලා උදේන
රජතුමා පිණ්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේට මෙහෙම පවසනවා. “භාරද්වාජ ස්වාමීන් වහන්ස,
තරුණ වූ මනා කළු කෙස් ඇති, සුන්දර වූ යොවුන් බවින් හා පළමුවන වයසින් යුතු එනම්
සුන්දර තරුණ වයසේ පළමුවන කාලයෙන් යුතු කම්සැප අනුභව නොකළ මේ තරුණ භික්ෂූන් යම්
හෙයකින් ජීවිත පරිත්‍යාගයෙන් පරිපූර්ණ පිරිසුදු බ්‍රහ්මචරියාව රැකගෙන දිගු කලක්
ජීවිතය පවත්වනවා නම් එයට හේතුව කුමක් ද එය කෙසේ නම් සිදු කරන්නේ දැයි යන අදහසයි.
උදේන රජතුමාට පෙනෙනවා බොහෝම තරුණ වයසේ පසුවන මේ ස්වාමීන් වහන්සේලා පිරිසුදු
බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන බව. උන්වහන්සේලාගේ තරුණකම පෙන්වා දෙන්නටයි අර මුලින්
සඳහන් කළ වචන පෙළ යොදා ගත්තෙ. එනම් කළු කෙස් ඇති ඉතාම යෞවන වයසේ පසුවන කාමභෝගී
ජීවිතයක් ගත නොකරන කියන අදහසයි. උන්වහන්සේලා ඉතාම පිරිසුදු සිල්වත් ජීවිතයක් ටික
කාලයක් නොවෙයි දීර්ඝ කාලයක් පුරා පවත්වන බවත් රජතුමා දැනගෙන භාරද්වාජ ස්වාමීන්
වහන්සේ ඉදිරියේ සඳහන් කරනවා.
මේ තරුණ වයසේ පසුවන භික්ෂූන් වහන්සේලාට එවැනි පිරිසුදු වූ ජීවිතයක් ගත කරන්නට කුමන
විදිහේ පරිසරයක් සකස් වුණා දැයි එයට හේතුවන කරුණු මොනවා දැයි රජතුමා ප්‍රශ්න කරනවා.
එයට හේතුව නම්, රජතුමා දකිනවා යෞවනයේ පසුවන ගිහි ජීවිත ගත කරන තරුණ තරුණියන්ට එනම්
තරුණ දරුවන් කාමභෝගී ජීවිත ගත කරන ආකාරය, සිත මුල් කරගෙන ඇස, කන ආදී ඉන්ද්‍රියන්
මුල් කරගෙන ඒ ඉන්ද්‍රියන්ගෙන් රූප ශබ්ද ආදී අරමුණුවල ඇලී, ගැටී ඉන්ද්‍රියන් සතුටු
කරවමින් ම, අතෘප්තිකර ආශාවන්ගෙන් යුක්තව ජීවත්වන ආකාරය දැක තියෙනවා. යම් විටෙක උදේන
රජතුමාටත් තමාගේ ම ජිවිතයෙහි අත්දැකීම් තියෙනවා.
මෙන්න මේ නිසයි තරුණ භික්ෂූන්ගේ පිරිසුදු වූ සිල්වත් ජීවිත ගැන දැකල විශ්මයෙන්,
පුදුමයෙන් මෙන් ප්‍රශ්න කරන්නෙ. මේ අවස්ථාවේ දී භාරද්වාජ ස්වාමීන් වහන්සේ, උදේන
රජතුමාට මෙහෙම සඳහන් කරනවා. මේ අදහස් පෙළ භික්ෂූන් වහන්සේලා ගැන පමණක් නොව, ගෘහස්ථ
ජීවිත ගතකරන ඔබට පවා මනාව ගැළපෙනවා. එයට හේතුව නම් මිනිස් සිත එක හා සමාන නිසයි.
මිනිස් සිත ගැන සඳහන් කළොත් අශ්‍රැතවත් පෘතග්ජන සිත් ආදරය , ලෙන්ගතුකම, සමීප බව,
සොයාගෙන යනවා. ගහනවාට, බණිනවාට, පීඩාවට කිසිදු ආකාරයකින් කැමැත්තක් නැහැ. මෙන්න මේ
නිසා මෙය කියවන ඔබටත් ඉතාම හොඳින් මේ දහම් පෙළ ගළපා ගන්නට පුළුවනි.
මහරජ, සියල්ල දන්නා, සියල්ල දක්නා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙහෙම
අපට දේශනා කරනවා, මහණෙනි, එහෙත් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා නම් වූ සිව්
පිරිසටමයි මේ ආමන්ත්‍රණය කරන්නේ. නුඹලා එන්න මව වැන්නවුන් කෙරෙහි මව යන සිත පවත්වා
ගන්න. සොහොයුරියන් වැනි අය කෙරෙහි සොහොයුරී යන සිත පවත්වා ගන්න. දුවක් වැනි අය
කෙරෙහි දුව යන සිත පවත්වාගන්න. මෙහි පාලි අදහස නම්,
“මාතුමත්තිසු මාතුචිත්තං පට්ඨපෙථ
භගිනිමත්තිසු භගිනිචිත්තං පට්ඨපෙථ
ධීතුමත්තිසු ධීතුචිත්තං පට්ඨපෙථා ති”
භාරද්වාජ ස්වාමීන් වහන්සේ නැවත සඳහන් කරනවා. මහරජ, තරුණ මනා කළු කෙස් තියෙන සුන්දර
යෞවනයෙන් හා යෞවන වයසේ පළමුවන කාලයෙන් යුතු කම්සැප අනුභව නොකළ විරූ මේ තරුණ
භික්ෂූහු ඉතාම පිරිසුදු බඹසර ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ගත කරනවා නම් දිගු කලක් ඒ
බ්‍රහ්මචාරී ජීවිතයට පීඩාවක් කරගන්නේ නැතිව වාසය කරනවා නම් එයට හේතුව අර ඉහත සඳහන්
කළ කරුණුයි.
මෙහි දී අපට ධර්ම විවරණයක් කරගත හැකියි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අම්මා
කියන වචනය, පියාණන් කියන වචනය සද්පුරුෂ ගුණවන්ත දරුවකුගේ හදවතෙහි පවතින්නේ ඉතාම
පිරිසුදු සිතිවිලි සමුදායක් හා සමගිනුයි. බුදුරජාණන් වහන්සේ සරණ ගිය අපට තථාගත
බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින්නේ අප්‍රමාණ ගෞරවයක් හා ශ්‍රද්ධාවකුයි. වර්තමාන
ලෝකයේ කොතැනක බුදු පිළිරුව වහන්සේලා කුමන ආකාරයකින් කුමන පාටකින් කුමන ඉරියව්වකින්
නිර්මාණය කොට තිබුණත් අපේ සිතේ පවතින ශ්‍රද්ධාව හා ගෞරවය ඒ පිළිරුව දකින විට කිසිදු
ආකාරයකින් අඩුවක් වෙන්නේ නැහැ. එයට හේතුව බුදුරජාණන් වහන්සේ නම් වූ වචනය කෙරෙහි අපේ
සිත්හි පවතින්නා වූ අප්‍රමාණ වූ ශ්‍රද්ධාව හා ගෞරවයයි. එමෙන් ම අම්මා, තාත්තා හෝ
අප්පච්චී කියන වචන ඉතා පිරිසුදු වචනයි. සද්පුරුෂ, ගුණවන්ත අම්මා කෙනෙක් හා තාත්තා
කෙනෙක් පිළිබඳව සද්පුරුෂ හා ගුණවන්ත දරුවන්ගේ හදවත් තුළ පවතින්නේ අප්‍රමාණ වූ
ගෞරවයකුයි. භක්තියකුයි. මේ නිසා තමන් තමාගේ අම්මා කෙරෙහි පවතින්නා වූ ඒ ගෞරවය
භක්තිය ආදරය ලෙන්ගතුකම නිතර මතක් කරන්නට පුළුවනි.
ඒ අම්මාගේ වයසට ටිකක් වැඩිවුණත්, අඩු වුණත් තමන් දකින සියලු මව්වරුන් කෙරෙහි, තම
අම්මාගේ වයස් ප්‍රමාණයට ගැළපෙන සියලු මව්වරුන් කෙරෙහි තම අම්මා කෙරෙහි හදවත් හි
ඇතිකරගත්තා වූ ගෞරවයත්, භක්තියත්, ලෙන්ගතුකමත් ඔස්සේ ම ඒ සිතිවිලි හා සමගින් ම ඒ
මව්වරුන් කෙරෙහි දැකිය හැකියි. බැලිය හැකියි. කිසිවිටකවත් කාමාදී සිතිවිල්ලක් හෝ
දේශාදි් සිතිවිල්ලක් ඒ සිත්හි හටගන්නෙ නැහැ. තම අම්මා කියන වචනය කෙරෙහි පවතින ආදර
ගෞරවය ඔබ සිහිපත් කරන්න. දුකක්, කරදරයක්, විපතක් නම් ඇතිවෙන්නට එපා. කිසිදු රාගාදි
සිතිවිල්ලකින් තොරව ද්වේශාදි සිතිවිල්ලකින් තොරව මව් කෙරෙහි පවත්නා ඒ සිතිවිල්ල තම
මව්ගේ වයසේ පසුවන සියලු මව්වරුන් කෙරෙහි මේ හදවත්හි දැනෙන්නට පටන් ගන්නවා.
බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ දහමට ළංවෙන භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක් හෝ
උපාසිකාවක් විසින් ඒ ආකාරයෙන් ලෝකය දෙස බලන්නට පුරුදු විය යුතුයි. පුරුදු වෙන්නට
යැයි ධර්මයෙහි ආරාධනා කරනවා. එවිට මව්වරුන් වැනි තම අම්මාගේ වයසේ පසුවන මව්වරුන්
කෙරෙහි කිසිවිටකවත් වරදක් සිදුවීමට අවස්ථාවක් නැහැ. තම අම්මා රැකගන්නා සෙයින් සියලු
මව්වරුන් කෙරෙහි සිතින් වගේ ම කයින් ද ආරක්ෂා කරන්නට මේ සිත්වලට දැනෙනවා.
මට ඔබ අම්මා කෙනෙක් වගේ යැයි, මට ඔබ පියාණන් කෙනෙක් වගේ යැයි, මේ සෑම හදවතකට ම
දැනෙන්නට පටන් ගන්නවා. එවැනි අම්මලාගෙන් හා පියවරුන්ගේ හදවත්වලින් එවිට දැනෙන්නේ
නුඹ මට දුවෙකි. නුඹ මට පුතෙකි. යන අදහසයි. එකම පවුලක නොව එකම රටක නොවුණත් එකම ආගමක,
ජාතියක නොවුණත් මේ අදහස ඔස්සේ අප මොනතරම් කරුණාවෙන්, මෛත්‍රීයෙන් හදවත්වලින් සමීප
කරන්නේ දැයි, ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රීය පතුරුවන්නේ දැයි ඔවුනොවුන් කෙරෙහි
හිතවන්තභාවය ඇති කරන්නේ දැයි ඔබ මොහොතක්, මොහොතක් පාසා සිහිපත් කරන්න. ඔබේ සිතට
දැනෙන සුන්දර වූ සිතිවිලි ඔබ ඔබේ ම මනසින් දැක ගන්න.
තවත් කොටසක් වෙසක් පුර අටවක පෝදා (මැයි 13වනදා) පත්‍රයේ පළවේ.
- දීපා පෙරේරා |