Print this Article


නිකෙලෙස් මුනිවරුන්ගේ අරහන්ත ධාතූන් වහන්සේ

නිකෙලෙස් මුනිවරුන්ගේ අරහන්ත ධාතූන් වහන්සේ

අප මෙතෙක් කාලයක් ගෞතම බුදු සසුනේ ධාතුන් වහන්සේ පරම්පරා කතාව ඉගෙන ගත් අතර, සවර්වඥ ධාතුන් වහන්සේ එහිදී ප්‍රමුඛ විය. මෙතෙක් විශේෂ අවධානයක් යොමු නොවූණත්, ගෞතම බුදු සසුනේ උතුම් අරහන්ත ධාතූන් වහන්සේ පිළිබඳවත් යමක් දැන සිටීම ඉතා වැදගත් ය. එවිටයි අපට ගෞතම බුදු සසුනේ උපරිම ඵල නෙළාගත හැකි වනුයේ.

අරහත් ධාතූන් වහන්සේ
වන්දනා කළ යුතුමය

අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළා තථාගත සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ ඛිණාශ්‍රව මහරහතන් වහන්සේ, සක්විති රජතුමා යන සතර උතුමන්ගේ ස්තූප සාදා වැඳුම් පිදුම් කිරීම සුදුසු බව. ඒ අනුව උතුම් මහරහතන් වහන්සේ පිරිනිවන් වැඩි පසු ඉතිරිවන ධාතුන් වහන්සේ ඒකාන්තයෙන් සැදැහැවතුනට වන්දනා කිරීම සුගතිය නිවන පිණිසම අරමුණු කොට සෘර්ධියෙන් අධිෂ්ඨානයෙන්ම ශේෂ වෙති. නා නා ආකාරයෙන් අරහත් ධාතූන් වහන්සේ දායාද වන ආකාරය අටුවා විස්තරවල සඳහන් වේ. ඊට අමතරව පිරිසුදු ධර්මය තැන්පත් ධර්ම විනය තුළත් රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ හෝ ධාතූන් වහන්සේ තැන්පත් කොට ස්ථූප කරවන ලෙස බුදුජාණන් වහන්සේම වදාළ අවස්ථා සූත්‍ර පිටකයේ අපට හමු වේ.

සාරිපුත්ත මොග්ගල්ලාන
අරහන්තක ධාතුන් වහන්සේ

ගෞතම බුදු සසුනේ ධර්ම සේනාපති හා ධර්ම පුරෝහිත වූ ප්‍රඥාවෙන් අග්‍රේෂ්වර සාරිපුත්තයන් වහන්සේත්, සෘර්ධියෙන් අගතැන්පත් මහා මොග්ගල්ලානයන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවීමට පෙර පිරිනිව් පා වදාළ සේක. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේ උපන් ගම වන නාලන්දාවේ තම මෑණියන් ධර්මයෙන් අභිෂේක කොට (සෝවාන් ඵලයට පමුණුවා) පිරිනිවන් පෑ සේක. ඒ කතාන්දරය පුදුම සහගතය.

පිරිනිවන් පාන්නට පෙර සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ ගන්ධකුටියේදී භාග්‍යවතුන් වහන්සේගේ චරණ සිරිපා කමල් ළඟ වැඳ වැටී අවසර ගෙන ගන්ධ කුටියෙන් එළියට වැඩමකොට තුන්වතාවක් ගන්ධ කුටිය පැදකුණු කොට ආකාසයට පැන නැඟී “ මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා” යැයි කියමින් ආකාසයෙන් බැස භාග්‍යවතුන් වහන්සේව නැවතත් වන්දනා කොට දෙව්රම් වෙහෙරෙන් පිටතට වැඩම කළ සේක. භාග්‍යවතුන් වහන්සේ සංඝ පිරිසට වදාළේ “පින්වත් මහණෙනි, ඔබගේ පි‍්‍රය වැඩිමහල් සොහොයුරා අවසන් ගමන් වඩිද්දී පසු ගමන් නො යන්නේ මන්ද කියායි. ඒ අනුව මහා සංඝ සන්නිපාතයක් පසු ගමන් වැඩි සේක. පන්සියයක් සංඝයා නාලන්දාවට වැඩම කොට නාලන්දාවේ පිරිනිවනට වැඩිය මහා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහයට පූජා පැවැත්වීම සතියක් පුරා කර තිබුණි. එය රහතන් වහන්සේගේ අනුභාවය යි. සතියක් දේහය තිබුණත් දේහයේ වෙනසක් නොවූයේ උන්වහන්සේගේ අධිෂ්ඨානය නිසාය. සඳුන් දරයෙන් ආදාහනය කළ උතුම් දේහයේ පෙරහන් කඩයට ගතහැකි ප්‍රමාණයේ ධාතූන් වහන්සේ ඉතිරි වුණි. චුන්ද මහරහතන් වහන්සේ ඒ ධාතූන් වහන්සේ, පාත්‍ර, සිවුරු, ආදිය ගෙන නැවත දෙව්රම් වෙහෙරට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී හස්තයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ පිළිගෙන රන් කරඬුවක තැන්පත් කරවා ස්තූපයක් කිරීමට උපදෙස් දුන් සේක. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රී හස්තයෙන් ස්පර්ෂ කළ සේක.

ඒ ධාතුන් වහන්සේලා ධර්මාශෝක නරේන්ද්‍රයා විසින් ගන්නා ලදුව සාංචිය, නාලන්දාව ආදි ස්ථානවල ස්තූප කරවා පසුකාලීනව ඒ ස්තූප ගරා වැටී කැණීම් කර ලබාගත් ධාතුන් වහන්සේ පමණයි දැන් අපේ රටේ වුවද පවතින්නේ. ප්‍රඥාවෙන් අග්‍ර, නිහතමානි ගුණයෙන් බබළන, ධර්ම සේනාධිපතින් වහන්සේගේ ධාතුන් වහන්සේ වන්දනා කරන්න ඇත්නම් එය කෙතරම් භාග්‍යක්ද අපේ රටෙත් නොයෙකුත් ස්තූපවලත් විශේෂයෙන් කොළඹ මාලිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ මේ උතුම් ධාතුන් වහන්සේ වැඩ සිටින සේක.

ධර්ම පුරෝහිතයන් වහන්සේගේ
ධාතුන් වහන්සේ

මහා මොග්ගල්ලානයන් වහන්සේ හොරුන්ගේ ගුටිබැටවලට ලක්වූයේ පෙර කර්මයක් නිසා බව අපි දනිමු. අබ ඇට තරමට පොඩි වූ ශරීරය සෘර්ධියෙන් ප්‍රකෘතිමත් කොට භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ගෙන පිරිනිවන් පාන්නට වැඩි සේක. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ පිරිනිවන් පාද්දී මහපොළොව කම්පාවුණි. රජගහ නුවරදී මහා මොග්ගල්ලානයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. සඳුන් දර සෑයේ ආදාහනය කළ පසු ඉතිරි වූ ධාතුන් වහන්සේලා පෙරහන් කඩයකට ප්‍රමාණයක් ගෙන වේළුවනය සමීපයේ රන් කරඬුවක තැන්පත් කොට ස්ථූපයක් තනවා ඇත. අශෝක නරේන්ද්‍රයා ඒ ස්තූපය ගලවා ධාතුන් වහන්සේ ලබාගෙන සාංචියෙත් තවත් ස්ථානවලත් නිධන් කරවා ඇත. අපේ රටේත් ඒ උතුම් ධාතුන් වහන්සේ වැඩ සිටිනවා කියන හැඟීමෙන්ම අපේ ශ්‍රද්ධාව ඔද වැඩී යනු ඇත. ධර්ම පුරෝහිත වූ සෘර්ධියෙන් අගපත් අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අපටත් වන්දනා කරන්න ලැබේනම් එය විශාල භාග්‍යයකි.

මහා කස්සප මහරහතන් වහන්සේගේ
දළදා වහන්සේ

ගෞතම බුදු සසුනේ අගවිනිසුරු ලෙස නම් දරන දූත ගුණෙන් අගපත් අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ පිරිනිවන් වැඩියේ කුක්කුටපාද පර්වතයේ. ඒ පර්වතයේ උන්වහන්සේගේ පිරිනිවන් පෑ දේහය නිරුපද්‍රිතව වැඩ සිටින බව අප පිළිගන්නා විශේෂ සිද්ධියකි. ඒ නිසා උන්වහන්සේගේ ධාතුන් වහන්සේ ඉතිරි වූ බවට සටහනක් නැත. නමුත් දිවමන් සමයේ මුවින් ගිලිහුන දන්ත ධාතුන් වහන්සේ නමක් අරහත් පරපුරෙන් පැමිණ දැන් අපේ රටේ බෙන්තර ගලපාත විහාරයේ උතුම් සෑ රජුන් තුළ වැඩ සිටී. තුªªන් ලෝකයටම එකම ධාතුන් වහන්සේ අපේ රටට ලැබීම බෞද්ධයාගේ විශේෂම පිනක් නොවේද දෙවැනි පරාක්‍රමබාහු රජු විසින් ඒ උතුම් සෑය කරවූ බව සඳහන්. මීට වසර 200 කට පෙර සෑයේ යම් ගරා වැටීමක් නිසා ධාතුන් වහන්සේ පිටතට වඩමා ප්‍රදර්ශනය කර තිබේ. නමුත් සතියකට පසු නැවත තැන්පත් කොට සෑය ප්‍රතිසංස්කරණ සිදුවිය. ධර්මයේ සඳහන් වන්නේ “ජීවිත පන්සියයක් පිරිසුදු බමුණු කුලයේ ඉපිද බ්‍රහ්මචාරීව වේදයෙහි පරතෙරට පැමිණි බ්‍රාහ්මණයෙකුට යමෙක් වන්දනා කළත්, ඒ වන්දනාව මහා කස්සපයන්ට කරන වන්දනාවෙන් දහසයෙන් එකක් තරම්වත් නොවටී” කියා. දූත ගුණෙන් අගපත්, ගෞතම සසුනේ අගවිනිසුරු, මහාබ්‍රහ්මචාරි, විරාගි, තේජවන්ත ගුණ ඇති, දහම සංගායනා කළ අප මුනිඳුන්ගේ චීවර ධාතුව පෙරවූ, මුනි සිරිපා කමල නළලේ තබා වන්දනා කළ මහා කස්සප මහාරහතන් වහන්සේගේ එකම ධාතුන් වහන්සේ අපේ රටේ තිබෙද්දීත් ඒ ධාතුන් වහන්සේ වන්දනා කර නො මැතිනම් එය කෙතරම් අභාග්‍යයක් ද

ආනන්ද මුනිඳුන්ගේ ධාතුන් වහන්සේ

රෝහිණි නදිය මැද දී තේජෝ ධාතු සමාපත්තියට සමවැදී ආකාසයට පැන නැඟී ආකාසයේදී ආනන්ද මුනිඳුන් පිරිනිවන් පා වදාළ සේක. අවසන් සමයේ ශාක්‍යය, කෝලිය ජනපද දෙකටම මාරුවෙන් මාරුවට පිණ්ඩපාතයේ වඩිමින් හුදකලාවේම ආනන්ද මහරහතන් වහන්සේ වැඩ සිටි සේක. ශාක්‍ය කෝලිය දෙපිරිසටම අනුකම්පා පිණිසයි ආකාසයේදී පිරිනිවන් පා වදාළේ. ධාතුන් වහන්සේ දෙ කොටසකට බෙදී ශාක්‍යය කෝලිය දෙපිරිසට සමව බෙදී යන සේ අධිෂ්ඨාන කළ සේක. ඒ ධාතුන් වහන්සේ තැන්පත් වී ස්තූප ඉදිවුණි. විශාලා මහනුවර අදටත් ආනන්ද ස්තූපය තිබේ. ධර්ම භාණ්ඩාගාරික, මිහිරි ලෙස දහම් දෙසන, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සෙවණැල්ල බඳු ආනන්ද මුනිඳුන්ගේ ධාතුන් වහන්සේ වන්දනා කරන්න ලැබුණේනම් කෙතරම් භාග්‍යයක්ද

නොයෙකුත් අරහත්
ධාතුන් වහන්සේ

මේ බුද්ධ ශාසනයේ කෝටි ගණනක් මහරහතන් වහන්සේ වැඩ සිටි සේක. උන්වහන්සේ පිරිනිවන් පෑවේ එක් එක් ආකාරයට යි. සමහර රහතන් වහන්සේ ආකාසයේ පිරිනිවන් පෑ සේක. විටෙක සක්මන් මළුවේ, විටෙක ගුහාවේ, විටෙක පළඟක් බැඳගෙන, විටෙක සිටගෙන, විටෙක සැතපී පිරිනිවුණි. අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මන්දාකිණි විල අසල ඇතුන්ගෙන් උපස්ථාන ලබා පිරිනිවනට වැඩි සේක. රාහුල මුනිඳුන් දෙව්ලොවදී පිරිනිවන් වැඩි සේක. රහතන් භික්ෂුණීන් වහන්සේද, පිරිනිවන් වැඩි අතර, උතුම් ධාතුන් වහන්සේ අදත් වැඩ සිටී. එක වරක් හෝ වන්දනා කළොත් රැස්වන පින සංඛ්‍යා රහිතයි. අප්‍රමාණයි. අංගුලිමාල මුනිඳුන්ගේ ධාතුන් වහන්සේ පවා අපට අද වන්දනා කිරීමට අවස්ථාව ඇත. මේ සියල්ල විශාල පිනක විපාකයකි. අපමණ පින් කැමැත්තෙන් අරහත් ධාතුන් වහන්සේ වන්දනා කිරීම තුළින් සෙතක් සැලසේවා!


පසුගිය සතියෙන්:-  අසිරිමත් ධාතු පුරාණය 24 කොටස : විරාජමානව වැඩසිටිනා මුතියංගන මහා ස්තූපය