Print this Article


බුදුපිළිමයේ උපත - 17: සිදුහත් කුමරාගේ දුෂ්කර ක්‍රියාව

බුදුපිළිමයේ උපත - 17: 

සිදුහත් කුමරාගේ දුෂ්කර ක්‍රියාව

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසූමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

සිදුහත් මහ බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලැබීමට පෙර සාවුරුද්දක් මුළුල්ලෙහි දුෂ්කර ක්‍රියා කළ බව බෞද්ධයා වෙත අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

"ඉක්බිත්තෙන් එක් දේවතා දුවක් බෝසතුන් විසඥව බිම හුණුවිටම කිඹුල්වතට දිව ගොස් සුද්ධෝදන රජ්ජුරුවන්ගේ සිරියහන් ගබඩාවෙහි ආකාශයේ සිට ආලෝක පතුරුවා රජ්ජුරුවන් පුබුදවා “කිමෙක්ද සුද්ධෝදන රජ්ජුරුවෙනි! තොප පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ දැන් පරලොව ගියාහුයයි කිව. එබස් අසා රජ්ජුරුවෝ ම පුතණුූවෝ බුදුව මළාහුද නුබුදුව මළාහුදැයි විචාළහ."

උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියා සමය ගැන බක් අව අටවක පෝදා බුදුසරණ පුවත්පතෙහිද සටහන් කළෙමු. එම දුෂ්කර ක්‍රියා සමය පිළිබඳ මෙවර විස්තර කරනුයේ අප රටෙහි පළවූ අගනා ග්‍රන්ථද ඇසුරිණි.

භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව මෙරට පොළොන්නරු රාජධානි කාලයේදි ලියැවුණු ග්‍රන්ථ දෙකක් ඇති බව ඉතා ප්‍රකට කරුණකි. විද්‍යා චක්‍රවර්ති නම්වූ ලේඛකයා විසින් ලියන ලද බුත්සරණ ඉන් එක් ග්‍රන්ථයකි. අනෙක් ග්‍රන්ථය නම් ගුරුළුගෝමි නම් වූ ලේඛකයා විසින් ලියන ලද අමාවතුර ග්‍රන්ථයයි. පොළොන්නරු රාජධානි කාලයට පසුව පුරාණ ලංකාවේ රාජධානිය වු දඹදෙණි යුගයේ ලියැවුණු තවත් ග්‍රන්ථයක් වේ. ඒ පුජාවලියයි. පුජාවලියෙහි උරුවෙල් දනව්ව ඇතිවූ අන්දමද විමසා බලමු. ඒ මෙසේය.

ගන්ධාර බුදුපිළිම කලාවට අයත් මූර්තියකි

පෙර ධ්‍යානලාභී දස දහසක් තාපසවරුන් බොහෝ කලක් විසූ පන්සලය. එකල ඔවුන් හැම දෙනාම අප හැම දෙනාම අතුරෙන් යම් යම් කෙනෙක් තමන් තමන් රහසෙන් කාමි විතර්ක ආදී පාපයක් සිතූ නම් හිරු උදයේ ගොස් (අලුයමින්ම ගොස්) මේ ගංගාවේ කට පමණක් දියට බැස ගංපල්ලෙන් වැලි ගෙනවුත් මේ මලු මධ්‍යයෙහි ලාලා ආරෝචනය කළ මැනව. ඕ හට මේ දඬුවම් නමැයි කතිකා කළහ. එකල ඒ තාපසවරු අකුසල් විතර්කයක් සිතූ කළ එම ක්‍රමයෙන් වැලිගොටුවෙක් ලා ඇවත් දෙසූහ. දීර්ඝ කාලයකින් යොදුන් පමණ වැලිතලාවෙක් විය. පසුව තාපසවරුන් ගේ අභාවයෙන් පසුව උපන් රජදරුවෝ මේ පෙර උත්තමයන් විසූ තැනකැයිද සිල්වතුන් ඇදි වැලි යැයි සිතා ඒ සිසාරා (ඒ වටා) පුවරු බඳවා උපාචර (වැඳුම් පිදුම්) කළහ. මෙසේ ඒ උරුවේලා නම් වැලිතලාව මධ්‍යයේ දැක දුෂ්කර ක්‍රියාවෙන් එහි වාසයට පටන් ගත් සේක. (පූජාවලිය මයුරපාද පිරිවෙන්පති බුද්ධ පුත්‍ර ස්ථවිරයන් වහන්සේ පි. 169-170– බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය –2010)

උරුවෙල් දනව්ව ඇතිවූ අන්දම විස්තර කරන පූජාවලිය ග්‍රන්ථය ඉන්පසුව පස්වග තවුසන් ලෙසින් භාග්‍යවතුන් වහන්සේ බුදුවීමෙන් පසුව විසූ පරිබ්‍රාජකයන් පස්දෙනා ගැන ඉන්පසු මහ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවට සැරසුණු අන්දම මෙසේ සඳහන් කරයි.

ඉක්බිත්තෙන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්පය, මහානාමය අස්සජි යයි පෙරකී පංච වර්ගික භික්ෂූහු මේ නියම් ගම් රාජධානියෙහි සැරිසරා ඇවිදුනාහු ඒ උරුවේලාවට වැද බෝසතුන් දුටහ. එතැන් පටන් එක්ව වාසය කළ කොට සා අවුරුද්දක් මුළුල්ලේ ස්වාමි දරුවන් දුෂ්කර ක්‍රියා පුරන කළ” මේ සිද්ධාර්ථ කුමාරයෝ අද බුදු වෙති. සෙට බුදුවෙතියි මළු ඇමද නහන (ස්නානය කරන) බොන පැන් දී වත් පිළිවෙත්කොට දුක් ගෙන සමීපයෙහි වාසය කළාහුය. බෝසතාණෝ මේ ශරීරයට පාඩුවක් කොට බුදුවිය නොහැක. ඉතා මහත්වු දුක්දී දුෂ්කර ක්‍රියායෙන් මුදුන් පැමිණෙමියි දවසෙක තල ඇටක් (වැනි) සා භෝජනයකිනුත් යැපී දවස් යවන සේක. හැම පරිද්දෙන්ම ආහාර වර්ජිත කොට මිරිස් කනක් ලදත් තිබ්බටු කනක් ලදත් දවස් යවන සේක. සමහර දවසෙක බත් හුලකින් වුවත් දවස් යවන සේක. සමහර දවසෙක සුන්බතුත් වන සේක. දේවතාවෝ ආහාර වර්ජිතයෙන් නොනසිත්වයි සිතා මුඛයෙන් අනුභව නොකරන හෙයින්,නවානු දහසක් ලෝම කූපයෙන් දිව්‍ය ඕජස බහා ජීවිතය රක්ෂා කෙරෙති. ඉක්බිත්තෙන් මෙසේ ආහාර වර්ජිත කිරීමෙන් දුර්වලවත් රන් කඳක් වන් ශරීරය කාල වර්ණව ගිය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝද ශරීරයෙහිම සැඟවී ගියහ. (පිටු අංක 170)

ඉක්බිත්තෙන් එක් දේවතා දුවක් බෝසතුන් විසඥව බිම හුණුවිටම කිඹුල්වතට දිව ගොස් සුද්ධෝදන රජ්ජුරුවන්ගේ සිරියහන් ගබඩාවෙහි ආකාශයේ සිට ආලෝක පතුරුවා රජ්ජුරුවන් පුබුදවා “කිමෙක්ද සුද්ධෝදන රජ්ජුරුවෙනි! තොප පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ දැන් පරලොව ගියාහුයයි කිව. එබස් අසා රජ්ජුරුවෝ ම පුතණුූවෝ බුදුව මළාහුද නුබුදුව මළාහුදැයි විචාළහ. බුදුවිය නොහි දුෂ්කර ක්‍රියා භූමියෙහි මළාහුයැයි කිව. ඒ බස් අසා රජ්ජුරුවෝ මම තී කී බස් නොගිවිසිමි. මා පුතනුවන් ලොව්තුරු බුදු නොවී මිය යෑමෙක් නම් අහස, පොළොව සේ දුරැයි කියා නොගිවිස්සාහ. මෙසේ නරව රජ්ජුරුවන් නොගිවිස්නට කිම යත් “එදා කාළ දේවල නම් තාපසයන් ගේ ජටාන්තරයෙහි ශ්‍රීපාදය පෙනී ගිය ප්‍රාතිහාර්යය දඹගස මුලදී දුට ප්‍රාතිහාර්ය යන මේ දෙකාරණයෙන් ප්‍රත්‍යක්ෂද රජ්ජුරුවෝ නොඅදහා කීසේ වූ දේවතා දූවරුන් සියක් දහසක් කීවත් මම නොගිවිසීම්මය. (නොපිළිගනිමියි) ම පුතණුවෝ බුදුව දම් දෙසා මුත් නොමියෙත්ම යැයි ප්‍රතික්ෂේප කළාහුය.” (පූජාවලිය පිටු අංක 171)


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 16:  දුෂ්කර ක්‍රියාව