Print this Article


බුදුරදුන් අනුදැන වදාළ සොබාදහම සුරැකෙන දිවිපැවැත්ම

බුදුරදුන් අනුදැන වදාළ සොබාදහම සුරැකෙන දිවිපැවැත්ම

බක් පුර පසළොස්වක පත්‍රය හා සම්බන්ධයි.

මිනිසා සතුටින් ජීවත්වීමට නම් ආධ්‍යාත්මික සංවරය යහපත් ආකල්ප ශුභවාදී සමාජ දැක්මක් තිබිය යුතු බව බෞද්ධ ප්‍රතිපත්තියයි. වත්මන් සමාජ පසුතලයක ඊට අනුකූල නොවන ලෙස හැගීම්වලට බර වූ මිනිසා පරිසරය විනාශ කරමින් ගංගා, ඇළ දොළ, කඳු, මිටියාවත් විනාශ කරමින් ගස්කොලන් කපා දමමින් විනාශ කරන්නේ සිය අධිපරිභෝජන රටාවේ පිහිටා ආත්මාර්ථකාමී හැසිරීමෙනි. සමස්ත පරිසරයම ආරක්ෂා කර ගැනීමෙන්, මිනිස් පරපුරේ අනාගතය සුරැකෙන අයුරු බුදු දහමේ උගැන්වේ. භික්ෂූන් වහන්සේලා උදෙසා පනවා ඇති සේඛිය, විනය කර්ම පරිසරයේ පැවැත්මට බලපාන පුද්ගලයා විසින් රැකිය යුතු ගුණධර්මයන් වේ. පංචශීල ප්‍රතිපත්තිය පරිසරයේ සම්බන්ධතාවය රැක ගැනීමට මිනිසා රැකිය යුතු යුතුකම් හා අයිතිවාසිකම් පහකි. සත්වඝාතනයෙන් වැළකීම යනු සියලු සතුන්ගේ ආරක්ෂාව රැකෙන ප්‍රතිපත්තියකි. සොරකම් නොකිරීමෙන් පරිසරයේ ජීවත්වන මිනිසාගේ අයිතිය සුරැකේ. එකිනෙකා විසින් අනිකාගේ අයිතිවාසිකම්වලට හානි සිදුනොකිරීම පරිසරය හා මානව සම්බන්ධතා ගොඩනැගීමට හේතු වේ.

බොරුකීම පරිසරයේ විකෘති බවට හේතුවේ. අවංකකම, සත්‍ය වචන කථා කිරීම, පරිසරයේ ගුණාත්මකභාවය රැක ගැනීමට හේතුවේ. මතින් යුතු ජීවිතය සියල්ල වනසා දමනු ලබයි. කුල මදය, ධනමදය, බලමදය සමාජයෙන් පිටුදැකිය යුතුවේ. විශ්වයේ සුරක්ෂිත බව රැඳී ඇත්තේ අප සිත් තුළ ඇති ගුණධර්ම මතය, සිත දූෂ්‍ය වූ පුද්ගලයා සැමවිටම තම පරිසරය ආරක්ෂා නොකරයි.

සිඟාලෝවාද සූත්‍රයේ භොගෙ සංහරමානස්ස භමරස්සේව ඉරියතො යනුවෙන් දක්වා ඇත්තේ විධිමත් ලෙස සම්පත් පරිභෝජනය කිරීමේ කලාවයි. මී මැස්සා, මල නොතලා රොන් ගන්නා සේ ස්වාභාවික පරිසරයට හානියක් නොවන සේ පරිසරය රැක ගැනීම අපේ බෞද්ධකමයි.

ඒකේන භොගෙ භුඤ්ජෙය්‍ය” උපයන ධනය සිව් කොටසකට බෙදා එක් කොටසක් පරිභෝජනය කිරීම අධිපරිභෝජනය නොවේ. කුල පුත්‍රයකු විසින් තම දහඩිය මහන්සියෙන් උත්සාහයෙන් හරි හම්බ කරනු ලබන ධනය අනවශ්‍ය ලෙස අධික මාංශ පරිභෝජනය සුරාවට සූදුවට ධනය වැය නොකළ යුතුය. සල්ලේඛ ප්‍රතිපදාව සරල චාම් දිවි පෙවෙතකට මගහෙළි කරයි. මිනිස් ආකල්ප හා ක්‍රියාකාරකම් පරිසරයට බලපාන අයුරු දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ එක් උපමා කථාවක් ඇසුරෙන් දැක්වේ. හේතු ප්‍රත්‍යයන්ගේ අන්‍යෝන්‍ය බලපෑම පිළිබඳ න්‍යාය යටතේ සමාජ පරිණාමය පෙන්වා දෙන මෙහි මිනිසාගේ කටයුතු මගින් පරිසරය වෙනස් වන අයුරුත් පසුව පරිසරය පෙරළා මිනිස් ජීවිත කෙරෙහි බලපාන ආකාරයත් විග්‍රහ කෙරේ.

වැඩියෙන් නිපදවා වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීමේ ලෝක ආර්ථික න්‍යාය බුදුදහම හා සම නොවේ. ස්වාභාවික සම්පත් හා මනුෂ්‍යයා අතර ඇති පරපට්බද්ධ බව තුලනාත්මක බව මගහැර අසීමිත ලෙස සම්පත් නිෂ්පාදනයට යොදා ගැනීමට යාමෙන් පරිසරය විනාශ වී යාමේ ප්‍රවණතාවයකට මුහුණ පෑමට සිදුවේ. වාතය, ජලය, භූමිය, වනාන්තර, ගස්වැල්, සතා සිව්පාවා, අහස සුන්දර පරිසරය මිනිසාගේ ළඟම නැදෑයන් බව අමතක නොකළ යුතුය. එසේම එම පාරිසරික සාධකයන් ජාලයක් මෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පැවැතිය යුතුය. මේ සියලු ඒකක,ආරක්ෂා කිරීම සඳහා බුදුදහම මඟ පෙන්වනු ලබයි.

පරිසරය අක්‍රමවත්ව පරිහරණය කිරීම තුළ සිදුවෙන අධිපරිභෝජන ක්‍රියාවලිය තුළින් අප සැමට අත්විඳීමට සිදුවන අනිටු ප්‍රතිවිපාක අතර මානව සමාජයේ පැවැත්මට ඉවහල්වන වායුගෝලයේ පිරිසුදු ජීවවායුව දූෂණය වීම ඕසෝන් වායු ස්ථරයට හානිවීම නිසා උෂ්ණත්වය ඉහළ යාම ගොඩබිම විනාශ වීම කාන්තාර බවට පත්වීම, ජල විදුලිය නිෂ්පාදනයට බාධා පැමිණවීම, උග්‍ර ජල හිඟය, ආදි මනුෂ්‍ය දිවියට අත්‍යාවශ්‍ය ජීව පද්ධතියට ම බලපාන පෘථිවියට අභියෝගයක් වී ඇත.

වර්තමාන සමාජ ක්‍රමය තුළ පවතින අධිපරිභෝජන රටාව තුළ සමස්ත සමාජය තුළ බෙදී යා යුතු සම්පත් සුළු පිරිසක් තුළ බෙදීයාම තුළ හෘදයාබාධ, පිළිකා, අධි රුධිරපීඩනය වැනි රෝගාබාධයන්ට ලක්වීමට සිදුවේ. ඩෙංගු රෝගය වැනි මාරාන්තික රෝග බෝවේ. ඌණ පරිභෝජනය තුළ මන්දපෝෂණය වැනි රෝගාබාධයන්ට ගොදුරුවේ. සමස්ත සමාජයේ නිරෝගි බව පරිසරය මත රඳා පවතින බව ගම්‍යමාන වේ. ජාන තාක්ෂණය මත නිපදවන ආහාර වර්ග අඩු කාලයකින් වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට උපකල්පනය කිරීම තුළ නිරෝගිභාවයට බාධා පැමිණෙනු ඇත. ආරෝග්‍ය පරමා ලාභා යන බුදුවදනට අනුව “නිරෝගිකම උතුම් සැපතයි” මේ තුළින් නිරෝගිකම නොලැබීම තුළ සමස්ත සමාජය ම පිරිහීමට පත්වේ. බුදුදහමේ උතුම් පරමාර්ථ වෙත ළඟාවීම අසීරු වේ. බුදු සමය අවධාරණය කරනු ලබන ආකාරයට පරිසරය මිනිසාගේ දිවි පැවැත්මට අදාළ වන අයුරින් පරිභෝජනය රටාව වෙනස් කළ යුතු වේ.

බුදුදහමේ සඳහන් “උදුම්බර ඛාදනය” දිවුල්කෑම සඳහා මුළු ගසම විනාශ කිරීම උචිත නොවේ. අක්‍රමවත්ව පරිසර සම්පත් ලබා ගැනීමට යාමේ අනිටු ප්‍රතිවිපාක සමස්ත සමාජයට ම විඳීමට සිදුවනු ඇත. තණ්හාව ඇතිවීම තුළ සිදුකරනු ලබන අධිපරිභෝජන ජීවන රටාවෙන් මිදෙමු . එය සමස්ත සමාජයේ නිරෝගීභාවයට පරිසරයේ යහපත සඳහාද සදාචාරාත්මක දිවිපෙවෙතත් සඳහා ද හේතුවනු ඇත.

බුදුදහමට අනුව සොබාදහම පිළිබඳව යහපත් ආකල්ප ඇති කරගනිමින් සරල දිවි පැවැත්මකට අප හුරු පුරුදු විය යුතුය. සොබාදහමේ සුන්දරත්වය වෙනස් නොකොට ඒ අයුරින් සෞන්දර්ය වින්දනය කර ගැනීමේ මානසික දියුණුවක් ඇති කරගත යුතුය. සොබාදහම ආත්මාර්ථකාමීව ප්‍රයෝජනයට ගැනීම නොව සමස්ත සමාජයට ම උරුම වූ දෙයක් බව අවබෝධ කරගෙන පිවිතුරු සිතින් සොබාදහමේ සුන්දරත්වය අත්විඳින විට නිරතුරුව සොබාදහම අපගේ මිතුරෙකු වෙයි. එසේ වූ විට සොබාදහම අපගේ මිතුරෙකු වෙයි. එසේ වූ විට සොබාදහම වඩවඩාත් හොඳින් සුරක්ෂිත වන්නේය. පරිසරය ගොඩනැගෙන්නක් විනා ගොඩනැගිය යුත්තක් නොවන බව සිත්හි තබා ගනිමු.