Print this Article


සියවසක අභිමන් සමරන පොල්ගහවෙල වෙහෙරපිටියේ විද්‍යාර්ථෝදය මහ පිරිවෙන

සියවසක අභිමන් සමරන පොල්ගහවෙල වෙහෙරපිටියේ විද්‍යාර්ථෝදය මහ පිරිවෙන

මනහර වූ ගෙවුයන් කෙත්වතුවලින් සුසැදි අනේක විධ ජන සමූහයාගෙන් යුත් පඬුවස්නුවර, කුරුණෑගල, දඹදෙණිය සහ යාපහුව යන සිව් රාජධානි පිහිටි වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණි හත්පත්තුවේ උඩපොළ ඕතොට කෝරළයේ පොල්ගහවෙල නගරයේ සිට කුරුණෑගල මාර්ගයේ සැතපුමක් පමණ දුරින් ගොඩවෙල කඩවීදිය අසල පුරා සඳ මඩලක්සේ දිඳුලමින් වෙහෙරපිටිය නම් වු පින්බිම තුළ බෞද්ධ අධ්‍යාපනයේ තෝතැන්නක් වූ විද්‍යාර්ථෝදය පිරිවෙන් විහාරස්ථානය පිහිටා ඇත.

සියලුම විහාරාංගයන්ගෙන් පිරි එම පින්බිම බොදු ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිකරවයි. මෙහි ඇති ඉපැරණි බෝධීන් වහන්සේ වෙහෙරක් මත රෝපණය කර ඇති හෙයින් මෙම ස්ථානයට වෙහෙරපිටිය යන නම යෙදී ඇති බව ද සඳහන් වෙයි.

දෙවනපෑතිස් රජු දවස ඉදිකොට ඇති යෝජනථූපයක නටබුන් ඇති මෙම ස්ථානය ආරඤ්ඤවාසී තෙරවරුන්ගේ මෝක්ෂාධිගමයට සුදුසු වූ බැවින් තලාඳපිටියේ මහතෙරුන් වහන්සේ කලක් මෙහි වස් වසා සිටි බවට තොරතුරු ඇත. උන්වහන්සේගෙන් පසුව මෙහි යම් පමණ අඳුරු යුගයක් පැවැති නමුත් ඉන්පසු වැඩ සිටි කෝන්වැවේ හිමියන් නිසා ස්ථානය යළිත් එළි පෙහෙළි විය. මෙහි දියුණුවට බොහෝ කැපකිරීම් කළ උන්වහන්සේ වෙහෙරපිටියට නුදුරින් පිහිටි ඉඹුල්ගොඩ ශ්‍රී පොත්ගුල් විහාරස්ථානයේ ද වැඩ වෙසෙමින් සම්බුදු සසුනේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් මාමුණුගම ධම්මානන්ද, කෝන්වැවේ රතනජෝති, වද්දෙණියේ සරණංකර නමින් සිසුන් තිදෙනකු සසුනට දායාද කළහ. උන්වහන්සේ අපවත්වීමෙන් අනතුරුව මෙම විහාරස්ථානයන්හි භාරකාරත්වය විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වූ මාමුණුගම ධම්මානන්ද මහා ස්වාමීන් වහන්සේට දැරීමට සිදු විය. උන්වහන්සේ ද කෙසෙල්වතුගොඩ රතනජෝති , රත්ගම රතනපාල, කළුගමුවේ ධම්මපාල නමින් සිසුන් සසුනට දායාද කළ අතර ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යරත්නය වූයේ කෙසෙල්වතුගොඩ රතනජෝති හිමියන්ය. උන්වහන්සේ තම ගුරුදේවයන් වහන්සේ වෙතින් මූලික බණ දහම් හදාරා වැඩිදුර ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය සඳහා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූහ. එහි දී හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ ඇසුරෙහි ධර්ම විනය ශබ්ද ශාස්ත්‍රාදිය හදාරා 1914 දී විද්‍යෝදය පිරිවෙණෙහි දක්ෂම ශිෂ්‍යයාට හිමිවන ශ්‍යාමරාජ ත්‍යාගය ද දිනාගන්නා ලදී.

අනතුරුව වෙහෙරපිටිය විහාරස්ථානයේ භාරකාරත්වය හිමි වූ කෙසෙල්වතුගොඩ හිමිපාණන් වහන්සේ විහාරස්ථානයේ දියුණුවට අපමණ වෙහෙසවී ක්‍රියා කළහ. සතර - සත් කෝරළයන්හි ධර්ම ශාස්ත්‍රෝන්නතිය සඳහා එවකට විද්‍යෝදය පරිවෙණාධිපතිව වැඩ සිටි ගාලු බස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක මහගොඩ ශ්‍රී ඥානේශ්වර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා අත්පොත් තැබීමෙන් 1916 මැයි මස 01 වැනි දින ‘විද්‍යාර්ථෝදය පිරිවෙණ’ ආරම්භ කරන ලදී. එසේ අරඹන ලද මෙම පිරිවෙණ ඉතා කෙටි කලකින් කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ තත්ත්වයට උසස්ව ආණ්ඩුවේ ලියාපදිංචි පිරිවෙනක් ලෙසින් ලක්දිව පුරා ප්‍රචලිත විය. කෙසෙල්වතුගොඩ රතනජෝති ස්වාමීන් වහන්සේගේ මෙම ධර්ම විනය සහිත ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයන් වෙනුවෙන් කරනු ලබන මෙහෙවර කෙරෙහි සහ නවක, මධ්‍යම, මහාථේර සබ්‍රම්සරුන් වහන්සේට ආදර්ශ ගත හැකි සාම්ප්‍රදායික උදාර භික්ෂු ආකල්පයන්ගෙන් පරිපෝෂිත බැවින් ද ක්‍රියා ශූරත්වය හා කුෂාග්‍ර බුද්ධි ප්‍රභාව ද අප්පිච්ඡතා. සන්තුට්ඨිතා සල්ලේඛතාදී සංඝ සෝභන ගුණ සමූහයෙන් පිරිපුන් බැවින් ද එයට පැහැදුන මල්වතු මහා විහාරයේ අතිගරු මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් 1928 වර්ෂයේ දී “ධර්ම කීර්ති ශ්‍රී සාරාර්ථදර්ශි” යන ගෞරව නාම සහිත දඹදෙණි හත්පත්තුවේ ප්‍රධාන සංඝ නායක ධූරයට පත් කරන ලදහ. උන්වහන්සේ 1956 බුද්ධ ශාසන කොමිෂන් සභාවේ සාමාජික ධූරයට ද 2500 බුද්ධ ජයන්ති සභාවේ සාමාජික ධූරයට ද එසේම බුරුමයේ පැවැති ජට්ඨ ධර්ම සංගායනාවට වැඩමවීමෙන් ද 1957 දී දඹදෙණි සාහිත්‍ය සභාවේ මූලාසනය හෙබවීමෙන් ද 1959 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පාලි හා බුද්ධ ධර්මය පිළිබඳ කථිකාචාර්ය ධූරයට පත් කිරීමෙන් ද 1970 දී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ ත්‍රිපිටක අංශයේ මහාචාර්ය ධූරයට පත්වීමෙන් ද තම පාණ්ඩිත්‍ය මෙන් ම ක්‍රියා ශූරත්වය ලොවට විදහාපෑහ.

උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වූයේ විද්‍යාර්ථෝදය පිරිවෙනේ උප ප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත වල්ගොව්වාගොඩ සුමංගල ස්වාමීන් වහන්සේය. සිංහල, පාලි, සංස්කෘත භාෂාවන් පිළිබඳව හසල දැනුමක් පැවැති උන්වහන්සේ පිරිවෙන් විහාරස්ථානය නගාසිටුවීමෙහිලා තම ගුරු දේවයන් වහන්සේට නිරතුරු සහාය වූහ. තම පාණ්ඩිත්‍ය ප්‍රකට කරමින් ගෘහස්ථ ශික්ෂා, සද්ධර්ම දීපනී, දසකුමාර චරිත, පූර්ව පීඨීකා ව්‍යාඛ්‍යානය, පාසල් දවස, හෙළු වියරණ විනිස වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථයන් ද සම්පාදනය කළ උන්වහන්සේ දෛවෝපගත සිදුවීමක් ලෙසින් තම ගුරු හිමියන් වැඩ සිටියදීම අපවත් වූහ.

පුරා වසර හැට හතරක් විද්‍යාර්ථෝදය පිරිවෙනේ පරිවෙණාධිපති තනතුර දරමින් ද අනේකවිධ ලෝසසුන් වැඩ වසමින් ද වැඩ සිටි කෙලෙස්වතුගොඩ නායක මහා ස්වාමීන් වහන්සේ 1980. 08. 06 වැනි දින අපවත්වූයෙන් එවක් පටන් විද්‍යාර්ථෝදය පරිවෙණාධිපති තනතුරත්, විහාරාධිපතිත්වයත් හොබවනු ලැබූයේ රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී මයිලෑවේ ශ්‍රී නිවාසාභිධාන දඹදෙණි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මහා ස්වාමීන් වහන්සේය.

ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත ලේඛකයෙකු මෙන් ම ග්‍රන්ථ කර්තෘවරයාණන් වහන්සේ නමක් වූ ශ්‍රී නිවාස නාහිමියෝ තම ගුරු හිමිපාණන් වහන්සේලා ගත් මග යමින් පිරිවෙන් ආයතනය මානව හා භෞතික වශයෙන් ද උසස් ස්ථානයකට ගන්නා ලදී. පාරිවේණික පැවිදි ගිහි සිසුන් වෙනුවෙන් නොයෙකුත් සුබ සාධන සේවාවන් රැසක් සිදු කළ උන්වහන්සේ ඡාත්‍ර දක්ෂිණා ශිෂ්‍යත්ව අරමුදල හා චන්ද්‍රලතා නානායක්කාර ප්‍රාචීන ශිෂ්‍යත්වය ද පිහිටු වූහ. සිංහල සාහිත්‍යාවලී විචාරය, පාලි ව්‍යාකරණ විවරණය වැනි ග්‍රන්ථයන් ද රචනා කළහ. 1996 දී තරමක් රෝගී තත්ත්වයට පත් වූ මයිලෑවේ නාහිමියෝ පිරිවෙනේ පරිවෙණාධිපති ධූරය ශාස්ත්‍රපති මාබෝපිටියේ විමලඤාණ හිමිපාණන්ට ද විහාරාධිපතිත්වයේ කටයුතු තමන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශාස්ත්‍රපති දෙල්දෙණියේ රතනසාර ස්වාමීන් වහන්සේට ද පවරා ශිෂ්‍ය සමූහයාගෙන් ඇප උපස්ථානයන් ලබමින් සිට 2001.03.15 දින අපවත්වූහ.

1916 දී අරඹන ලද විද්‍යාර්ථෝදය පිරිවෙණ වර්තමානය වන විට ඉටුකරන ලද මෙහෙය අපරිමිතය. සියවසක් සපිරෙන මෙම අවස්ථාවේ දී පිරිවෙන් ආයතනය මගින් මෑත යුගයේ සිදු වූ සුවිශේෂ සිදුවීම් කිහිපයක් මෙහි දී සඳහන් කරන්නේ ඉමහත් අභිමානයෙනි. පිරිවෙන් ආයතනයේ වත්මන් විහාරාධිපති, කෘත්‍යාධිකාරී නාහිමිපාණන් වහන්සේ, පරිවෙණාධිපති හිමිපාණන් වහන්සේ මෙන් ම පැවිදි ගිහි ආචාර්ය මණ්ඩලයේ අප්‍රතිහත කැපවීම මත ලද ජයග්‍රහණයන් බොහෝය. ඒ අතර 2006 වසර මූලික පිරිවෙන් අවසාන විභාගයට ඉදිරිපත් වූ සිසුන් සියලු දෙනාම එකවර සමත්වීම. 2007 දී ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ විභාගයට ඉදිරිපත් වූ සියලුම සිසුන් එකවර සමත් වීම. 2008 වසරේ දී ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයට ඉදිරිපත් වූ මහඔයේ ඤාණරතන ශිෂ්‍ය නම භාෂාත්‍රයෙන් ම එකවර සමත්වීම සහ 2013 දී ප්‍රාචීන පණ්ඩිත උපාධිය සඳහා ඉදිරිපත් වූ සියලුම සිසුන් සමත්වීම ද එම විභාගයෙන් දැලිවෙල බුද්ධරක්ඛිත ශිෂ්‍ය නම සමස්ත ලංකා දෙවැනි ස්ථානය හිමිකර ගැනීම මෙන් ම 2015 වර්ෂයේ අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය දිස්ත්‍රික් තරගාවලියේ පිරිවෙන් 43ක් අතරින් ප්‍රථම ස්ථානයට පත්වීම ද ආයතනය ලැබූ සුවිශේෂී විජයග්‍රහණයන් අතර කිහිපයකි.

සිය ශත සංවත්සරය සමරනු වස් විද්‍යාර්ථෝදය පරිවෙණාධ්‍යක්ෂ ත්‍රිපිටකවේදී, ශාස්ත්‍රපති දෙල්දෙණියේ ධර්මකීර්ති ශ්‍රී සුමංගල රතනසාරාභිධාන සත්කෝරළ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පරිවෙණාධිපති, ශාස්ත්‍රපති මාබෝපිටියේ විමලඤාණ ස්වාමීන් වහන්සේ ඇතුළු පැවිදි ගිහි ආචාර්ය මණ්ඩලයේ ද සමස්ත ශිෂ්‍ය සංසදයේ සහ විහාරත්‍රයෙහි සියලු දායකකාරකාදීන්ගේ කැපවීමෙන් හා ආධාරෝපකාරයෙන් ආදි ශිෂ්‍ය සමූහයාගේ ද සහභාගීත්වයෙන් 2016 මැයි මස 1,2,3 සහ 4 යන සිව් දිනයන්හි විශේෂ පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

මැයි මස පළමු වැනි දින පස්වරු 6.30 ට අලව්ව මාබෝපිටිය ශ්‍රී සුධර්මාරාම බෝධිඝර විහාරාධිපති, තෙලිකඩ ධම්මිස්සර හිමියන්් විසින් ආශිර්වාද බෝධි පූජා පින්කම පවත්වන අතර මැයි මස දෙවැනි සඳුදා පෙරවරු 9.18 ට යෙදෙන සුබ මොහොතින් අභිනව ඇත් පහුර සහිත වාහල්කඩ සඳහා මුල්ගල තැබීම ද අනතුරුව පිරිවෙන් ප්‍රදර්ශන කුටිය සහිත වල්ගොව්වාගොඩ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ ශාලාව විවෘත කිරීමට ද නියමිතය. එදින පස්වරු 2.00 ට පමණ කෙසෙල්වතුගොඩ ශ්‍රී රතනජෝති නාහිමි සියවස සමරු ශාලාව විවෘත කිරීම ද ආදි ශිෂ්‍ය, ගුරු ප්‍රභා ප්‍රණාම, පණ්ඩිත උපාධි තිළිණ, ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය ඇතුළත් ශත සංවත්සර මහෝත්සවය පැවිදි ගිහි විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සැපත් වීමෙන් පැවැත්වෙන උතුම් උත්සව අවස්ථාවේ මුලසුන හොබවනු ලබන්නේ කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පරිවෙණාධිපති දර්ශනපති, රාජකීය පණ්ඩිත බලංගොඩ ශ්‍රී සෝභිතාභිධාන නාහිමියන් විසිනි. තුන්වැනි දින පෙරවරු 8.30 සිට සවස 3.00 දක්වා සාමණේර පුහුණු වැඩ සටහනක් ක්‍රියාත්මක වන අතර එහි සියලුම කටයුතු පොල්ගහවෙල සාමග්‍රී සංඝ සභාව මගින් සංවිධානය කරනු ලබයි. එදින රාත්‍රී 7.00 ට විශේෂ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක දිවියාගහ යසස්සී නාහිමියන් විසිනි.

4 වැනි දින ශතාධික සංඝගත දක්ෂිණාවක් පිරිනැමෙන අතර එම අවස්ථාවට සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන උභය මහා විහාරීය නායක ස්වාමීන් වහන්සේලාත් පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ ශ්‍රී කුසලධම්මාභිධාන නාහිමියන් ඇතුළු මහ සඟරුවන වැඩමවීමට නියමිතය.