Print this Article


රුවන්වැලි මහ සෑයේ සුදුපිරියම් කිරීම ඇරැඹේ

රුවන්වැලි මහ සෑයේ සුදුපිරියම් කිරීම ඇරැඹේ

අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යරාමාධිකාරි ස්‍යාමෝපාලි මහානිකායේ , මල්වතු මහා විහාර පාර්ශ්වයේ, නුවර කළාවියේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී පල්ලේගම හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපදෙස් හා අනුශාසනා මත අනුරාධපුර ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩසිටින සලපතළ මළුවේ පැරණි ශ්‍රී විභූතිය යළි ඔප්නැංවීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙද්දී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වාර්ෂිකව කෙරෙන සුදුපිරියම් කිරීමේ කටයුතු ද ලබන පොසොන් පොහොයට ප්‍රථම කඩිනමින් නිමකර දීමට මහජන බැංකුව පියවර ගෙන ඇත.

මෙවර ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සුදුපිරියම් කිරීම සඳහා රුපියල් ලක්ෂ 70 ක් පමණ වැයවෙනු ඇතැයි ගණන් බලා තිබේ.

මහජන බැංකුවේ සේවක සේවිකාවන්, වෘත්තීය සමිති සාමාජික සාමාජිකාවන් හා මහජන බැංකුවේ ගනුදෙනුකාර භවතුන්ගේ මූල්‍ය දායකත්වයෙන් ඉහත මුදල වැයකොට මෙම සුදුපිරියම් කිරීමේ භාරදූර කාර්ය සිදු කෙරේ.

සුදුපිරියම් කිරීමේ කටයුතු අවසානයේ එම සද්කාර්ය සඳහා දායක වූ සැමට පුණ්‍යානුමෝදනා කිරීමේ පුණ්‍යකර්මයක් සිදුකිරීමටද රුවන්වැලි චෛත්‍ය රාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියන් කටයුතු කරගෙන යයි.

චෛත්‍යයේ සලපතළ මළුවට ඇතුළුවන ප්‍රධාන දොරටුවට යාබදව පිහිටි විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුද දැනට කඩිනමින් සිදුවෙමින් පවතී.

වන්දනාකරුවන්ගේ පහසුව සඳහා බුද්ධ මන්දිරයක්ද චෛත්‍යයට බටහිර දෙසින් ඉදිකර ඇත. එහි ඉතා දර්ශනීය සමාධි බුද්ධ ප්‍රතිමාවක්ද තැන්පත් කර තිබේ.

මේ අතර සලපතල මළුවේ දකුණුපස මහාසෑය සමීපයේ දැකගත හැකිව තිබූ නිශ්ශංකමල්ල රජතුමාගේ නිර්මාණයක් වූ , රුවන්වැලි මහා සෑයේ අනුරුවද මෙම බුද්ධ මන්දිරය තුළ ඉතා සුරක්ෂිතව තැන්පත් කර ඇත. බුද්ධ මන්දිරයට පිවිසෙන සැදැහැවතුන්ට එම කුඩා චෛත්‍යයේ අනුරුව දැන් හොඳින් දැකබලා ගත හැක. මෙම කුඩා අනුරුව මගින් 12 වන සියවසේදී රුවන්වැලි මහා චෛත්‍ය පිහිටා තිබු ආකාරය හුවා දැක්වේ.