Print this Article


දරුවන් වස්තුවක් වන්නේ කෙසේද

දරුවන් වස්තුවක් වන්නේ කෙසේද

“පුත්ථා වත්තු මනුස්සානං” යනුවෙන් අදහස් කරනු ලබන්නේ ලෝකයේ ජීවත් වන මිනිසුනට ලොකුම වස්තුව දරුවෝය යන්නයි. තථාගතයන් වහන්සේ දේශනා කළාවූ අනෙකුත් සියලු ප්‍රකාශ මෙන්ම මෙම කෙටි ප්‍රකාශයද ඉතාමත් වැදගත් වන ප්‍රකාශයක් වන අතරම එය අතිශය දීර්ඝ අර්ථයක් ගෙන දෙන්නක් ද වේ. දරුවන් වස්තුවක් වන්නේ කෙසේද ඕනෑම විවාහපත් යුවළකට දරුවන් ලැබිය හැකියි. නමුත් දරුවන් වස්තුවක් වන්නේද වස්තුවක් සේ දරුවන් රකින්නේද ලැබුණ දරුවන් දෙමව්පියන්ට වස්තූන් බවට පත් කරන්නට වෑයම් කරන්නේද යන කාරණාව වර්තමාන සමාජය ඉදිරියේ තිබෙන්නාවූ ගැටළුවක්. ආදරණිය දූ පුතුන් හදන වඩන අප සතුව අපේක්ෂණයන් රැසක් තිබිය යුතු බව තථාගතයන් වහන්සේ වදාරා ඇත.

අපගේ අවසාන ඉලක්කය විය යුත්තේ අපගේ දරුවන් කුමන අයවලුන් වනවා දකින්නද අපගේ බලාපොරොත්තුව කාලයෙන් කාලයට වෙනස් වී ඇත. අපගේ බලාපොරොත්තුව කලින් කලට වෙනස් වන්නෙත්, කලින් කලට සමාජය අපේක්ෂා කරන සමාජ බලාපොරොත්තුත් කලින් කලට වෙනස් වන ආකාරය අනුවමයි. ආදී මුතුන් මිත්තන් දරුවන් හැදුවේ වැඩුවේත් දරුවන් හැදීමේ දී ඔවුන්ගේ තේමාව වූයේත්, ළමයින්ගේ ඇස් දෙක පෑදිය යුතුය කියන කාරණාවයි. ඇස් දෙක පාදනවාය කියන කාරණාව ගැඹුරු අර්ථයක් තිබෙන කාරණාවක්. එම ඇස් දෙක යනුවෙන් අදහස් කරනු ලැබුවේ පෙනෙන්න තිබෙන ඇස් දෙකට නොවෙයි. ලෝකය නිවැරැදිව දකිමින් , නිවැරැදිව අවබෝධ කරගනිමින්, නිවැරැදිව යහපත් ආකාරයට ලෝකයේ සුවඳ ආග්‍රහණය කිරීමට, ලෝකය දෑසින් දකින්න ලෝකයේ ඉන්ද්‍රිය ග්‍රහණය කරගැනීමට ලෝකය නිවැරැදිව අවබෝධ කරගැනීමට හැකියාවක් ඇති තැනට දරුවා ඔසවා තබනවාය කියන කාරණාව ඒ තුළ ගැබිව තිබුණ අර්ථයයි. පසුකාලීනව දෙමවිපියන් දරුවන් පිළිබඳව වෙනත් බලාපොරොත්තු මවා ගනු ලැබුවා. ඔබ අප අසා ඇති පරිදි අම්මලා දුක් ගත්නේ පුතුන් හදන්නයි. පුතුන් රජුන් කරන්නයි. . අපේක්ෂණය වෙනස් වුණ ආකාරය වූයේ , පුතුන් රජුන් කරන්න දැරූ වෑයමේ අවසාන ඉලක්කය වූයේ පුතුන් රජුන් කීරීමට නොහැකි වීමයි.

පුතුන් රජුන් කරන්න දරණ වෑයම තුළ මහා විශාල තරඟයක් ඇතිවීමත්, එම තරඟය තුළදී බොහෝ තරඟකරුවන් පරාජය වීමත් සමඟම පුතුන් රජුන් වෙන්න පෙරුම් පුරපු වෙර වීරිය වැඩූ බොහෝ දෙනාට රජුන් වීමට බැරිව ගියා සේම රජුන්ගේ මවිවරුන් වීමට අම්මලාටත් නොහැකි වුණා. අපේක්ෂා භංගත්වයෙන් පිරිණු රටක්, නිර්මාණය වුණා පමණයි. අපේක්ෂාව බිඳී ගිය බලාපොරොත්තු කඩවුණු සමාජයක් නිර්මාණය වුණා. පුතුන් රජුන් කිරීමට කරපු වෑයමේ අවසන් ප්‍රතිඵලය එසේ ඉතිරි වුණා. අදටත් අප වෑයම් කරන්නේ අපගේ දරුවන් රජුන් කරන්නයි. අපගේ දරුවන් රජුන් කරන්න දරණා වෑයමේ අවසානය වන්නේත් එක් අයෙකු රජුන් කිරීමෙන් හා බොහෝ දෙනකු රජුන් නොවීමෙන් නැවතත් නිර්මාණය වනුයේ අපේක්ෂාව බිඳීගිය බලාපොරොත්තු කඩවුණ සමාජයකි. එසේ නම් විය යුතුව ඇත්තේ කුමක්ද අප කළ යුත්තේ කුමක්ද තරඟ වර්ග දෙකක් තිබෙන අතර එක තරඟයක් බොහෝ පරාජිතයන් සිටින අතර අනෙක් තරඟයේ පරාජිතයන් නැත. ධාවන තරඟයකදී කිසියම් දුරක ඉලක්කයක් තිබෙන බව ඇත්ත වුවද පළමුවෙනියා වනුයේ දෙවෙනියා පැරදවූ තැනැත්තායි. අ.පො. ස. සාමාන්‍ය පෙළ වැනි තරඟ විභාගයකදී ජයග්‍රහණය ලබණුයේ කිසියම් ඉලක්කයකින් එහා දිනන පිරිසයි එතැනදී පළමු වැනියා දෙවෙනියා තුන්වැනියා තෝරාගන්නේ නැහැ. කිසියම් ඉලක්කයකදී කිසියම් කඩඉම් ලකුණින් එහා පැත්තට පනින්නෝ දිනන්නෝය. මුළින් සඳහන් කරනු ලැබූ ධාවන තරඟයකදී දෙවැනියා පරදවා පළමු වැනියා වීමේ කඩඉමක් නැහැ. මෙම තරඟ වර්ග දෙකෙන් ඉලක්කයන් ජයග්‍රහණය කිරීමට යමිකිසි අයෙකුට හැකියාවක් තිෙබී නම්, එකී ඉලක්කය ජයග්‍රහණය කරන්නාවූ තැනැත්තා දිනූ තැනැත්තකු වන්නේ නම්, ජයග්‍රාහකයන් විශාල ප්‍රමාණයක් එතැන සිටිය හැකි වන අතර වැඩි දෙනා ඉලක්කය දිනූ අය විය හැකියි.

දෙවැනියා පරදවා පළමු වැනියා වන තරඟයකට දරුවා යොමුකරනු ලැබුව හොත් තරඟ කරුවන් දෙසියය දෙනකු සහභාඟිවන තරඟයකදී එක් අයෙකු දිනා තරඟ කරුවන් එකසිය අනූනව දෙනකු ම පරාජය ලබයි. එම නිසා ජීවිතය නමැති තරඟයේද අප දරුවන් යොමු කළ යුත්තේ අසල්වාසියා පරාජය කිරීම සඳහාද මහ පොළොවට පෑගෙමින් තිබෙන්නාවූ සාමාන්‍ය සත්‍යයත් සමඟ ඔබ කල්පනා කිරීමට පෙළඹිය යුතුයි. අප වෑයම් කරනුයේ අසවලාට වඩා වැඩියෙන් ඉදිරියට යාම මිස අසවල් ඉලක්කයෙන් එහාට ගමන් කිරීමට නොවේ. අප හැමදාටම අපගේ දරුවන් තරඟයකට යොමුකර තිබෙන්නේ පළමුවැනියා වීමට මිස ඉලක්කයක් දිනීමට නොවේ. එසේ වූ විට දරුවා ජීවිතය ආරම්භ කරන්නේම අනෙකා පැරදවීමටමයි. මිතුරා පරාජය කිරීමටයි. ඉගෙනීම යනු තරඟයක් කියා සිතම්න් ඔහු ඉගෙන ගන්නේම අනෙකා පැරදවීමටයි. ගණිතය විෂයයෙන් පැරදවීමටත්, ඉංග්‍රීසි විෂයයෙන් පැරදවීමටත්, කථිකත්වයෙන් පැරදවීමටත්, විවාදයෙන් අනෙකා පැරදවීමටත් පමණක් ඉගෙන ගන්නා සිසුවා ජීවිතයේදී අසල්වැසියා පැරදවීමටත් රටේත් සමාජයේත් අනෙකා පැරදවීමට පමණක් ඉගෙන ගන්නවා විනා වෙනත් ආකාරයකින් ඉලක්කය දිනීමට ඉගෙන ගන්නේ නැත. ඔහුට හිමි ජීවිතයේ දිනිය යුතු අප්‍රමාණ ජයග්‍රහණයන් ලැබීමේ හැකියාව සහ අවස්ථාව තිබියදී ඔහු කරනුයේ අසල්වැසියා පැරදවීමට පමණක් කටයුතු කිරීම නම්, සමාජය ඉදිරියට ගමන් කරන්නේ කෙසේදඑනිසා පුත්ථා වත්තු මනුස්සානං කියන පාඨයට බරපතල වරදක් කරමින් එම පාඨය තුවාල කරමින් සිටියි. එම පාඨයට අප විසින් අසාධාරණයක් කරනවා. අප දරුවන් පාවිච්ච් කරනුයේ අපගේ තරඟයේ ඉත්තන් ලෙස මිස ඔවුන් ජයග්‍රාහකයන් කරන්න නොවේ.

“ගමේ කෝපි කෙඩි දෙන්නා දෙපැත්තේ දාන් අදින්නේ” මැදින් දාන් ලෑල්ල තබාගෙන දෙන්නා දෙපැත්තෙන් ඉඳගෙන මගේ ඉත්තන් යවන්නේ මගේ ඉදිරිපිට සිටින්නාගේ ඉත්තන් කපා දැමීම මගේ ජයග්‍රහණයයි.මාගේ ඉදිරියේ සිටින්නාගේ වෑයම වනුයේ ඔහුගේ ඉත්තන් දාන් යැවීම සඳහා මගේ ඉත්තන් කපාලීමයි. දෙමවිපියන් යනු එම තරඟකරුවන් දෙපළ නම්, දරුවන් යනු දාන් ලෑල්ලේ ඉත්තන් බවට පත්වී හමාරයි. ජීවිතය යනු එය නම්, දරුවන් යනු ඉත්තන් නම්, මේ රෙටි පුතුන් දියණිවරුන් වස්තූන් වන්නේ කෙසේද “පුත්ථා වත්තු මනුස්සානං” යන ප්‍රකාශය අර්ථ සම්පන්න වෙන්න නම්, පැහැදිළි ලෙසම දරුවන් පිළිබඳව ආපසු වතාවක් හැරී බැලිය යුතුය.

ඉතිරි කොටස මැයි 06 වනදා බක් අමාවක පෝදා පත්‍රයේ පළවේ.