Print this Article


පූජාච පූජනීයානං

මක්කානිගොඩ අස්සජි නා හිමි

දසවන වියෙහිදී පැවිදි දිවියට පත්ව, සැටවන වියද ඉක්මවා පනස් වසරක්ද සපුරා අඛණ්ඩව පැවිදි පිළිවෙත් සුරකිමින් ජාතික අධ්‍යාපන ක්ෂේත්‍රයද ආලෝකමත් කරමින් හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථානයේ වත්මන් විහාරාධිපතිව වැඩ වෙසෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පර්යප්ති සංවර්ධන සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි තනතුරෙහි කටයුතු කරන මීරිගම ඩී.එස්.සේනානායක ජාතික පාසලෙහි හිටපු විද්‍යාලයාධිපති ශාස්ත්‍රපති මක්කානිගොඩ අස්සජි නාහිමිපාණෝ සසුනඹරට පෑයූ පුරසඳක් මෙන් බැබළෙමින් ඉතා කැපවීමෙන් යුක්තව ශාසනික, සමාජයීය,අධ්‍යාපන හා ආගමික කටයුතුවල යෙදෙමින් සුපේෂල ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ නමක ලෙස වැඩ වෙසෙති. මීට පනස් (50) වසරක්ද ඉක්මවූ අපේ‍්‍රල් මස 22 වන දිනක කල්එළිය, හාපිටිගම ශී‍්‍ර ජයසුමනාරාම මූල මහා පිරිවෙන් විහාරස්ථානයේදී හාපිටිගම ශ්‍රී ජයසුමනාරාම පරිවේණාධිපති පණ්ඩිත මක්කානිගොඩ ඤාණකිත්ති නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් උන්වහන්සේ සසුන්ගත වූහ. ඒ.පී. ජේමිස් අප්පුහාමි හා ලොකුගමගේ ඇලිස්නෝනා යන යුවළට දාව මක්කානිගොඩ ග්‍රාමයේදී ජන්ම ලාභය ලැබූ උන්වහන්සේගේ ගිහි නාමය ඒ.ජී. සුබසිංහ වීය. හාපිටිගම මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ඇරඹූ අස්සජි නාහිමිපාණෝ පැවිදිවීමෙන් පසු කළුතර තෙඹුවන ග්‍රන්ථාකර පිරිවෙනින් ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබ,අනතුරුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත බද්දේගම විමලවංශ නාහිමිපාණන් යටතේ අ.පො.ස. උසස්පෙළ දක්වා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයීය මහ පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත මාතලේ සාසනතිලක මාහිමිපාණන් හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදි මාතලේ ධම්මකුසල නාහිමිපාණන් ඇසුරෙහි මට්ටක්කුලිය ශී‍්‍ර වික්‍රමාරාමයෙහි නේවාසිකව සිට, සසුන් පිළිවෙත් හා අධ්‍යයන කටයුතු ප්‍රගුණ කළහ. 1974 ජූලි මස අස්සජි හිමි කළුතර කළු ගඟේ උදකුක්ඛේප සීමා මාලකයේදි උපසම්පදාවෙහි පිහිටවීම සිදුවූවේ හාපිටිගම සිරිනන්ද නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙනි.

1979 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලත් උන්වහන්සේ 1992 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා උපාධියද දිනා ගත්හ. 1993 දී බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද ලැබූහ. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ධ් හා ධ්ධ් ශ්‍රේණි විභාග සමත්වූ උන්වහන්සේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයෙහි ධ්ධ්ධ් පන්තියටද උසස්වීම් ලැබූහ.

2001 බස්නාහිර පළාත් ගුරු උපහාර උළෙලේදී එවක සිටි ගරු ජනාධිපතිනිය අතින් විද්‍යානිකේත කීර්ති ගෞරවනාම සම්මානය සමගින් රන් පදක්කම් ලැබීම හා 2012 දී අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ ගුරු ප්‍රතිභා උපහාර උළෙලේදී ජනාධිපතිතුමා වෙතින් සම්මාන ලැබූ මේ භාග්‍යයද උන්වහන්සේ ලැබූහ.

උප ගුරුවරයෙකු ලෙස 1979 දී කුරුණෑගල ගල්ගමුව මයිලෑව මහා විද්‍යාලයට සබඳ වූ අස්සජි හිමි සිය අධ්‍යයන චාරිකාව තුළ / ගම්/පෑලියගොඩ විජය විද්‍යාලයෙහිද,කොළඹ මෝදර ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයෙහි විද්‍යාලයාධිපති වශයෙන්ද විශිෂ්ට කීර්තිමත් සේවාවක නිරත වූහ.

මිනු/පස්යාල මහා විද්‍යාලයෙහි නව පරිපාලන ව්‍යුහයක් ඇති කිරීමේ අභියෝගයද සමගින් 1999 ජනවාරි පළමුවන දින උන්වහන්සේ එහි විද්‍යාලයාධිපති ධුරයට පත් කරනු ලැබූහ. කොළඹ පාසලක විදුහල්පතිවරයෙකු වශයෙන් ලැබූ විවිධාකාර වූ අත්දැකීම් නිසාවෙන් උන්වහන්සේ එම පාසල යළි ප්‍රතිසංවිධානය කොට ගුරු දෙගුරු , සිසු ගුරු හා ආදි සිසු බල මුලු සමගින් උරෙනුර ගැටී සමගිව කටයුතු කිරීමෙන් එම පාසල ප්‍රදේශයේ ඇගැයීමට පත්වූ පාසලක් ලෙස නගා සිටුවීම සඳහා සිය නායකත්ව භූමිකාව උපයෝගී කරගත්හ. එහි ගත කල කාල පරාසය තුළද විවිධාකාර වූ කටයුතු රාශියක් උන්වහන්සේ විසින් සාර්ථකව ක්‍රියාවට නංවන ලදී. දස වසරකට ආසන්න කාලයක් එහි විදුහල්පතිධුරය දැරූ අස්සජි නාහිමිපාණෝ ඉන්පසු සිය උපන් භූමියට වඩාත්මැ සමීප මීරිගම ඩී.එස්.සේනානායක ජාතික පාසලෙහි අධිපතිත්වයට 2008 පත්වූහ. විහාරාධිපතිව වැඩ වෙසෙන හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරය ජන ප්‍රසාදයට ලක්ව ඇති සොබාවත් සාසන නිකේතනයක් බඳුය.


වැලිවිටියේ සුමංගල නා හිමි

ගාලු දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාත වැලිවිටිය ගම්මානයේ පදිංචි පී. ඇම්. ඇලෝසිංඤ්ඤො මහතාගේ සහ ඇම්. ඩබ්. ඇලිස් මහත්මියගේ වැඩිමහල් පුතණුවන් වශයෙන් 1959 නොවැම්බර් මස 03 වැනි දින මෙලොව එළියදුටු මෙම කුමරුවා තම ගුරු හිමිවරු වන රෑකඩහේන ශ්‍රී සුමනාරාමාධිපති මාබොටුවන ධම්මදස්සී ලොකු හාමුදුරුවන් වහන්සේ හා වැලිවිටියේ නන්දසාර නායක හිමිපාණන් වහන්සේලාගේ අන්තේවාසික ශිෂ්‍යයෙකු ලෙස වැලිවිටියේ සුමංගල හිමි නමින් 1972 සැප්තැම්බර් මස 02 වන දින සසුන් ගත විය.

කුඩාකල පාතවැලිවිටිය කනිෂ්ඨ විද්‍යාලයෙන් හා ගා/වැලිවිටිය මහා විද්‍යාලයෙන් අකුරු කළ උන්වහන්සේ පසුව පිරිවෙන් අධ්‍යාපනයට පිවිසෙමින් රෑකඩහේන ශාන්ති නිකේතන පිරිවෙන, කහදූව ශ්‍රී පුඤ්ඤානන්ද පිරිවෙන, බද්දේගම ශ්‍රී රතනසාර පිරිවෙන, නුගේගොඩ ශ්‍රී සුභද්‍රාරාම පිරිවෙන යන විද්‍යස්ථාන තුළින් අධ්‍යාපනය ලත් සුමංගල හිමියෝ පසුව 1988 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබීය. පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමා විභාගය සමත් උන්වහන්සේ 1989 දී උඩවැලිවිටි තලාව මහා විද්‍යාලයේ හා ගා/රෑකඩහේන මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් සේවයට පත්විය.අනතුරුව 2002 දී රෑකඩහේන ධම්මදස්සි මහා විද්‍යාලයේ විදුහල්පති ධුරයට පත්විය.

අවුරුදු 26 ක ගුරු සේවයෙන් 2015 ජනවාරි මස 6 වැනි දින විශ්‍රාම ගත් උන්වහන්සේ 1986 දී උඩවැලිවිටි තලාව විහාරස්ථානයේ විහාරාධිපති තනතුරටත් 2009 වසරේදී රෑකඩහේන ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ විහාරාධිපතිත්වයටත් පත්වූහ.

ජාතික , ආගමික ශාසනික වශයෙන් සිදුකර ඇති මෙකී මෙහෙයන් අගයමින් 2016 මාර්තු මස 2 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයේ මහානායක මාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් “ධර්ම කීර්ති ශ්‍රී නන්දසාර” ගෞරව නාමය සහිත ගාලු කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් උන්වහන්සේ පුදනු ලැබූහ.

57 වැනි වියේ පසුවන වැලිවිටියේ සුමංගල නාහිමියන්ට සියක් වසක් දීර්ඝායු ලැබ, බොහෝ කලක් බුදු සසුනටත් ලෝ වැසි බෞද්ධ ජනතාවටත් සේවය කිරීමට ලැබේවා.


සිරිරතන අනු නා හිමි

අමරපුර මුම්මවංසාභිධජ සිරි සද්ධම්ම යුක්තික මහ නිකායේ අනුනායක ජිනවර වංසපාල කීර්ති ශ්‍රී සද්ධානන්ද වංසාලංකාර පණ්ඩිත ශාස්ත්‍රවේදී නරවැල්පිට කරපුටුගල සිරිරතන නාහිමිපාණන් වහන්සේ.

හක්මණ නරවැල්පිට කරපුටුගල මීමනකොළදෙණිය නම් පසල් දනව්වක හේවාපේදුරු ආරච්චිගේ මව්ලිස් සිඤ්ඤෝ පියාට හා හේවාපේදුරු ආරච්චිගේ කරෙන්චිනා මවට දාව 1926.12.02 දින නිවුන් දරුවකු ලෙස මෙලොව එළිය දුටුවේ එච්.පී.ඒ. දාවිත් සිඤ්ඤෝ යන නාමයෙනි.

මේ කුමරුවා එවකට ඥාති භික්ෂුවක් ලෙස වැඩ සිටි නරවැල්පිට විසුද්ධානන්ද මහා යතිවරයාණන් වහන්සේ වලස්මුල්ල, කුරුඳුවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ අධීශ්වර ව වැඩ සිටි බැවින් උන්වහන්සේගේ පා සෙවනෙහි අවැසි බණ දහම් වනපොත් කොට 1944 ජනවාරි මස 09 වන දින කරපුටුගල සිරිරතන හිමි නමින් එම විහාරභූමියේ ම ප්‍රවෘජ්ජා භූමියට පත් වූයේය.

මාතර දෙවිනුවර වනවාසල පරිවේණස්ථානය තම මූලික විද්‍යායතනය බවට පත්කරගත් උන්වහන්සේ ගාල්ල විද්‍යාලෝක පිරිවෙනට ඇතුළත් ව එහි කීර්තිධර ශිෂ්‍යයකු ලෙස ගුරුභවතුන් අතර ප්‍රකට වූයේ ගාල්ල, බෝපේ, සපුමල් පෙදෙසේ පිහිටි සරණගිරි අරමෙහි ආධිපතිත්වය දරමින් සිටින අතරතුරේ දී මය.

උසස් අධ්‍යාපනය සඳහා 1958 දී මරදාන විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත්ව සිංහල පාලි, සංස්කෘත, ත්‍රිපිටකාචාර්ය, යන විෂයන් ගැඹුරින් උද්ග්‍රහණය කළ උන්වහන්සේ ත්‍රිපිටකවේදී ගෞරව උපාධිය ලබාගත්හ. නක්ෂාස්ත්‍රය, සෙත්කවි, වෙදකම සහ වෙනත් ගුප්ත විෂයන් පිළිබඳ ගවේෂණය කරන්නට උන්වහන්සේ නිතැතින්ම උත්සුක වූහ.

1949 ජූලි මස 07 දින අධිසිල් ලැබූහ. 1963 දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත් ව පෙර හසරු කුසලතාවන් දැක් වූ සිංහල, පාලි සංස්කෘත , ත්‍රිපිටක ධර්මය වැනි ප්‍රාචීන විෂයන්ට අමතරව, ඉංගී‍්‍රසි, දර්ශනය තර්කශාස්ත්‍රය වැනි ප්‍රතිචීන විෂයන්ද උද්ග්‍රහණය කොට අධ්‍යයතන විද්වත් සමාජයට අඩිතාලම දමාගත්හ.

නාහිමිපාණන් විහාරස්ථානයේ පිහිටි විද්‍යාසාගර විද්‍යායතන මහ පිරිවෙන්හි පරිවේණාධිපති ධුරය හොබවමින් සුවිසල් මෙහෙවරක් කළහ. ඒ 1968 දීය.

අපවත් වීමෙන් පසු තම ගුරුදේවයාණන් වහන්සේ වැඩ සිටි ශ්‍රී බෝධිරුක්ඛාරාමයෙහි අධිපතිකම දැරීය.

1972 දී ශ්‍රී විසුද්ධානන්ද නමින් දහම්පාසලක් ආරම්භ කිරීමට යෙදුණි.

තමන් වහන්සේ පැවිදි වූ ගම්පියසට ශාසනික සේවාව කිරීම යුතුකම කොට සිතා 1980 දී මාතර කිතුලෙවෙළ ජයමහවිහාර උපාධි පීඨයට ඇතුළත්ව එහි නේවාසිකව වැඩ වෙසෙමින් ට්.ඒ.Q උපාධි පංතිවලට තම ශාස්ත්‍ර දානය ලබාදෙමින් වියත් භික්ෂු පරපුරක් හා නුවණින් පිරි බොදු ගිහි සමාජයක් බිහිකිරීම සඳහා උපරිම කැපකිරීම කළහ.

1986 ජනවාරි මස 18 වන දින සිරිවිජය නමින් ළදරු පාසලක් ආරම්භ කිරීමට යෙදුනි.

ග්‍රාම සංවර්ධන සමිතිය පිහිටුවා ග්‍රාමීය සමාජය සවිබල ගැන්වීමටත් පොදු මංමාවත් හා පොදු ළිං තැනීමටත් ප්‍රධාන නියමුවාණන් වූයේ උන්වහන්සේය. වලස්මුල්ල, කුරුඳුවත්ත හරහා පිටදෙනිය මාවත බිහිවූයේත් ඊට තදාසන්න දෙණිය ළිඳත් සකසනු ලැබුයේත් මෙහි ප්‍රතිඵලයක් ලෙසය.

එහෙත් 1987 දෙසැම්බර් මස 02 වන දින විශ්‍රාම යාමෙන් පසු මුළු කාලයම ගමේ හා විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපකිරීම උන්ව1991 දී සමස්ත ලංකා සාමවිනිසුරු පදවිය ලැබුණි.

1991 සැප්තැම්බර් 16 දින ධර්ම විජය පදනම පිහිටුවා ගත් උන්වහන්සේ ආර්ථික පීඩාවන්ගෙන් අගතියට පත් ගම් වැසියන්ට විවිධ ද්‍රව්‍යමය ආධාර ලද පමණින් ඉතාමත් සාධාරණ ලෙස බෙදාහැරීමට කටයුතු කළහ.

2015.12.11 වෙනි දා අපවත් වී වදාළහ. ඒ නිමිත්තෙන් 2016 මාර්තු මස 10 දින ධර්ම දේශනාවක්ද පසු දින එනම් 11 දින 25 නමකට අධික සංඝගත දක්ෂිණාවක්ද පිරිනමා පින් ප්‍රාර්ථනා කරනු ලැබීය. එපින් බලෙන් නාහිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා.