Print this Article


අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016 - ආදර්ශ ප්‍රශ්නෝත්තර: බෞද්ධ ශිෂ්ටාචාරය - 01

අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016 ආදර්ශ ප්‍රශ්නෝත්තර -

බෞද්ධ ශිෂ්ටාචාරය - 01

අභ්‍යාස අංක – 04

1. බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව වෛශ්‍ය වර්ණයට නියමිත ‘ස්ව ධර්ම’ නම් කරන්න.

මනුස්මෘතිය ග්‍රන්ථයේ සඳහන් වන පරිදි,
පශුනං රක්ෂණං දානං - මිච්ඡධ්‍යයන මේවච
වණික් පථං කුසී දංච - වෛශෂ්‍ය කෘෂි මෙවච

ඒ අනුව සත්ත්ව පාලනය, දන්දීම, යාග කිරීම, ඉගෙනීම, වෙළෙඳාම, මුදල් පොලී කිරීම සහ කෘෂිකර්මාන්තය, වෛශ්‍යයන්ට හිමි ස්ව ධර්ම හෙවත් කාර්යයන් වේ.

2. වෛදික සාහිත්‍යයේ දැක්වෙන “ආශ්‍රම ධර්ම” හඳුන්වා දෙන්න.

වෛදික සාහිත්‍යයේ දී මිනිස් ජීවිතය ප්‍රධාන වශයෙන් කොටස් 4ට බෙදා ඇත. එනම්,

1. බ්‍රහ්මචාරී
2. ගෘහස්ථ
3. වාන ප්‍රස්ථ
4. සන්‍යාසි

මින් පළමුවන යුගය වන්නේ බ්‍රහ්මචාරී යුගයයි. එහිදී සිදු කළ යුතු ප්‍රධානතම කාර්යය වන්නේ අධ්‍යාපනයයි. මෙහිදී බ්‍රාහ්මණ කුමාරවරු වයස අවුරුදු අටෙන්ද, ක්ෂත්‍රීය කුමාරවරු වයස අවුරුදු දහයෙන් ද, වෛශ්‍ය කුමාරවරු වයස අවුරුදු එකොළහෙන්ද උපයන කර්මය සිදු කොට අධ්‍යාපනය ලැබීම ආරම්භ කළ යුතු ය.

ගෘහස්ථ අවධියේ දී අධ්‍යාපනය අවසන් කර විවාහ වී දරු සම්පත් ලබමින් නිවාස ආදිය ඉදිකරගෙන කම් සැප විඳිය යුතුයි.

තෙවන අවධිය වන්නේ වාන ප්‍රස්ථ අවදියයි. මෙහිදී සියලු කම් සැප අතහැර වනගත වී තපස්දම් පිරිය යුතු ය. බිරිඳ වැඩිමහල් පුතනුවන්ට භාර දී දේපළ ආදිය ඔවුන්ට පැවරිය යුතු ය. වැඩිමහල් පුතෙකු නැතිනම් බිරිඳ සමඟ වන ගත වී වෙන් වෙන්ව වාසය කළ යුතු යි.

සන්‍යාසි අවධිය යනු තවුස්දම් පුරා අවබෝධ කරගත් ධර්මය අන් අයට කියා දෙමින් සන්‍යාසියෙකු ලෙස මරණය තෙක් ක්‍රියා කිරීමයි.

3. බ්‍රාහ්මණ වරණයට නියමිත ‘ආපද් ධර්මය’ පෙන්වා දෙන්න.

බ්‍රාහ්මණ දහමට අනුව බ්‍රාහ්මණයන්ගේ සුඛ විහරණය උදෙසා මෙම ආපද් ධර්ම සංකල්පය හඳුන්වාදෙන ලදී. මෙකල ක්ෂත්‍රීයන් හා වෛශ්‍යයන් ධනෝපායන මාර්ග වලින් බොහෝ දුරට දියුණු තත්ත්වයක සිටියහ. නමුත් බ්‍රාහ්මණයන්ට එම අවස්ථාව නොලැබුණි. එම නිසා ඔවුන් ආර්ථිකමය වශයෙන් දුර්වල තත්ත්වයක සිටියහ. ඊට පිළියමක් ලෙස බමුණන් මෙම ආපද් ධර්ම හඳුන්වා දෙන ලදී.

මෙහි අර්ථය වන්නේ ආපදා අවස්ථාවක දී තම වර්ණයට පහළ වර්ණවල කාර්යයන් සිදු කළ හැකි බවයි. ඒ අනුව බ්‍රාහ්මණයන්ට ක්ෂත්‍රිය වෛශ්‍ය යන වර්ණවල ක්‍රියාද ක්ෂත්‍රියන්ට වෛශ්‍යයන්ගේ හා ශුද්‍රයන්ගේ ක්‍රියාද, වෛශ්‍යයන්ට ශුද්‍රයන්ගේ ක්‍රියාද සිදු කළ හැකි විය. නමුත් කිසි විටකත් තම වර්ණයට ඉහළ වර්ණයන්ගේ ක්‍රියා සිදුකිරීමට අවසර නොතිබුණි.

4. චතුර් වර්ණයේ ඓතිහාසික ප්‍රභවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් ගෙන හැර දක්වන්න.

වර්ණ ධර්මය යන්නෙන් අදහස කරන්නේ කුල ක්‍රමයයි. වර්ණ යන්නෙහි සරල අරුත පාට යන්නයි. පාට අනුව සමාජය වර්ග කෙරිණි. ඒ අනුව සුදු පැහැති අය ආර්යයන් ලෙසත්, කළු වර්ණ ඇති අය අනාර්යයන් ලෙසත් වර්ග කෙරිණි. මෙම ආර්යයන් ඉන්දියාවට සංක්‍රමණය වූයේ මධ්‍යම ආසියාවේ සිටය. පෙර අපර දෙදිග සිය බලය තහවුරු කර ගනිමින් සිටි ඔවුන් ඉන්දියාවේ වයඹ දිගින් ඇතුළු වී මධ්‍ය දේශයට පැමිණියහ. කළු වර්ණයෙන් සිටි ස්වදේශික ඉන්දියානුවන් අනාර්යන් ලෙසත් සුදු පැහැති විදේශිකයන් ආර්යයන් ලෙසත් වෙන් කර ගෙන සිය බලය ඔවුන් තහවුරු කර ගත්හ.

වර්ණ ධර්මය පිළිබඳ බ්‍රාහ්මණ මතය වූයේ එය නිර්මාණවාදී බවයි. එනම් මහා බ්‍රහ්මයාගේ මැවීමක් වන බවයි.

බ්‍රාහ්මණේස්‍ය මූඛ මාසිද් – බාහු රාජන්‍යඞ කෘතඞ
ඌරු තදස්‍ය යද් වෛශෛ්‍ය - පද්භයාම් ශුද්‍රෝ අජායත

මෙම ශ්ලෝකයෙන් දැක්වෙන්නේ මහා බ්‍රාහ්මයාගේ මැවීමට අනුව මිනිස් ජන සමාජය කොටස් 4 ක් වන බවයි. එනම්,

1. බ්‍රාහ්මණ – මහා බ්‍රහ්මයාගේ මුඛයෙන්
2. ක්ෂත්‍රීය – මහා බ්‍රහ්මයාගේ දෙබාහු වලින්
3. වෛශ්‍ය - මහා බ්‍රහ්මයාගේ යටිපතුල් වලින්
4. ශුද්‍ර – මහා බ්‍රහ්මයාගේ යටිපතුල් වලින්

මෙලෙස සමාජය කාණ්ඩ ගත විය. මේ අතුරින් බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ යන වර්ණ ආර්යයන් ලෙසත් ශුද්‍ර වර්ණය අනාර්ය ලෙසත් හැඳින්විය.

5. බෞද්ධ ඉගැන්වීම් අනුව අධ්‍යාත්මික සුවය පිණිස කුලහීනත්වය කිසිදු බාධාවක් නොවන බව උදාහරණයක් මඟින් පෙන්වා දෙන්න.

ආධ්‍යාත්මික සුවය ලබාගැනීමට කුලහීනතාව කිසිදු බාධාවක් නොවන බව බුදුසමය හේතුඵල සහිතව අවධාරණය කරයි.

බුදුන් දවස විසූ සුනීත යනු සැඩොල් කුලයට අයත් කසළ ශෝධකයෙකි. ඉතා අඩු පහත් කුලයකට අයත් සුනීතගේ රැකියාව වූයේ මාර්ගයේ කසළ ඉවත් කිරීමයි. උසස් කුලවතුන් ඈත තියා දුටු විට මොවුන් බියෙන් සැඟවෙති. එතරම් පහත් කොට සිටි සුනීත බුදුන් වහන්සේගේ සරණ ගොස් විදසුන් වඩා මහරහත් ඵලයට පත්විය. අන්‍යයන්ගේ වැඳුම් පිදුම්වලට පාත්‍ර විය.

අභ්‍යාස අංක – 05

භාරතයේ පැවැති රාජාණ්ඩු සහ සමූහ ආණ්ඩු අතර වෙනස පෙන්වා දෙන්න

භාරතයේ මහා රාජ්‍යයන් 16ක් පැවැතුණි. ඒවා සොළොස් මහා ජනපද ලෙස හැඳින්විය. මෙම ජනපද ප්‍රධාන පාලන ක්‍රම දෙකක් යටතේ පාලනය විය. එනම්,

1. රාජාණ්ඩු පාලනය
2. සමූහාණ්ඩු හෙවත් ගණ තන්ත්‍ර පාලනය

මින් රාජාණ්ඩු පාලනය ප්‍රධාන රජකෙනෙකු විසින් සිදුවිය.

නමුත් සමූහාණ්ඩු පාලනයේදී රජවරු සමූහයක් එක්ව පාලනය ගෙන ගියහ.

ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යන ත්‍රිවිධ බලතල රාජාණ්ඩු පාලනයේදී රජුට පැවරිණි.

සමූහාණ්ඩු පාලනයේදී ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණ බලතල සමූහය විසින්ම සාකච්ඡා කර ඒකමතික තීරණයකට අනුව ක්‍රියාත්මක කෙරිණි.

රාජාණ්ඩු පාලනයේදී හිසගසා දැමීම, උලතැබීම, නදියෙහි ගිල්වා මරා දැමීම වැනි දරුණු දඬුවම් සාධාරණ විය.

2) බුද්ධ කාලීන භාරතයේ පැවැති ප්‍රධාන රාජාණ්ඩු සතර සහ ඒවා පාලනය කළ රජවරුන් නම් කරන්න.

මගධ – බිම්බිසාර මහරජු
කොසොල් – කොසොල් මහරජු
වත්ස්‍ය – උදේනි රජු
අවන්ති – චණ්ඩපජ්ජෝත රජු

3) “රාජ්‍ය ප්‍රභවය” පිළිබඳව බෞද්ධ ඉගැන්වීම් අග්ගඤ්ඤ සූත්‍රයට අනුව කෙටියෙන් දක්වන්න.

දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් ලෝකය විනාශ වීමෙන් පසු නැවත මිනිස් වාසයට සුදුසු ලෙස නිර්මාණය වන ආකාරය පිළිබඳව පෙන්වා දෙයි.

මෙලොව සිටින සියලුම ජලජ සත්වයන් මරණින් පසු ආභස්සර බඹලොව උපත ලබයි. නැවත මෙම ලෝකය හට ගන්නා කල මෙලොවට පැමිණෙයි. මෙම සත්වයන්ගේ ශරීරයෙන් ආලෝකය නිකුත් වන අතර ආකාශචාරීව හැසිරෙති. ප්‍රීතිය අනුභව කරති. දින, සති, මාස කිසිවක් නොවුණි. මුළු ලොවම එකම ජල කඳක්ව පැවතුණි.

ඉන්පසු ජලය මතුපිට “රස පෘථිවිය” ඇති විය. බඹ ලොවින් ආ එක් සත්වයෙක් මෙම “රස පෘථිවිය” ඇඟිල්ලෙන් ගෙන දිව ගා බලයි. ඒ සමඟම ඔවුන්ගේ ශරීරයේ ආලෝකය අතුරුදන් වී ඉර, සහ සඳ ඇති විය. රස පෘථිවිය ආහාර ලෙස ගැනීම නිසා ඇතැමුන්ගේ සිරුරු පැහැපත් වීමත් ඇතැමුන්ගේ ශරීර ගොරෝසු වීමත් සිදු විය. ශරීර පැහැපත් අය ශරීර ගොරෝසු අය හෙළා දැකීමට පටන්ගත් නිසා රස පෘථිවිය අතුරුදන් විය. ඉන්පසුව මේ පිළිබඳව සියලු දෙනා එක්ව සාකච්ඡා කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස බිම්මල්(හතු) පහළ විය. බිම්මල්(හතු) ආහාරයට ගැනීම නිසාද පෙර පරිදි ඇතමුන් වර්ණවත් වීමටත් ඇතැමුන් ගොරෝසු වීමත් සිදු විය. ඉන්පසු බිම්මල් අතුරුදහන් විය. නැවත සියලුදෙනා එක්ව සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බදාලතා වැල් පහළ විය. මේවා ආහාරයට ගැනීමෙන්ද ඇතැමුන් වර්ණවත් වීමටත් ඇතැම් පිරිසක් ගොරෝසු වීමටත් පත් විය. ඉන්පසු වර්ණවත් අය ගොරෝසු අය හෙළා දැකීම නිසා බදාලතාවැල් අතුරුදහන් විය.

ඉන්පසු නැවත සියලු දෙනා එක් රැස්ව සාකච්ඡා කළ නිසා රත්හැල් පහළ විය. මේවායේ කුඩු , පොතු නිවුඩු නොමැත. කඩාගත්තැන නැවත සෑදෙයි. මේවා ආහාරයට ගත් නිසා ස්ත්‍රී , පුරුෂ භේදය ඇති විය. ඉන්පසු කාමය, රාගය ඇති විය. මොවුන්ට කායික ක්‍රියාවලි සිදු කිිරීමට අවශ්‍ය වූ නිසා නිවාස තනා ගත්හ. එක් කුසීත පුද්ගලයෙක් දින කිහිපයකට එකවර රත්හාල් කඩාගෙන ගියේය. එය දුටු තවකෙක් එසේ කළහ. පසුව තමන්ගේ සීමාව වෙන්කර ගැනීමටත් අනුන්ගේ සීමාවකින් සොරකම් කිරීමටත් පටන් ගත්හ. මේ නිසා මෙවැනි ක්‍රියා නවත්වා ගැනීම සියලු දෙනාගේම ඒකමතික තීරණය විය. එක් දේහදාරී පුද්ගලයෙක් ඔවුන් පත් කර ගන්නා ලදී. ඔහු “ මහජන සම්මතෝනී – මහා සම්මතෝ”

සියලු දෙනාගේ සම්මතයෙන් පත් වූ නිසා ඔහු මහා සම්මත නම් විය. මොහු ලොව පළමු පාලකයා විය. මෙසේ රාජ්‍යයක ප්‍රභවය සිදු වූ බව අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වේ.


පසුගිය සතියෙන්:  අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016 - ආදර්ශ ප්‍රශ්නෝත්තර: බෞද්ධ ශිෂ්ටාචාරය - 01