Print this Article


බුදුරදුන් අනුදැන වදාළ සොබාදහම සුරැකෙන දිවිපැවැත්ම

බුදුරදුන් අනුදැන වදාළ සොබාදහම සුරැකෙන දිවිපැවැත්ම

බුදුසිරිත පරිසරය හා ඉතා සමීප සබඳතාවක් ඇත. අසිරිමත් තෙමඟුල සිදු වූයේ ද පරිසරයේ තුරු සෙවණේ සිය පන්සාළිස් වසක් බුදුරදුන් වැඩසිටියේ, දම් දෙසුවේ, ගිමන් හැරියේ, දන් වැළදුවේ, සැතපුණේ රුක්මුල් වන සෙනසුන්වලය. බුදුරදුන් ශ්‍රාවකයන් සොබාදහමේ චමත්කාරය සෞන්දර්ය අතිශය අගය කළ පිරිසක් බවට පත් විය. සොබාදහමේ සිත් ඇද ගන්නා වූ පර්වතය, උද්‍යානය බුදුකුටිය රහතුන්ගේ හා භික්ෂූන්ගේ ආරාමය, කුටිය සඳහා තෝරාගන්නා ලදී.

සත්‍ය සොයා යන අවස්ථාවේ දී සිදුහත් බෝසතාණන් වහන්සේ උරුවෙල් දනව්වේ සේනානි නියම්ගම තෝරාගනු ලැබුවේ සිත් ගන්නා සුළු වන ලැහැබකින් පවිත්‍ර ජලයෙන් ගලා බසිනා නේරංජනා ගංගාව අසබඩ භූමිභාගයකි. බුදුරදුන් හැර පරිසරහිතවාදී වෙනත් ශාස්තෘවරයෙකු මෙලොව පහළ වී නොමැත. ඉන්ද්‍රිය විඥානය ඉක්මවා ගිය අතින්ද්‍රිය ඥානයෙන් මුළු විශ්ව තලයම පමණක් නොව සොබාදහමේ යථාර්ථය වෙත යොමු කළ ගවේෂණය හුදෙක් ආර්ය පර්යේෂණයකි. අනාර්ය සමාජයේ පැවැත්ම බිඳෙන සුළුවේ. කැඩී බිඳී ගිය අධිවේගී පරමාණුවේ පැවැත්ම අනිත්‍ය වේ. නිත්‍ය සුභ සුඛ යන අනර්ථකාරි නූතන ජීවිත අධිපරිභෝජන රටාව ජීවයේ පැවැත්මට හිතකර නොවේ. ඉඳුරන් අධිකව පිනවීම සඳහා ඉන්ද්‍රිය බද්ධ උපකරණ තාක්ෂණ මෙවලම් නිෂ්පාදනය දිනෙන්දින ඉහළ යන සමාජ පසුබිමක, “සමජීවකතාව“ අගයන ධාර්මික සමාජයකට බුදුදහම මංපෙත් විවර කරනු ලබයි.

“වනං ජීන්දථ මාරුක්ඛං කෙලෙස් වනය කපන්න. ගස් නොසිදින්න කෙලෙස් දුරු කිරීම සම්බන්ධයෙන් බුදුරදුන් පරිසරය මෙසේ සම්බන්ධ කර ඇත.

පරිසරයේ ආරක්ෂාව හා සුරක්ෂිත බව මෙන්ම එහි සෞන්දර්යාත්මක බව සංවේදීව බුදුරදුන් අවධාරණය කළ සේක. “සොබාදහම පිළිබඳව කළ වර්ණනා ත්‍රිපිටකයේ සඳහන්ව ඇත. එබදු එක් අවස්ථාවක ආනන්ද හිමියන්ට පැවසුවේ මෙසේය” ආනන්දයෙනි, සුළඟින් සැළුනු ඒ තාල වෘක්ෂ පන්තීන්ගෙන් විනිර්මුක්ත සිත් අලවන්නා වූද කමනීය වූද සිත් මන්මත් කරන්නා වූ හඩක් වී යැයි” වදාළහ. ධම්ම පදයේ සඳහන් රමණියානි අරඤ්ඤානි ගාථාවෙන් දැක්වෙන්නේද මහ වන රජ දහනේ ඇති රමණීය බවයි. වනය විනාශකිරීම මුළු මහත් මනුෂ්‍ය සංහතියේ අයහපත පිණිස පවතී. පරිසරයේ සෙවන දුන් ගසකට හානි නොකළ යතුය. කවරෙකු වුවද එසේ කරන්නේ නම් එය මිත්‍ර ද්‍රෝහී ක්‍රියාවක් බව අනුදැන වදාළ සේක. සැදැහැති කුල පුත්‍රයකු විසින් මල් උයන්, වන උයන් වවන්නේද ඒ සැමට දිවා රෑ දෙකෙහි පින් වැඩෙන බව වනරෝප සූත්‍රයේ දේශනා කොට ඇත.

සම්බුදු සසුනේ ශ්‍රාවක සංඝයා උදෙසා විනය ශික්ෂාවන් පැනවීමේ දී රුක් තෘණ ආදි භූත සමූහය සිඳීමෙහි පචති ශික්ෂාපදය පැනවීම වස්සාන ඍතුවේ වස් සමාදන් වීම ජලය සමීපයෙහි ආරාම ඉදිනොකිරීම වැනි කරුණු දේශනා කළේ. සොබාදහම රැකගැනීමේ අරමුණ ඇතිවය. දානය වළඳා ඉතිරිවන ඉඳුල්ටික පවා පරිසරය අපවිත්‍ර නොවන අයුරින්, ඉවත් කරන ලෙස අවධාරණය කොට ඇත. ජලයට මල, මුත්‍රා කිරීම කෙළ ගැසීම, නොකළ යුතු බව දක්වා ඇත.

සම්බුදු සසුනේ ශ්‍රාවකයන් වහන්සේලා ද සෞන්දර්ය පිළිබද බෞද්ධ ආකල්පය අගය කළහ. අග්‍රශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේ, ගොසිංගකාල වනය පිළිබඳ ඇති ශ්‍රේෂ්ඨ වර්ණනාවක්, ගෝසිංහ සුත්‍රයේ සඳහන් වී ඇත්තේ මුළු බුදුදහමට මිනිසාත් පරිසරයත්,අතර ඇති මහඟු ජීවන කලාව පෙන්වා දෙමිනි. ථේර හා ථෙරී ගාථාවල දැක්වෙන ආකාරයට රහතන් වහන්සේලා මෙහෙණීන් වහන්සේලා සොබාදහමේ සුන්දරත්වය කාමයෙන් තොරව අත්දැක ලද වින්දනය ප්‍රකාශ කොට ඇත. වනවච්ඡ රහතන් වහන්සේ වනයෙහි ඇති විශාල ගල්කුලයක දිය ඇල්ලක් පහතට ඇද වැටෙන විට දියසෙවෙල් ගතිය සිවුපාවුන් දිය බීමට පැමිණෙන එම ස්වාභාවික දර්ශනය දුටු ආකාරය අච්ඡෝදක, පුථුසීලා, ගෝණංගල මිග යුතා. යන ථේර ගාථාවෙන් දක්වා ඇත. සප්පක හිමි හුදෙකලාව අජකරණී නදිය අසල වැඩ සිටි කෙකනියෝ සිය ශ්වේත වර්ණ පියාපත් විහිදුවමින් කළු මේඝයට බියෙන් කැදලි සොයා යති. එවන් පරිසරයක් තුළ අජකරණි නදිය මා සිත සතුටු කරයි. සොබාදහමේ චමත්කාරය දැක රහතන් වහන්සේලා අර්හත් බවින් පෝෂණය වූ දියුණු සිත සතුටු කරගත් බව ඒ තුළින් පැහැදිලි වෙයි.

“පටිබද්ධ මෙ ජීවිතං” යන දර්ශනය තුළ අපේ ජීවිත රැඳී ඇත්තේ අන් පුද්ගලයන්ගේ සමාජයේ හා පරිසරයේ අන්‍යෝන්‍ය බලපෑම මතය. පරිසරය සුරැකීම සඳහා අප සැම සතු වගකීම වන්නේ ජීවත්වන සෑම තත්පරයක දී ම තම ජීවිතය වගේම අන් සියලු ජීවිතත් රැකී ඇත්තේ පරිසර පද්ධතියෙන්ම සම්බන්ධතාවය සමතුලිතතාවය මත බව තේරුම් ගෙන සැනසිලිදායක වගකීම් සහිත ජීවන රටාවක් අනුගමනය කිරීම වැදගත් වේ.

අප අභ්‍යන්තර පරිසරයේ පාරිශුද්ධත්වය රැකී ඇත්තේ මානසික සන්සුන් බව හෙවත් ගැඹුරු ශික්ෂණයෙනි. එසේම එම පිරිසුදු මනසින් විහිදෙන මෛත්‍රී කිරණ මුළු මහත් මිනිස් පරපුරටත් සත්වයන් ගස් කොළන් ආදි සමස්ත පරිසරයටත් ආශිර්වාදයකි. සද්ධර්මය අවුරුදු 2600ක් ඉක්ම ගියත් තව තවත් අපගේ මුළු මහත් පරිසරයේ ම පැවැත්මට නිරෝගී බවට සෞභාග්‍යයට හා සමස්ත සාමයට හේතු වී ඇත. සදාතනික සත්‍යය ද මෙයයි.

සත්ව ඝාතනයෙන් ඈත්ව සියලු සත්වයන්ට මෛත්‍රිය, කරුණාව, දැක්වීම අනුදැන වදාළේ පරිසරය ඇසුරින් ජීවත්වන සතා සිවුපාවා ආරක්ෂා කර ගැනීමේ අරමුණෙනි. සර්ව සත්ව හිතවාදී ආකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තුළ මනුෂ්‍යයන්ට මෙන්ම තිරිසන් ගත සත්වයන්ට ද විශ්වයේ ජීවත්වීමට අයිතිවාසිකම් ලැබෙනු ඇත.

අධිපරිභෝජනය යනු වැඩියෙන් නිෂ්පාදනය කර වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීමයි. සොබාදහම විසින් දායාද කරන ලැබූ සම්පත් මිනිසාගේ දැනුමෙන් ක්‍රියාකාරිත්වයෙන් පරිවර්තනයට භාජනය කර පරිභෝජනය කිරීම ඉන්පසු අපද්‍රව්‍ය වශයෙන්, පරිසරයට බැහැර කිරීම යනාදිය මිනිසාගේ හැසිරීම් රටාව අනුව ස්වාභාවික සම්පත්වලට බලපෑමක් සිදුවේ. මිනිස් පරිභෝජනය කර අපහරණය කරන ද්‍රව්‍ය ස්වාභාවික චක්‍රීය න්‍යායන්ට ඔරොත්තු නොදෙන තත්ත්වයක පවතී.

පරිසරයට වියෝජනය කළ නොහැකි ද්‍රව්‍ය ඊට එක් කිරීම නිසා බොහෝ කලක් නොදිරන අපද්‍රව්‍ය ලෙස ස්වභාව ධර්මය මත ගොඩ ගැසෙමින් පවතී. ඒ නිසා පරිසර දූෂණයට ලක්ව ඇත. ගේ දොර කර්මාන්ත ශාලා ආයතන ව්‍යාපාරික ස්ථාන ආදියෙන් පිටකරනු ලබන අපද්‍රව්‍ය නිසා ජලය දූෂණය වෙමින් පවතී. මිනිස් අධිපරිභෝජන රටාවට පරිසරයට හිතකර නොවන ලෙස සකස් වෙමින් පවතී. මිනිසාගේ භෞතිකවාදි ආකල්ප බටහිර ආකල්ප සමඟ මිශ්‍ර වී වර්තමාන සමාජය තුළ ලාභ උපරිම කර ගැනීමට තරගකාරි වෙළෙඳ පොළ ආර්ථිකයන් නිසා වැඩියෙන් නිෂ්පාදනයන් සම්පත් භාවිතයේ දී සමානත්මතාවක් නොමැතිවීමත් ගැටලු සහගත වේ.

මෙම ලිපියෙහි ඉතිරි කොටස අප්‍රේල් 30 වනදා බක් අවඅටවක පෝදා පත්‍රයේ පළවේ.