Print this Article


දීල බණින එක හොඳයි ද

දීල බණින එක හොඳයි ද

මේ සසර කතරින් එතෙර වීම සඳහා පුද්ගලයා පුරුදු පුහුණු කළ යුතු ප්‍රධාන ධර්ම කාරණා අතර දානය නොහොත් දීම සුවිශේෂි වේ. පිළිවෙල කතාවේ දී දාන කථා, ශීල කථා සහ සග්ග කථා යනාදී වශයෙන් දක්වා තිබෙන අතරම එයින් මුලින්ම දක්වා ඇත්තේ දානය පිළිබඳව වේ. අපේ රටේ බොහෝ දෙනෙක් දන් දීමට කැමතිය. දීම පිළිබදව ත්‍රිපිටක සාහිත්‍යයෙහි විවිධ ස්ථානවල විවිධාකාරයෙන් විග්‍රහයන් දැක්වෙන අතරම යමක් දිය යුතු වන්නේ අවබෝධයකින්ම වේ. එවිට ලැබෙන ආනිශංස ප්‍රමාණය වැඩිවේ. අභිධර්මයෙහි දැක්වෙන සිත් පිළිබඳව විග්‍රහයේදී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හා සසංකාරික වශයෙන් දැක්වෙන ස්ථානවල දී සතුටු සිතින් අවබෝධයෙන් යුතුව කෙනෙකුගේ පෙළඹවීමක් නොමැතිව තමා විසින්ම යමක් දෙන්නේ නම් එයින් අත්වන ප්‍රතිඵලය මහානිශංස වන බව දැක්වෙනවා. අප බොහෝ අවස්ථාවල දී යමක් දීමේදී තවත් කෙනෙකුගෙන් අසා හෝ උපදෙස් ලබා ගන්නට යෑමෙන් අපගේ දාන චේතනාවට හානිවන අවස්ථා දැක ගත හැකියි. දානය යන්න විග්‍රහ කිරීමේදී පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් යමක් දිය හැකිවේ. කර්මය ඵලය විශ්වාස කරගෙන තමන්ට වඩා උසස් ගුණයෙන් යුතු උත්තමයන්ට යමක් පිදීමෙන් විශාල ආනිශංස ප්‍රමාණයක් අත්කර ගත හැකිවේ. මේ කාරණා පිළිබඳව තේරුම් ගැනීමේදී අංගුත්තර නිකායේ තෘතිය භාගයේ පඤ්චක නිපාතයේ දැක්වෙන අවජානාති සූත්‍රයේ තොරතුරු අතිශයින්ම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා දේශනා කළේ මහණෙනි, මේ ලෝකයේ මිනිසුන් කොට්ඨාස පහක් දැක ගත හැකි බවයි. එයින් එක් කෙනෙක් වන්නේ දත්වා අවජානාති යනුවෙන් පෙන්නුම් කරනුයේ යමක් දී අවමන් කිරීම හෙවත් බැනීම කරන පුද්ගලයා වේ. මෙය තවදුරටත් විග්‍රහ කරනුයේ මේ ලෝකය තුළදී පුද්ගලයෙක් දී අවමන් කරන්නේ යැයි පවසනුයේ කවර ද යත්.

මහණෙනි, මේ ලෝකය තුළ පුද්ගලයෙක් සිවුරු පිරිකර, සේනාසන ගිලන් පස, බෙහෙත් පිරිකර යනාදිය දී ඕහට මෙසේ සිතිවිල්ලක් ඇතිවේ. එනම් මම දෙනවා. මෙයා පිළිගන්නවා එසේ නැත්නම් මෙයා පිළිගන්නට නම් දනී යනුවෙන් පවසයි. මෙසේ දී අවමන් කරන්නේය. මෙවැනි සිතිවිලි ඔබට කෙතරම් ඇති වී තිබේද එය තමන්ගේ සාංසාරික ගමනට කෙතරම් බාධාකාරි වන්නේද යන්න තේරුම් ගත හැකි වන්නේ සංයුත්ත නිකායේ ප්‍රථම භාගයේ ඇති අපුත්තක කථා වස්තුව විමසීමෙන් වේ. අපුත්තක යනු පුත්තු නැති කෙනෙක් වේ. අසූ කෝටියක් ධනය තිබුණු කෙනෙක් වේ. මුලු ජීවිත කාලයේ ම කෑම වශයෙන් ගත්තේ කාඩි හොදියි බතුයි පමණයි .වැරහැලි ඇඳ ගත්ත ඔහු තමන්ගේ ගමන් යෑම සඳහා භාවිත කළේ ද කැඩුණු කරත්තයක් වේ. මරණයෙන් පසුව සියලු ධනය රාජසන්තක වූ අතර තවත් කොටසක් ජනයා රැගෙන ගියහ. මේ පුදුමාකාර ජීවිතය දෙස බැලු කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණය විමසූ මොහොතේ, බුදුපියාණන් වහන්සේ දේශනා කළේ පෙර සිඛී බුදුරජාණන් වහන්සේට මෙම අපුත්තක යමක් දී පසුව පසු තැවී ඇති බවයි. එහි පල විපාකයක් වශයෙන් මේ ආත්මයේදී දුන්න නිසා ලැබුණු අතරම දීලා පසු තැවීම නිසා ලැබුණත් භුක්ති විදීමේ වාසනාව ඔහුට නැති විය. ඇතැම් පුද්ගලයන් තවත් බොහෝ දෙනෙක් දෙන නිසා තමා ද ප්‍රදර්ශනාත්මක ස්වරූපයෙන්ම දිය යුතු යැයි කල්පනා කරයි. එතැන ඇත්තේ වංචනික ධර්මයක්ම වේ. එහෙත් එයින් පසුව පසුතැවීම අති කර ගනී. අප යමක් දීම මගින් තමන්ගේ සිත් තුළ උපදින ලෝභ, ද්වේෂ හා මෝහ යන අකුසල චෛතසික ධර්මයන් යටපත් කර ගැනීමට වෙර දරයි. එහෙත් ඇතැම් අවස්ථාවලදී සිදුවනුයේ නොදැනුවත්ම මේ නරක සිතිවිලි තුන වඩාත් බලවත් ලෙස වර්ධනය වීම වේ. මෙයට ප්‍රායෝගික උදාහරණයක් ගෙන හැර දැක්වීමේදී යම් කෙනෙක් යම් පූජනීය ස්ථානයකට හෝ වෙනත් ස්ථානයකට යමක් පූජා කිරීමෙන් අනතුරුව එය තමන්ගේ සිතින් ඉවත් කර ගත යුතුවේ. එසේ නොවී එම වස්තුව සිතින් අල්ලා ගන්නේ නම් එහි කාමච්ඡන්දය උපදී. ඒ නිසාම තමන්ගේ සිත තුළ ආශාව ඉපදවීමෙන් පසුව එම වස්තුව බලන්නට යෑමටද සිත් ඇතිවේ.

එයින් නොනැවතී එම වස්තුව නිසි ආකාරයෙන් නොපැවතියේ නම් ඇතැම් විට ද්වේෂය හා මෝහය සිතිවිලි ඉපදිය හැකි වේ. මෙයින් තේරුම් ගත යුතු වන්නේ පින්කම් කරන්නට ගොස් නොමනාකම් කර ගන්නා බවයි. මෙයින් පෙනෙන්නේ තමන්ගේ සිත් තුළ තද මසුරුකම් පවතින බවකි. මසුරාගේ ස්වරූපය පිළිබදව විග්‍රහ කිරීමේදී

තද මසුරෝ ඒකාන්තයෙන්ම දෙව්ලොවට නොයත්, මෝඩයෝ දන් දීම නොපසසත්, නුවණැත්තේ දන්පින් අනුමෝදන් වන්නේ ඒ හේතුවෙන් ම හෙතෙම පරලොව සැප ඇත්තේ වේ. මෙය අටුවා විස්තරාදියේ දී කදරිය යන්න පැහැදිලි කරනුයේ.

න චේ කදරියා දෙවලොකං වජන්ති – කිසි සැපතක් අන් හට නොවේවා. හැම සැපතක් ම මට ම වේවා යන නපුරු අදහසින් කරුණා මෛත්‍රියක් හිත නොතිබුණු එලොව මෙලොව නොදත් අනුන්ගේ විපතෙහි සතුටුවන තැනැත්තා කදරිය නම් වේ.

කුච්ඡිතො අරියො අත්ථපති කදරියො :– නොදෙන බැවින්, නොකන බැවින්, සඟවන බැවින් අනුන්ගේ විපතෙහි දී සතුටුවන බැවින්, අසාධාරණ ලෙස ධනය උපයන බැවින් නිරය තිරිසන් යෝනිය යන පහත් තැනට දුක් ඇති තැනට යන්නේය. කදරිය නම් වේ. කදරිය යන්න යොදා ඇත්තේ තද මසුරුකම පෙන්වීම සඳහාය.

කදරියන්ති ථද්ධමච්ඡරියස්සේතං නාමං :– යනුවෙන් අටුවා දක්වන්නේද තද මසුරුකමින් යුත් තැනැත්තා තමන්ගේ ගෙට පිඬු සිඟා වැඩියහොත් භික්ෂූන් වහන්සේ නමක් සිටින තැනින් නැගිටින්නේ නැත. ගල් කණු ලී කණු සේ නොසැළී සිටී. කිසිම සැලකිල්ලකුත් නොදක්වයි. මසුරු තැනැත්තේ කිසියම් කෙනෙක් යමක් දෙන්නේද එය එයින් වළක්වන්නේය.

වෙච්චඡ මසුරුකම – නොතද වූ මසුරුකම නොදැඩි වූ මසුරුකම වේ.

මෙයින් පැහැදිලි කරන්නේ තමන්ගේ නිවසට කිසියම් මහණ කෙනෙක් පැමිණි කල්හි දෙඅත් එක්කාසු කොට නැමදීමක් නොකරයි. එහෙත් පන්සලට ගිය කල්හි අපේ හාමුදුරුවනේ , ඉතින් අපි ඉන්නා පැත්තේ වඩින්නෙත් නැහැ නේ. ඇති තරම් දන් දීමට පුළුවන් නමුත් පිණ්ඩපාතය වැඩම කළ කල්හි මග හැර යන්නේය.

කටුකඤචුකතා :– යනුවෙන් දැක්වෙන්නේ තද මසුරුකම ඇත්තෙකුගේ සිත යමක් ඉල්ලා සිටි කල්හි නපුරු විලසින් හැසිරෙන්නේය. ඉල්ලන්නෙකු දුටු කල්හි ද නපුරු විලසින් හැසිරෙන්නේය. මෙවැනි ගති ගුණ ඇති කෙනෙකු බත් පිරුණු බත් සැලියෙන් යමක් ලබා ගන්නේ නම් බත් මුට්ටුයේ යටින් නොව මුලින්ම ගන්නේ ය. හැන්ද පුරවා නොගන්නේය. ඇඟිලිතුඩින් ගෙන කන්නේය. දිවතුඩින් ගෙන කන්නේය. රසවත් යමක් නොකන්නේය. මොවුන්ගේ ස්වභාවය වන්නේ .

යෙධ මච්ඡරිනො ලොකෙ – කදරියා පරිභාසකා
අඤෙඤසං දදමානානං – අන්තරායකරා නරා

මසුරාගේ ස්වභාවය වන්නේ නිරන්තරයෙන්ම මහණ බමුණන්ට නිග්‍රහ කිරීම වේ. එසේම දන් දෙන පුද්ගලයන්ට නිග්‍රහ කරයි. මෙයින් තමන්ගේ මෙන්ම අනුන්ගේ දියුණුව නසාලන නිසා වඩාත් ප්‍රබල ලෙස හානිදායි තත්ත්වයක් ඇති කරගනී. යමක් තමන් දෙන්නේ නම් එය යම් භික්ෂුවකට ප්‍රයෝජනවත් යමක් ම දිය යුතුවේ. ගිහියකුට පාත්‍රයක් දීමෙන් ප්‍රයෝජනයක් නොලැබෙන සේ භික්ෂූන් වහන්සේ නමකට ද, ප්‍රයෝජනවත් යමක් දිය යුතුවේ. දිය යුතු වස්තු පිළිබඳව සූත්‍ර පිටකයේ දැක්වෙන්නේ මේ ආකාරයට වේ.

අන්න පානං වත්ථං යානං – මාලාගන්ධවිලෙපනං
සෙය්‍යාවසථදීපෙය්‍යං –දානවත්ථු ඉමේ දස

අන්න: බත්, මාළු, කැවුම් අග්ගලා , තලප දියමස්,ගොඩමස්, අල, බතල ආදි කඩා විකා කන හැම ආහාර

පාන :– අඹ, දඹ, කෙහෙල්, ඇට කෙහෙල් , මීවද, මිදිපල, ඕලු, උගුරැස්ස, කොසඹ, ඩෙබර ආදී පෙරා ගත් පැන් හා ගිතෙල් තලතෙල් කිරි කැඳ රස මත්පැන් ගණයට අයත් නොවන දෑ

වත්ථ : කොමුපිළි, කපුපිළි, දුහුල්පිළි, කිරිහිලා, හණපිළි ආදි

යාන :– කරත්ත, අත්කරත්ත, දෝලා, පල්ලැක්කි වහන් ආදි දෑ

මාලා : ගොප්පිම ,විධුතික ආදි ගෙතු හා නොගෙතු මල්

ගන්ධ :– ඇඹරු නො ඇඹරු සුවඳ ගල්වන උපකරණ

විලෙපන: – රත්සඳුන් , සුදුහඳුන්, සබන් බාම්

සෙය්‍යා : ඇඳ, පුටු, සොපා, කවිච්චි , ඇතිරිලි, කොට්ට, මෙට්ට කුසිම්ආදිය වේ.

ආවස්ථ: මන්දර, ප්‍රාසාදිය ආදි වූ කුඩා මහත් සේ අතුපැල

අභිධර්ම පිටකයෙහි දාන වස්තු ලෙස දක්වා ඇත්තේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන ධර්ම කාරණා පස වේ. මෙහිදී

ශබ්දායතන නම් :– මිහිගු බෙර, ගැටබෙර, යක්බෙර, දවුල් ආදිය වේ

ගන්ධායතන නම් : මල්, කොළ පතුරු මුල් ආදි වූ

රසායතනය නම් – මල් මුල්,කොළ ගෙඩි පතුරු, බත් මාළු

ස්පර්ශායතන නම් – ඇඳ, පුටු, කොට්ට, මෙට්ට

මෙයින් කවර හෝ වස්තුවක් ශ්‍රද්ධා චේතනාවෙන් ම පිදිය යුතු වේ. සත්පුරුෂ දානය පිළිබඳව දැක්වෙන මජ්ජිම නිකායේ චූල පුණ්නම සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ සිය අතින්ම දන් දීම, සකසා දන් දීම, කැප සරුප් දෙයක් දීම, ගරු බුහුමන් සහිතව දීම යන කාරණා වලින් පුද්ගලයාගේ දාන ආනිශංස ප්‍රමාණය වැඩි වෙන බව දැක්වේ. එක්තරා අවස්ථාවකදී තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩඉන්න අවස්ථාවේදී එක්තරා දේවතාවෙක් තථාගතයන් වහන්සේ සමීපයට පැමිණ මෙලෙස සාකච්ඡාවක් ඇති විය. ඒ දේවතා සඳහන් කළේ, මසුරුකමින්ද ප්‍රමාදයෙන් දන්දීමට නොහැකි බවයි. පින්කැමැත්තන් විසින්ම දන් දීම සිදුකළ යුතු බවයි. එසේම මසුරුකම මැඩගෙන දන් දෙන තැනැත්තා පරලෝකයේදී සතුටට පත් වෙනවා. ඒ නිසා සත්පුරුෂයාගේ හා අසත්පුරුෂයාගේ පරලොව යෑම එකිනෙකට වෙනස් වේ. අසත්පුරුෂයා නිරයට යනවා. සත්පුරුෂයා ස්වර්ගයට යනවා.මේ නිසා සත්පුරුෂයන් විසින් ඉතාම දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් යමක් ඇත්නම් එය ඉතාම ප්‍රසන්න සිතින් දන් දී තමන්ගේ ජීවිතයට යහපතක් සිදු කර ගන්නවා. බුදුරජණන් වහන්සේ සාධු නම් වූ සූත්‍ර දේශනාවේදී දේශනා කළේ දානයත් යුද්ධයත් සමාන බවයි. ස්වල්පයක් නමුත් වීර පුරුෂයන් දන් දෙනවා.සැදැහැවත් පුද්ගලයන් ස්වල්පයක් නමුත් දන් දී එයින් පරලෝකයේදී සුවපත්වෙනව. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය ජය ගන්නවා. ඒ සේම තථාගතයන් වහන්සේ දේශනා කළේ තෝරගෙන දීම වඩාත් ඵලදායි වන බවයි. සිල්වතුන්, ගුණවතුන් විෂයෙහි දෙන දානය සරු කෙතක වපුරන ලද බීජ මෙන් මහත්ඵල ආනිසංස ගෙන දෙයි.