ධම්මපදට්ඨ කථාවෙන්:
අනුන් දොස් දක්නට පෙර
තම දොස් දැකීම යහපති
කොළඹ විශ්වවිද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ ප්‍රධානි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි
මෙසේ ලද දේ බොහෝ පිනට දහමට යෙදූ මෙම සිටු පවුලේ සියලු දෙනා කර්මානුරූපව මිය පරලොව
ගොස් දෙව්මිනිසුන් අතර
බොහෝ සේ සැප සම්පත් විඳ ගෞතම බුද්ධෝත්පාද කාලයෙහි
භද්දිය නගරයේ සිටු කුලයක ඉපදුණි.
පෙර විපස්සී නම් බුදුරදුන් සමයෙහි අවරෝජ නම් කෙළෙඹි පුත්‍රයාගේ බෑනා කෙනෙකු අවරෝජ
නමින්ම ප්‍රසිද්ධ විය. එකල මාමා විපස්සි බුදුන්ගේ සැදැහැති දායකයෙකු වු බැවින්
උන්වහන්සේට වැඩ සිටින්නට ගඳකිළියක් කරවන්නට කල්පනා කොට එය ආරම්භ කළේය. මාමාගේ මෙම
ක්‍රියා කලාපය දුටු බෑනාද එයට එකතුව දෙදෙනාම සහාය වී මෙය සකසන්නට පටන් ගත්හ. ඔවුන්
දෙදෙනා ඉදි කරන්නට යෝජිත ගඳකිළිය ඉදිරියේ “කුඤ්ජන” නම් ශාලාවක් කරවන්නට ද අදිටන්
කොට වනයෙන් අවශ්‍ය දැව ගෙන්වා එයද ආරම්භ කළහ. මෙම ශාලාවේ එක් කණුවක් රනින් ද, තව
කණුවක් රිදියෙන් ද, තවත් කණුවක් මැණිකෙන්ද නිමැවුණි. දොර ,ජනෙල්ද රනින් නිමැවුණි.
මණ්ඩපය මධ්‍යයෙහි බුදුරදුන්ට වැඩ සිටීම සඳහා රුවන්මය ධර්මාසනයක්ද පිහිටුවීය. එසේම
මෙම ධර්මාසනයෙහි රන් කැටයම් එබ්බවීය. ධර්මාසනයෙහි බුදුහිමියන්ට හේත්තු වීම සඳහා
සඳුන් ලීයෙන් පුවරුවක්ද කරවීය.
මෙලෙස ඉදිකළ ගඳකිළිය හා කුඤ්ජර ශාලාව විපස්සී බුදුහිමියන්ට පිළිගැන්වීම පිණිස
බුදුපාමොක් මහසඟන ලක්ෂ ගණනින් වැඩම්මවීය. සිව්මසක් පුරා උන්වහන්සේලාට දන් පූජා
කළේය. අවසන සැම දෙනා වහන්සේට චීවර පූජාවද කෙරිණි. මෙසේ මහා පින්කම් කළ මෙම අවරෝජ
බෑණනුවන් දිවි කෙළවර එපිනෙන් දිව්‍ය සම්පත් පහළව අපමණ කලක් දිව සැපතින් පිනා එයින්
චුතව බරණැස සිටු පරපුරෙහි ඉපිද බරණැස් සිටු නමින් ප්‍රසිද්ධ වීය.
බරණැස් සිටුවරයා නිතර රජමැදුරට යාම් ඊම් කරන අතර, එක් දිනක් රාජකීය පුරෝහිතයා හමුවී
අනාගතය පිළිබද අනාවැකි කවරේදැයි විමසීය. එවිට පුරෝහිත බ්‍රාහ්මණයා කීවේ තවත් වසර
තුනකට පසු මහා සාගතයක් ඇතිවීමට ඉඩකඩ ඇති බවයි. එයට බිය වූ සිටුවරයා එතැන් සිට බොහෝ
කෘෂිකර්මාන්තකරවා ධාන්‍ය අටු කොටු පුරවා මහසැළි ආදියෙහිද පුරවා බිම වලවල් සාරවා
ඒවායෙහිද නිදන් කොට සියලු ආරක්ෂාවන්ද යෙදවීය.
රාජකීය බමුණාගේ අනාවැකිය සත්‍ය කරවමින් නිසි කලදී වැසි නොවැටී ගොවිතැන් පාළු වී
දුර්භික්ෂය උදා විය. සාගතයෙන් බොහෝ දෙනා පෙළෙන්නට විය. එහෙත් බරණැස් සිටුවරයා ඊට
මුහුණ දීමට කල්තියා ධන ධාන්‍ය එක් රැස් කරගත් හෙයින් ඒවා සෙමෙන් පරිභෝජනය කරමින්
කල් ගත කළේය. එහෙත් කල්යාමේදී සියලු ධන ධාන්‍ය අවසන් වූ විට තමන්ගේ පිරිවර ජනයා එක්
රැස් කරවා සියලු ධාන්‍ය අවසන් වූ බව දැන්වීය. ඔවුනට රිසි තැන් සොයා ගොස් කෙසේ හෝ
ජීවත්ව දුර්භික්ෂය අවසන් වී සුභික්ෂය උදාවූ විට නැවත සිටු මැදුරට පැමිණෙන්නැයි
දැන්වීය. ඔවුහු බරණැස් සිටු වදනට එකඟව පිටත්වූහු. සිටු මාලිගයේ නතර වූයේ පුණ්ණනම්
දාසයා පමණි. එම දාසයාද සිටු පවුලේ අයද පොළව හාරා නිධන් කළ වී සහල් රැගෙන බුදිමින්
ජීවත්වූහ.
කල්යාමේදී ඒ සියල්ලද අවසන්ව එක් සහල් නැළියක් පමණක් ඉතුරු විය. එක් දිනක් කුසගිනි
ඉවසාගත නොහි සිටු ඇඹෙණිය එය උයා අනුභවයට සූදානම් වූ විට ගන්ධමාදන පර්වතයේ වසන එක්
පසේ බුදුවරයෙක් සමාධියෙන් නැගී අහරක් සොයා මෙම සිටුවරයාගේ නිවස ඉදිරියේ පිඩුසිඟා
වැඩියේය. සිටුවරයා එය තමන්ට ලද මහා භාග්‍යයක් යයි සිතා කුසගින්න ඉවසා තමන් අනුභවයට
ගත් ආහාරය පසේ බුදුවරයාගේ පාත්‍රයට බෙදුවේය. බෙදා ඔහුගේ ප්‍රාර්ථනාව ද තැබීය. එනම්
සසරේ කිසිදා මෙවන් සාගතයක් නොදකීවා. සියලු ධන ධාන්‍ය ඇති භාග්‍යවන්ත ජීවිතයක්
ලබන්නට හැකිවේවා යන්නය. එමෙන්ම මේ සිටු බිරිඳම මේ සිටු පුතුම, මේ සිටු ලේලියම මේ
දාසයාද එලෙසින්ම ලැබේවායිද ප්‍රාර්ථනා තැබීය. ඒ ඒ අයද තමන් කුසගින්නේ සිටිමින් කළ
මේ දානය හේතුවෙන් විවිධ ප්‍රාර්ථනා තැබීය. පසේ බුදුහු සියල්ලගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට
වේවායි ප්‍රාර්ථනා කොට පුණ්‍යානුමෝදනාව කළහ. අනතුරුව උන්වහන්සේ ගන්ධමාදන පර්වතයට
වැඩම කළහ. සිටු පවුලේ අය තැන් තැන්වලට වී කළ පින සිහි කරමින් ගත කරද්දී මහ වැසි ඇද
වැටෙන්නට විය පන්සියයක් පසේ බුදුවරුන්ගේ ආශිර්වාදය මත මෙම දුර්භික්ෂ සමය ඉක්මනින්
පහව ගොස් ගොවිතැන් සියල්ල ඇරැඹි සරුසාරව නැවත ගහකොළ පවා ප්‍රමුදිතව අටු කොටු පිරී
යන්නට විය.
මෙසේ ලද දේ බොහෝ පිනට දහමට යෙදූ මෙම සිටු පවුලේ සියලු දෙනා කර්මානුරූපව මිය පරලොව
ගොස් දෙව්මිනිසුන් අතර බොහෝ සේ සැප සම්පත් විඳ ගෞතම බුද්ධෝත්පාද කාලයෙහි භද්දිය
නගරයේ සිටු කුලයක ඉපදුනි. සාගතයේදී කන්නට ගත් ආහාරය පසේබුදුන්ට බෙදා පුදා කළ
ප්‍රාර්ථනාවෙන් එම බිරිඳම දන්ද්‍රපදුමා නමින් ඉපිද සිටු භාර්යාව විය. පුතු ධනඤ්ජය
ලෙසද ලේලිය සුමනා දේවිය ලෙසද මිණිපිරිය විශාඛා ලෙසින්ද දාසයා පුණ්ණ ලෙසින්ද
උප්පත්තිය ලදහ. ගෞතම බුදුපියාණන් වහන්සේ මේ සියල්ල පෙර පසේබුදුන්ට දන්දී කළ
ප්‍රාර්ථනයේ පිනෙන් උසස් සිටු සම්පත් ලබා ඇති බව දැක එම පිනම සියලු දෙනා සෝවාන් ඵලය
ලැබීමට හේතු ලෙසින්ද දැක භද්දිය නගරයට වැඩම කළහ. ඒ බව සැලවූ මෙණ්ඩක සිටුවරයා
බුදුරදුන් වෙත පිවිසුණි. තීර්ථකයන් ඔහුගේ ගමන වළක්වන්නට උත්සාහ ගනිද්දීද එය නොතකා
පිරිවර සමඟ බුදුරදුන් වෙතට පැමිණ එකත් පස්ව සිට දහම් අසා කෙළවර සෝවාන් ඵලයට පත්
වූහ. එවිට සිටුවරයා තීර්ථකයන් තමන්ගේ ගමන වළකාලූ අයුරු බුදුරදුන්ට දැන්වූ විට මේ
ලොව ඇතමෙකු තමන්ගේ දොස් නොදැක අනුන්ගේ දොස් දැකීමේ වැරැද්දද පෙන්වා දී වදාළහ. |