Print this Article


තමා තමාගේ ලොකුම සතුරා වන හැටි

තමා තමාගේ ලොකුම සතුරා වන හැටි

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
චරන්ති බාලා දුම්මෙධා
අමිත්තෙ නෙව අත්තනා
කරෙන්තා පාපකං කම්මං
යංහොති කටුකප්පලං

මෙලොව පරලොව යහපත නොදත් මෝඩයෝ කටුක විපාක දෙන පව්කම් කරමින් තමන්ටම සතුරෙකු වැනි වූ ජීවිතයකින් යුතුව හැසිරෙත්.

පින්වත්නි

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වෙසෙන කළ එනුවර කුෂ්ට රෝගයකින් පෙලුන සුප්‍රබුද්ධ නම් දිලින්දෙක් විසීය. හේ දිනක් බණ ඇසීමේ ආශාවෙන් වෙහෙරට ගිය නමුත් තමන් රෝගියෙකු බැවින් පිරිස අතරට නොගොස් පිරිස් කෙළවර හිඳ සැදැහැයෙන් බණ ඇසීය. දෙසුම් කෙළවර හේ සෝවාන් විය. ඒ බව බුදුරජාණන් වහන්සේට දැන්වීමේ සිතිවිල්ල ඔහු තුළ පහළ වූයේය. එහෙත් තමා රෝගියෙකු බැවින් පිරිස අතරට යා නොහැකිය. බණ ඇසීමට පැමිණි හැමෝම බුදුන් වැඳ ගිය පසු යාමට සූදානම් විය.

මේ සියලු පුවත් සක්දෙව් රජ දුටුවේය. මේ දුප්පත් කුෂ්ට රෝගියා පරීක්ෂා කිරීමට ශක්‍රදේවේන්ද්‍රයා සිතීය. සුප්‍රබුද්ධ වෙත පැමිණි හේ මෙසේ කීවේ අහසේ සිටය.

“සුප්‍රබුද්ධය , ඔබ මිනිස් දිළින්දෙකි. බැගෑපත් මිනිසෙකි. ඒ නිසා මම ඔබට ලොකු මුදලක් දෙන්නෙමි. ඔබ බුදුන් නොබුදුන්ය. දහම් නොදහම්ය. සඟුන් නොසඟුන්ය. මට බුදුන් , දහම්, සඟුන්ගෙන් වැඩක් නැතැයි” කියන්න.

එවිට සුප්‍රබුද්ධ ඔබ කවරෙක්දැයි විමසීය. “මම දෙදෙව් ලොවට අධිපති සක්දෙව් රජවෙමි” යි පිළිතුරු විය. එය ඇසූ සුප්‍රබුද්ධ මෙසේ පැවසීය. අන්ධබාලය, නිර්ලජ්ජියා ඔබ මට ඔහොම කීම නොවටී. ඔබ මා දුප්පතෙක් , දිළින්දෙක්, දීනයෙක් යයි කීවත් මා ඔබ කියන විදියේ දිළින්දෙක් හෝ දීනයෙක් නොවෙමි. සුවපත් වූ මහා ධනවතෙකි.

“සද්ධා , සීල, හිරි, ඔත්තප්ප, සුත, චාග, පඤ්ඤා යන උසස් වූ ධන හතක් මට තිබෙනවා. යමෙකුට මෙම සප්තාර්ය ධනය ඇත්නම් හේ දුප්පත් නොවේ. ඔහුගේ ජීවිතය දුප්පත් නොවේ. හිස් වූවෙක්ද නොවේ. මට මේ සත් වැදෑරුම් ආර්ය ධනය තිබෙනවා. යමෙකුට සප්තවිධ ආර්ය ධනය තිබේ නම් ඔහු දුප්පතෙකැයි බුදු පසේබුදු මහරහතන් උතුමෝ නොවදාරති’යි පැවසීය.

සක්දෙව් ඒ කථාව ඇසීමෙන් පසු බුදුරදුන් වෙත ගොස් ඒ සියලු පුවත් බුදුරදුන්ට සැළ කළේය. එවිට තථාගතයන් වහන්සේ “ශක්‍රය ඔබ වැනි ශක්‍රයන් දාහකටවත් සුප්‍රබුද්ධ එවන් නොසරුප් වදන් කියවා ගත නොහැකි බව වදාළ සේක.

සුප්‍රබුද්ධ උපාසක තුමා ද බුදුරදුන් වෙත ගොස් පිළිසඳර කථා කර තමන් ලබා ගත් උත්තරීතර මනුෂ්‍ය ධර්මය ගැන දැනුම් දී වැඳ නමස්කාර කොට සමුගෙන පිට වී ගියේය.

මෙම කථාවේ අපේ සැළකිල්ල යොමු කළ යුතු ස්ථාන දෙකක් තිබේ. සුප්‍රබුද්ධ දුප්පතෙක්, බැගෑපත් කෙනෙක්, දීනයෙක්, රෝගියෙක් ආදී කරුණු පදනම් කරගෙන එතුමාට ජන සමාජයේ තැනක් නොලැබුණත් ආර්ය සමාජයට ඇතුළත් වීමේ දී ඒ එකක් වත් හරස් නොවීය.

එතුමා තුළ පැවැති ශ්‍රද්ධා සීලාදි ගුණධර්ම නිසා කිසිම බාධාවකින් තොරව ආර්ය සමාජයට ඇතුළත් වීමට හැකි විය. කොන්වූයේ අනාර්ය සමාජයෙන් පමණැයි. එහෙයින් ආර්ය සමාජයේ සාමාජිකත්වය අපේක්ෂා කරන කවුරුත් බාහිර හැම කරුණකටම වඩා සාර ධර්මවලට මිනිස්කම්වලට ගුණධර්මවලට මුල් තැන් දිය යුතුය. එසේම තවත් කරුණක් මතුකරගත හැකියි.

සුප්‍රබුද්ධ දුගී දිළිඳු අසරණයෙකි. ශක්‍රයා දෙදෙව් ලොවටම රජතුමාය. දේව බලයෙන් සිතන පතන ඕනෑම දෙයක් ලබා දිය හැකි කෙනෙකි. ඒ ශ්‍රකයා තමයි කියන්නේ තමන් කියන දේ කීවොත් විශාල ධනයක් ලබා දෙන බව, තමන් ශක්‍රයා බව කියන්නේද අහසේ සිටය.

සුප්‍රබුද්ධ ඒ සියල්ල පිළිකුලෙන් පිළිකෙව් කරන්නේ පිළිවෙත් ගුණ දම් මිනිස්කම් ධනයට , මුදලට විකිණීම මිනිස්කමට කරන බලවත් නිගරුවක් බව පිළිගත් නිසයි.

දෙලොව යහපත ගැන නොසලකන අඥානයෝ කටුක විපාක දෙන පව්කම් කරමින් සතුරෙකු වැනි වු ආත්මයෙන් යුතුව හැසිරෙති. එවැන්නන් කරන්නේ තමන්ටම හතුරු කමකි. පාපකර්මය වැනි තමන්ටම භයානක සතුරුකම් කරන වෙනත් සතුරෙක් නැත. ක්‍රෑර විපාක දෙන එකම සතුරා පාප කර්මය වේ. එහෙයින් තමන් තමන්ටම හතුරු කමකි. පාපකර්මය වැනි තමන්ටම භයානක සතුරුකම් කරන වෙනත් සතුරෙක් නැත. ක්‍රෑර විපාක දෙන එකම සතුරා පාප කර්මය වේ. එහෙයින් තමන් තමන්ට ආදරේ නම් පව්කම් නොකළ යුතුය.