රුවන්පුරයට මිණිපහනක් වූ 80 වන සංවත්සරය සමරන
රත්නපුර මුද්දූව ශ්‍රී සුමන මහා පිරිවෙන
මිල කළ නොහැකි මැණික් සම්පත නිසා රත්නපුරයත් ඒ නිසාම ශී‍්‍ර ලංකාවත් ප්‍රසිද්ධියට
පත්වූයේ අනාදිමත් කාලයක සිටය. එබඳු භූගත සම්පත් පමණක් නොව ස්වාභාවික සදාහරිත
වනාන්තරයක් ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් සිංහරාජය පිහිටියේ ද ආගමික හා ඓතිහාසික
වශයෙන් ද පූජනීයත්වයෙන් ද අගතැන්පත් සමනොල කඳු මුදුන පිහිටියේ ද රත්නපුර
දිස්ත්‍රික්කය තුළය. මෙබඳු වටිනාකම් වලින් අනූන වූ රත්නපුර ප්‍රදේශය 1948 නිදහස
උදාවීමට පෙර පරාධීන අඳුරු යුගය තුළ ජාතික සාමාජික අධ්‍යාපනික හා ආගමික අංශයන්ගෙන්
එතරම් දියුණු තත්වයක නොපැවති බව රහසක් නොවේ.
1935 වසරේ දී රත්නපුර මුද්දූවේ කුඩා අම්බලමක රත්නපුරේ තිරිවානාකැටිය මූලමහා
විහාරාධිපතිව වැඩ විසූ එළමල්දෙනියේ සුමේධාලාංකාර නාහිමියන්ගේ ආරාධනයෙන් තම පැවිදි
සහෝදර ලෝලුවාගොඩ සුමංගල හිමිපාණන් සමඟ හේන්පිටගෙදර ඤාණසීහ නා හිමිපාණන් වස් වසන
ලදුව පසුව එහි ආරම්භ කරන්නට යෙදුණු ශ්‍රී සුමන පිරිවෙන හා විහාරස්ථානය වෙතින්
විහිදී ගිය ජාතික වූත් සාමාජික වූත් අධ්‍යාපනික හා ආගමික වුත් ආලෝක ධාරාව මුළු මහත්
සමාජයටම මහත් අස්වැසිල්ලක් වූ බව මහත් ප්‍රබෝධයකට හේතුවක් වූ බව යට ගිය තතු
විමසීමේදී පැහැදිලි වේ.
එකල පැවති තත්වය ඤාණසීහ නා හිමියෝ සිය චරිතාපදානයෙහි මෙසේ සඳහන් කර ඇත. “ව්‍යවහාර
වර්ෂ 1934 වන විට රත්නපුරයේ ලියාපදිංචි වූ එකද පිරිවෙනක් හෝ නොවීය. එදා නගරය අද
මෙන් දියුණු නොවූ අඳුරේ ගිලුණු දුර්වල නගරයකි. අවුරුද්දකට දෙතුන් වරක් ගංවතුර ගලා
බලවත් හානි සිදුවෙයි. අධ්‍යාපන තත්වයද දිළිඳුය.
රත්නපුරයේ පමණක් නොව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇරඹි ශ්‍රී සුමන විහාරස්ථාන , ශ්‍රී
සුමන පිරිවෙන්, ශ්‍රී සුමන විද්‍යාල, ශ්‍රී සුමන දහම් පාසල් හා භික්ෂු පුහුණුූ ආයතන
ආදි විවිධ ආයතනයන් හි ආරම්භකයාණන් වූ රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ
මාහිමිපාණන්ගේ චරිතයෙහි සුවිශේෂී භාවය නම් 1956 දී ඇති වූ පසුව සංවර්ධනයට පත් වූ
දේශපාලනික සංස්කෘතික හා ආර්ථික පෙරළියේ ප්‍රධාන පෙළේ නියමුවෙකු වශයෙන් ක්‍රියා
කිරීමට අවස්ථාව ලැබීමයි. මෙම කරුණු පණ්ඩිත මාහිමිපාණන් විසින් රචිත “හේන්පිටගෙදර
සිට වැලිකඩ හරහා “ නම් චරිතාපදානයෙහි මැනවින් විස්තර වේ.
සමාජ සමානාන්මතාවය ගරු කළා පමණක් නොව ශ්‍රී සුමන පිරිවෙන් ආදි තම ආයතන තුළින්ද ධර්ම
දේශනා ආදි විවිධ ක්‍රියාමාර්ග තුළින්ද එම ප්‍රගතිශීලි අදහස් පතුරුවාලීමට උන්වහන්සේ
නිරතුරුව ක්‍රියා කළහ.
අප කුඩා කළ ශ්‍රී සුමන මහ පිරිවෙන තුළ හා අවට දක්නට ලැබුණු සජීවි අධ්‍යයන පරිසරය
මතකයට නැගෙන හැම විටකම ගිරා සන්දේශයේ එන තොටගමුවේ විජයබා පිරිවෙන් වැනුමද නිතැතින්ම
සිහියට නැගේ.
1947 මහ ගංවතුර ගැලූ අවස්ථාවේ දී උස්බිමක වූ මුද්දූව ශ්‍රී සුමන පිරිවෙන ගම්වාසින්ට
ආරක්ෂාව හා සත්කාර සැලසූ කෙම්බිමක් බවට පත්විය. ඉතා උත්කර්ෂවත් අන්දමින් රත්නපුර
නගරය වෛශාඛ්‍ය පී‍්‍රතියෙන් ඇලලි යන සේ වර්ෂ ගණානාවක් තෙමගුල උදෙසා වෙසක් තොරණ
ඉදිකිරීමත් බෞද්ධ ප්‍රබෝධයෙන් ඇළලි යන සේ වර්ෂ ගණානාවක් වාර්ෂිකව මිහිඳු පෙරහර
පැවැත්වීමත් සිදුවූයේ ශී‍්‍ර සුමන මහපිරිවෙන කේන්ද්‍ර කොට ගෙනය. එබඳු නවමු ඉදිරිපත්
කිරීම් නිසා ශී‍්‍ර සුමන මහ පිරිවෙන පසුගිය 80 වසර මුළුල්ලේ ඉදිරියෙන් සිටි බව
නොරහසකි. මහාචාර්ය හේන්පිටගෙදර ඥානාවාස නාහිමියන්ගේ උපදෙස් පරිදි එවකට පරිවේණාධිපති
ව සිටි දොඹවෙල විජයඤාණ හිමියන්ගේ මුලිකත්වයෙන් 1972 අපේ‍්‍රල් මාසයේ දී පවත්වන ලද
විද්‍යා ප්‍රදර්ශනය ශිෂ්‍යයන්ගේ ඥානාභිවර්ධනයට බෙහෙවින් ප්‍රයෝජනවත් වූ විශේෂ
අවස්ථාවක් විය.
1981.08.01 දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක රාජකීය පණ්ඩිත
හේන්පිටගෙදර ඤාණසීහ මාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත් වීමෙන් ශ්‍රී සුමන පිරිවෙනේ
හා තදනුබද්ධ ආයතනයන් හි සියලු පිරිස් හා දායක දායිකාවෝ දැඩි ලෙස කම්පනයට පත් වූහ.
එහෙත් සියලු බාධා කම්කටොලු ඉවසමින් ගිහිපැවිදි සියලුදෙනා එක්ව නා හිමිපාණන්ට උපහාර
වශයෙන් පිරිවෙනත් ආරක්ෂා කරගනිමින් නාහිමියන් ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන
යාම හැමදෙනාගේම සතුටට කරුණක් විය.
පණ්ඩිත මාහිමිපාණන්ගේ අපවත්වීමෙන් පසු මූලිකත්වය ගත් මහාචාර්ය ඥානාවාස නාහිමියෝ
ඉදිරි ගමනෙහි ලා ප්‍රධාන අනුශාසකයාණෝ වූහ. 1983 දී ශ්‍රී සුමන පිරිවෙන කේන්ද්‍රකොට
ගෙන කළුගඟෙහි උදකුක්ඛේප සීමා මාලකයක් සකස් කොට සාමණේරයන් වහන්සේලා 400 නමක්
උපසම්පදා අධිශීලයෙහි පිහිටුවීමේ මහා පින්කම වැදගත් අවස්ථාවක් ලෙස පිරිවෙන්
ඉතිහාසයෙහි සටහන් වේ. එසේම ශී‍්‍ර සුමන මහ පිරිවෙනෙහි දීර්ඝ කාලයක් සිදු කරගෙන ආ
සියලුම ජාතික සාමාජික ආගමික හා අධ්‍යාපනික කාර්යභාරයන් සඳහා පරිවේණාධිපති හිමියන්
ඇතුළු ආචාර්ය මණ්ඩලය වඩාත් කැපවීමෙන් ක්‍රියා කළහ.
වත්මන් විහාරාධිපති මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමියන් හා එක්ව කෘත්‍යාධිකාරි
බුළුගහපිටියේ සුමංගල හිමියන් (පොඩි හාමුදුරුවන් ) එක්සත්ව එක්සිත්ව පිරිවෙනේ
උන්නතිය සඳහා දරන කැපවීම ප්‍රශංසා කටයුතුයි.
පිරිවෙනේ ආදිකර්තෘ වූ පණ්ඩිත මාහිමියන් 1964 දී පැල්මඩුල්ල පාතකඩ භික්ෂු අභ්‍යාස
විද්‍යාලය අරඹා එහි අධිපතිත්වයට පත්වීමෙන් පසු පිළිවෙළින් පණ්ඩිත කිරින්දේ සෝමාලෝක
, ශාස්ත්‍රපති පණ්ඩිත ග්‍රන්ථ විශාරද කන්නිමහර සුමංගල හිමි, ශාස්ත්‍රපති දොඹවෙල
විජයඤාණ හිමි, ශාස්ත්‍රපති කුඹල්ගම මේධංකර යන ස්වාමින්ද්‍රයන් වහන්සේලා මහත් සේවාවක
නිරත වූ අතර 2004 වර්ෂයේ සිට මේ දක්වා ශාස්ත්‍රපති හේනේගම සුමනජෝති හිමියන්
පිරිවෙන්පති වශයෙන් තම කාර්යභාරය මැනවින් ඉටුකරන බව මෙහිලා සඳහන් කළ යුතුය.
පැවිදි ගිහි ප්‍රාචීන පණ්ඩිත උපාධිධාරින් විශ්වවිද්‍යාල උපාධිධාරින් කථිකත්වයෙන්
යුතු ධර්ම ශාස්ත්‍රධාරින් දහස් ගණනක් සමාජයට දායාද කළ රත්නපුර මුද්දූව ශ්‍රී සුමන
මහා පිරිවෙන දිවයින පුරා විසිරී ඇති ශ්‍රී සුමන ආයතනයන් අතර 80 වන සංවත්සරය සමරන
අවස්ථාවේ පෙරමුණෙහි වැජඹීම පිරිවෙනේ උන්නතිය පතන සැමගේ අමන්දානන්දයට හේතු වෙයි.
රත්නපුර මුද්දූව ශ්‍රී සුමන මහා පිරිවෙනේ
ආදි ශිෂ්‍ය
රත්නපුරේ මෛත්‍රි හිමි |