UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

ගල්කිරියාගම සිරිසුමන රේවත සෝරත නා හිමි

අනුරාධපුර ථූපාරාමාධිපති, ගල්කිරියාගම සිරිසුමන රේවත සෝරතාභිධාන අනුරාධපුර නුවරගම් පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සියවැනි (100) ජන්මදිනය නිමිත්තෙනි.

ඓතිහාසික ථූපාරාමය මහා සෑරදුන් වැඩවාසය කරන අතිපූජනීය පූජාභූමියේ විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කරන්නේ ගල්කිරියාගම සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය.

උදුරුව කෝරලේ ගල්කිරියාගම නමැති රමණීය ග්‍රාමයේ විසූ ඒකනායක මුදියන්සේලාගේ පුංචි අප්පුහාමි මැතිතුමාට හා ඒකනායක මුදියන්සේලාගේ කිරිමැණිකා උපාසිකා මාතාවට දාව උපන් දරුවන්ගෙන් අටවැනියා වූයේ සෝරත නායක ස්වාමීන් වහන්සේය. 1917 අප්‍රේල් මස 14 වෙනිදින උපත ලැබූ උන්වහන්සේ ගිහිකල ගල්කිරියාගම විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූහ. එම විදුහලේ ඉගෙනුම ලැබුවේ 4 වැනි පන්තිය දක්වා පමණි.

මේ කුමරුවාට පැවිදි වීමේ ආශාව ඇතිවුණේ කුඩාකල සිටමය. වයස 11 දී පමණ විජිතපුර රජමහා විහාරයට ගොස් එවක එහි වැඩසිටි උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක උදුරුව ශ්‍රී සුමණ නාහිමියන්ගේ ඇසුරට පත් ඒකනායක කුමරුවා වයස 12 දී ගල්කිරියාගම සෝරත නමින් සසුන් ගත වූහ. මහණ දිවියට පිවිසියේ 1929 දී ය.

1931 දී තම ගුරුදේවයාණන් අපවත්වූයෙන් සෝරත පොඩිහාමුදුරුවන් අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යාරාමයට වැඩමකළේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා යම් කැපකිරීමක් සිදු කිරීමේ අටියෙනි. එවක රුවන්වැලි මහා චෛත්‍යාරාමයේ වැඩ සිටියේ අපවත්වී වදාළ නුවරගම් පළාතේ උප ප්‍රධාන සංඝනායක උදුරුව හල්මිල්ලෑවේ ශ්‍රී රේවත නාහිමියන්ය. උන්වහන්සේගේ අවවාද අනුශාසනා සෝරත නාහිමියන් තවමත් භක්ත්‍යාදරයෙන් සිහිපත් කරනු ලබයි.

අනුරාධපුර මහාවිහාර පිරිවෙන පටන්ගත්තේ 1934 දී ය. එම පිරිවෙනට ඇතුළත්වී ධර්ම ඥානය ප්‍රගුණ කළ සෝරතහිමියෝ 1938 වසරේදී මල්වතු මහාවිහාරස්ථ උපෝෂථාගාරයේ දී උපසම්පදාව ලැබූහ. උපසම්පදාව ලැබීමෙන් පසුවත් සෝරත හිමියන් වැඩවාසය කළේ රුවන්වැලි මහාසෑ රදුන් සෙවනේ ය. 1942 දී අනුරාධපුර ජේතවනාරාමයට වැඩම කළ සෝරත හිමියෝ වනගතව තිබූ ජේතවනය යළි කළඑළි කිරීමේ දැවැන්ත මෙහෙවරේ පුරෝගාමී වූහ.

උන්වහන්සේ ථූපාරාමයට වැඩම කළේ 1972 වසරේදීය. ථූපාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ වර්තමාන තත්ත්වයට ගෙන ඒම සඳහා මහත් කැපකිරීමක් සිදුකළ ගල්කිරියාගම සිරිසුමන රේවත සෝරත හිමියන් වෙත නුවරගම්පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන ලද්දේ 1980 දී ය.

2016 අපි‍්‍රයෙල් මස 14 වැනිදිනට සියවැනි වියට පාතබන ගල්කිරියාගම සිරිසුමන රේවත සෝරතාභිධාන, අනුරාධපුර නුවරගම් පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තව තවත් ශාසනික සේවාවන් සිදුකිරීමට නිදුක් නීරෝගී සුවය අත්වේවා.


තෝරපිටිය ආනන්ද නා හිමි

කොස්සින්න යටවත්ත රජමහා විහාරය හා පහළ ඉඹුල්ගොඩ විජයවර්ධන ශ්‍රී මහා විහාරද්වාධිකාරී තෝරපිටියේ ආනන්දාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 60 වැනි ජන්ම දින සැමරීම මෙම අප්‍රේල් 18 වැනිදිනට යෙදී තිබේ.

1959 අප්‍රේල් 18 වැනි දින මීරිගම පල්ලෙවෙල තෝරපිටිය ග්‍රාමයේදී උපත ලද ආනන්ද හිමියන්ගේ පැවිද්ද කොස්සින්න යටවත්ත රජමහා විහාරයේදී සිදුවුණි. ලබන අධ්‍යාපනය තුළ ශාසනානුලෝමී ඇවතුම් පැවතුම් ජීවන රටාව තුළින් ඔප් නැංවුණු හද පිරි බැතිය හා ශාසනික ළැදියාව පැවිද්දේ අගය තව තවත් ඔප් නැංවුණි. රදාවාන මහගමසේකර මහා විද්‍යාලයේ විදුහල්පතිව රාජකාරිය දේවකාරියක හැටියට කිරීමේ ප්‍රතිඵලය සිසු දක්ෂතා තුළින් හෙළි පෙහෙළි වන්නට විය. ප්‍රදේශයේ මහා සංඝරත්නය හා සහයෝගීව කටයුතු කිරීමේ උදාර ප්‍රතිඵලය ගම්පහ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකම් පදවිය ලැබීමය. සාමාජික දියුණුවට මුල් විය යුත්තේ පන්සලයි. වෙනත් වචනවලින් කියනවානම් ආදර්ශයක් සහ උපදේශයෙන් ජනතාව යහමඟ යැවිය හැකි ශිල්පයෙන්, ගුණයෙන්, නුවණින් දියුණු වූ භික්ෂූන් වහන්සේය. තෝරපිටියේ ආනන්ද හිමියන් වහන්සේ ආදර්ශමත් භික්ෂුන් වහන්සේ නමකි. පිදිය යුත්තන් පිදීමත් ගරු කටයුත්තකට ගරු කිරීමත් බුදුරජාණන් අනුදත් ප්‍රතිපදාවකි. තෝරපිටිය ආනන්ද හිමියන් කර ඇති මෙහෙවර ආදර්ශමත්ය. විජයවර්ධන ශ්‍රී මහා විහාරස්ථානයට යුගයක් උදාවූයේ උන්වහන්සේ එහි පත්වීමෙන් පසුවය. පළමුවෙන්ම මල්මෙන් සුවඳ හමන ගුණ ගරුක දරු පරපුරක් රටට දායක කිරීමෙහිලා භික්ෂූන්වහන්සේගේ කාර්යය භාරය ආනන්ද හාමුදුරුවෝ දැන සිටියහ. මේ සඳහා සියලුම දායක භවතුන් දැනුවත් කළ උන්වහන්සේ සැමගේ සහයෝගයෙන් විහාරස්ථානය ද දියුණුව තත්ත්වයකට ගෙන එනු ලැබූහ.

මේ අතර ‘සද්ධර්ම වාගිශ්වරාචාර්ය ප්‍රවචන කීර්ති ශ්‍රී යන ගෞරව උපාධිය සහිත සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවියද ලැබූ තෝරපිටියේ ආනන්දාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 60 වැනි ජන්ම දිනය වෙනුවෙන් එම විහාරස්ථාන දායක සභාව ගම්වාසීන් ඇතුළු සියලු දෙනා ශුභාශිංසනය කරනු ලබයි.


පදවිගම්පල ගුණානන්ද නා හිමි

පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාමය කෑගල්ල උඩපමුණුවේ පුරාණ විහාරය යන විහාරද්වයාධිපතිව වැඩ විසූ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ සල්පිටිකෝරළේ ද්විතීය අධිකරණ සංඝනායක පදවිගම්පල ගුණානන්ද නාහිමිපාණන් වහන්සේ අපවත් වී මේ මස 16 වැනි දිනට විසි දෙවසරක් සපිරේ. කෑගලු පුරවරය ආසන්නයේ පිහිටි පදවිගම්පල නම් ගම් දනව්වෙහි 1931 මෙලොව එළිය දුටු පින්වත් කුමරුවාණෝ රඹුක්කන දැලිවෙල විදුහලින් අධ්‍යාපනය ලැබූහ.

හීනටිපනේ ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1927 දී සිය ජීවිතයේ 14 වන වියේ දී පදවිගම්පල ගුණානන්ද නමින් පැවිදි භූමියට පත් වූහ.

පැවිදි දිවියට ඇතුළත්වීමෙන් අනතුරුව බෙලිගම්මන පිරිවෙන ඇතුළුව මහනුවර සංඝරාජ කෝට්ටේ සිරි පැරකුම්බා මාලිගාකන්ද විද්‍යෝදය සහ පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය යන පිරිවෙන් තුළින් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය හදාරා 1942 දී ප්‍රාචීන විභාගය සඳහා පෙනී සිටියහ.

1933 දී මහනුවර අස්ගිරි මහා විහාරීය උපෝසථාගාරයේ දී මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ මහා සංඝයා වෙතින් උප සම්පත්ති ප්‍රතිලාභය අත්කොට ගැනීමෙන් අනතුරුව කොළඹ බලපොකුණ රාජමහා විහාරය 1935 දී පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරය සහ බටකැත්තර ශ්‍රී සුමනාරාම පුරාණ විහාරය යන විහාරස්ථානයන්හි වැඩ හිඳිමින් ප්‍රදේශවාසී බොදු සැදැහැවතුන්ගේ බුද්ධාලම්භන පී‍්‍රතියට මාර්ගෝපදේශකත්වය දුන්හ.

මෙම අවධියෙහි පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ තුම්බෝවිල ශ්‍රී සුදර්ශන නාහිමිපාණන් වහන්සේ විසින් එවකට පොල්අතු සෙවිළි කොට කුඩා ආවාසයක්ව පැවැති තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම විහාරයෙහි අධිපති ධූරය හිමිපාණන්ට 1954 දී පවරනු ලැබූහ.

ඒ වන විට ඉතා දිළිඳු තත්ත්වයක පැවැති ශ්‍රී සද්ධර්මාරාම ආවාසයෙහි අත්‍යවශ්‍ය ආරාමික අංග සියල්ලක්ම සපුරාලමින් පින් කෙතක් බවට පත්කර තුම්බෝවිල ග්‍රාමයද වඩාත් දියුණු ගමක් බවට පත්කරලීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නට උත්සුක වූ හිමිපාණෝ අසල්වැසි විහාරස්ථානයන්හි සංවර්ධන කටයුතු ගැනද මහත් සේ උනන්දු වූහ.

දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ හසල දැනුමක් තිබූ හිමිපාණෝ 1954 දී තුම්බෝවිල ගමට යාබදව පිහිටි බෝකුන්දර නගරයෙහි ආයුර්වේද රෝහලක් ආරම්භ කර පුරා වසර 20 ක් පමණ මුළුල්ලෙහි ලංකාවාසී රෝගීන් සුවපත් කරමින් චිරප්‍රසිද්ධියටද පත්ව සිටියහ.

හිමිපාණන්ගෙන් සිදුවූ අමිල ආගමික ශාසනික හා සමාජ සේවාව අගැයීමට ලක්කරමින් එවකට මහනුවර මංගල උපෝසථ පුෂ්පාරාම විහාරද්වයාධිපති විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සභාව විසින් ප්‍රවචන කීර්ති ශ්‍රී ධම්මානන්ද ගෞරව නාම සම්මුතිය සහිතව සල්පිටිකෝරළේ ද්විතීය අධිකරණ සංඝනායක පදවිය සමානච්ඡන්දයෙන් පදවිගම්පල ගුණානන්ද නාහිමියන් වෙත 1985 දී පිරිනැමීම අතිශය ප්‍රශංසා කළ යුතු ය.

මෙවන් වූ ආගමික ශාසනික හා සාමාජීය අති උදාර මෙහෙවරක් සිදුකළ පදවිගම්පල ගුණානන්ද නාහිමියෝ 1994 අපි‍්‍රයෙල් මස 16 වැනිදා අපවත් වී වදාළහ.

තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාමාධිපතිව වැඩ විසූ සල්පිටිකෝරළේ ද්විතීය අධිකරණ සංඝනායක ප්‍රවචන කීර්ති ශ්‍රී ධම්මානන්ද පදවිගම්පල ගුණානන්ද නාහිමිපාණන් වහන්සේට අජරාමර අමාමහ නිවන් සුව පතමු.

 

 බක් පුර අටවක පෝය

අපේ‍්‍රල් 13 වනදා බදාදා අපරභාග 09.41 ට ලබයි. අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 9.29 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් 21 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]