වෙන්වීම
ධර්මානුකූලව
පිළිගනිමු
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
මෙහි පළමු කොටස මැදින් අමාවක පෝදා අප්‍රේල් (07) පත්‍රයේ පළවිය.
ස්වාමියා, බිරිඳ නමුත් ඔවුන් එකම ජීවිතයක් වගේ පැවැත්වූවත් එහෙත් ධාතු ස්කන්ධ
ආයතනයන්ගේ විසිරී යන විට, ගිලන්වීම, දිරාගෙන යෑම මරණය ඉදිරියේ අසරණ වෙනවා. එවැනි
වෙලාවක බලාපොරොත්තු පවත්නා ව්‍යාකූල මනසකින් තෘෂ්ණාව සහිතව සතර අපායේ ඉපදෙනවාට වඩා
එම වෙන්වීම ධර්මානුකූලව පිළි අරගෙන සියලු සම්බන්ධකම් අවසන් වනවිට දුගතියෙන් බැහැර
වී සුගතියම අරමුණු වීම, මොනතරම් යහපත් වූ ක්‍රියාවක් දැයි, සිතිවිල්ලක් දැයි ඔබට
සිතෙනවා ඇති. යම් අයෙක් තවත් අයෙක්ට හිතවන්ත නම්, ලෙන්ගතු නම් කළ යුත්තේ එයම නොවේද
සිත හදා ගත යුත්තේ ඒ ආකාරයටම නොවේද
යම් විටක මෙලොව ජීවත්ව සිටින ස්වාමියා, බිරිඳ, දෙමාපියන්, දරුවන් වශයෙන් තෘෂ්ණා
සහිතව මිය ගොස් සතර අපායේ වැටුණොත් මෙලොව ජීවත්ව සිටින ඥාතීන්ට කළ හැකි දෙයක් නැති
බව වඩන ලද සිතක් ඇති පිරිසකට ඉතාම පැහැදිලි විය යුතුමයි.
දෙවන අවස්ථාවෙහි නකුල මාතාව තම ස්වාමියාට නැවතත් මෙසේ සඳහන් කරනවා. ගෘහපතියණි, නුඹ
මෙසේ සිතන්නට එපා. එනම් නුඹගේ ඇවෑමෙන් මේ ස්වාමි දියණිය වෙනත් සැමියෙක් වෙත,
ස්වාමියෙක් වෙත ගමන් කරාවි කියල නුඹ එසේ සිතන්නට එපා. තුන්සිතකින්වත් නුඹට එවැනි
සිතිවිල්ලක් පැමිණෙන්නට එපා. එය එසේ නුඹ නොදැකිය යුතුයි. යම් කලෙක අප දෙදෙනා
අවුරුදු දහසයක් තරම් වූ ඉතාම යෞවන වයසේ දී විවාහ ජීවිතයට පත්වූ බව ඔබ දන්නවා. ඒ වගේ
ම පසු ගිය අවුරුදු දහසයක් පමණ කාලයක අප දෙදෙනා එක තැනක සයනය කළත්, බ්‍රහ්මචරියාව
සමාදන්වී ජීවිතය පැවැත්වූ බව ඔබ ඉතාම හොඳින් දන්නවා. ඒ බව මමත් දන්නවා. එහෙම නම්
නුඹගේ ඇවෑමෙන් මම වෙනත් සැමියෙක් වෙතට ගමන් කරාවි කියන අදහස නුඹේ සිතට නොපැමිණිය
යුතුයි. නුඹ එසේ නොසිතිය යුතුයි. ඒ නිසා සිත වික්ෂිප්ත නොකටගෙන කළුරිය කරන්න, සිත
වික්ෂිප්ත කරගෙන අපේක්ෂා සහිතව තෘෂ්ණාවෙන් කළුරිය කිරීම දුකකි. භාග්‍යවතුන්
වහන්සේත් එය නොකළයුතු ක්‍රියාවක් හැටියට පෙන්වා දී තිබෙනවා. මේ අදහස ද යහපත් වූ
ජීවිතයක පැවැතිය යුතු ආධ්‍යාත්මිකව බලවත් වූ කතාවක් බව ඉතාම පැහැදිලියි.
මේ නකුල මාතා, පිතා දෙපළ අවුරුදු දහසයක්, දහ අටක් තරම් වූ ඉතාම යෞවන වයසේ දී විවාහ
ජීවිතයට පැමිණ අවුරුදු අසූවක් පමණ කාලයක් එකම මගක එකම හදකින් ජීවිත පැවැත් වූ
ඔවුන්ට ඔවුන්ගේ හදවත් පිළිබඳව මනා වූ අවබෝධයක් පවතිනවා. එසේ වුවත් යම් වූ
ස්වාමියෙකුට තමන්ගේ ස්වාමි දියණිය කෙරෙහි යම් වූ ද ඇලීමෙන් යුතු සිතිවිල්ලක්
හටගැනීමේ අවස්ථාවක් පවතින්නට පුළුවණි. එනම් තමන්ගේ ඇවෑමෙන් පසුව හුදකලාව, තනිකම,
පාළුව නැතිකර ගන්නට, මකා ගන්නට හෝ ස්වාමි පුත්‍රයෙක් නැතිව ජීවත්වීම අනතුරක් බව
සිතා ආරක්ෂාවක් හැටියට නැවත විවාහයක් කරගනියි දෝ කියන හැඟීම යම් වූ ද ස්වාමි
පුත්‍රයෙකුගේ සිත තුළ ඡායාවකින් හෝ ඇතිවිය හැකි අවස්ථාවකුයි. අන්න ඒ නිසා නකුලමාතා
තම ස්වාමියාට එසේ පවසන්නට ඇති. එනමුත් පතිභක්තිය පිළිබඳව මනා වූ අවබෝධයක් ඇති
ඔවුනොවුන් කෙරෙහි ජීවිත ගමන පුරාම ප්‍රිය දෑසින් බලමින්, ප්‍රිය වචනයෙන් කතා
කරමින්, සංඥත, සංවර, හික්මුණු ජීවිත පවත්වපු ඔවුන් දෙදෙනාට ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ
අවසන් මොහොතේ පවා විශ්වාසයෙන් කතා කළ හැකි අවස්ථාවක් උදා වුණා. ස්වල්ප වූ ද සැකයක්
ඔවුන්ගේ සිත්වලට නොදැනුනේ ඔවුන්ගේ අතීතය කිසිවිටකවත් එවැනි සැකයකින්, බියකින්,
අමනාපයකින් හෝ රහසක් සකස් නොවී තිබුණ නිසාය.
මනා වූ විශ්වාසයකින් නකුල මාතා සඳහන් කළේ මගේ ජීවිතය පිළිබඳව මමත්, ඔබේ ජීවිතය
පිළිබඳව ඔබත් ඒ වගේ ම ඔබගේ ජීවිතය පිළිබඳව මමත්, මගේ ජීවිතය පිළිබඳව ඔබත් අපමණ
හොඳින් දන්නවා. පසුගිය අවුරුදු දහසයක පමණ කාලය එකම සයනයක සුසුමට සුසුමක් ගැටෙනා
පමණක ජීවිත පැවැත්වූවත් එහෙත් බ්‍රහ්ම චරියා ජීවිතයක් ගත කළ බවත් ඔබේ සිත දන්නවා. ඒ
තරම් සංයමයකින්, හික්මීමකින් සකස් වුණු මගේ සිත හෝ හදවත තවත් ස්වාමියෙක් ගැන නොසිතන
බව ඔබට අවබෝධ විය යුතුමයි. දැනිය යුතුමයි. ඒ නිසා සිතෙහි සැකයක් වික්ෂිප්තභාවයක්
ඇති කරගන්නෙ නැතිව කළුරිය කිරීම ඔබට යහපතක් සිදු වෙනවාමයි.
එවැනි අදහස් පෙළක්, කතා පෙළක්, මේ කතා පෙළ කියවන ඔබගේ හදවත්වලට දැනිය යුතුමයි. ඔබේ
කතාව වගේ ම ඔබේ යහළුවකුගේ, යෙහෙළියකුගේ කතාවත් මේ බවට පත්විය යුතුමයි. මෙවැනි
ධර්මානුකූල ජීවිතයක හදවත්වල ඇති දැහැමින් මුසුවුණු සුන්දරබව හැම මිනිස් සිතකටම,
විවාහ ජීවිතයක නම් ඇතිකරගත යුතු කරුණකුයි. සැකයකින් තොරව, අමනාපයකින් තොරව,
අවිශ්වාසයකින් තොරව සැඳෑ සමයේ ඔවුන්ගේ ජීවිතවලට ආපසු හැරී බලා සතුටින් පිරි සුසුමක්
හෙළන්නට පුළුවනි නම්, දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ ඉතාම වටිනා අවස්ථාවක් බව ඔබට
පැහැදිලි වෙනවා ඇති.
මී ළඟට නැවතත් නකුල මාතාව තම සෙනෙහෙබර ස්වාමියාට කතා කරනවා. ගිලන් වූ කය
සුවපත්වෙන්නට, නොගිලන් මනසක් බලපවත්වන බව ධර්ම කතාවේ ඔබ අසා තිබෙනවා. මනස සුවපත්
කරන නකුල මාතාවෝ ස්වභාවයෙන් ම තම ස්වාමියාගේ කය සුවපත් වෙන්නට අවස්ථාව සලසාදෙන බව
දැන් ඔබට වැටහෙනවා ඇති.
නකුල මාතා නැවතත් කතා කරනවා. ගුණබර ස්වාමි පුත්‍රයාණනි, නුඹගේ ඇවෑමෙන් මම
භාග්‍යවතුන් වහන්සේ දකින්නට යන ගමන අඩු කරාවි කියල නුඹට සිතෙනවාද භික්ෂු සංඝයා
දකින්නට යන්නට අකැමැති වෙයි කියල ඔබට එහෙම හිතෙනවාද එහෙම සිතන්නට එපා එහෙම
සිතිවිල්ලක්වත් ඇතිවෙන්නට එපා. වෙනදාටත් වඩා නුඹගෙන් පසුව භාග්‍යවතුන් වහන්සේ දැක
ගන්නට මම යනවා. භික්ෂු සංඝයා දැක ගන්නට මම ගමන් කරනවා. යම් ජීවිතයක, යම් වූ අඩුවක්
ඇති වූ විටක ලෞකික ලෝකයේ වස්තුවකින් එනම්, හට අරගත්තා සේ ම නැසී යන තවත් වස්තුවකින්
ඒ හිඩැස පුරවාගන්නවාට වඩා සිත සුවපත් කරන දහම් මඟ කැඳවා දෙන භාග්‍යවතුන් වහන්සේ හා
භික්ෂු සංඝයා වෙතට ගමන් කිරීමම මනා වූ සුවයක් බව ඔබත් අවබෝධ කරගෙන තිබෙන බව
පැහැදිලියි. ඒ නිසා හටගත් දෙයක් නැති වූ තැනක යම් වූ ද ශෝකයක් හටගන්නේ නම් නැවතත්
ශෝකයක් හටගන්නට මුල හදා දෙන යමකට සමීප වීම දහම නොදන්නා වූ සිත්වල ඇතිවෙන්නා වූ
උපාධානයකි.
එහෙත් දහම දැන, දහමෙන් සුවපත් වූ ඔබයි, මමයි, නැති වූ යමක් නැවතත් නැතිවන දෙයක්
නැවතත් ළංකරගෙන ශෝකයකට මුලක් හදාගන්නවාට වඩා හටගත්ත හැම දෙයක් ම නැතිවන බව නුවණින්
දැක නැවතත් ශෝකයකට අවස්ථාවක් නොදී මනස උපේක්ෂාවට පත් කර ගැනීම තථාගත බුදුරජාණන්
වහන්සේගේ අසිරිමත් වූ ධර්මයෙන් අප ඉගෙනගත් පාඩමයි.
එහෙත් දහම දැන, දහමෙන් සුවපත් වූ ඔබයි, මමයි, නැති වූ යමක් නැවතත් නැතිවන දෙයක්
නැවතත් ළංකරගෙන ශෝකයකට මුලක් හදාගන්නවාට වඩා හටගත්ත හැම දෙයක් ම නැතිවන බව නුවණින්
දැක නැවතත් ශෝකයකට අවස්ථාවක් නොදී මනස උපේක්ෂාවට පත් කර ගැනීම තථාගත බුදුරජාණන්
වහන්සේගේ අසිරිමත් වූ ධර්මයෙන් අපි ඉගෙනගත් පාඩමයි.
එහෙම නම් ඔබගේ ඇවෑමෙන් පසුවද මට තනිකමක් නොවුණු ඇත. මට පාළුවක් හුදකලාවක් නොවුණු
ඇත. ධර්මයෙන් මුසු වූ ජීවිත පැවැත් වූ අපට තනිකම, පාළුව, හුදකලාව කුමක් දැයි අපි
නොදන්නෙමු. එයට හේතුව නිරන්තරයෙන් ම ධර්මය එනම් අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ
ධර්මයට යටත් කොට සියලු සංඛත, සංකාර වස්තු දෙස දකින්නට පුරුදු වූ අපේ මනසට පාළුවක්,
තනිකමක්, හුදකලාවක් ලෞකික වශයෙන් ලබාදෙන්නට තරම් මනසේ හිඩැසක් නැතිබව පැහැදිලියි.
දෙදෙනෙක් නොව දහස් ගණනක් පිරිස අතර පවා ඇලීමෙන් බැඳීමෙන් තෙත් වූ හදවත් ඇති අයට
තනිකම පාළුව හුදකලාව දැනෙන්නේ ඒ අභාවිත සිත් නිසාය. අප දෙදෙනා යම් විටක යම් තැනක
හුදකලා වූවත් ශරීරවලින්, එහෙත් සිත් හුදකලා නොවුණේ, අපේ සිත් ධර්මයෙන් පෝෂණව තිබුණ
නිසාය. එනම් විරාගය ඉතා හොඳින් පුරුදු කර තිබුණු නිසාය. එනම් සම්මුතිය තුළ මොනතරම්
මම මගේ කියා අත්වැල් පටලවාගෙන සිටියත්, ස්වාමියා බිරිඳ දෙමාපියන්, දරුවන් වශයෙන්
ළංව සිටියත් වෙනස් නොවන දෙයක් මේ ලෝකයේ හට නොගන්නා බවත් හටගත්තා වූ කිසිවක් කෙරෙහි
මගේය, මම වෙමි යන උපාදානයකට නොයන හැටියට අපේ සිත් පුරුදුකොටගෙන තිබුණ නිසායි. මහ
පිරිසක් මැද සිටියත් නොඇලුණු අප සාමාන්‍ය ලෝකයා පවසන කිසිවක් නැති පාළු භූමියක
සිටියත්, අපේ සිත එකහා සමානව පැවැතුණේ ඒ විරාගී දහම අපේ සිත තුළ ඉතා හොඳින් පුරුදු
කොට තිබුණු නිසයි. මේ ස්කන්ධ පංචකයෙන් සමන්නාගත ශරීරයට මම කියා පවසා කවා, පොවා,
නහවා, පිරිසුදුකරමින් පැවැත්වූවත්, එහෙත් මේ ශරීරයවත්, මම විසින්වත් නොඇලිය යුතු
බවත් නොබැඳිය යුතු බව දහම් කතාවෙන් අපේ සිත පුරුදු කර තිබෙනවා.
දීපා පෙරේරා |