Print this Article


බෝධිරාජ සූත්‍රයෙන් හෙළිවන විශ්මිත දහම

බෝධිරාජ සූත්‍රයෙන් හෙළිවන විශ්මිත දහම

මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම උත්තමයාණන් වහන්සේ වන තථාගත අංගීරස බුදුරජාණන් වහන්සේ භව කතරේ අතරමංව සසර මංමුලා වී බොහෝ දුක් විඳින සත්ත්වයාට ඒ භයානක අගමුල නො පෙනෙන සසරින් එතෙර වන්නට හැකි ආශ්චර්යවත් ධර්මයක් මේ ලෝකයට එළිපෙහෙළි කර වදාළා.

බුදුරජාණන් වහන්සේ වදාළ ඒ අසිරිමත් දේශනා විමසන විට අපේ සිත සුවපත් වෙනවා. සිත තුළ ඇතිවන අපේ සිතිවිලි නිවැරැදි වෙනවා. එසේ නිවැරැදි වනවිට මුළු මහත් ජීවිත ගමනම සුවපත් වන්නට පටන් ගන්නවා. ජීවිතයේ අඳුර නසාගෙන ජීවිතයට ආලෝකය වැටෙන්නට පටන් ගන්නවා. එනිසා උන්වහන්සේගේ දේශනා සිහියෙන්, යෝනිසෝ මනසිකාරයෙන් පරිශීලිනය කිරීම වැදගත්.

අද දේශනාවට මජ්ක්‍ධිම නිකායේ ඇති වටිනා සූත්‍රයක්. ඒ ‘බෝධිරාජ කුමාර’ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සහ බෝධිරාජ කුමාරයා අතර සිදුවූ සංවාද ධර්ම කතිකාවෙන් හෙළි වූ කරුණු අපටත් ඒ සසරින් එතෙරවීමට මේ සසරේ අඳුර නැතිකොට ආලෝකය කරා පිය නඟන්නට වටිනා දහම් කරුණු හඳුනා ගන්නට අවස්ථාව හිමිවෙනවා.

මේ දහම් මාර්ගය උවදුරු රහිත එකක්. සැනසීමෙන් ජීවත්වෙන්න පුළුවන්. ඉතා සුවදායකයි. අපේ ජීවිතයට ශාන්තියක් උරුමකර ගත හැක්කේ ඒ ආශ්චර්යවත් කරුණු අනුව ජීවිතය හැඩ ගස්සවා ගන්නවා නම් පමණයි. ඒ වගේම භෞතික යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම්, බලය, ධනය මේ කිසිම දෙයකින් ලබන්නට බැරි පුදුමාකාර පී‍්‍රතියක් මේ ආශ්චර්යවත් ධර්මය ඔස්සේ අපට ලබන්නට පුළුවනි. අපේ ජීවිත හැඬු කඳුළ පසෙකලා බොහෝ පින්වත් භාවයකින් ඉදිරියට යාමට පුළුවන්. බොහෝ අය ශෝකභරිත ක්ලාන්ත භාවයට පත්වෙනවා. නිතර නිතර අඬනවා. අත්දෙක පපුවේ ගසාගෙන අඬනවා. පොළොව බදාගෙන දුක කියමින් අඬනවා. ඒ ජීවිතවල වස්තුව දේපල, ධනය, ඉඩකඩම් දරුවෝ මේ හැම දෙයම තිබෙන නමුත් එක් දෙයක් වෙනුවෙන් ශෝක කරනවා. වැළපෙනවා. මේ වගේ ස්වභාවයක් අපට ඇතිවන්නේ ජීවිතයෙන් ධර්මය ඈත් වූ විටයි. ඒ නිසා මේ ජීවිතය බොහෝ පී‍්‍රතියෙන්, සොම්නසින්, සහනයෙන්, සැනසිල්ලෙන් ගත කරන්න මේ මාර්ග වූ ධර්ම ඖෂධය අපට අවශ්‍යමයි. බෝධිරාජ සූත්‍රය සහ බෝධිරාජ අට්ඨකතාව දෙකම පරිශීලනය කරමින් අද ඔබට මේ දේශනාව කියා දෙන්නම්.

මේ ධර්ම මාර්ගයෙන් බලවත් වීමට කැමැති අය සිත හුදකලා කළයුතුයි කියා සිතීම වටිනවා. සිතට එන අරමුණු, වෛර, ක්‍රෝධ, මාන, ඊර්ෂ්‍යාව තිබෙනවානම් මේ සිතට එය බරක්. සිතට සැනසීමක් නැහැ. අපේ සිතට දරන්න බැරි අරමුණු තැන්පත් වනවිට නිවසක් සුද්ද කරන කෙනෙක් භාණ්ඩ අඩු කර ගන්නවා වගේ ඒ සිත තුළ අනවශ්‍ය සිතිවිලි ඉවත් කළ යුතු වෙනවා. ක්ෂේමභූමියට සුවදායක භූමියට, නිවෙන භූමියට යන්න හොඳ මාර්ගයක් එය. සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුදා ගන්නවාය කියන සිතිවිලි වුවත් අපට ටික ටික නිවන භූමියට යන්නට මඟ පෑදෙනවා. ඒ වගේම මේ සසර බොහෝම භයානයකයි. අගමුල පෙනෙන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ භගු රට සුංසුමානගිර කියන භේසකලා වනයේ වැඩසිටින විට බෝධිරාජ කුමාරයා අරභයා මේ බෝධිරාජ කුමාර සූත්‍රය වදාළේ. කුමාරයා විශාල වියදමක් දරා වෙහෙස මහන්සිව පදිංචියට මනස්කාන්ත පි‍්‍රයකරු ප්‍රාසාදයක් ගොඩනැඟා එයට “කෝකනද” කියන නම තැබුවා. කුමාරයා මෙහි පදිංචියට පෙර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වඩමවා දානයක් පිළි ගන්වන්නට ආරාධනා කළා. නියමිත දිනයේදී මේ කුමාරයා සුදු පාවාඩයක් එළා නිවසට ඒ මත වඩින ලෙස තථාගතයන් වහන්සේට ආරාධනා කළා. නමුත් උන්වහන්සේ වදාළේ මේ පාවාඩය අකුළන ලෙසයි. බෝධිරාජ කුමාරයා මේ පාවාඩය එක් අධිෂ්ඨානයකින් ඇතිරුවා. ඒ තමාට මේ ජීවිතයේ දරුවෙකු ලැබෙනවා නම් තථාගතයන් වහන්සේ මේ පාවාඩය උඩින් වඩින බවයි. නමුත් තථාගතයන් වහන්සේ ඔහුගේ අධිෂ්ඨානය දැක පාවාඩය අකුලන ලෙස දන්වා සිටි සේක. බෝධිරාජ කුමාරය ඔබ දෙදෙනා පෙර ජීවිතයේ බොහෝ ලෙස සතුන් මැරීමේ ක්‍රියාවේ යෙදී ඇති බැවින් ඔබගේ පැතුම ඉටු නොවේ යැයි වදාළ බව අට්ඨකථාවේ සඳහන් වේ.

ඉන්පසු දන් පිළිගැන්වූ ඔහු තථාගතයන් වහන්සේ අසලින් අසුන් ගෙන අසනවා ස්වාමිනි, මේ කෝකනඳ ප්‍රාසාදය ගොඩ නඟන්නට මම ධාර්මිකව උපයා ගත් දේයි යෙදවූයේ. ඒ සඳහා විශාල මහන්සියක් දැරුවා. එවිට බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත හොඳ දේ, කුසල දේ වටිනා දේ ලෙහෙසියෙන් කරන්න බැහැ. කටුක ඇත්දැකීම් ලැබෙනවා. නොසිතු දේ සිදුවෙනවා. කුමාරය, මම බුදු පදවිය ලබන්න ගත් වීර්ය, වෙහෙස , උත්සාහය අපමණයි කියමින් සංසාරයේ වීර්ය වඩපු අයුරුත් මේ ජීවිතයේදී දුෂ්කර ක්‍රියා කළ අයුරුත් විස්තර දේශනා කොට වදාළා. බෝධිරාජය, මේ භයානක සසරින් එතෙරවීම ලෙහෙසි පහසු නැහැ. මේ කාම ලෝකයේ බුර බුරා සිත තුළට පැමිණෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ පිළිගෙන මේ අරමුණට යන්න බැහැ. ඒවා මැඬ පවත්වන්න ඕන. එය මේ වගේ දෙයක්. වතුර යට තිබෙන දණ්ඩකට ගිනි ඇවිලීම කළ නොහැකියි. ඒ දණ්ඩම වතුර ගොඩ ගෙන වතුර බේරෙමින් තිබෙද්දී ගිනි තබන්න අපහසුයි. නමුත් ඒ දණ්ඩම හොඳින් වතුර බේරා වේලා පත්තු කළොත් හොඳින් ගිනි දැල්වේ. ඒ වගේ කාමයන්ට ඇලුන සිත ජලය යට තිබෙන දණ්ඩක් වගේ. යම් අකුසලයක් ගැන කයින් ඉවත් වී සිතින් ඒ ගැන සිතමින් සිටීනම් ඒ ගමන බලවත් වන්නේ නැහැ. එය වතුරෙන් ගොඩ දමා තෙත බේරී බේරී තිබෙන දණ්ඩක් වගේ. සිතින් කයින් දෙකෙන්ම මේ කාම අරමුණු ඈත් කර ගත් පුද්ගලයා දණ්ඩ ජලයෙන් ගොඩ අරගෙන හොඳින් වේලා ගිනි තැබුවා වගේ ධර්මයෙන් සිත මුදුන් පත්කරගෙන නිවෙන සැනහෙන මාර්ගයට ගමන් කරවන්න පුළුවන් කියා උන්වහන්සේ වදාළා.

ඒ අවස්ථාවේදී බෝධිරාජ කුමාරයා අසනවා ස්වාමිනි, මේ කියන අරහත්භාවයට පත් වෙන්න කොතරම් කාලයක් ගත වෙනවාද බෝධිරාජය, ඔබ දක්ෂයි නේද අශ්වයන් දමනයට. ඔවුන්ගේ හැසිරීම, ශිල්ප ගැන දන්නවා නේද එසේය ස්වාමිනි, මම අශ්වයන්ගේ හැසිරීම, හැඟීම්, ශිල්පීය කරුණු සියල්ලම දන්නවා. බෝධිරාජ යම් කෙනෙක් ඇවිත් ඔබෙන් ඇසුවොත් අශ්වයන් පිළිබඳව ශිල්ප ඉගෙන ගැනීමට කොතරම් කාලයක් ගත වෙනවාද කියා ඔබ මොකද කියන්නේ ස්වාමිනි, එය එක එල්ලෙ කියන්න අපහසුයි. ඒ පුද්ගලයා සමහර වෙලාවට කිසිම දක්ෂකමක් නැති, ගුරුවරයා ගැන විශ්වාසයක් නැති අසද්ධාවන්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අයෙකුට ගතවන කාලය කියන්න අපහසුයි. ඒ වගේම රෝගියෙකුට, කපටියෙකුට, කිසිම වීර්ය නැති අයෙකුට එහෙම නැත්නම් මෝහයෙන් පිරිණු කෙනෙක් මා වෙත ආ විටත් ඔහුට ශිල්පය ඉගෙනීම ගැන කාලය කියන්න අපහසුයි. තථාගතයන් වහන්සේ වදාළා බෝධිරාජය මේ කියන ක්ෂේම භූමියට, සුවපත්භාවයට පත්වෙන්න, පී‍්‍රතිමත්භාවයෙන් සැනහෙන්න ධර්මය අවබෝධ කරන්න, සමාධි චිත්තය උපදවා ගන්නත් ලෙහෙසි නැහැ. ඔබ කියූ කාරණා තිබෙන පුද්ගලයෙක් මටත් මුණ ගැසුණොත් කාලයක් කියන්නේ කොහොමද ඔය කරුණු නැති අයෙකු පූර්ණ අයෙකු මා වෙත එන්නේ නම් ඔහුට වැඩි කාලයක් යන්නට පෙර මේ නිවෙන මාර්ගයට පිවිසෙන්න පුළුවන්. මේ සියලු කාරණා නැත්නම් මේ කාරණා වලින් එකක් හෝ තිබේනම් මේ මාර්ගයට සමීපවෙන්න පුළුවන්. ඒ වගේ සිත තුළ ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව තිබෙන පුද්ගලයා රාජහස්තියෙක් වගේ බලවත් කියා වදාළා.

එනිසා මේ ගමන යන්නට එක පාරටම අපහසු වුවත් ඒ සඳහා කැමැත්තක් ඇතිකරගෙන සිත හුදකලා කරගෙන ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් මුදා ගන්නවාය මේ මනුස්ස ජීවිතයේදී සසර ගමනින් මිදෙනවාය කියන ප්‍රාර්ථනාව තිබීමත් විශාල වාසියක් වෙනවා.

එනිසා අඳුරෙන් ආලෝකය කරා ගමන් කරන්න මේ ධර්ම කරුණු අපට ශක්තියක්, ආශිර්වාදයක් වේවා.