බොදු සිරිතයි
අලුත් අවුරුද්දයි
තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාමාධිපති,
උඩුමලගල ශ්‍රී ආදිච්චවංස පරිවේණාධිපති යක්කලමුල්ල ශාසනාරක්ෂක
බල මණ්ඩලයේ ලේඛකාධිකාරී
ශාස්ත්‍රපති
පලල්ලේ සරණජෝති හිමි
සූර්ය උදාවේ මංගල්‍ය තුළින් ද අපට කියන්නේ ජීවිතයේ ස්වභාවයයි. සඳ හිරු තරු ගමන්
කරමින් යන්නා සේ අප ද අපේ ජීවිතයේ අවසානය කරා ගමන් ගන්නා බවත්, එයට කල් උදා වන බවත්
කියයි.
අවුරුදු සමයේ දී අපේ වැඩිහිටියෝ තම නිවස පවිත්‍ර කරන අතර ගේ දොර සෝදා පිරිසුදු
කරති. මැටි ගොම ගා අලුත් කරති. බාහිර ස්ථාන පිරිසුදු කරන්නාක් මෙන්ම තම සන්තානය ද
ශුද්ධ පවිත්‍ර කළ යුතුය. පිරිසුදු කළ යුතු ය. වැරැදි අඩුපාඩු අතපසුවීම් ඉසි කෝ මද
මානාදිය ඈත් කර ගත යුතු ය. අසමගිය වෙනුවට සමගිය සහෝදරත්වය මුසු කළ යුතු ය. වෛරය,
ක්‍රෝධය ඈත් කළ යුතු ය. පවුල තුළින් අසල්වාසීන් තුළින් ජාතීන් අතරත් රට තුළත් මේ
උදාර සංකල්පනා අලුත් අවුරුද්දේ ගොඩනගා ගත යුතු ය. සියල්ලන්ම ජීවත්වන්නට කැමතිය. එයට
අවස්ථාව ඉඩ ලැබිය යුතු ය. එය නීතියකට වඩා ගුණ දහම් මඟින් ගොඩනඟා ගත හැකි වේ.
වැඩිහිටි වන්දනාව ද අවුරුදු සමයේ දැකිය හැකි සුවිශේෂ චාරිත්‍රයකි. දූ දරුවන් තම
මවුපියන්ට බුලත් හුරුලු දී ගාථා දෙකක් කියා වැඳ කමාකර ගනු ලබයි. ලෝකයේ කිසිම රටක
මවුපියන්ට ගාථා කියා දී වඳින්නේ නැත. අප රටේ බෞද්ධ දරුවන් තම මවුපියන්ගේ ගුණ කඳ
සමරමින් ගාථා කියා වඳින්නේ අප්‍රමාණ සෙනෙහසකින් යුතුවය.
මහා වග්ගපාලියේ සුද්ධෝදන මහරජු සිය පුතු සෙනෙහස මතු කරනු ලැබුවේ “පුත්‍ර ප්‍රේමය
සිරුරෙහි සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස් සිඳියි. මස් සිඳ නහර
සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇට මිදුලු හැපී පැතිර සිටියි. ස්වාමීනි, මවුපිය
අවසර නොමැතිව පුත්‍රයකු පැවිදි නොකරන්නේ නම් මැනවි.”
ඇතැම් මවුපියන් අනාගතයේ අසරණ වන්නේ දරුවන් නිසා ය. මවුපියන්ට දරුවන් සම්පතකි.
“පුත්ත පේමං භන්තේ ඡවි ඡින්දති
ජවිං ජෙත්වා මංසං ඡින්දති
මංසං ජෙත්වා නහාරුං ඡින්දති
නහාරුං ජෙත්වා අට්ඨි මිඤජං ආනච්ච නිට්ඨති
සාධු භන්තේ අස්‍යා අහුනුඤ්ඤානං
මාතා පිතුහි පුත්තං න පබ්බා ජෙය්‍යුන්ති”
“පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට
දුක් දෙයි නිබන්දා”
පැරණි අපේ සමාජයේ මව්පියන්, දූදරුවන් වෙත දක්වන ලද දයානුකම්පිත බව ඉතිහාසය පුරා
කියවෙන අතර නූතන සමාජයේ ද දූ දරුවන් මේ මවුපියන්ගේ වටිනාකම් උතුම් බව වැඩි වැඩියෙන්
අගයා ක්‍රියා කළ යුතු වේ. එය සමාජයට දෙනු ලබන මහා ගුණවත් බෝසත් පාඩමකි. එය අලුත්
අවුරුද්දේ දී චාරිත්‍ර වාරිත්‍ර සමඟ මුසු වී තිබීමෙන් එය වඩාත් අර්ථවත් කර ඇත.
වැඩිහිටියන්ට, මවුපියන්ට ගරු කිරීම සැලකීමෙන් විශේෂ ආනිශංස රැසක් හිමි වේ. ආයු,
වර්ණ, සැප, බල ඒ අතර වේ. ජාතක පාලියෙහි ද වැඩිහිටියන්ට සැලකීම ඉතාම අපූර්වත්වයෙන් ද
දක්වා ඇත. තිත්තිර ජාතක කතාව එයට කදිම නිදසුනකි. මේ සිංහල අලුත් අවුරුද්දේ වැඩිහිටි
වන්දනාව මවුපිය වන්දනාව ඉතා උසස් ලෙස මතුකර ගැනීමක් බවද සිහිපත් කළ යුතු වේ. පරණ
අවුරුද්දේ හා අලුත් අවුරුද්දේ දී මවුපියන් වැඩිහිටියන් වැඳීම අවුරුදු චාරිත්‍ර අතරට
එක්ව ඇති අතර එය මුළු ජීවිතයට ම ආශිර්වාදයක් වන්නට මුළු ජීවිතය පුරාම මේ උදාර
ගුණයෙන් පෝෂණය වන්නට අදිටත් කිරීම වැදගත් වේ.
පුණ්‍ය කාලයේ දී තම ආගමික වතාවත්වල යෙදෙමින් ඉෂ්ට දේවතාවුන්ට පින්දීම ද අවුරුදු
චාරිත්‍ර අතර සුවිශේෂ චාරිත්‍රයකි. තම ජීවිතය ආගමානුකූලව පවත්වාගෙන යාම දියුණුවට
හේතු වේ. දියුණුවේ දොරටු මොනවාදැයි විටෙක පුතෙකු පියාගෙන් ඇසූ විට එයට පිළිතුරු ලබා
දෙන්නට බුදුන් වහන්සේ ළඟට කැටුව ගොස් එය විමසූ විට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනු
ලැබුවේ නිරෝගී බව ආචාරශීලී බව, වැඩිහිටියන්ගේ උපදෙස් ලබා ගැනීම, හොඳ ඉගෙනීමක්
තිබීම, දැහැමිව ජීවත් වීම, කම්මැලි නැතිකම මේ ආදී ගුණයන්ගෙන් යුක්ත නම් ඔහු දියුණු
වන බවයි.
අපේ රටේ දරුවන් ඉතාම අවිහිංසක ජන ක්‍රීඩා මඟින් සතුට ජීවිතයට එක්කරගත් අතර
වැඩිහිටියන් ද ඒ තුළින් සතුට එක් කර ගත්තේ ය. අවුරුදු සමයේ දී විශේෂයෙන් සතුට සමගිය
සහෝදරත්වය එකමුතුකම ගොඩනගා ගන්නා ලදී.
නැකතට ගිනි මොළවා ආහාර පිස නැකතට අනුභවය ද කරනු ලබයි. එහිදී අනුගමනය කරනු ලබන
චාරිත්‍ර ඉතාම ඤාණාන්විතය. වැඩිහිටි මවුපිය දූ දරු සැම එකට එකතු වී පොල් තෙල් පහන්
දල්වා එකට බෙදාගෙන කවුරුත් සමගියෙන් අනුභව කරනු ලබයි. එය ඉතාම කලාතුරකින් ලැබෙන
අවස්ථාවක් නිසා ගෙදර මවුපියන්ට තම දූ දරුවන් සමඟ ඥාතීන් සමඟ ඒ අවස්ථාවට සම්බන්ධ
වන්නට ලැබීම අතිශය සතුට ගෙන දෙන්නකි.
හිස තෙල් ගෑම ද, නවසඳ බැලීම, රැකියාවන්ට පිටත් වී යෑම ආදී චාරිත්‍ර ද විශේෂයෙන්
ශරීර සෞඛ්‍යයත් මානසික සුවයත් කායික සුවයත් උදා කරවයි. වැඩ වැඩි බව හිසත් කයත් බර
කරයි. ඉන් යම් විවේකයක් ගෙන තම කටයුතුවල නිරතවීම සුවය ගෙන දෙන්නකි. අපේ ලාංකික
සමාජයේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සකසා ඇති චාරිත්‍ර වාරිත්‍ර සියල්ලම වාගේ
බුදු සමයේ ආභාෂයෙන් ද හින්දු ආගමික බලපෑම් මත ද මිශ්‍රණයකින් සකස් වී ඇති බවත්
දක්නට ලැබේ. ආගමික ජීවිතය සුවය ගෙන දෙන බැවින් සොබාදහමට අනුගතව තම කටයුතු
ධෛර්යමත්ව, අලසකමින් තොරව, අලුත් සිතුම් පැතුම් ඇතිව ක්‍රියා කළ යුතු ය.
අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර ආගමික නැඹුරුවකින් යුතුව ඉටු කරන්නට අදිටන් කර
ගන්නා ලෙසත්, එය මෙලොව සැප පිණිසත් සසර සැප පිණිසත් පවතින බව සිහි කටයුතු ය. |