Print this Article


වෙන්වන ලොවක ළබැඳි හමුවීම

වෙන්වන ලොවක ළබැඳි හමුවීම

සුපසන් ජීවිතයකට ධර්ම කතා පෙළෙහි අද දවසෙහි ධර්ම කතාව සඳහා තෝරාගනු ලබන්නේ අංගුත්තර නිකායෙහි, චක්ක නිපාතයෙහි ප්‍රථම පන්නාසකයෙහි සාරාණීය වර්ගයට අයත් නකුල පිතූ සූත්‍ර දේශනාවයි. ලෞකික වශයෙනුත්, ලෝකෝත්තර වශයෙනුත්, ධර්මානුකූල ජීවිතයක සුවපත්වන ගෘහපති ජීවිත පිළිබඳව මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙනවා.

බුදු සසුනෙහි ඉතාම සුවපත්ව ජීවත්වුණු, ස්වාමියෙක් හා බිරිඳක් පිළිබඳව මේ ධර්ම කතාවෙන් අපට දැක ගන්නට පුළුවනි. ලෞකික, ලෝකෝත්තර දියුණුවක් ඇති කර ගන්නවා වගේ ම ඒ දියුණුව ඔස්සේ ඔවුන්ගේ ගෘහස්ථ ජීවිතවල සුවපත්භාවයක්, සැනසිලිමත්භාවයක් පවත්වාගැනීම පිළිබඳවත් අප විසින් අවධානය යොමු කළ යුතුමයි.

එයට හේතුව වර්තමානයේ ඉඳහිට හෝ පැන නගින ගැටලු කීපයක් දකින්නට තිබෙන නිසයි. එනම් සමහර අය ධර්මයට නතුව ධර්මානුකූල ජීවිතයක් පවත්වාගන්නට උත්සාහ කරනවා. ඔවුන්ගේ වචනයෙන් නම් සීලයේ පිහිටා සමාධිය දියුණු කරගන්නට, එනම් බණ භාවනා පැත්තට වැඩිපුර කාලයක් යොමු කරගෙන තියෙනවා. ඒ වුණත් ඔවුන් තේරුම් නොගත් කරුණක් ඒ පිටුපසින් තියෙනවා. ඒ තමයි ඇතැම් විට පවුල් ජීවිතය තුළ ව්‍යාකූලත්වයක් ඇතිකර ගැනීමයි. එසේ නැතිනම් ඇතිවීමයි. ධර්මය දකිනවා කියන අයකුගේ ගෘහස්ථ පරිසරයත් ධර්මානුකූලවම සංසිඳුණු එකක් බවට පත්විය යුතුයි. ස්වාමියාට නොසලකන හෝ ස්වාමි දියණියට අවමන් කරන යම් වූ ද පුරුෂයෙක් හෝ කාන්තාවක් බණ භාවනා කරනවා යැයි කියමින් ජීවිතය ගැන දකින්න උත්සාහ ගැනීම ධර්මයෙන් අනුමත කරන කරුණක් නෙමෙයි. පළමු කරුණ නම් ඔවුන්ගේ පුද්ගලික ජීවිත තුළ ආධ්‍යාත්මික වශයෙන් දමනයක්, හික්මීමක් ඇති කර ගැනීමයි. සීලයෙන් බලාපොරොත්තුවන්නේ එයයි. ඒ නිසා ගෘහස්ථ ජීවිතයක ස්වාමියා, බිරිඳ, දෙමාපියෝ, දරුවෝ, සොහොයුරු, සොහොයුරියන් ආදී වශයෙනුත්, ඔවුන්ගේ රැකියාව, වෘත්තිය ආයතනික වශයෙනුත් ඇති කරගත් ආධ්‍යාත්මික සංසිඳීම ඔස්සේ නිවුනු, හික්මුණු, ඉවසන, කාරුණික එනමුත් දක්ෂ අනාගතය ගැන සැලසුම් කළ හැකි නිර්මාණශිලි අයෙක් බවට කටයුතු කිරීමත් ධර්මයෙන් අනුමත කරන කරුණු රාශියකුයි. ඒ නිසා ඔබගේ පුද්ගලික ජීවිතය හෙවත් පවුල් ජීවිතයත් අවුල් නොකරගෙන එයත් හික්මීමෙන් හා දහමට ළංවූ ස්වභාවයක් ම ඇතිකර ගනිමින් ම ලෞකික, ලෝකෝත්තර ආධ්‍යාත්මික දියුණුවක් ඇතිකරගත යුතුමයි.

සාමාන්‍ය ලෝකයා සුහද බව, ලෙන්ගතු බව, හිතවන්ත බව යැයි පවසන්නේ තමා මුල්කරගත් සක්ඛාය දිට්ඨිය හෙවත් ආත්ම සංඥාවෙන් අරමුණුගෙනමයි. “ඔබ නැති ව මට පාළුයි”. “ඔබට කුමක් හෝ යම් වැරැද්දක් වුණොත් මට කුමක් ද  සිද්ධවෙන්නෙ”. “ඔබ නැතිව මම කොහොමද  ජීවත්වන්නෙ”, මේ ආදී වශයෙන් පවසන වදන්වලින් බාහිර වශයෙන් ලෙන්ගතුබවක් දැනුණු බව සිතුණත් එහි පවතින්නේ ආත්මාර්ථකාමීත්වයමයි. බුදු දහමේ ගැඹුරු ලෙස සඳහන් කරන සක්ඛාය දිට්ඨියෙහි ප්‍රබලත්වයයි. අරමුණු ගැනීමේ දී ආත්ම සංඥාව උද්දීපනය වීමයි. “ඔබ නැතිව මට පාළුයි” හෝ “ඔබට කරදරයක් වුණොත් මට මොකද වෙන්නේ” කියන අදහස් ම සංසුන් මනසකින් විමසා බලන්න. අන් පුද්ගලයාට මොනවා වුණත් මට ඇතිවන පාඩුව පිළිබඳව කතා කිරීමක් බව ඉන් පැහැදිලි වෙනවා ඇති.

යම් කෙනෙක්, යම් කෙනෙකුට හිතවන්ත නම් තමන් තමන්ට දක්වන හිතවන්ත භාවය වගේ ම අන් අයටත් හිතවන්තභාවය පැතිරවිය යුතු බව මෙත්තානිසංස කතාවෙහි පෙන්වා දෙනවා. එහෙම නම් යම් කෙනෙක් තවත් කෙනෙකුට හිතවන්ත නම් තමා සැපට කැමැති වගේ ම අන් අයත් සැපතට කැමැති බව තේරුම්ගත යුතුයි. තමා දුකට පත්වීමට අකැමැති නිසා අන් අයත් දුකට පත්වීමට අකැමැතිබව සිතාගත යුතුයි. ඒ නිසා යම් කෙනෙක් කතා කරනකොට තමන්ට ඇති පාඩුව ගැන පමණක් නොසිතා ඒ අයගේ ජීවිතවලටත් සිදුවන යම් පාඩුවක් විපතක් වේ නම් අන්න එයත් සිතා බැලිය යුතුමයි. එහෙම නම් තමා තමාගැන සිතනවා වගේ ම අන් අයත් හිතවන්ත භාවයෙන් සිතන්නටත් ඒ වගේ ම ලෝකෝත්තර වශයෙන් ධර්මය පුරුදු කළ සිතක් පවත්නා විට දෙලොවම පිරිහීමකින් තොරව සුවපත් කරගන්නා අයුරු මෙම නකුලපිතූ සූත්‍ර දේශනාවේ කතාවෙන් ඔබට චරිතාදර්ශ පෙළක් ලෙස සිතා ගත හැකියි. මේ කතා පෙළ ඔබ නැවත නැවතත් මෙනෙහි කරන්න.

බුදුරජාණන් වහන්සේ බග්ග ජනපදයෙහි සුංසුමාරගිරි නගර සමීපයෙහි භේසකලා නම් මුවන් වාසය කරන වනයෙහි වැඩ වාසය කරනවා. මේ කාලය තුළ මේ සුංසුමාරගිරි නගරය අසලම ජීවත්වන නකුලපිතා, මාතා නමින් බොහෝ ප්‍රසිද්ධ එ හෙත් ගුණවන්ත, ලෙන්ගතු, යුවතිපතීන් වාසය කළා. මේ කාලයෙහි නකුල පිතා එනම් ස්වාමියා ගිලන් වෙනවා. රෝගය උත්සන්න වූයේ මහත් වූ වේදනාවකට, විපතකට පත්වෙනවා. මේ අවස්ථාවෙහි ලෞකික වශයෙන් ගිලන්බවින් නිදහස් කරගන්න බෙහෙත් හේත් ලබා දෙමින් කය සුවපත් කරන්නට උත්සාහ කරන අතරම, සිතත් සුවපත් කරන්න උත්සාහ කරන ඒ නකුලපිතාගේ බිරිඳ වූ නකුල මාතාවන් කටයුතු කරන ආකාරය අපට දැකගන්නට පුළුවනි. මෙනෙහි කරන්න පුළුවනි.

ගුණබර ස්වාමි දියණියක් තම ගුණබර ස්වාමියා විපතට පත් වූ විටක හෝ ගිලන් වූ විටක දක්වන අම්මා කෙනෙකු මෙන්, මව් සෙනෙහසත්, සොහොයුරියක් මෙන් දක්වන සහෝදරත්වයත්, ස්වාමි දියණියක් හැටියට දක්වන ප්‍රේමාන්විත ස්වභාවයත් මේ කතාවෙන් දැකගන්නට පුළුවනි. එහෙත් මේ හැම ස්වභාවයකම පවතින්නෙ ධර්මයට මුසු වූ ස්වභාවයක් බවත් ලෞකික කෙලෙස්වලින් එය මිශ්‍ර නොවූ බවත් ඉතාම පැහැදිලියි.

බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් අනුශාසනයෙන් අපට පෙන්නා දෙන්නේත් අන්න ඒ මාර්ගයමයි. ගෘහස්ථ ජීවිතයක ස්වාමියා, බිරිඳ, දෙමව්පියෝ, දරුවන් ලෙසින් මොනතරම් හිතවන්ත බවක් ප්‍රේමවන්ත බවක්, ආදරැති බවක් පැවතුණත් එය ධර්මයට මුසු වූ එකක් ම විය යුතු අතර කෙලෙස්වලින් බරිත සිත් රිදවන ශෝකය මුසු වූ සතර අපායට ඇද දමන එකක් නොවිය යුතුයි.

ගිලන් වූ නකුලපිතා හෙවත් ස්වාමියා වෙතට ළංවෙන නකුල මාතා මෙසේ සඳහන් කරනවා. ගෘහපතියණි, එනම් ස්වාමිපුත්‍රයාණනි, ඔබගේ ජීවිතය රැකගන්නට මා ඔබට උපස්ථාන කරනවා. ඒ වුණත් අප හැමදාම ජීවත්වෙන්නෙ නැහැ. ඕනම මොහොතක් අපේ ජීවිතවල අවසන් මොහොත විය හැකියි. මේ නිසා නුඹ අප පැමිණුනු ධර්ම මාර්ගයෙහි ම ජීවත්විය යුතුයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව සිත පුරුදු කරගත යුතුමයි. නුඹ තෘෂ්්ණා සහිතව එනම් බලාපොරොත්තු ඇතිව කළුරිය කරන්නට එපා. මේ ලෝකයෙන් බැහැරවන්නට එපා. අපේක්ෂා සහිතව හෙවත් ආශාවන් ඇතිව කළුරිය කිරීම දුකකට හේතුවක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේත් එසේ සිදුවීම කිසිවිටකවත් අනුමත කරන්නේ නැහැ. නුඹ මේ විදිහට මම ගැනවත්, දරුවන් ගැනවත් සිතා බියක් ඇති කර ගන්නට එපා. එනම් නුඹගෙ ඇවෑමෙන් නකුල මාතාවන්ට දරුවන් පෝෂණය කරගෙන ගෘහවාසය කර ගන්නට බැරිවෙතැයි, කියල නුඹ එසේ නොසිතිය යුතුයි.

ආදරණීය ස්වාමි පුත්‍රයාණනි, ඔබ දන්නවා නව යෞවන වයසේ විවාහයට පත් වෙලා ජීවිතයේ සැඳෑ සමය ගතකරන ඔබට මාගේ හුස්ම පවා ඉතා හොඳින් දැනෙන බව මමත් දන්නවා. ඔබත් දන්නවා. මට කපු නෙලන්නට පුළුවනි. එළු ලොම් නෙලන්නට පුළුවනි. ඒවාට බොහෝම දක්ෂයි. ඒවා එසේ කොට මුදල් උපයාගෙන ධර්මානුකූලව ජීවිතය පවත්වමින් මම, මමත් දරුවන්වත් පෝෂණය කරගෙන ගෘහවාසය කරගන්නට හැකි බව නුඹ ඉතාම හොඳින් දන්නවා. එයට මම ඉතාම පොහොසත් බවත් හොඳින් දන්නවා. ඒ නිසා මම ගැන හෝ දරුවන් ගැන සිතා තෘෂ්ණාවක්, ආශාවක් ඇතිකර ගන්නට එපා. සිතේ වික්ෂිප්තභාවයක් ඇතිකරගෙන කළුරිය කරන්නටත් එපා. අපේක්ෂා සහිතව තෘෂ්ණාව සහිතව කළුරිය කිරීම දුකක් වෙනවා. එසේ කළුරිය කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් ගරහා කරනවා. නොකළයුතු දෙයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා.

මේ කතාව ඇසෙන විට නකුල පිතාවන්ගේ සිතට ඇතිවුණු අදහස් පෙළ පිළිබඳව ඔබට සිතා ගනු හැකිවනු ඇතැයි අප කල්පනා කරනවා. ඔබ නැතිව මට පාළුයි. ඔබෙන් පසුව මට කුමක් ද සිදුවෙන්නේ කියන ආශාවන්ගෙන් පිරුණු ආත්ම සංඥාව මුල්කරගත් බොහෝ ලෞකික කෙනෙකුගේ කතාවකට වඩා ධර්මයට මුසුවුණු සසර පිළිබඳව නුවණින් දකින්නට පුළුවන් සුපසන් වූ ම ගෘහස්ථ ජීවිතයක් ගත කළ, ගත කරන ස්වාමි දියණියකගේ කතාවක් බව ඔබට සිතෙනවා ඇති. මොනතරම් සමීපව ලෙන්ගතුව කටයුතු කළත් තමාගේ ම ශරීරයේ රෝමකූපයකවත් සැබෑ අයිතියක් නැති තමා තවත් කෙනෙකුගේ ජීවිතයකට අයිතියක්, ස්වාමිත්වයක් කිව නොහැකි බව අපට දැන් අවබෝධයේ පවතිනවා.

ඉතිරි කොටස බක්මස පුර අටවක පෝදා අප්‍රේල් (14) පත්‍රයේ පළවේ.