Print this Article


මල්වතු, අස්ගිරි මහා නා හිමි පදවි පිරිනැමීම හා බැඳි චාරිත්‍ර විධි

මල්වතු, අස්ගිරි මහා නා හිමි පදවි පිරිනැමීම හා බැඳි චාරිත්‍ර විධි

අනුබුදු මිහිඳු මහරහතන්වහන්සේ ලක්දිව වැඩමකර රාජ්‍ය අනුග්‍රහය ඇතිව ලාංකීය ජනතාවට ධර්මය දේශනා කරන අතරතුර ලංකාවේ බුද්ධධර්මය ස්ථාපිත කිරීමේ අරමුණින් අනුරපුර මහා විහාරය ගොඩනංවා මහා අරිට්ඨ තිස්ස කුමරු ඇතුළු රාජකීය පිරිසක් පැවිදි කිරීමෙන් ලක්දෙරණේ සම්බුදු සසුන ස්ථාපිත කළහ. මහනුවර රාජධානී සමය වනවිට උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේ පවා නොමැතිව ශාසනය පරිහානියට පත්ව තිබූ අවස්ථාවේ වැලිවිට අසරණ සරණ පිණ්ඩපාතික සරණංකර හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් එවකට මිලානව පැවති සම්බුදු සසුනට ජීවයක් ලැබිණි. උන්වහන්සේගේ උපදේශකත්වයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය ඇතිව 1753 දී සියම් දේශයෙන් ප්‍රවර උපාලි මහතෙරුන්වහන්සේ ප්‍රමුඛ දූත පිරිසක් මඟින් ලක්දිවට උපසම්පදාව ගෙන එන ලදී. සියම් දේශයෙන් උපසම්පදාව ගෙන ඒම නිසා සියම් මහා නිකාය නමින් මල්වතු, අස්ගිරි මහාවිහාර සඳහා ව්‍යවහාර කිරීම සිදුවිය. මල්වතු අස්ගිරි මහානායක පදවි සියම් දේශයෙන් උපසම්පදාව මෙරටට ගෙනඒමෙන් පසු ආරම්භ විය.

මල්වතු අස්ගිරි උභය මහාවිහාරීය ශාසනික සම්ප්‍රදායන් 1753 සියම් උපසම්පදාවත් සමඟ ස්ථාපිත වූ අතර දෙපාර්ශ්වය විසින්ම උපාලි මහතෙරුන්ගේ නායකත්වය පිළිගන්නා ලදී. උන්වහන්සේගේ අපවත්වීමෙන් විශුද්ධාචාර්ය මහතෙරණුවන් නායකත්වයට පත්වූ අතර උන්වහන්සේද සියම් දේශයෙන් මෙරටට වැඩම කළ හිමිනමකි. උන්වහන්සේ සියරට බලා වැඩමවීම හේතුවෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් හිස් වූ නායක පදවිය සංඝරාජ පදවිය ලෙස නම් කැර ඊට අසරණ සරණ සරණංකර තෙරුන් වහන්සේ පත්කරනු ලැබීය. ඊට සමගාමීව මල්වතු අස්ගිරි උභය මහා විහාර සඳහා වෙන්වෙන්ව 1765 දී ප්‍රථම වරට මහා නාහිමිවරු දෙනමක් පත්කිරීමද රජුගේ මූලිකත්වයෙන් සිදුකෙරිණි.

මල්වතු මහා විහාරයේ නායක පදවිය සඳහා තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නාහිමියන්ද අස්ගිරි පාර්ශ්වයේ නායක පදවිය සඳහා උරුලෑවත්තේ ධම්මසිද්ධි නාහිමියන්ද මෙලෙස ප්‍රථම මහා නාහිමිවරු ලෙස පත්වූහ. අස්ගිරි පාර්ශ්වය වෙනුවෙන් විහාර අභ්‍යන්තර ප්‍රධාන සංඝ පරම්පරා තුනක් ආරම්භ වූ අතර සියම් උපසම්පදාවෙන් අනතුරුව පිළිවෙළින් අස්ගිරි මහා විහාරයෙහි ප්‍රථම , දෙවන හා තෙවන ලෙස මහා නායක පදවියට පත්වු නාහිමිවරුන්ගේ නාම ඇසුරෙන් එම පරම්පරා ත්‍රිත්වය හඳුන්වනු ලබයි. උරුලෑවත්තේ සංඝ පරම්පරාව (ඉහළ පන්සල් පාර්ශ්වය), ඉඳවලුගොඩ සංඝ පරම්පරාව (මැද පන්සල් පාර්ශ්වය ), පොතුහැර සංඝ පරම්පරාව (පහළ පන්සල් පරම්පරාව) ලෙස නම් ලැබ ඇති මෙම සංඝ පරම්පරාවන් තුන නියෝජනය කරමින් වසර 250 ක පමණ කාලයක් තුළ අස්ගිරි පාර්ශ්වයේ මහානායක පදවියට මහතෙරුන්වහන්සේ 21 ක් නමක් මේ දක්වා පත්ව සිටිති.අපවත්වී වදාළ ගලගම අත්ථදස්සී මහා නාහිමියෝ අස්ගිරි පාර්ශ්වයේ ප්‍රථම මහා නායක උරුලෑවත්තේ ධම්මසිද්ධි මහා නාහිමියන්ගේ සංඝ පරම්පරාව නියෝජනය කරන අතර උන්වහන්සේ එම පරපුරේ නව වන මහා නාහිමියන්ය.

මේ වන විට මල්වතු අස්ගිරි උභය මහා විහාර නියෝජනය කැරමින්, මහා නාහිමිවරු 47 නමක් බිහිව තිබේ. ඒ විසිහය නමක් මල්වතු පාර්ශ්වයෙන්ද , විසිඑක් නමක් අස්ගිරි පාර්ශ්වයෙන්ද යන ලෙසය. මහානායක පදවිය පුරප්පාඩු වන්නේ එයට පත්වූ මහා නාහිමියන් අපවත්වීමෙන් පමණි. මේ අනුව මහ පදවිය යනු යාවජීව පදවියකි. මහා නාහිමි නමක් අපවත්වු පසු අදාළ පාර්ශ්වයේ ඊළඟ මහානායක ලෙස සුදුසු හිමිනමක් පත්කැර ගැනීම අද ද සිදුකැරන්නේ අතීත සම්ප්‍රදායන් ගරු කරමිනි.

මෙහිදී මුලින්ම සිදුකැරෙන්නේ ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින්නා වූ වූ කරඬුවේ මහා නාහිමියන් භාරයේ පැවැති යතුර අනුනායක හිමියන්ට මහා නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය හිමිනම විසින් පිළිගැන්වීමය. සංඝ සභාව රැස්කැර දියවඩන නිලමේතුමාද කැඳවා සියලුදෙනා ඉදිරියේ මෙම යතුර භාරදීම සිදුකරනු ලබයි. නැවත මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් සංඝ සභාව මඟින් පත්කැර ගන්නා තෙක් නිල වශයෙන් අදාළ පාර්ශ්වයේ වගකිවයුතු ස්වාමින්වහන්සේ බවට පත්වන්නේ එම යතුර භාරව සිටින හිමිපාණන්ය. අපවත්වී වදාළ මහා නාහිමියන්ගේ සත්දින පුණ්‍යකර්මයෙන් පසු සංඝ සභාව පොහොයගෙය තුළ රැස්ව මහා නාහිමියන්ගේ ජාතික, ආගමික හා ශාසනික සේවාව අගයා උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරති. පසුව නව මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් පත්කර ගැනීම සඳහා දින නියම කරගනු ලබයි. එම දින සිට යළි මහා නායක හිමිනමක් පත්කැර ගැනීමට සංඝ සභාව රැස්වීමට තීරණය කළ දින දක්වා වූ කාලය තුළ අදාළ මහ පදවිය දැරීමට අපේක්ෂා කරන ජ්‍යෙෂ්ඨ හිමිවරු සංඝ සභාවේ හිමිවරුන්ට දැහැත්දී තමන් වහන්සේ මහ පදවියට ඉදිරිපත්වන බව දැනුම්දෙයි. ඇතැම්විට එක් හිමිනමක් පමණක් මෙලෙස දැහැත් දෙන අතර කිහිපනමක් දැහැත් දුන් අවස්ථාද ඉතිහාසය තුළ දැකිය හැකිය. මහා නාහිමි පත්කර ගැනීම පිණිස කලින්, කථිකා කළ පරිදි අදාළ දින සංඝ සභාව රැස්වන අතර එක් හිමිනමක් පමණක් ලේඛකාධිකාරි හිමියන් වෙත අයදුම්පතක් ඉදිරිපත් කළහොත් සංඝ සභාව ඒකමතිකව උන්වහන්සේ මහානායක පදවියට පත්කරගනු ලබයි. ඊට වැඩි අයදුම්පත් ඉදිරිපත් කළහොත් සංඝ සභාව නියෝජනය කරන්නා වූ මහා සංඝරත්නයේ ඡන්දය විමසා බහුතර කැමැත්තෙන් මහ පදවියට සුදුසු හිමිනමක් පත්කැර ගැනීම ශාසනික සම්ප්‍රදායයි. ඉතිහාසය පිරික්සීමේදි ඡන්දයක් නොපවත්වා විංසත් වර්ගික කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් මහා නාහිමිවරු පත්වීම වැඩිවශයෙන් සිදුව තිබෙන බව පෙනීයයි.

මහානාහිමිනමක් අභිනවයෙන් පත්වු පසු උන්වහන්සේ බුදුන් වැඳපුදා ගනී. පසුව සංඝ සභික හිමිවරු පිරිත් සජ්ඣායනය කොට උන්වහන්සේට ආශිර්වාද කරති.අනතුරුව මහා නාහිමියෝ උඩුවියන් හා පාවාඩ සහිත, පෙරහරකින් මහා නායක නිල ආරාමය වෙත වැඩම කරනු ලබති. පසුව සංඝ සභික හිමිවරු ඇතුළු වැඩම කර සිටින භික්ෂූන්වහන්සේට ගිලන්පස පූජාවක් පැවැත්වෙයි. අභිනව මහා නාහිමියන් අස්ගිරි මහා විහාරයෙන් නිල වශයෙන් ප්‍රථමව පිටතට වැඩම කරනුයේ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබාගැනීමටය. එය උන්වහන්සේ පත්වු දිනම පස්වරුවේ සිදුකරනු ලබයි. ඉන්පසුව දින තුනක් ගතවන්නට මත්තෙන් අදාළ පාර්ශ්වයේ අනුනාහිමි ප්‍රමුඛ සංඝ සභික හිමිවරු හා නේවාසික භික්ෂූන්වහන්සේ පෙරහරින් ගොස් අනෙක් පාර්ශ්වයේ මහා නාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාවට මහා නාහිමි පත්කැර ගැනීම පිළිබඳ පුවත දැනුම් දෙති. මහා නාහිමි ප්‍රමුඛ විංසත්වර්ගික කාරක සංඝ සභාව පොහොයගෙට රැස්ව එම භික්ෂූන්වහන්සේ පිළිගනිති. පසුදින දැකුම්කලු පෙරහරකින් දැහැත්වට්ටි ගෙන එම පාර්ශ්වයෙන් නව මහා නාහිමි බැහැදැකීමට යති.අභිනව මහා නාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාව එහිදී වැඩම කරන භික්ෂූන්වහන්සේ පොහොයගෙය තුළදී පිළිගනු ලබයි. පසුව මෙම අභිනව පත්වීම පිළිබඳව රජයට දැනුම්දෙනු ලැබීමෙන් පසු නියම කැරගත් දිනක මහා නාහිමියන්ට ජනපති අතින් අක්තපත්‍ර පිළිගැන්වීම සිදුකරනු ලබයි.