අමා දහම් රසයට
සමීප වීම
මාලඹේ, අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කථිකාචාර්ය දර්ශනපති,
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි
ස්වාමින් වහන්ස, සාර්ථක ජීවිතයකට බුදුරදුන් වදාළ මඟ කුමක්ද
බෞද්ධ අප සැමගේම ඉලක්කය විය යුත්තේ නිවනයි. වැරැද ක්‍රම වලින් වැරැදි ලෙස මවාපාන
බොහෝ ආටෝප සාටෝපකාරී ක්‍රම වලින් අපට මාරයා පැරදවිය නොහැකියි. හැම මොහොතකම සතිමත්
වීමෙන් මේ වැරැදි සාවද්‍ය ක්‍රම අතහැර අපේ ජීවිතයේ නිසි නියම මාර්ගයට යා හැකියි.
එහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් කරුණු කිහිපයක් තුළින් අපේ ගමන නිවැරැදි කර ගත
හැකියි.
ඒ සඳහා ඉතා දක්ෂ අයෙකුවීම, කම්මැලි නොවිම, පටන්ගත් වීර්යෙන් කටයුතු කිරීම සහ කරන
කටයුත්තෙහි දක්ෂවීම අවශ්‍ය වෙනවා. අප සිතමු යම් කෙනෙකුට භාවනා කරන්න, ධර්මය
ශ්‍රවණයට ගෙදර තිබෙන පරිසරය බාධාවක් කියා. එවිට ගෙදර සමඟ හෝ දරුවන් සමඟ අමනාපව හෝ
කෝප ගෙන කටයුතු කළොත් එය අවබෝධයෙන් කටයුතු කිරීමක් නොවේ. ඒක උපායශීලි බවත් නොවේ. ඒ
නිසා අප මේ හැම දෙයම කරන අතරේදී මනස හොඳින් සවිබල ගැන්වීමට ප්‍රඥාවන්ත වීම වැදගත්.
ඒ වගේම හොඳම දේ, කළයුතුම දේ ම පමණයි කරන්න ඕන. යම් දෙයක් කරන්නට පෙර මෙය සිදු කළොත්
මට හානිකර ද නැතිනම් මෙයින් සමාජයට හානිකර ද කියා සිතා බැලීම වැදගත්. මේ කරන දේ
තමාටත්, සමාජයටත් හානිකර නැත්නම් එය කළයුතු වෙනවා. යමක් කළාට පස්සේ අඬන්න වෙනවානම්,
පසුතැවෙන්න හෝ එපාවීමක් වෙනවානම්, විඳවන්නට වෙනවානම් ඒ දේ කරන්නට එපා යැයි තථාගතයන්
වහන්සේ වදාළා. එනිසා අඬන්න, වැළපෙන සිදුවන සිදුවීම්වලින් ඈත් වී කටයුතු කිරීමේදී
නිසි නියම ඉලක්කය කරා ගමන් කළ හැකියි. ඒවගේම අප කරන සියලුම දේ ධර්මයට අනුකූල කිරීම
වැදගත් වෙනවා. සාවද්‍ය බවින් ඉවත්ව නිවැරැදි භාවයට පත්වීමට ශ්‍රාවකයා දක්ෂ විය
යුතුයි. ඒ වගේම අප කරන යම් දෙයක් වේනම් එය දක්ෂව සහ අලස බවින් තොරව කිරීමෙන් කරන දේ
යහපත් දේ වීම යන කරුණු සාර්ථක ජීවිතයකට මඟ කියයි.
බුදුදහම තුළින් ඉලක්කය ජය ගත හැක්කේ කෙසේද
බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් කියාදෙන්නේ ජීවිත ඉලක්කය ජය ගත යුතු ආකාරය යි.
සියලුම සූත්‍රවලින් කොතැනින් බැලුවත් එහි තිබෙන්නේ ජීවිතය ජය ගන්නට වටිනා උපදේශයක්.
මහා මුහුදේ ජලය කොතැනින් ගෙන දිව ගෑවත් ලුණු රස දැනේ. ඒ වගේ මේ ආර්ය ධනය කියාදෙන,
ත්‍රිපිටකය කොතැනින් ගෙන බැලුවත් අපට දුකින් මිදීමේ දහම, ධර්ම රසය මෝදු කරගන්න
පුළුවන්. මජ්ක්‍ධිම නිකායේ එන රට්ඨපාල සූත්‍රය මෙහිදී උදාහරණයකට ගත හැකියි.
බුදුරජාණන් වහන්සේ වදාළා නිතර සිහිකළ යුතු සහ දත යුතු කරුණු කිහිපයක්. ඒ තමා මේ
ලෝකයේ තිබෙන හැම දෙයක්ම ලෝක සත්ත්වයා ජරා, මරණ කරා රැගෙන යනවා. මෙම වෙනස්වීම
දකින්නේ නැත්නම් අපට අපේ ඉලක්කය කරා යාමට අපහසුයි. දක්ෂ ව්‍යාපාරිකයෙක් දක්ෂ ලෙස
ව්‍යාපාරය කරගෙන ගියත් ඔහු නො සිතුවොත් මම ලෙඩවෙන කෙනෙක්, මැරෙන කෙනෙක්, මෙම
ව්‍යාපාර වුවත් නැසී වැනසි යන්නට පුළුවන් කියා ඔහු සාර්ථකව ඉලක්කය කරා ගිය කෙනෙකු
නොවේ. ආර්ය ධර්මය තුළින් කියා දෙන අස්ථිරත්වය හොඳින් සිතට කා වැදුන කෙනෙක් නොවේ.
තමන් ගැන පමණක් නොසිතා මේ ආර්ය මාර්ගය මැනවින් වටහා ගෙන විමුක්ති රසය ජය ගන්නට
ඉලක්කගතවීම අවශ්‍යයි.
ඒ වගේම ලෝක සත්ත්වයා බොහෝ අනාරක්ෂිතයි. “තමා අතට තම අතමය සෙවනැල්ල” කියන කියමන සනාථ
වෙනවා. එහෙම අරමුණක් තිබෙනවානම් ඔහු ඉලක්කගත වෙනවාමයි. ඒ වගේම මරණය ඉදිරියේදී
භෞතිකව රැස්කළ කිසිම දෙයක් රැගෙන යන්න බැහැ. සියල්ල අතහැර යන්න ඕන. ඒ නිසා අප රැස්
කරන අයෙකු නොවී අස්කරන අයෙකු වීමට දක්ෂ වීම වැදගත් . ඒ වගේම තෂ්ණාවෙන් බැඳී ජීවත්
වීමේ විපාක දැකීමත් ශ්‍රාවකයා කළයුතු වෙනවා. මේ කරුණු ඔහු දකිනවා නම් ආර්ය ධර්මයම
දැක්කා වෙනවා. ආර්ය ධර්මය දකින පුද්ගලයා නිවැරැදි ලෙස ඉලක්කගත වෙනවාමයි. නිවැරැදි
ලෙස ඉලක්කගත වීම යනු ඔහු ධර්මයට පැමිණෙනවා. සීලය වඩනවා, සමාධිය වඩනවා, ප්‍රඥාව
වඩනවා. සීල, සමාධි, ප්‍රඥා වඩනවා කියන්නේ හැමදෙනා සුවපත් කරගෙන සැනහෙන, නිවෙන
ශාන්තියට පත්වීමයි. අපේ පරම ඉලක්කය වූ නිවන කරා යන්නට නම් බුදුදහම පදනම් කොටගෙනම
ඉලක්කගත වීම වැදගත් වෙනවා.
සමාජයේ ඇතැම් අඹුසැමියන් අතර ආදරය, සෙනෙහස, විශ්වාසය නැති තරම්. බුදු දහමේ මේ
සම්බන්ධව කෙසේ විග්‍රහ වෙයිද
විවාහයේදී ගැලපීම් වන ආකාරය බුදුදහමේදී මෙසේ විස්තර වෙනවා. ඒ ශ්‍රද්ධා, සීල,
ත්‍යාග, ප්‍රඥා සම වීමයි. දෙදෙනකු අතර බාහිර මොන දේ ගැලපුණත් මේ හතර නො ගැලපේනම් ඒ
විවාහය සාර්ථක වන්නේ නැහැ.
සම සීල යනු දෙදෙනාම හොඳ සීලයකින් යුක්ත වීමයි. පළුදු නැති, වංක නැති, පිරිසුදු
සීලයක් දෙදෙනාමට තිබීම වැදගත්. ඒ වගේම සම ශ්‍රද්ධා යනු බුදුන්, දහම්, සඟුන් කෙරෙහි
නො සැලෙන ශ්‍රද්ධාවකට පැමිණීමයි. සම ත්‍යාග යනු පරිත්‍යාග සිතිවිල්ල දෙදෙනාගේම එක
සමාන වීමයි, සම ප්‍රඥාව යනු දෙදෙනාගේ ම නුවණ එක සමාන වීම තුළින් බොහෝම සාර්ථක පවුල්
ජීවිතයක් ගෙන යා හැකියි. නැත්නම් එහාට මෙහාට වැනෙන තරාදියක් වගේ මේ ජීවිත දුකට සැපට
එහාට මෙහාට දෝලනය වෙමින් බොහෝ අෙඳීනා දුක් ගැහැට ඒ ජීවිත වලින් මතුවෙන්න පුළුවන්.
විවාහයේදී ආදරය, සෙනෙහස, දයාව දෙදෙනා අතරම තිබීම වැදගත්. ස්වාමියා බිරිඳටත්, බිරිඳ
ස්වාමියාටත් ගෞරව කරනවානම් විශ්වාසය තිබෙනවානම් බොහෝ සතුටින් සිටිය හැකියි. විටෙක
මේ විවාහය නෙල්ලි ගෙඩියකට උපමා කළ හැකියි. ඒ නෙල්ලි ගෙඩියේ තිත්ත, කටුක, පැණි රස
ආදී හැම රසක්ම තිබෙනවා.
එනිසා බුදුරජාණන් වහන්සේ වදාළ දහම අනුව සම ශ්‍රද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා
කියන කරුණු දෙදෙනා අතර සමානව ගොඩනඟා ගෙන විවාහ ජීවිතය ගත කළ හැකිනම් එය අසිරියක්
බවයි.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළා උතුම් ගුණාංග වලින් යුතු මෙවැනි අඹුසැමියන් මත්පැන්
පානය කරන්නේ නැහැ, වැරැදි හැසිරීම් නැහැ, අනවශ්‍ය වියදම් නැති නිසා උපයන දේ
පිළිවෙළකට වියදම් කළ හැකියි. දෙවැන්න - දෙදෙනා දෙදෙනාට අනුකූල ජීවිත ගත කරනවා.
එකිනෙකා ඉක්මවා යාමක් නැහැ. ඒ වගේම දෙදෙනෙකු සෙනෙහසින් ජීවිතය ගෙන යද්දී සමහර
මිනිසුන් එයට ඊර්ෂ්‍යා කරනවා. දුෂ්ඨකම් කරනවා. බොරු කේලම් කියනවා. නමුත් ස්වාමියා
බිරිඳ සැක සංකා නොගෙන විශ්වාසය මත ජීවත්වේනම් ඒ සිල්ලම මකා දැමිය හැකිය. මේ දෙන්නා
තුළම ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා වැඩෙන විට සීලය, අෂ්ඨාංගික සීලය දැඩිලෙස බලවත්
කරගෙන ගුණවත්කම දියුණු කරගෙන සුසංයෝග ජීවිත දකින්න පුළුවන්. ඒ වගේම මරණින් මත්තේ මේ
වගේ අය සුගති ලෝකය කරා ගමන් කරනවා කියා ධර්මයේ සඳහන් වෙනවා.
අපේ බණ පොතේ සාර්ථකම විවාහ ජීවිතය ගතකළ දෙදෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒ නකුල මාතා සහ
නකුල පියා පිළිබඳවයි. මේ දෙදෙනා දීර්ඝ විවාහ ජීවිතයක් ගත කරලයි ඉන්නේ. නකුල පියා
දිනක් තථාගතයන් වහන්සේ බැහැදැක කියනවා ස්වාමිනි, මගේ ස්වාමි දියණිය කෙදිනකවත් මට
සැරපරුෂ ලෙස කථාකොට නැහැ. මගේ සිත රිද්දවා නැහැ. ස්වාමිනි, සසරේදීත් මැයම මට ලැබීමට
මම කුමන ප්‍රතිපදාවක් අනුගමනය කළ යුතුද ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාළා
බ්‍රාහ්මණය, ඔබ දෙදෙනා මතුවටත් හමුවීමට කැමැති නම් දෙදෙනාම සමාන ලෙස ශ්‍රද්ධා, සීල,
ත්‍යාග , ප්‍රඥා වඩන්න. එවිට ඒ ප්‍රාර්ථනය ඉටුවේවි යැයි වදාළා. නකුල මවත්
බුදුරජාණන් වහන්සේ මුණගැසී ඒ ප්‍රශ්නයම ඇසුවා. එවිට බුදුරජාණන් වහන්සේ පෙර උත්තරයම
ලබා දුන්නා. මෙයින් පැහැදිලියි අප සිල්වත්නම් ඒ අරමුණ පමණක් නොව ඕනෑම අරමුණක්
ඉෂ්ඨසිද්ධ කරගත හැකි බව.
ඒ නිසා මෙවැනි දහම් කරුණු තම ජීවිතයට සමීප කරගෙන ධර්මය ශ්‍රවණය තුළින් ගැටළුවලට
විසඳුම් සොයාගෙන මේ දුක් විඳින සසරින් එතෙර වීමට සැමට වාසනවා උදා වේවා.
නයනා නිල්මිණි |