අම්මේ ඔබයි
අපතර සිටි වනස්පති
අම්මා නැතිව සිවු වසරක් ගෙවුණ තැනේ
නිම්මා නැති කුසල් පුරවම් බැතිව සෙනේ
සම්මා සම්බුදුන් වදහල නිමල බනේ
අම්මා නිවන් යන බව අපි හැමට දැනේ
ඉවසනු කැමති ඇති හැමවිට නිවුණ ගති
සැනසෙනු කෙලෙසකද ඒ බව නිතර සිති
ගත වූ සිවු වසර අද මෙන් මතක ඇති
අම්මේ ඔබයි අප තර සිටි වනස් පති
ඔබ නැති සොවින් අප කාලය ගෙවන පැයේ
අප පියතුමන් ඒ මරුවා රැගෙන ගියේ
අපි පින් කරමු ඔබ දෙපළට දිවා රැයේ
නිවනින් නිවෙන්නට පැතුමන් තබා ළයේ
ඇත්තට මව්නි ඔබ කොයිබද සිටින්නේ
සිහිනෙන් දුටිමි ඔබ දෙව්ලොව වෙසෙන්නේ
ඉන් චුතවෙලා මේ මනුලොව දකින්නේ
කවදද අම්මේ කෙදිනද මම අහන්නේ
දිවියෙහි තිබෙන අනියත බව පසක් කර
නැත මව – පියා සහ අයියා අප අතර
හරිමින් ඔබ නමට නිවනෙහි රුවන් දොර
දල්වමි බුදුහිමිගෙ පාමුල පහන් තිර
බෙදමින් බුදුසරණ හැම පුන් පොහො දාක
සොහොයුරු රැස්කරයි ඔබලට පින් හේක
බවයෙන් බවය මතු නොමවන්නට සෝක
අපටම මව්පියන් වනු මැන මතු දාක
ලතා කත්තොට
මිනුවන්ගොඩ
සිරිපා වඳිමු
මැදින් පෝය දා නැඟෙමින් පිරුණු සඳක්
ගලමින් මළුව වෙත සඳරැස් වතුර ගඟක්
හද බොදු බැතිය ඉස්මතු කොට නොමැති නිමක්
සිරිපා සමය ඇරැඹී ඇත නැවත වරක්
දෙසු බණ දහම් සිහිකර කර බුදු පුත්තු
හැම වසරකම සිරිපා යන බැති මත්තු
තබමින් නළල බුදු සිරිපා වැඳ ගත්තු
මෙලොවට පරලොවට දෙකටම පොහො සත්තු
තෙල් දැමු කොට්ට පොල් ගෙන සිරිතට පොරණේ
නඩයත් සමඟ සිහිකර හිමගත වරුණේ
අසිරිය බල බලා පවතින වන අරණේ
සමනොළ නඟිමු කවි කිය කිය තුන් සරණේ
පින්බර සිතක සිතිවිලි කළ නොහැකි මිල
සිරපා වැඳී මෙන් ඇති වෙයි බැතිය තුළ
හැම වසරකම දුක් දොම්නස් වෙහෙස හළ
සිරපා සමයෙ ලැබගමු අපි නියම පල
රිල්ලොලුවේ
රුවන් රත්නායක
මුනි සිරිපා නමදිමු
මෙත් කරණා ගුණ සුවඳින් හදවත
යුත් හැම මුහුණක හසරැළි විකසිත
සත් ගුණවත් බැති දන ඇඳි සුදුවත
උත් තම මුනි සිරි පාදය නමදින
සමනළ මුදුනට නැග සිරි පාදය
නමදිති විහිදෙති හද බැති නාදය
සැම දෙන පිළිපදිමින් අවවාදය
ගමන් කරති නොමැතිව කිසි බේදය
කරුණාවයි සිත් තුළ උපදින්නේ
හිරු සේවය දැකුමෙනි පිබිදෙන්නේ
පිරුවට ඇඳ මළුවට පිවිසෙන්නේ
ගරු කොට මුනි සිරි පා නමදින්නේ
සීත ගඟුලෙ බැස නාගෙන පේවී
දෝතළු මල් පිදුමට ගෙන ඒවී
වීත රාගි මුනි ගුණ සිහි වේවී
සීත හිමේ බුදු රැස් විහි දේවී
දෙදියවල
අමරදාස පෙරේරා
සමනොළ මුනි සිරි පතුල නමාමි
රෝස මලක පැහැය විසුල
දික් විලුඹක හැඩය නිමල
සකට රෝද චන්ද්‍ර මඩල
වන්දේ මුනි පද්ම පතුල
රත් චාමර ලකුණු අමර
සේසත් සිරි පාද තඹර
සිරිවස නද වටය පවර
නමදිමු සිරි පා මුනි වර
පිරුණු කලස කණක බඳුන
සක්වල සමුදුර හිම වන
මහ මෙර සඳහිරු තර ගණ
නමදිමු සිරිපා සලකුණ
සතර මහා දීප සතර
කුඩා දීප දහස් පොකුර
මහා පුරුෂ ලකුණු විදුර
වන්දේ මුනි පාද තඹර
ශාස්ත්රපති
චරිත වික්රමසිංහ
කුරුණෑගල
සහසක් සමන්ගිර යති මුනි ගුණ පේන
පෙර රජ දවස සිට පුද ලද බව කිව්ව
සුර රද සමන්දෙව් පිරිවර හිස නැම්ම
තිර අදිටනින් නිවනෙහි මං පෙත හෙව්ව
අරඹති දනන් වඳිනට සිරිපා පව්ව
සාදු නදට මුසුකොට තුණ් සරණ ගයයි
වීදු එළිය මුදුනේ සිට පහන් වැටයි
මෝදූ වෙවී පුන් සඳරැස් සීල වෙලයි
සාදු සාදු මුනි සිරිපා වඳින පිනයි
සුන්දර මලින් ඔප ලද කඳු වළල්ලකි
කන්කලු බමර මී ගුමු නද ගැයිල්ලකි
නන් පෙරහැරින් සැදි සමනල් පැලැල්ලකි
පින් බර සිතින් සමනළ කඳු නැඟිල්ලකි
සීතල හිමවතේ සුදු මුදු සේල වළා
සීතල වෙතට වීදයි හිරු කිරණ එලා
සීතල දොවාගන යන ගං ඉවුරු තලා
දි පෙලහරක් සේ මුළු ලොව මවිත කළා
මහලක් සේ නැගුණු මිණි කැට අතුරාන
අහසක් උසට තබමින් පියවර ගාන
අහරක් ලෙසින් අග්ගල රස අඩුනූන
සහසක් සමන්ගිර යති මුනි ගුණ පේන
මුණසිංහ මැදගොඩ
කුලියාපිටිය
|