Print this Article


සදහම් දැනුම

ශාසන ඉතිහාසය

ප්‍රශ්නය – අසූ මහා ශ්‍රාවක චරිත අතර අග සව් තනතුරු හෙබවූයේ සැරියුත් හා මුගලන් තෙරවරුන්ය. මීළඟට බුද්ධ ශාසන වංශ කතාවේ උසස් ම තනතුර හෙවත් තුන්වැනි අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේ කවුද

පිළිතුර – ධූතාංගධාරීන් අතර අග තනතුර ලත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ.

ප්‍රශ්නය – පැරැණිතම වාස්තු විද්‍යාත්මක තොරතුරු අතර සතූප ආකෘතියකට හිමිවන්නේ විශිෂ්ට ස්ථානයකි. මෙම ආකෘති සංඛ්‍යාත්මක කොපමණ නම් වශයෙන්ද සඳහන් කරන්න.

පිළිතුර - සයකි. ඝණ්ටාකාර, ඝටාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, පද්මාකාර, ආමලාකාර

ප්‍රශ්නය - සතූප ආකෘති 06 කි. මේ ආකෘති අතරින් කැලණි ස්තූපය හා ස්වර්ණමාලී මහාතූපය කුමන ආකෘතියකට අයත් ද

පිළිතුර – ධානා්‍යාකාර, කැලණි ස්තූපය, බුබ්බුලාකාර ස්වර්ණමාලී මහා ස්තූපය.

ප්‍රශ්නය – අසූ මහා ශ්‍රාවකයාණන් අතර මහා කච්චායන රහත් වහන්සේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර – දඹදිව උදේනිපුර ධර්ම ප්‍රචාරය කළේ මහා කච්චායන මහ රහතන් වහන්සේ විසිනි. උදේනිපුර චණ්ඩපජ්ජෝත රජුගේ පුරෝහිත කච්චායනගේ පුත්‍රයා විය. උපතින්ම රන්වන් පැහැයෙන් යුක්ත වූ නිසා දෙමව්පියන් ‘කාංචන මානව‘ යැයි නම් තැබූ ගෝත්‍රය නාමය අනුව කච්චායන යැයි ප්‍රසිද්ධ වූයේ ය. ධර්මය අර්ථය අනුව විස්තර කිරීමේ හැකියාව නිසා බුදුරදුන් වෙතින් අගතනතුරු ප්‍රදානය කළ සේක.

ප්‍රශ්නය – “කසළ ගොඩෙන් රජගෙදරට” මෙය බුද්ධ කාලීන අයකුගේ ජීවන පුවතක් ඇසුරෙන් සකස් වූවෙකි. පැහැදිලි කරන්න.

පිළිතුර – ජීවක බුද්ධ කාලීන දක්ෂ වෛද්‍යවරයෙකි. ඔහු රජගහ නුවර අභය රාජ කුමාරයන්ට දාව සාලවතී නම් ගණිකාව කුස ඉපිද සතුන් කා දැමීම සඳහා කසල ගොඩක දමා ගියේ ය. අභය රාජ කුමාරයාට හමුවී රජ මාලිගාවට ගෙන ගොස් හදා වඩා ගතී. කසලගොඩකට දැමූවත් නොමැරී ජීවත්වීමේ වාසනාව නිසා ජීවක වැඩුණු නිසා (කුමාර ලීලාවෙන්) කොමාර භච්ච නම් විය.

ප්‍රශ්නය – මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කොට මුලින්ම දේශනා කළ සූත්‍ර ධර්මය කුමක්ද මෙයින් විස්තර කෙරෙන්නේ යම්කිසි කෙනෙක් බුදුසමය වැළඳගෙන භික්ෂූන් වහන්සේ නමක් වෙන ආකාරයයි.

පිළිතුර – චුල්ලහත්ථ පදෝපම සූත්‍රය.

ප්‍රශ්නය - “හත්ථාලහක මෙහෙණවර” මේ ගැන ඔබ ලංකා ශාසනික ඉතිහාසය හදාරන විට විශේෂයෙන් උගත යුතු ය.

පිළිතුර - සංඝමිත්තා අරහත් මෙහෙණින් වහන්සේ ප්‍රධාන මෙහෙණින් වහන්සේලා වාසය සඳහා දෙවන පෑතිස් රජතුමා කරවූ ආරාමය.

ප්‍රශ්නය – අසෝක රජතුමා ඔටුනු පැලඳීමෙන් 18 වන වර්ෂයෙහි දී පැළලුප් නුවර සිදුවුණු විශේෂ ශාසනික සිද්ධිය කුමක්ද

පිළිතුර - මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 03 වන ධර්ම සංගායනාව පැවැත්වීම.

ප්‍රශ්නය – අනුරාධපුර “ලෝහ මහා ප්‍රාසාදය” වාස්තු විද්‍යාත්මක අතින් බැලුවත් විශ්මිත නිර්මාණයක්. ශාසනික වශයෙන් කුමක් සඳහා ප්‍රයෝජනවත් වූයේ ද අභයගිරි විහාරයේ ද මෙබඳුම නිර්මාණයක් දක්නට ඇත. එය කුමන නමකින් හඳුන්වා තිබේද

පිළිතුර – භික්ෂූන් වහන්සේලාගේ උපෝෂථ කර්මය (පොහොය කිරීම) සඳහා මෙම සත් හල් ප්‍රාසාද ප්‍රයෝජනයට ගත්හ. අනුරාධපුර අභයගිරි විහාරයේ ගොඩනැගිලි අතරත් රත්නප්‍රාසාද නමින් හැඳින්වූයේ ද උපෝෂථාගාරයයි.

ප්‍රශ්නය – අනුරාධපුර ශාසනික ඉතිහාසයෙහි ආරම්භක අවස්ථාවෙහි දී නිතර කියවුණ නම් දෙකකි සුමන හා භණ්ඩුක. මේ පිළිබඳව ඔබ දන්නා යමක් කියන්න.

පිළිතුර – මිහිඳු මාහිමි ධර්මදූත කණ්ඩායමේ එකම සාමණේර නම සුමන, ගිහි උපාසක, භණ්ඩුක, සංඝමිත්තා අරහත් මෙහෙණින් වහන්සේ ගිහිකල විවාහයෙන් උපන් පුතු සුමන, වේදිස දේවියගේ නැඟණියගේ පුත්‍ර භණ්ඩුක.

ප්‍රශ්නය – ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පිරිත් පැන්ගෙන රතන සූත්‍රය දෙසමින් මුළු නුවරට පිරිත් පැන් ඉස්සාහ. සියලු අමනුෂ්‍යයෝ පලා ගියහ. නගරය ආරක්ෂා සහිත විය. මනුෂ්‍යයෝ සුඛිත මුදිත වූහ. මේ අතිවිශේෂ ශාසනික පුවතකි. පැහැදිලි කරන්න.

පිළිතුර – බිම්සර මහරජ මනාපය ඇතිව ලිච්ඡවි රජවරු දෙපළක් බුදුන් වහන්සේ කරා එළඹ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ත්‍රිවිධ භීතියකින් වෙළාගත් අපරට වැසියන්ගේ නිදුක් නිරෝගී බව උදෙසා අප විශාලා මහනුවර වැඩම වන මෙන් කළ ආරාධනාව පිළිගෙන රුවන් සුතුරෙහි අණ තෙදින් නුවර වැසි ජනතාව සුඛිත මුදිත කළ අවස්ථාවයි.

ප්‍රශ්නය – පුද්ගල ජීවිතයේ උන්නතිය සඳහා අත්‍යවශ්‍ය කරුණු අතර ආශ්‍රය, නිශ්‍රය උපනිශ්‍රය විශේෂයෙන් සපුරා ගත යුතු ය. මෙබඳු අවස්ථාවක දී බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ පුද්ගලයෝ සිව්දෙනෙකි මේ. උපකාරක සමාන සුඛ දුක්ඛ, අත්ථක්ඛායී, අනුකම්පක පැහැදිලි කරන්න.

පිළිතුර - සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන්වන ඇසුරු කිරීමට සුදුසු කල්‍යාණ මිත්‍රයෝ කොටස් 04 කට බෙදා ඇත. සෑම අවස්ථාවකදී ම පරහිතකාමී අදහස්වලින් පෝෂිත වූ මිත්‍රයා උපකාරක මිත්‍රයා. සැප හා දුක අවස්ථා දෙක්හිදීම තමා අතහැර නොයන මිත්‍රයා. සෑම විටම යහපතකට මඟ කියාදෙන මිත්‍රයා දුකෙහි දී දුක්වන සැපෙහි දී සතුටුවන සැම විටම උපකාරයක් ම කරන මිත්‍රයා.

ප්‍රශ්නය – පරිත්‍යාගය කුමක් වුවත් එය පරෝපකාරී යහපත් සත්පුරුෂ ක්‍රියාවකි. මෙම පරිත්‍යාගය මහත්ඵල මහානිසංස ලබන්නට නම් කරුණු 03 ක් මූලික වූ දන්දීමක් විය යුතු ය. මොනවාද ඒ විශේෂිත කරුණු.

පිළිතුර – පසන්න චෙතසා, පිරිසුදු සිත, වත්ථු, ධාර්මික වස්තුව, පටිග්ගහ, පින්, කෙතක් වූ සිල්වත් ප්‍රතිගාහක.

ප්‍රශ්නය - බෞද්ධ ජීවිතයක කරුණු 07 ක් නිසා ධනවතෙක් බවට පත්වෙයි. එයින් පළමු වැන්න ශ්‍රද්ධාවයි. පැහැදිලි කරන්න.

පිළිතුර – බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන කෙරෙහි පවතින අචල විශ්වාසය.

ප්‍රශ්නය – යහපත් වචනය “සම්මාවාචා” අංග හතරකින් පිරිසුදු වියයුතු බව බුදුරජාණන් වහන්සේ වදාළහ. මේ අංග 04 පැහැදිලි කරන්න.

පිළිතුර – මුසාවාදා වෙරමණි (බොරුවක් නොවීම) පිසුණා වාචා වෙරමණි (කේලමක් නොවීම) පරුෂා වාචා වෙරමණි, (පරුෂ වචනයක් නොවීම) සම්පප්ප්‍රලාපා වෙරමණී (හිස් වචනයක් නොවීම)

ප්‍රශ්නය - දේව ධර්ම ජාතක කතාව අනුව යහපත් දෙය “දෙව ධර්මය” වශයෙන් බෝසතාණෝ වදාළහ. මෙහිදී දේවධර්මය වශයෙන් සඳහන් කළේ මොනවාද

පිළිතුර – අයහපත් දේ’ “පව් - වැරැදි දේ කිරීමට පුද්ගලයකු තුළ ඇතිවිය යුතු ලජ්ජාව හා භය.

ප්‍රශ්නය – ජීවමාන බුදුරජාණන් වහන්සේ සලකා විහාර ප්‍රතිමා වන්දනය සැදැහැසිත් ඇති ආගමික ජීවිතයෙහි දී කුමන පූජාවක් වශයෙන් සලකනු ලැබේද

පිළිතුර – උද්දේශික පූජාව.

ප්‍රශ්නය – උරුවෙලාවත් ගයාවත් අතර හමුවූ මගියෙකු ඇවත. ඔබගේ ඉන්ද්‍රියයෝ ඉතා ප්‍රසන්නයහ. ශරීර වර්ණය පිරිසුදුය. කවර ශාස්තෘවරයෙකු උදෙසා පැවිදි වූයෙහිද ඒ ශාස්තෘවරයා කිනම් අයෙක්ද කවරෙකු ගේ ධර්මයකට ඔබ රුචි කෙරේද යනුවෙන් ප්‍රකාශයක් කළහ. මේ සුවිශේෂ තැනැත්තා කවුද

පිළිතුර – උපක ආජීවක.

ප්‍රශ්නය – අචල විශ්වාසය හා අන්ධ භක්තිය ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවට අවධාරණය කළේ කුමක්ද

පිළිතුර – තර්කානුකූල විධිමත් අවබෝධය සහ ප්‍රතිපත්ති පූජාවයි.

ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක්තරා සිටුවරයෙක් තම පුත්‍රයා ගැන විමසා සිටියේ ය. බුදුහු, මඳකට මෙහි අසුන් ගන්න. ඔබට පුතා දැකගන්නට ලැබෙනවා ඇති. වදාළහ. ප්‍රථම වතාවට තිසරණ ගොස් බුදු සමය වැළඳගත් ගෘහස්ථයා ඔහු විය. මේ තැනැත්තා කවරෙක්ද

පිළිතුර – යසකුල පුත් ගේ පිය සිටුවරයා.

ප්‍රශ්නය – තම මිතුරා හිස මුඩුකොට කහවත් හැඳ පැවිදි වූහයි ඇසූ විමල සුබාහු පුණ්ණජි හා ගවම්පති යන මිතුරෝ සිව් දෙනෙක් මිතුරා හමුව පැවිදි බව ලබා බුදුරජාණන් වහන්සේ වෙතින් බණ අසා සිවුනම රහත් වූහ. මේ ශ්‍රේෂ්ඨ මිතුරා කවුද

පිළිතුර – යසකුල පුත්‍රයා.

ප්‍රශ්නය – බුද්ධ කාලයේ එක්තරා තරුණියක් අඩක් පිරූ කෙස්වැටිය ඇතිව කඳුළු පිරි මුහුණින් යුතුව ආර්ය පුත්‍රය නොපමාව එන්න යි කීවා ය. මේ වදන් ඔහුගේ විනිවිද ගිය නමුත් බුදුරදුන්ට පාත්‍රය ආපසු දී හැරෙන්නට තරම් ශක්තියක් ඔහුට නොවීය. මේ පුවතින් අනාවරණය වන ඔහු සහ ඇය කවුද

පිළිතුර – නන්ද කුමාරයා සහ ජනපද කල්‍යාණිය.