Print this Article


දුටුගැමුණු රජු ඉදිකළ මිරිසවැටිය මහා සෑය

දුටුගැමුණු රජු ඉදිකළ මිරිසවැටිය මහා සෑය

දුටුගැමුණු මහ රජු මුලින්ම ඉදිකරනු ලැබුවේ මිරිසවැටිය මහ සෑයයි. එම සෑය ගොඩනැංවීමට පෙර මහියංගනය සෑය අසූ රියනක් උසට ගඩොලින් ප්‍රතිසංස්කරණය කළේය.

තථාගතයන් වහන්සේගේ ලංකා ගමනේදී ස්තූප ඉදිවන ස්ථානවල සමවත් සුවයෙන් වැඩ සිට ඒ ඒ ස්ථාන දෙවිවරුන්ට භාරකර තිබේ. උන්වහන්සේ පළමු වතාවේ මහියංගනයට වැඩම කොට ඒ සම්පූර්ණ භූමිය සුමන සමන් දෙවිදුන්ගේ ආරක්ෂාව යටතටද, දෙවැනි අවස්ථාවේ නාගදීපයට වැඩම කොට ඒ ස්ථානය චුලෝදර මහෝදර නාගයන්ගේ යටතටද තුන්වැනි වතාවට කැලණියට වැඩම කළ පසු ඒ ස්ථානය මණිඅක්ඛිත නා රජු යටතටද පත්ව ඇති බව වදාළ සේක. ඊළඟට ශ්‍රී පාදස්ථානය සුමන සමන් දෙවි¾දුන් යටතේ තිබෙන බව දුටු සේක. උන්වහන්සේ දිවාගුහාවට වැඩි අතර අදට එය යම් අප්‍රකට බවක් උසුලයි. එයටද යම් හේතුවක් තිබිය හැකියි. ඒ වගේම දීඝවාපිය මහසෙන් නමැති දිව්‍යපුත්‍රයාට භාර කළ අතර, රුවන්මැලි මහා සෑය ඉදිවන ස්ථානය භාග්‍යවතුන් වහන්සේ සාල්රූප කියන දෙවියාට භාර කළ සේක. එය .අදටත් ස්වර්ණමාලි දෙව්දුවට අමතරව සාල්රූප කියන දිව්‍යපුත්‍රයා ආරක්ෂා කරනු ඇති. මිරිසවැටිය භූමිය ඉන්ද්‍ර කියන දෙවි¾දුන්ට භාර කොට දිව්‍යපුත්‍රය, මෙම ස්ථානයේ අනාගතයේදී ගාමිණි අභය නම් රජෙකු ස්තූපයක් තනාවි. ඔබ එයට මුල් විය යුතුය. ගාමිණි අභය රජු හැදු මිරිසවැටිය භූමිය රැකගෙන සිටියේ ඉන්ද්‍ර කියන දෙවියා විසිනි. කිරිවෙහෙර මහාඝෝෂ (මහසෙන්) දිව්‍ය රාජයාට භාර කළ සේක. අදටත් කතරගම ස්තූපයට ස්කන්ධ කුමාරයා වැ¾දුම් පිදුම් කරන අතර භූමිය ධාතුන් වහන්සේ රැකගෙන සිටින්නේ මහාඝෝෂ දිව්‍ය රාජයායි. තිස්සමහාරාමය මණිකාර කියන දිව්‍ය රාජයාද, ඊට අමතරව සේරුවිල මහා සෑය සුමන කියන නාගරාජයාද ආරක්ෂා කරන බව ‘ජිනකාලමාලනී’ ග්‍රන්ථයේ සඳහන්ව ඇත.

දුටුගැමුණු රජු යුද්ධයට යනවිට රථපෙළේ ඉදිරියෙන්ම ගෙන ගියේ ජය කොන්තයයි. එය රජවරුන්ගේ රාජ ආයුධයකි. ඒ කොන්තයේ රජ මාළිගාවේ තිබුණ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කොට තිබුණි. භාග්‍යවතුන් වහන්සේ පෙරටු කොට යන ලෙස රජතුමා ගමන් කළේය. රහතන් වහන්සේ පිටුපසින් වැඩියේ, දන්පැන් පූජා කිරීමට රජු ආරාධනා කළ නිසාය.

මේ ආකාරයට රජතුමා බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය තුණුරුවන පෙරටු කොටගෙන යුද්ධය පිණිස පිටත් විය. ඒ සෑම යුද්ධයකින්ම රජතුමා ජය ගත්තේය. එයට හේතුව එළාර රජු සමඟ ඇතිවූ යුද්ධ සිදුවූයේ යහපත පිණිසමයි. ඒ යුද්ධයේදී එළාර රජුගේ සෙබළුන්ට පවා ප්‍රතිකර්ම කරමින් නැව්වල පටවා තමන්ගේ රටට යවා තිබේ. ඒ තරම් සද්පුරුෂ රජෙකි දුටුගැමුණු රජු.

මේ රජු කොන්තායුධයේ මෙසේ ධාතුන් වහන්සේ නිදන් කොට තමන් ගමන් කරන මාර්ගයේ පෙරටුව භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩමවා ඇත. රජු අභිෂේක කර සතියක් ගිය පසු දියපහසු වීම පිණිස බසවක්කුලම වැවට බැස ඇත. ඒ වැව අසල ගල් තලාවක් මත මල්අතුරා ඒ මත කොන්තායුධය තැන්පත් කර රජු පැන්පහසු වී තිබේ. ඉන්පසු නැවත ඒමට සිතා කොන්තායුධය ගැනීමට උත්සහා, කළත් එය ගැනීමට අපහසු වී තිබේ. එනිසා එතැන වන්දනමාන කොට මෙතැනට මහා සෑයක් සුදුසුයි සිතා රජතුමා එතැන සෑයක් ඉදිකළේය. එය මිරිසවැටිය මහා සෑයයි. මේ මිරිසවැටිය සෑය තිබෙන ස්ථානයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ස්ථානයකි.

රජතුමා තැන්පත් කළ කොන්තායුදය ගැනීමට නොහැකි වූ නිසා මහා සෑය ගොඩ නැංවිය. ඒ වගේම තමන් සංඝයාට නොදී මිරිස් ආහාරයට ගත් බැවින් රජතුමා විසින් ඒ මහා සෑය මිරිසවැටිය ලෙසද නම් කළේය. අදටත් ඒ සතූප රාජයාණන්ට වන්දනාමාන පුදසත්කාර කරමින් බැබළෙමින් වැඩසිටී. ඒ සෑය පූජා කළ පසු රහතන් වහන්සේ පන්සිය නමකට වෙහෙර විහාර තනා දින හතක් දන්පැන් පූජා කර ඇත. එහෙමනම් රුවන්මැලි මහා සෑය ඉදිකිරීමටත් ප්‍රථමයි මිරිසවැටිය සෑය ඉදිවුණේ. එවකට මුළු අනුරාධපුරයටම තිබුණේ ථූපාරමය සෑය පමණයි. ථූපාරාමය හැරුණුවිට මිනිසුන්ට වන්දනාමාන කිරීමට තනි රත්තරනින් නිම කළ කොන්තායුදය තැන්පත් සර්වඥ ධාතුන් තැන්පත් මිරිසවැටිය මහා සෑය ඉදිවුණි.

ඒ වගේම අනෙක් කරුණනම් සාමාන්‍යයෙන් ස්තූපයක් තනවායි ධාතුන් වහන්සේ නිදන් කරන්නේ. නමුත් මිරිසවැටි සෑය ධාතු තැන්පත් කොටයි සෑය ඉඳිවූයේ. එනිසා අදටත් මිරිසවැටිය මහා සෑය මහත් ආනුභාව පතුරවමින් කිරිසුදුපාටින් බබළමින් වැඩසිටී.

දිව්‍ය විමනක් බඳු ලෝවාමහාපාය

මිහිඳු මහා රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුට වදාළා රජතුමනි, අනාගතයේදී සුන්දර පොහොය ගෙයක් අනුරාධපුරයේ ඉදිවේවි. එය ගාමිණි අභය නම් රජු විසින් කරනු ඇති බව. රුවන්මැලි මහා සෑය ඉදිකිරීමට අමතරව ලෝවාමහාපාය නම් නවමහල් ප්‍රසාදය ඉදිවෙන බව ලියා රජගෙදර තිබෙන කරඬුවක තැන්පත් කරන ලදී. එය දුටු දුටුගැමුණු රජු රහතන් වහන්සේට කියා සිටියේ ස්වාමිනි, මම පොහොය ගෙය හදා සංඝයාට පූජා කිරීමට කැමැතියි. නමුත් එය මනුස්ස ලෝකයේ තිබෙන ආකාරයට නොවේ. දිව්‍ය ලෝකයේ තිබෙන සැලස්මක් ඒ සඳහා ලබාදෙන ලෙස. ඒ සැලස්ම ගෙන ඒමට රහතන් වහන්සේ අට නමක් දිව්‍ය ලෝකයේ චාරිකාවක වැඩි අතර, එක දිව්‍ය විමානයක් තනි රත්තරනින් කුළුගෙවල් දහසකින් බබලන දිව්‍ය විමානයක් දුටු සේක. මේ දිව්‍ය විමානය කෙතරම් මනස්කාන්තද කියනවානම් රහතන් වහන්සේ ඒ විමානයට වැඩි අතර, ඒ විමානයේ සිටියේ දිව්‍යාංගනාවක්. ඇයගෙන් අසන්නේ මෙතරම් අලංකාර විමානයක් ලැබීමට ඔබ කුමන පිනක්ද? සිදුකර ගත්තේ. ස්වාමිනි, මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සාසනයේ නිරන්තරයෙන් බුදුගුණ වැඩූ කෙනෙක්. ඒ වගේම පෝයට සිල් රැක්ක, නිරන්තරයෙන් දන් දුන් උපාසිකාවක්. කය බිඳී මරණින් මත්තේ දෙව්ලොව ඉපදුණි. මගේ පිනේ විපාකයක් ලෙස ලැබුණ විමානයයි මේ. ඔබවහන්සේට අවශ්‍ය පරිදි මේ විමානයේ සැලස්ම ලබා ගන්නැයි ඇය කියා සිටින්නීය. රහතන් වහන්සේ මේ විමානයේ සැලස්ම සුදු වස්ත්‍රයක පිටපත් කොට රජතුමාට ගෙන දුන් සේක. රජතුමා කුළුගෙවල් දහසකින් යුතු ඒ දෙව්දුවගේ විමානය ආකාරයට මිනිස් ලොව ලෝවාමහාපාය ලෙස ගොඩනැ¾ගීය.

විනය කර්ම කිරීමට ගොඩනැඟුන මේ ලෝවාමහාපාය රහතන් වහන්සේ වෙනුවෙන් උඩු මහලෙද, අනාගමී උතුමන්වහන්සේ වෙනුවෙන් දෙවැනි මහලද,සකෘදාගාමි උතුමන් වෙනුවෙන් තුන්වැනි මහලද, සෝතාපන්න උතුමන් වෙනුවෙන් හතරවැනි මහලේද, ධර්මය ඉගෙනගන්න සංඝයා යටමහලේ ආදි ලෙසින් ලෝවාමහාපාය ඉදිකැරිණි. ලෝවාමහාපායේ උඩට නැඟුන පසු ඉන්දියාව පෙනී තිබේ.

එලෙස විසිතුරු සුන්දර විහාර කර්මාන්තයක් මේ පොහොය ගෙය. මේ ශාසනය බැබළුණේ රහතන් වහන්සේගේ යුගයේ. ඒ වගේම ලස්සන වෙහෙර විහාර ඉදිවුණේත් රහතන් වහන්සේගේ යුගයේදීය. එනිසා රාග, ද්වේශ, මෝහ දුරුකළ මුනිවරු වෙනුවෙන් අහස උසට වෙහෙර විහාර ඉදිවෙනවා නම් කෙතරම් හොඳද? මේ සියල්ලටම දුටුගැමුණු රජු මෙහෙයවූයේ සිතේ තිබුණ ශ්‍රද්ධාව යි.

මේ ආකාරයට දුටුගැමුණු රජු වෙහෙර විහාර අනූනවයක් ගොඩනංවා තිබේ. ස්තූප ප්‍රතිසංස්කරණය කර තිබේ. ධාතුන් වහන්සේට නොයෙක් උපහාර කර තිබේ. දුටුගැමුණු රජු මහියංගන සෑය මුලින්ම ප්‍රතිසංස්කරණය කළ අතර අනතුරුව ධාතු නිදන් වූ පසුව මිරිසවැටිය සෑය ඉදි කෙරිණ. ඊළඟට රුවන්මැලි මහා සෑය ස්තූපය ගොඩනඟා ධාතු තැන්පත් කෙරිණි. මේ ආකාරයට එතුමාගේ ජීවිතයේ විශේෂිත අවස්ථා ඇත.

එනිසා අපට දැන් තිබෙන්නේ ඒ උත්තමයන් ගොඩනැඟූ ඒ වෙහෙර විහාරස්ථානවලට වන්දනාමාන කරමින් පින්දහම් රැස්කර ගැනීමයි. මිරිසවැටිය මහා සෑයේ සහ අනෙක් සියලුම සෑයන්ගේ ආනුභාවයෙන් ඔබගේ දුක් දුරුවේවා.


පසුගිය සතියෙන්: අසිරිමත් ධාතු පුරාණය: පාරිභෝගික වූත් උද්දේශික වූත් වාම සිරිපා ධාතුන් වහන්සේ