සැදැහැති බෞද්ධකම හඳුනාගනිමු
රාජකීය පණ්ඩිත, දර්ශනපති
මාලිම්බඩ පඤ්ඤාසාර හිමි
බෞද්ධ සැදැහැවතුන් වෙනදාට වඩා දැඩි උද්යෝගයෙන් යුක්තව ධර්මය ශ්‍රවණයට සහ
පුණ්‍යකාමි කටයුතුවලට සහභාගි වන බවක් දක්නට ලැබීම සතුටට කරුණක්. එහෙත් මෙසේ සහභාගි
වන්නන්ගෙන් කී දෙනෙක් ධර්මය පිළිපදිනවාද? ප්‍රතිපත්ති ගරුකව සිටිනවාද? යන්න ගැටලු
සහගත දෙයක් බව
ප්‍රකාශ කළ යුතුය.
මේ උතුම් මැදින් පුරපසළොස්වක පොහොය දිනයයි. බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිට
කිඹුල්වතට වැඩීමට ගමන ආරම්භ කරනු ලැබුවේ අද වන් උතුම් පොහොය දිනකයි. බුදුරදුන්ගේ
ගමනාරම්භයට කාළුදායි හිමියන්ගේ මග සලකුණූ වර්ණනාව බෙහෙවින් හේතු විය. මෙවන් උදාර
පෝය දිනයක ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙකු වන්නේ කෙසේදැයි හඳුනා ගනිමු.
ශ්‍රද්ධාවෙන් තොරව කවරෙකුට හෝ නිර්වාණය සාක්ෂාත් කරගත නොහැකිය. ශ්‍රද්ධාව යනු
තුනුරුවන් කෙරෙහි ඇති කර ගන්නා සැබෑ පැහැදීමයි. තෙරුවන් කෙරෙහි පැහැදීම සඳහා උතුම්
බුදුගුණ, සදහම් ගුණ හා ආර්ය සංඝරත්නයේ ගුණ දැනගත යුතුය. අපේ ශ්‍රද්ධාවන්තයින්ගෙන්
කී දෙනෙකුට උතුම් බුදුගුණ නවය (9) සදහම් ගුණ හය (6) සඟ ගුණ නවය (9) වෙන් කර කියාගත
හැකිද? කී දෙනෙකුට එම ගුණ විසිහතරේ (24) තේරුම් කියාගත හැකිද? සැබෑ ශ්‍රද්ධාවන්ත
ජීවිතය මෙතනින් ආරම්භ කළ යුතුයි නේද? සමහරු හිතන්නේ ශ්‍රද්ධාවයි, භක්තියයි කියන්නේ
දෙකම එකයි කියලා. එහෙත් ඒදෙක අතරේ පවතින්නේ විශාල වෙනසක්, භක්තිය කියන්නේ, බිය
පදනම් කර ගත් හැඟීමක්, භක්තිය හඳුන්වා දී තිබෙන්නේ දේව කේන්ද්‍රීය ආගම්වලයි. එම
ආගම්වල සර්වබලධාරි නිර්මාපක දෙවියෙක් ඉන්නවා. එම ආගම්වල අනුගාමිකයන්ට දෙවියන්
කෙරෙහි ඇති වන්නේ භක්තියක්, එහෙත් බුදුදහම තුළ එවැනි බියමුසු හැඟීමක් ඇති කර නැහැ.
කෙනෙකු තුළ පවත්නා බියමුසු හැඟීමක් පවතින්නේ නම් ඒ ද තෙරුවන් සිහිකර පලවා හැරිය
හැකියි. එසේ නම් බෞද්ධයෙකු හැඳින්වීමට සුදුසුම වචනය භක්තිවන්තයා, බැතිමතා නොව
‘සැදැහැවතා” ශ්‍රද්ධාවන්තයා’ යන්නයි.
එහෙත් කෙනෙකුට ප්‍රශ්න කළ හැකියි. එසේ නම් දහම් පාසල්වල භක්ති ගීත කියන්නෙ ඇයි
කියලා. වෙසක් බැති ගී, පොසොන් බැති ගී කියන්නේ ඇයි කියලා. ඔව්... එහෙම කියනවා. එය
සම්පූර්ණ වැරදියි. එම ගීත තුළින් බුදුන්වහන්සේ කෙරෙහි, ධර්මය හෝ සංඝයා කෙරෙහි බියක්
ඇති කරන්නේ නැහැ. ඒවායින් ඇති කරන්නේ බුද්ධාලම්භන පී‍්‍රතියක් . එසේ නම් එම ගීත
බොදු ගීත හෙවත් බෞද්ධ ගීතයි.
කෙනෙකු තුළ ඇතිවන ශ්‍රද්ධාව කොටස් දෙකකට බෙදනවා.
1.අමූලිකා ශ්‍රද්ධා
2. ආකාරවති ශ්‍රද්ධා කියලා
මින් අමූලිකා ශ්‍රද්ධාව ව්‍යවහාර භාෂාව තුළ හඳුන්වන්නේ මෝඩ ශ්‍රද්ධාව කියලයි. ඉන්
නිර්වාණය සාක්ෂාත් කර ගත නොහැකියි. අපගේ සමහර බෞද්ධයන්ගේ වැඩ ගැන බැලුවහම පේන්නේ
ඔවුන්ට තියෙන්නෙ මේ අමුලිකා ශ්‍රද්ධාවමයි කියලා. සමහරු පින් කරන්න කියලා පන්සලට හෝ
වෙනත් ආගමික ස්ථානයකට ගියාම කරගෙන එන්නෙ පව්.
ලෝකෝත්තර වු නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වන්නේ,ආකාරවති ශ්‍රද්ධාව, තෙරුවන්
පිළිබඳ හරි අවබෝධයෙන් යුක්තව ඇති කරගන්නා මේ පැහැදීම නිවන් මඟ පාදා ගැනීමට හේතු
වෙනවා. මෙම අවබෝධයෙන් යුතු ප්‍රඥාගෝචර පැහැදීම නිසා තෙරුවනට සමීප වෙනවා.ඒ නිසා
ධර්මය ශ්‍රවණය කරනවා ධර්මය ශ්‍රවණය කිරීමෙන් ධර්මය මතක තබා ගන්නවා. මතක තබා ගන්නා
ධර්මය ජීවිතයට එක් කර ගනිමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරනවා. ඒ
නිසා පුළුවන් වෙනවා. ධර්මාවබෝධය ලබන්න එය තමයි නිවන කියන්නේ, ශ්‍රද්ධාවෙන් තොරව
ප්‍රඥාව ලබන්න බැහැ. එහෙත් ප්‍රඥාව ලැබු පසු ශ්‍රද්ධාව අවශ්‍ය වෙන්නෙත් නැහැ.
දැන් අපි බලමු බෞද්ධකම කියන්නෙ මොකක්ද කියලා. බෞද්ධකම කියන්නේ බුද්ධිමත් අවබෝධයෙන්
කටයුතු කරනවා කියන එකයි. බුදුරජාණන් වහන්සේට බුද්ධ කියා කියන්නේ බුද්ධියේ යා හැකි
ඉහළම ස්ථානයට ගිය,අවබෝධ කිරීමට යමක් ලෝකයේ වේද, ඒ සියල්ල ස්වකීය ඥානයෙන් ම අවබෝධ
කළාය යන්නයි. එසේ නම් බෞද්ධ වු අපි කටයුතු කරන්න ඕන කොහොමද? ඉතා බුද්ධිමත්ව
අවබෝධයෙන්, අර්ථවත් ලෙස නේද? එහෙත් අපේ බෞද්ධ ජනතාවගෙන් කොපමණ ප්‍රමාණයක් එසේ
කටයුතු කරනවාද?
බෞද්ධ සැදැහැවතුන් වෙනදාට වඩා දැඩි උද්යෝගයෙන් යුක්තව ධර්මය ශ්‍රවණයට සහ පුණ්‍යකාමි
කටයුතුවලට සහභාගි වන බවක් දක්නට ලැබීම සතුටට කරුණක්. එහෙත් මෙසේ සහභාගි වන්නන්ගෙන්
කී දෙනෙක් ධර්මය පිළිපදිනවාද? ප්‍රතිපත්ති ගරුකව සිටිනවාද යන්න ගැටලු සහගත දෙයක් බව
ප්‍රකාශ කළ යුතුය. නිතර පන්සිල් ඇසේ. එහෙත් ඒ එක් සිල්පදයක් හෝ ආරක්ෂා කරන්නේ
කීයෙන් කීදෙනාද ඇත්තටම සිදුවන්නේ, පන්සිල් සමාදන් වීමකට වඩා පන්සිල් කීමකි. ඒ ඒ
ස්ථානයේ දී පන්සිල් කියා පුරුදු ලෙස ජීවිතය ගෙවා දැමීමක් සිදු කරන බවක් පෙනේ. ධර්මය
ශ්‍රවණය කරන තරමින් එක් ධර්ම දේශනයකින් එක් බණ පදයක් හෝ පිළිපැදීමට,ආරක්ෂා කිරීමට
පෙළඹුණේ නම් කෙතරම් ගුණගරුක සමාජයක් බිහි කළ හැකි ද? මේ උතුම් පෝදා සැබෑ බෞද්ධ
සැදැහැවතෙකු වීමට අදිටන් කරගනිමු. |