UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝකෙ ම කැමැති ලංකාවේ කඳු තරණය

ලෝකෙ ම කැමැති ලංකාවේ කඳු තරණය

සිරිපාදෙ යාම ගැන මුලින් ම අදහසක් පහළ වෙන්නේ වයස අවුරුදු දොළහක් දහතුනක් තරම් කාලයේ දී බෝඹුවල කන්දට නැඟුණු පළමු දිනයේ, කඳු මුදුනේ දී නැඟෙනහිරින් සිරිපා අඩවිය දුටුවාට පසුවයි. ඒ ආසන්නයේ ම වාගේ සිරිපා වාරයක දී නඩයකට සම්බන්ධ වී සිරිපාදෙ යන්නට මට ගෙදරින් අවසර ලැබිණි. දෙමාපියන් හොඳින් දන්නා වැඩිහිටියන්, ඥාතීන්, හිතවතුන් එදා ඒ නඩේට සම්බන්ධ වී සිටින්නට ඇති. නැති නම් මට ගෙදර කවුරුනුත් නැති ව කෝඩුවෙන් සිරිපාදෙ යන ගමනට අවසර ලැබන්නේ නැත. මගේ පළමු සිරිපා ගමන සඳහා ඒ ලැබුණු නිදහස එදා මගේ අතට විශාල පඬුරු ප්‍රමාණයක් ලැබුණා නම්, ඊටත් වඩා වටිනා බව හැඟිණි.

නියමිත දින උදෑසන ම සිරිපා ගමන ඇරඹුවෙමු. එකල බස්රථ වන්දනාවේ ගියේ ඉස්සරහින් පුවක් මලක් ද බැඳ ගෙන යි. අප ගමන් කළ බස් රථයේ පරණ ගතිය මකන්නට, බැඳ තිබුණු විශාල පුවක් මල ලොකු කලඑළියක් කළේ ය. ටික දුරක් යනකනුත් සාදු නාදය තිබිණි. තවත් මඳ වේලාවක දී වැඩිහිටි කාන්තාවක් තුන්සරණය ගයන්නට පටන් ගත්හ. එය ගතානුගතික ආරම්භයක් ලෙස දකින්නට මම එදා දැනගෙන නොසිටියෙමි. එහෙත් නඩේ වැඩි දෙනකුට ම ඊට වඩා වෙනස් විනෝදයක් අවශ්‍ය වී තිබුණු බව නම් මටත් දැනිණි.

තවත් වැඩි දුරක් යන්නට මත්තෙන් බසයේ සිටි තරුණ කණ්ඩායම, ඔවුන් අතර තිබූ ඩෝලයක්, තාල භාණ්ඩයක් එළියට ගෙන ගී ලොව මිහිර ඇහැරවන්නට පටන් ගත්තේ ය. ‘කට වරද්ද ගන්නව එහෙම නෙමෙයි’ යනුවෙන් වැඩිහිටියකු දෙන්නකු කී අවවාදාත්මක බස් අසාගෙන ම ඔවුහු තම සංගීත මේලාව ආරම්භ කළහ. මා එයට මේලාව යැයි කියන්නේ, මුළු බස් රථය ම එක ම සැණකෙළි සිරියක් ගන්නට ඒ තරුණ කණ්ඩායමේ ගීත ගැයීම හේතු වූ බැවිනි.

සමහර අසුනක දෙදෙනෙකු බර සංවාදයකි. ඇතැම් විටක ඔවුන්ගේ තේමාව වන්නට ඇත්තේ වන්දනා ගමනක දී විනෝදය මතු කිරීම කොතරම් සුදුසු ද නැති ද යන්න වූවා විය හැකියි. තවත් අය කෑම එකිනෙකාට බෙදති. ඒ සමඟ ඕපාදූප කතන්දරත් හුවමාරු වෙයි. තුන්සරණය අහන්නේ නැතැයි කියමින් වැඩිහිටියෙක් දෙන්නෙක් තරුණ කණ්ඩායමට දොස් නඟති. සිංදුවට කැමැති අකමැති සෑම දෙනා ම අඩු වැඩි තරමින් ඒ ගැන අවධානයෙනි. බස් රථයත් සුළං කපා ගෙන වේගයෙන් ඉදිරියට ඇදෙයි. ඇතැමෙක් පාර දෙපස අයටත් අත වනා තම ගමන් සතුට ප්‍රකාශ කරයි. දැන් මුළු බස් රථය ම එක ම මේලාවකි.

තරුණයන්ට එක් වූ එක් මැදිවියේ වන්දනාකරුවකු ගී ගැයීමට නව පණක් දුන් අපූරුව මට කිසිදාක අමතක නොවේ. ඔහු ගායනා කළ ගීතය වූයේ, මා එතෙක් අසා නොතිබුණු ‘සිරිපාදේ සමනළ කන්ද පෙනේ’ යන ගීතය යි. මේ ගීතය මගේ හිතේ තැන්පත් වන්නේ වන්දනා බස්රථයේ දී මෙය මුලින් ම ඇසූ එදා ය. සිරිපාදෙ ගමනට වැඩි විනෝදය ඕනෙ නැතැයි කියමින් තරුණයන්ගේ පැත්ත නොගත් ඇතැම් වැඩිහිටියෝ පවා ඒ ගීතයට ආකර්ෂණය වූහ. බටහිර සංගීතයේ ආභාසය ඇති ව දේශීය ජන නාද රටා යොදා ගෙන මෙහි තනුව නිර්මාණය කළේ බී. එස්. පෙරේරා හෙවත් බඹරැන්දේ ශ්‍රීනාත් පෙරේරා නම් සංගීතවේදියා බව මා දැන ගන්නේ හුඟක් පසු කාලීනවයි. වින්සන් ද පෝල් පිීරිස් ගායනා කළ මේ ගීතය ලියා ඇත්තේ ආටිගල සරච්චන්ද්‍ර විසිනි.

තරුණ කණ්ඩායමේ මැදට පනින්නට ඒ වන විට අවසර නැති ව වැඩිහිටියෙකුගේ බාරයේ සිටි මට, ඒ ගීතය නිසා වැඩිහිටියනුත් පත් ආනන්දය හොඳින් දැනිණි. තවත් මඳ වේලාවකින් මා සිටියේ අර තරුණ කණ්ඩායමට මැදිවී ගීතවලට අත්වැල් අල්ලමින් අත්පොළසන් දෙමින් ය. ජෝතිපාල ගායනා කළ ‘සීත සුනිල් දිය දහරා’ මොහිදීන් බෙග් ගායනා කළ ‘සිරිපාද හිමේ දෙයියන්නෙ රටේ’, ‘හිමබිම පාලන සුරිඳේ’ යන ගීත හරි ම රසවත් ව සාමූහික ගායනයකින් මා පළමු වරට අසන්නේ, එදා ඒ පළමු සිරිපාදෙ ගමනේ දී යි.

මුල්ම සිරිපා කරුණාව කළේ හැටන් මාර්ගයෙනි. ‘එරන් පතුල’ මත හිස ඔබා මා වන්දන්නට නඩේ ගුරා මුල් වුණත් ඉහළට හා පහළට මුළු සිරිපා කරුණාව ම නිදහසේ කර ගන්නට මම ඉඩ පාදා ගතිමි. මකර තොරණ පසු කර ගෙන සාම චෛත්‍යය තෙක් විහිදෙන මාර්ගයේ දකුණු පසින් ඇති දැවැන්ත කඳු බිත්තිය චමත්කාර දසුනක් විදිහට මගේ සිත් ගත්තේ ඒ මුල් ගමනේ දී මයි. අදටත් සිරිපා කරුණාවේ දී සාම චෛත්‍යය අසල පඩියක් මත වාඩි වී මේ කඳු බිත්තිය දිහා බලා ඉන්නා පුරුද්ද පුරන්නේ ඒ පළමු ගමනේ දී ම යි. විවිධ රස උපදවන එවැනි චමත්කාර දසුන් මුළු සිරිපා අඩවිය පුරා ම ඇති බව මම කලින් කලට එහි ගොස් දැක ගත්තෙමි.

පළමු සිරිපා ගමන නිමවා ගෙදර ඇවිත් ගමන් විස්තරය දක්වන විට, මගේ සිත් ගත් අංගයක් වූ තරුණ කණ්ඩායමේ ගීත ගැයීම ගැනත් නොසඟවා කීවෙමි. ගීතවල පදවලින් ම ඒ නම් කර කීමට මට මතක තිබිණි. ජෝතිපාලගේ ගීතයත් මොහිදීන් බෙග්ගේ ගීත දෙකත්, ‘දෙයියන්නෙ රටේ’ චිත්‍රපටයේ බව ඒ ගැන අසා සිටි අම්මා කීවාය. ඒ චිත්‍රපටය ඩබ්ලිව්. ඒ. සිල්වා ගේ නවකතාවකින් හැදූවක් බවත් ඇය කියා දුන්නා ය. ඒ විදිහට සිරිපා ගමනේ දී මිහිර ඇහැරුණු තැන් ගැන අගමුල ගළපා දෙන්නට හා ඌන පූරණ සපයන්නට අම්මා දැන සිටියාය. ළමයින් ඉදිරියේ වේවැල අතට ගත් නපුරු ගුරුවරයකුගේ තත්ත්වයට බුද්ධාගම පත් කළ ඊට වසර තිහ හතළිහකට පසු, අම්මා වුණත් සිරිපාදෙ ගමනට සින්දු කීම අකැප යැයි කියන්නට නැඹුරු ව සිටි නමුත්, එදා තරුණ වියේ සිටි අම්මා සිරිපා ගමනේ දී ඒ ගී ගැයීම ගැන කතා කළේ ප්‍රිය මනාප ව යි.

වෙසක් පොහොයට මාස හයක සිරිපා වාරය නිම වෙයි. වෙසක් කූඩු හදා එල්ලා කොඩි වැල් ඇද, ගොක්කොළ බඹර කැරකෙන්නට දී, ගේ මිදුල අලංකාර කරනවාට අමතරව කුඩා අපි තවත් දෙයක් එදා වෙසක් සැණකෙළියට ඇතුළත් කළෙමු. ඒ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමයි. ඒ සඳහා වේදිකාවක් සැකසීමත් වෙසක් කූඩු හැදිල්ල වගේ ම නියමිත කාර්යයක් විය. අප ම සාදා ගත් සංගීත භාණ්ඩ , ඒ වේදිකාවට ගෙනෙමු. මදිවැල් නම් වැල් වර්ගය දිගට ගසකට ඇද එහි පොල්කටු ලවුස්පීකර් බඳිමු. හතරපස් දෙනෙකුගෙන් සමන්විත, කලාතුරකින් ඊට වඩා වැඩි විය හැකි, මේ මුළු සංගීත ප්‍රසංගයට ම ගායක – ගායිකාවෝ ද නිවේදක – නිවේදිකාවෝ ද නරඹන ප්‍රේක්ෂකයෝ ද ඒ පිරිසමයි. පහන් කූඩු එළියෙන් සංගීත ප්‍රසංගය පැවැත්වෙයි. මගේ සිරිපාදෙ ගමනින් පසු මේ සංගීත වේදිකාවට සිරිපා ගමනේ දී ඇසූ සින්දු ගෙනත් එහි කල එළිය වැඩි කළා මට මතකය.

එකල සිට දශක හතරකට පසු ව අද, එදා මගේ වයසේ පරපුර දෙස බැලුවොත් එහෙම වේදිකා තනා සංගීත ප්‍රසංග පැවැත්වීම මහා විහිළුවක් ලෙස ඔවුන් දකිනවා නියත යි. නව පරපුරේ විවේකය රූපවාහිනියට, පරිගණකයට හා ජංගම දුරකතනයට කොටු වීම නිසා ඔවුන්ට ඇත්තට ම එහෙම අතීතයක් ගැන හිතන්නට වත් ඉඩක් නැත. ඒ ගැන හොඳ හා නරක ලෙසින් බෙදා විමසන්නට මම මෙහි දී අදහස් නොකරමි. එහෙත් සිරිපා ගමනේ දී මිහිරි මැවූ ගීතය, සෙල්ලම් වේදිකාවට අප ගෙනා ගීතය, එදා සේ ම අදටත් හිතේ මිහිර ඇහැරවන්නට නව පරපුරටත් අත්වැලක් වන බව නම් නිසැක යි. වත්මන් පරපුරත් ඒ ගීත අහන්නට ප්‍රිය කරනවා නියත යි. ඒ ආදර්ශය ඇති ව නව ගීත නිර්මාණය කරන්නට පෙලඹෙනවා සිකුරු යි. ඊට මඟ අවුරා ඇත්තේ නව පරපුර මත වාණිජ විනෝදය පටවන මාධ්‍යයි.

පළමු සිරිපා ගමනින් පසු ව කිහිප අවස්ථාවක් ම ආයෙ සිරිපාදෙ යන්නට සිත් වුණත් අවස්ථාව ලැබුණේ තවත් අවුරුදු හයක් පමණ ගියාට පසුවයි. උසස් පෙළ විභාගයට ලියා ලද විවේකය ඒ සඳහා මඟ පෑදුවේ ය. එහෙත් තවත් නඩයක සාමාජිකයකු විදිහට නම් නොවේ. මා දෙවන වර සිරිපාදෙ යන්නේ හතළිහක විතර කණ්ඩායමකට ‘නඩේ ගුරා’ වීමෙනි. මා ඇසුරේ සිටි මිතුරු මිතුරියන් කිහිප දෙනකුගේ ඉල්ලීම පිට සංවිධානය කරන්නට වූ සිරිපා ගමනක් අන්තිමට විශාල බස්රථයකින් යන ගමනකට තරම් සෙනඟ එකතු වී එය අන්තිමට වන්දනා ගමනක් බවට පත් විය. එහෙම වැඩකට කර ගැසීම විශාල වගකීමක් විණි. එහෙත් ඒ බර සැහැල්ලු කරන අත්දැකීම් ඒ වන විට මා සතු විය.

එවැනි ගමනක දී දැනෙන පළමු අභියෝගය වන්නේ වගකීමක් සහිත රියදුරකු සමඟ හොඳ බස් රථයක් ගමන සඳහා තෝරා ගැනීමයි. ඒ අභියෝගය තවදුරටත් මට අභියෝගයක් නොවුණේ පාසල් දිවියේ දී මා ලද එක් අත්දැකීමක් නිසා ය.

සිරිපා ගමන සංවිධානය කරන්නට මට පළමු ශක්තිය වූයේ එදා පාලිත අයියා හෙවත් පසුව කළුතර ප්‍රදේශීය දේශපාලනයේ නායකයකු වූ පාලිත සිල්වා ය. ඔහු ඉතා ම තරුණ වියේ දී දිනක් අපේ උසස් පෙළ පන්තියේ විනෝද චාරිකාවකට, එවක ඔහුගේ පියාට හිමි බස් ව්‍යාපාරයක බස් රථයක් තෝරා ගැනිණි. චාරිකාවේ ශිෂ්‍ය සංවිධායක වූ එවක පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ ගාමිණි අත්තනායක සමඟ සංවිධාන කටයුතුවලටත් බස් රථය තේරා ගන්නට ගිය ගමනටත් මම එක් ව සිටියෙමි.

මොරටුව විශ්වවිද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපන පාර දිගේ ගිය ඒ මා පාසල් මිතුරා රැකියාවක් ලබා තවත් වසර කිහිපයක දී බස් රථයක ගැටී හදිසි අනතුරකින් මිය ගියේය.

ගමන යාමට නියමිතව සිටි රියදුරු හදිසියේ අසනීප වීම යි. පාසල් ළමයින් රැගෙන දින තුනක් රට වටේ යන සංචාරයකට ඒ තරම් තරුණ රියැදුරෙකු ගැළපෙන්නේ කෙසේදැයි ඔහු දුටු වැඩිහිටියන් ඒ උදෑසන එකිනෙකාට කොඳුරා නොසිටියා නම් එය පුදුමයකි. එහෙත් ඔහු වයසට වඩා දක්ෂකම්වලින් යුතු අයකු බව හඳුනා ගන්නට ගමනට අවතීර්ණ වී වැඩි වේලාවක් ගත වන්නේ නැත.

මට ජීවිතේ අමතක නොවන ඒ ගමනේ අත්දුටු එක් සිද්ධියක් වන්නේ, එවක ඉතා ම දුෂ්කර මාර්ගයක් වූ නුවර මහියංගණ මාර්ගයේ දහ අට වගුවේ, රෑ නවයට පමණ මහ වැස්සේ පාලිත සිල්වා තම බස් රථය ධාවනය කළ උද්වේග කර අවස්ථාවයි. කිහිප විටක් පසුපසටත් නැවත ඉදිරියටත් බස්රථය ගෙන වංගු කපා ගනිමින් පල්ලම බහින්නට ඔහු ගත් අවදානම අදටත් මට මැවී පෙනේ. ඇරත් අද මෙන් එකල බස් රථ ‘පවර් ස්ටීරිං’ ද නොවේ. ඔහු එදා ඒ පෙළහර පා කිසිදු අතුරු අන්තරාවක් නැති ව කෙළවර කළ ඒ ගමනාන්තය ගැන මගේ මතකය, මා මූලික වී සංවිධානය කළ සිරිපා ගමන සඳහා බස්රථය තෝරා ගැනීම කියන කාරණය පහසු කළේ ය. මා නඩේ ගුරා වූ පළමු සිරිපා ගමනටත් තෝරා ගත්තේ ඔහු හා ඔහුගේ බස් රථය යි.

හතලිහක පමණ නඩයක් රැගෙන මුලින් සිරිපාදෙ ගොස් ඊළඟට රටේ තවත් ප්‍රදේශ කිහිපයකට යන දින තුනක සංචාරයක් යනු විශාල අවදානමක් නමුත් ඒ ගැන අද මෙන් එදා බියක් චකිතයක් ගෙන දුන්නේ නැත. එහෙම ගමන් සංවිධානය කරන උසස් පෙළ වයසේ ළමයින් අදත් සිටිය හැකි නමුත් එහෙම වුවමනාවන් ඇති පිරිස හිඟ වෙති. විශේෂයෙන් ම පොදු අවශ්‍යතාවක් වෙනුවෙන් වගකීමක් දරන්නට කැමති පිරිස අඩු ය. මෙවැනි සංචාර හෝ පොදු කටයුතු සංවිධානය අඩාල වීම කෙරෙහි ’87-89’ භීෂණය ද බරපතළ ලෙස බලපෑ බව ද සිහිපත් කළ යුතුයි.

සිරිපාදෙ කරුණා කරන විට විශේෂයෙන් ම කෝඩුකාරය සඳහා, සීත ගඟුල ඉඳිකටුපාන වැනි ස්ථානවල දී ඇති චාරිත්‍ර ඉටු කිරීම නඩේ සිටි වැඩිහිටියකුට පැවරුවෙමි. කෝඩුකාරයන් වැන්දවීම නම් මට වඩා වැඩිහිටි කෝඩුකාරයන් ද මා ලවා ම කර ගන්නට කැමති විය. දැනුම් තේරුම් ඇති දෙතුන් දෙනකු නඩේ ඉදිරියෙන් කරුණා කරන්නට සලස්වා මා කණ්ඩායමේ පිටුපසින් ගමන් කිරිම නඩේ පෙළ ගැස්වූ විදිය යි.

 

 මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 22 වනදා අඟහරුවාදා අපරභාග 3.12 ට ලබයි. 23 වනදා බදාදා අපරභාග 5.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 22 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 31 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]